සංස්‌කරණය : නාරද නිශ්ශංක

"බ්‍රේකින් නිව්ස්‌" ගැන පිය පුතු අදහස්‌

"මගේ පුතා නාලක මට වඩා ඉක්‌මණින් හිතනවා"
බන්ධුල විතානගේ

"මගේ නාට්‍යයේ තාත්තා රඟපෑම විශාල ශක්‌තියක්‌"
නාලක විතානගේ

අපේ වේදිකාව වසා සිටි අඳුරු වළාවන් දැන් පහව යමින් තිබේ. වේදිකාවට හිරුගේ ආලෝකය මෙන්ම සඳුගේ කිරණද පතිත වන්නට පටන් ගෙන ඇත. නව නිර්මාණ බිහිssවේ. ප්‍රේක්‍ෂකයන් වෙනදාවට වඩා වේදිකා තිරගත කෙරෙහි උනන්දුවේ. එනිසාම යළිත් වරක්‌ අපේ වේදිකාව ස්‌වර්ණමය යුගයක ආරම්භවය සනිටුහන් කරන පෙර නිමිති පෙන්නුම් කරයි.

අපේ වේදිකාව ස්‌වර්ණමය යුගයකට හිමිකම් කීවේය. ඒ හැට හැත්තැව දශකය. ඒ කාලයේදී වේදිකාවට පිවිසි අය අතර බන්දුල විතානගේට හිමිවන්නේ විශේෂ ස්‌ථානයකි. ඔහු මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මඟපෙන්වීම සහ උපදේශකත්වය මත වේදිකාවට පා තැබූවෙකි.

මේඝ ගර්ජනා, ගංගාවක්‌, සපත්තු කබලක්‌ හා මරණයක්‌, බෙකම්, වැනිසියේ වෙළෙන්දා, දොළොස්‌වැනි රාත්‍රිය, සෙනෙහෙබර ඩොලී, හිරු දහස, රෝමය ගිනි ගනී, සිකුරු සැණකෙලි, බන්දුල විතානගේ වේදිකාවට දායාද කළ නිර්මාණය.

අසල්වැසියෝ, බුමුතුරුණු, ඔහු කළ ටෙලි නිර්මාණ අතර සුවිශේෂී ස්‌ථානයක්‌ ගනී.

බන්දුල විතානගේ ප්‍රවීණ වේදිකා නාට්‍යකරු සහ රූපවාහිනී ශිල්පියා.... කලාවට පිවිස අවුරුදු හතළිස්‌ පහක්‌ පසු කළේ පසුගිය වසරේදීය.



මේ සා විශාල කාලයක්‌ වේදිකාවේත්, රූපවාහිනියේත් සැරිසැරූ ඔහු එකී මාධ්‍ය පෝෂණය කිරීමට දැක්‌වූ දායකත්වය මිල කළ නොහැක. මේ කාලය තුළ බන්දුල කලා කෙතට දායද කළ නිර්මාණ සම්මානයන්ටද පාත්‍රවිය. ඔහු කලාකෙතට දායාද කළ තවත් සම්පතක්‌ වේ. ඒ තම පුතුය.

නාලක විතානගේද පියා මෙන්ම පළමුව වේදිකාවෙන් සිය ප්‍රතිභාවන් දක්‌වන්නට සූදානම්වන තරුණයෙකි. "බ්රේකින් නිව්ස්‌" ඔහුගේ තුන්වැනි නාට්‍ය නිර්මාණයයි. රාත්‍රි භෝජනය, පළමුවැන්නයි. එය පියාගේ අනුවර්තනයකි. නාලකගේ දෙවැනි නිර්මාණය වනූයේ "කාසිමල්ල" ය. එය ඔහුගේම ස්‌වතන්ත්‍ර රචනයකි.

"බ්රේකින් නිව්ස්‌" පුතාගේ නාට්‍ය නිර්මාණ පියාද රංගනයෙන් දායකවීම සුවිශේෂය. එනිසාම මෙවර සිනමා කලා සංග්‍රහයට පියා - බන්දුලත්, පුතා- නාලකත් එක්‌වූහ. පළමුව දිගහැරෙන්නේ බන්ධුල විතානගේ සමග අප කළ සාකච්ඡාවේ සටහන්ය.

