අනුරාධපුරයේ "දිවි නසා ගැනීම"

අනුරාධපුර උසාවියේ "හදිසියේ" හටගත් ගින්නකින් එහි ලේඛනාගාරයේ කොටසක්‌ අළු වී යැමේ පුවත ඊයේ (25 දා) පුවත්පත්වල පළ විය. මේ ගින්න කිසියම් කඩාකප්පල්කාරයකු විසින් අවුලුවන ලද ගින්නක්‌ ද නැතහොත් විදුලි කාන්දුවක්‌ නිසා හටගත් ගින්නක්‌ ද, එසේත් නැතහොත් ගිනිපෙට්‌ටියක්‌ හා ගිනිකූරක්‌ නැතිව ඉන්ද්‍රජාලයක්‌ මෙන් පහළ වූ ගින්නක්‌ ද යන්න සෙවීමට දැනටමත් පරීක්‍ෂණ අරඹා තිබේ. ලංකාවේ අධිකරණ ඉතිහාසය තුළ උසාවි ලේඛනාගාර ගිනි තැබීම් හෝ ගිනි ගැනීම්වලට වැඩි තැනක්‌ නැත. මෙයට පෙර මේ රටේ හටගත් ඒ වර්ගයේ එකම ගින්න වාර්තා වූයේ රත්නපුර උසාවියෙනි. එහිදී වැදගත් නඩු කිහිපයකට අයත් ලිපි ගොනු අළු බවට පත්විය. අළු ගොඩවල් කියවා නඩු ඉදිරියට ගෙන යැම කළ නොහැක. එ බැවින් එසේ අළු වූ ලිපිගොනුවලට අදාළ නඩු කොතරම් දුරට ඉදිරියට ගියේද යන්න අපි නොදනිමු. කෙසේ වුවද නඩු ලිපිගොනු අතුරුදන්වීම සහ සාක්‍ෂි වශයෙන් ඇති නඩු භාණ්‌ඩ වෙනත් ස්‌වරූප ගැනීම පිළිබඳ ඉතිහාසයක්‌ අපට තිබේ. උදාහරණයක්‌ වශයෙන් පොලිසියෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්කුඩු උසාවියට ඉදිරිපත් කරන විට කහ කුඩු හෝ පාන් පිටි බවට පරිවර්තනය වී තිබීම දැක්‌විය හැකිය. කහ කුඩු හෝ පාන් පිටි සන්තකයෙහි තබා ගන්නා අයට විරුද්ධව නඩු කිව නොහැක. ඒ අනුව පොලිසියේ වැටලීම් ක්‍රියාවලියන් නඩුවත් ගොනු කිරීමේ අධිකරණ ක්‍රියාවලියක්‌ නොහොත් ඒ දෙකම සඳහා ගිය වියදමත් අපතේ ගියා වෙයි. උසාවි ලේඛනාගාර ගිනි ගන්නේ නම් එය අපරාධයක්‌ පිළිබඳ සියලු සාක්‍ෂි මකා හැරීම පිළිබඳ ක්‍රමවේදය පුළුල් මට්‌ටමකින් හඳුන්වා දීමේ උත්සාහයකි.

කෙසේ වුවද මහත්වරුනි, අනුරාධපුර උසාවියේ ගින්න ගැන අප කතා කරන්නේ එය කිසිදු පාර්ශ්වයකට සම්බන්ධ නැති, අඩුම ගණනේ ගින්දරටවත් සම්බන්ධ නැති සිද්ධියක්‌ ලෙස ය. ගිනි නිවන හමුදාව උසාවි භූමියට එන අවස්‌ථාවේදී ලේඛනාගාරයේ ජනේලයක්‌ විවෘතව තිබූ බවට වාර්තා පළ විය. ගින්න ඉබේම හටගත් එකක්‌ය යන පූර්ව විනිශ්චය ඇතිව (බලහත්කාරයෙන් ඇති කරගෙන) මෙය ලියන බැවින් ජනේලය ඇරී තිබූ බව අමතක කිරීමට තීරණය කළෙමු.