ඔබේ කලා දිවියට අවුරුදු හතළිස්‌ පහයි. ගතවූ කාලය තුළ ඔබ වේදිකාව දුටුවේ කෙසේද?

සාපේක්‍ෂව බැලුවොත් මම ඉන්න කාලයේ තමයි වේදිකාවේ ස්‌ර්ණමය යුගය. හොඳ අන්තර්ගතයක්‌ සහිත නාට්‍ය හෙන්රි ජයසේන, සුගතපාල ද සල්වා, ගුණසේන ගලප්පත්ති, මහාචාර්ය සරච්චන්ද්‍රයන්, සයිමන් නවගත්තේම වැනි අය නාට්‍ය කළා. ඒත් එවැනි ගැඹුරු තේමාවන් රැගත් නාට්‍ය එන්න එන්නම ලිහිල් වුණා. ප්‍රබුද්ධ පිරිස අවසන වීමත් සමග තමයි අපි මේ නාට්‍ය ක්‍ෂෙත්‍රයට ඇතුළු වුණේ.

නාට්‍ය කලාව පිරිහුනේ හරි දැක්‌මක්‌ නැති නිසායි. ඒත් දැන් ඉතා දක්‍ෂ නිෂ්පාදන පිටපත් තියෙනවා. අලුත් අය අතින් හොඳ නිර්මාණ බිහිවෙනවා. සාපේක්‍ෂව ගත්තාම වාණිජවාදී නාට්‍ය වැඩියි.

අද බිහිවන්නේ ස්‌වතන්ත්‍ර නිර්මාණවලට වඩා පරිවර්තන සහ අනුවර්තන. මේ පිළිබඳ ඔබේ අදහස?

ඇත්තටම බැලුවාම ස්‌වතන්ත්‍ර නාට්‍ය ලියන අය අඩුයි. නමුත් විදේශ නාට්‍ය අපට බැහැර කරන්නත් බැහැ. විශ්ව නාට්‍ය නැරඹීමෙන් හා පරිහරණය කිරීමෙන් තමයි නාට්‍ය කලාව දියුණු වෙන්නේ. නාට්‍ය කලාව විශ්ව සාධාරණ දෙයක්‌. ස්‌වතන්ත්‍ර නාට්‍ය ලියන අයත් බිහිවිය යුතුයි. මගේ පුතා නාලකත් ස්‌වතන්ත්‍ර නාට්‍ය දෙකක්‌ ලියුවා. ඔහු මට වඩා ඉදිරියට ඇවිත්. "බ්‍රේකින් නිව්ස්‌" බලද්දී එය දැකගත හැකියි. මගේ පුතා නාලක මට වඩා ඉක්‌මණින් හිතනවා.

හොඳයි ඔබේ පුතා නාලක හැදූ "බ්‍රේකින් නිව්ස්‌a" ඔබ දකින ආකාරය.

මම බ්‍රේකින් නිව්ස්‌ දකින්නේ තත්කාලීන සමාජය තුළ මාධ්‍යයේ ඇතිවන ප්‍රශ්න මතුකරගෙන මාධ්‍ය මර්දනයක්‌ මාධ්‍යයේ වැදගත්කමක්‌ පෙන්වන නාට්‍යයක්‌ ලෙසයි. "බ්‍රේකින් නිව්ස්‌" මොඩර්න් සංකල්පය මත හැදූ නාට්‍යය තරුණ අසහනය සහ ඊට කළ යුත්තේ කුමක්‌දැයි යෝජනා කරන නාට්‍යයක්‌. ප්‍රබල කතා වස්‌තුවක්‌.

ඔබේ පුතා අද ඔබව අධ්‍යක්‍ෂණය කරනවා.