ගින්න යනු ඉතා නරක ඉතිහාසයක්‌ ඇති, ඇසට පෙනෙන නමුත් අතට හසුකර ගැනීමට නොහැකි භයානක දෙයකි. මිනිසා ශිෂ්ටාචාරයේ ගමන් මාර්ගයට අවතීර්ණ වීමට හේතුව ප්‍රාථමික මනුෂ්‍යයකු විසින් මෙයට වසර ලක්‍ෂ ගණනකට පෙර ගිනි අවුලුවන ක්‍රමය සොයාගෙන ගින්න පාලනය කළ හැකි බව දැන ගැනීම ය. ඔහු මුලින්ම ගින්දර පාවිච්චි කළේ සතුන්ගේ මස්‌ පුළුස්‌සාගෙන අනුභව කරනු පිණිසය. ඊළඟට ඔහු භයානක ආයුධයක්‌ ලෙස ගින්දර පාවිච්චි කරන්නට විය. දැනට ඇති සියලු විනාශකාරී බෝම්බ ද ගිනි අවි ද ක්‍රියා කරන්නේ පිපිරීම යන සාධකය මතය. පිපිරීමට ගිනි ඇවිලීම අවශ්‍යය. 1988-89 අතරතුර පැවැති භීෂණයේ වකවානුවේදී බොහෝ ජීවිත ගින්නෙන් කෙළවර කිරීමට එවකට පැවැති ආණ්‌ඩුව ද පසු කාලයේදී දකුණේ මහත් වූ ගෞරවාදරයට ලක්‌ වූ යුද හමුදාව ද, වෙනත් පැරා මිලිටරි කණ්‌ඩායම් හෙවත් නිත්‍යානුකූල නොවූ කණ්‌ඩායම්වලට ද පොලිසියට ද හැකිවිය. භීෂණයට අවබෝධ වන්නේ භීෂණයේ බසම පමණි. එය හරියටම ප්‍රභාකරන්ට තේරුණේ වෙඩි හඬ පමණක්‌ය යන්න හා සම වන්නකි. අප අනුමත නොකළ ද 88-89 දී සිදුවූයේ එය ය. නන්දිකඩාල් කලපුවේදී සිදු වූයේ ද එය ය.

ගින්දර විසින් බිලිගන්නා ලද ලෝක ප්‍රකට දේපල කිහිපයක්‌ තිබේ. ඇලෙක්‌සැන්ඩි්‍රයාවේ මහා පුස්‌තකාලය නීරෝ විසින් ගිනි තබන ලදී. ඉන්දියාවේ නාගර්ජුන ස්‌වාමීන්වහන්සේ වැඩ වාසය කළ නාලන්දා විශ්වවිද්‍යාලය ගිනි තබන විට එහි තිබූ පුස්‌තකාලය ද ගිනිබත් විය. අපගේ කතාව වෙනත් අතකට යන බව පෙනේ. එ බැවින් අනුරාධපුර අධිකරණය වෙත හැරෙමු. මෙහි ලේඛන කාමරය ඉබේම ගිනි ගැනීමේ පුරුද්ද සෙසු අධිකරණවල ලේඛනාගාරවලට ආරංචි වුවහොත් ඒවා සිය කැමැත්තෙන්ම ගිනි අවුලුවා ගැනීමට ඉඩ තිබේ. අද ලෝකයේ සිදුවිය නොහැක්‌කේ කුමක්‌ද? ඕනෑම දෙයක්‌ අද සිදුවිය හැකිය. හැම දෙනාම මෙය පාඩමකට ගත යුතු අතර අනුරාධපුරයේ ගිනිගත් නඩු ලිපිගොනුවල විත්තිකරුවන්ට නිදහසේ නිදාගැනීමේ අවස්‌ථාව දැන් ඉතින් ලැබෙනවා ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.