ඔව්. මම එදා සිට අද දක්‌වා තරුණයන් සමග වැඩ කරන කෙනෙක්‌. ඔවුන්ගේ අධ්‍යක්‍ෂණය යටතේ මම රඟපානවා. පුතාගේ නාට්‍යයේ රඟපෑම මට විශේෂයි.

අද නාට්‍යයක්‌ කරන එක වගේම එය ප්‍රදර්ශනය කිරීමත් දුෂ්කර ක්‍රියාවක්‌. මේ අභියෝගයට ඔබේ පුතා මුහුණදීලා..?

ඒ කාලේ නම් එතරම් අමාරු නැහැ. එදා ලොකු මුදලක්‌ ඕනෑ නැහැ. හැත්තෑ හතරේ මම "බෙකට්‌" කළේ රුපියල් හාරදහසකින්. නමුත් අද තාක්‌ෂණ රංග ශෛලියට නාට්‍යයක්‌ කරන්න රුපියල් ලක්‍ෂ දෙකක්‌වත් ඕනෑ. කාලය අනුව වරදකුත් නැහැ. නමුත් මගේ ආශාව වගේම පුතාගේ ආශාවත් නාට්‍ය කරන එක. මේ අභියෝගය අපි එක්‌ව ජයගත යුතුයි.

නාට්‍ය කලාවේ අනාගතය කෙබඳුද?

අනාගතය සුබ වෙන්න නම් රජයේ අනුග්‍රහය ලැබිය යුතුයි. ඒත් නාට්‍ය කලාවට රජයේ අනුග්‍රහය එන්න එන්නම අඩු වුණා. සිංහල නාට්‍යයකට අනුග්‍රාහකයෙක්‌ සොයා ගැනීම අසීරු කාර්යයක්‌. අලුතෙන් නාට්‍ය ශාලා හැදුවාට මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැහැ.

නාලක, බන්දුල විතානගේ ශිල්පියාගේ බාලපුත්‍රයාය. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වන නාලක සිනමා කලා සංග්‍රහය සමග කළ සාකච්ඡාවක සටහන් මතු දැක්‌වේ.

ඔබ නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසියේ පියා නිසාද?

මම උසස්‌ අධ්‍යාපනයට නවසීලන්තයට ගියා. ඒ 2001 දී. 2004 දක්‌වා එහි සිටියා. ඒ කාලේ මම පොත්පත් කියවන්න නැඹුරු වුණා. ඒත් නාට්‍යවල වැඩි නැඹුරුවක්‌ දැක්‌වූයේ නෑ. තාත්තාගේ නාට්‍ය පුහුණුවීම් නරඹන්න ගියා විතරයි. මට තේරුණා අපේ අදහස්‌ කියන්න පුලුවන් හොඳම මාධ්‍ය තමයි වේදිකා නාට්‍ය කියලා. ඒ අනුව තමයි මම තාත්තා ලියූ "රාත්‍රි භෝජනය" අනුවර්වතනය නිෂ්පාදනය කරමින් අධ්‍යක්‍ෂණය කළේ. ඉන්පසු කාසිමල්ල, ස්‌වතන්ත්‍ර නිර්මාණයන් විදියට කළා. මම කලින් කිව්වා වගේ පොත් පත් බලද්දී ඉංග්‍රිසි ප්‍රහසන වැඩියෙන් කියවූවා. "කාසි මල්ල" ලියුවේ ඒ ආකෘතියට

එය අත්හදා බැලීමක.a ඒක සාර්ථක වුණා. ඒ අනුව තමයි "බ්‍රේකින් නිව්ස්‌" කළේ.

බ්‍රේකින් නිව්ස්‌, දේශපාලනය සහ මාධ්‍ය පිළිබඳ ප්‍රහසනයක්‌. එවන් තේමාවක්‌ තෝරා ගත්තේ ඇයි?

රූපවාහිනි නාට්‍ය කලාවේ තාත්තා සමග මමත් වැඩ කරනවා. ටෙලි නාට්‍යයක්‌ කළාට පස්‌සේ ඒක විකාශනය කරන්න චැනලයකට දෙන්න යද්දී විවිධ ප්‍රශ්න කිරීම් වළට ලක්‌වෙනවා. අපේ නිර්මාණ පසෙකට විසිවී දේශපාලනයට සම්බන්ධ අයගේ නිර්මාණ ඉදිරියට ආවා. මේවා දැක්‌කාම මට හිතුනා "කොමඩි" එකක්‌ කළ යුතුයි කියලා. "බ්‍රේකින් නිව්ස්‌" කළේ ඒ අනුවයි.

ඔබ නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසෙද්දී නාට්‍ය කලාවේ තත්ත්වය දුටුවේ කොහොමද?

අභියෝග තියෙනවා. ප්‍රෙක්‌ෂකයාගේ පැමිණීම අඩුයි. නිර්මාණවලත් ගැටලුවක්‌ තියෙනවා. පරිවර්ත අනුවර්තන හුඟක්‌ එනවා. ස්‌වතන්ත්‍ර අඩුයි. නමුත් හොඳ නිර්මාණ කළොත් ප්‍රේක්‌ෂකයා නරඹන්න එනවා. ඒත් හොඳ නාට්‍යයකට වියදම් කිරීම අභියෝගයක්‌. අනෙක නාට්‍ය කලාව කර්මාන්තයක්‌ ලෙසින් පිළිගැනීමක්‌ නැහැ. තරුණ නාට්‍යකරුවන් තමන්ගේ නිර්මාණ එළියට දමන්න ලොකු වෙහෙසක්‌ දරනවා.

ඔබ වෘත්තීය ලෙස තෝරාගත්තේ මේ ක්‍ෂේත්‍රයද?

මම දැන් ටෙලි නාට්‍යවලත් වැඩ කරනවා. ස්‌වර්ණවාහිනියේ විකාශනය වන "අල්ලපුගෙදර" තාත්තා සහ මම දෙදෙනාම අධ්‍යක්‍ෂණය කළා. ලියුවේත් මම. මම වෘත්තීය ලෙස තෝරාගන්න කැමැති රූපවාහිනි ක්‍ෂේත්‍රය තමයි.

"බ්‍රේකින් නිව්ස්‌" දර්ශනය ගැන

අපි මෙම 30 වැනිදා සවස 3.30 ට සහ 6.30 ට ජෝන්ද සිල්වා සමරු රඟහලේදි "බ්‍රේකින් නිව්ස්‌" දර්ශනය කරනවා. එදාට තාත්තා වෙනුවෙන් උපහාර උත්සවයකුත් පවත්වනවා. මහාචාර්ය තිස්‌ස කාරියවසම් මහතා තාත්තාගේ කලා ජීවිතය ගැන කෙටි දේශනයක්‌ කරනවා. සී. ඩී. බී. බැංකුවේ අනුග්‍රහයෙන් තාත්තාට තිළිණ ප්‍රදානයකුත් කරනවා.

"බ්‍රේකින් නිව්ස්‌" තවත් විශේෂත්වයක්‌ තියෙනවා. හැට දශකයේ ශිල්පීන් නියෝජනය කරමින් තාත්තාත්, හැත්තෑව දශකය නියෝජනය කරමින් කිංස්‌ලි ලෝස්‌ ප්‍රවීණ ශිල්පියාත් අසූQව දශකයේ ප්‍රසාද් සූරියආරච්චි, අමිත්ත වීරසිංහ දෙදෙනාත්, අනූව දශකයේ දූලිකා මාරපනත්, දෙදහස දශකය නියෝජනය කරමින් අයේෂා දිසානායක සහ උපාලි බණ්‌ඩාරත් රඟපානවා. වේශ නිරූපනය නිමල් රාජපක්‍ෂ, රංගාලෝක, වසන්ත කුමාර, වේදිකා පරිපාලනය රෝහණ හේවාවිතාරණ. මේ නාට්‍යට සංගීතය යොදා ගත්තේ නැහැ. විවිධ රූපවාහිනි වැඩසටහන් සහ "බ්රේකින් නිව්ස්‌වල" පසුබිම් සංගීතය තමයි යොදා ගත්තේ.

අජිත් අලහකෝන්
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.