ඡන්දය බියගන්වන උණ්‌ඩය!

මැතිවරණය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම හා බලය විදහා දක්‌වන ප්‍රබල ප්‍රකාශනයක්‌ වුවද ඒ මතය ඇත්ත ඇසුරින් උපන් බොරුවක්‌ දැයි කෙනෙකුට හැඟී ගියහොත් අපි පුදුම නොවන්නෙමු. ශ්‍රී ලංකාවේ පැවැත්වුණු බොහෝ මැතිවරණවලින් අපට ඒ සඳහා ඕනෑවටත් වඩා සාක්‍ෂි සොයාගත හැකි බව ද නිසැකය. එහෙත් අපි එයට සාක්‍ෂි පෙළගැස්‌වීමට සූදානම් නොවෙමු. ඒ සඳහා අලුත්ම සාක්‍ෂියක්‌ ඉදිරිපත් කරමින් මේ තීරුව ආරම්භ කරමු.

ලබන මාර්තු 17 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන මැතිවරණය හෙවත් පුංචි ඡන්දයේ සමාරම්භයම රටට අසුබ සංඥාවක්‌ නිකුත් කර තිබේ. ඒ ඉකුත් 26 වැනිදා කහවත්ත අන්දානවත්ත ප්‍රදේශයේදී ඇති වූ ගැටුමක්‌ නිසා ස්‌වාධීන අපේක්‍ෂකයකු වෙඩි ප්‍රහාරයකට ලක්‌වීමේ සිද්ධියකි.

උණ්‌ඩය කාගේ වුවත් එය ඡන්දය නමැති ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයට එරෙහි අධම ප්‍රතිචාරයකි. කුමන වාතාවරණයක්‌ යටතේ වුවද එබඳු සාහසිකත්වයක්‌ කරා තල්ලු වීම නිවට හා බියගුලු ක්‍රියාවක්‌ බව ද අපි ඉඳුරා කියමු.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හැම දේශපාලන මුවකින්ම පිටවෙන රමණීය වාග් මාලාවන්ගෙන් ආකර්ෂණීය වී සිටින බොහෝ දෙනකුට ඒ දේශපාලන ආත්ම තුළ නිදන්ගතව තිබෙන මරණීය වියරුව හඳුනාගත නොහැක. ප්‍රජාතන්ත්‍රවාදයේ සළු පිළිවලින්ම වැසී තිබෙන ඒ බිහිසුණු නග්නභාවය මේ රටට කරන විනාශය අපි නොයෙක්‌ වර අවධාරණය කර ඇත්තෙමු.

අද වන විට මේ රටේ දේශපාලනය තුළ කැකෑරෙන්නේ වෛරය හා වෙනත් දූෂිත අපේක්‍ෂාවන් නොවේ දැයි හැඟෙන තරමටම දේශපාලනය බලය සඳහාම වූ කුළල්කා ගැනීමක්‌ බවට පත්ව තිබේ. අනුපාත ඡන්ද ක්‍රමයත් සමඟ සමාජගත වූ දුෂ්ට පිළිවෙත් කිසිවක්‌ මෙතෙක්‌ ශිෂ්ට කර ගැනීමට අපි අසමත්ව ද සිටිමු.

ජාතියක්‌ හා රටක්‌ වශයෙන් අප කෙබඳු පසුබෑමකට ලක්‌ව සිටින්නේද යන්න තවමත් අපේ දේශපාලන නායකයන් බැරෑරුම් ලෙස සිතා බලා නැත. ඔවුන්ගේ එකම අපේක්‍ෂාව බලයයි. ඒ බලය තමන් සතු කර ගැනීම සඳහා හැකි හැම විටකම රාජ්‍ය බලය හා මැර බලය භාවිත කිරීම අත්නොහරින තාක්‌ මේ විපතින් අපට මිදිය නොහැක.

මැතිවරණයකදී සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම් නතර කිරීමට පොලිසියට හෝ මැතිවරණ කොමසාරිස්‌වරයාට නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. මොන තරම් ආරක්‍ෂා විධිවිධාන යොදා තිබුණත් මේ රටේ ඕනෑම තැනක සංවිධානාත්මක මැර කල්ලි නිදහසේ හැසිරෙති. අංක තහඩු රහිත වාහන සැරිසරති. ඒ හැරුණු විට පක්‍ෂ කාර්යාල කඩා දැමීම්, සැරසිලිවලට හානිකිරීම් වැනි බොහෝ දේවල් ද සිදුවේ.

හැම මැතිවරණයක්‌ අවසන් වන විටම සිදු වී තිබෙන ප්‍රචණ්‌ඩ ක්‍රියා පිළිබඳව එළිදැක්‌වෙන වාර්තා කිසිවකුගේ අවධානයට මෙතෙක්‌ ලක්‌වී ඇති බවක්‌ ද නොපෙනේ. මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය යනු අපගේ දේශපාලන සංස්‌කෘතියට අදාළ දුෂ්ට ලකුණක්‌ ලෙසට අශිෂ්ට සම්මතයක්‌ ද ගොඩනැගී තිබේ. එනිසා නිලබල, මැරබල සමඟ ප්‍රජාතන්ත්‍රවාදය දුබලවීම ද අපට උපේක්‍ෂාවෙන් බැලීමට සිදු වී තිබේ. එහෙත් එය එසේ විය යුතුද?

මේ යථාර්ථය තුළ මෙම පළාත් පාලන මැතිවරණය පිළිබඳ අපට කිව හැක්‌කේ කුමක්‌ද? විශේෂයෙන්ම දැනටමත් නාමයෝජනා පවා ප්‍රතික්‍ෂේපව සිටින පිරිස්‌ හෙට අනිද්දා වන විට කුමක්‌ කරත්ද? ඒ සියල්ල මේ රටේ ජන ජීවිතයට එල්ල කරන බලපෑම කුමක්‌ද?

මෙම පළාත් පාලන මැතිවරණය පවතින රජයට එරෙහිව නැගෙන ජනහඬ පිළිබිඹු කරන ප්‍රබල පිළිතුරක්‌ ලෙස රටට හා ලොවට විදහා දැක්‌වීම විපක්‍ෂවල අපේක්‍ෂාව වී තිබේ. එහෙත් නිල-බල සහිත ආණ්‌ඩුවක්‌ තමන්ද තරග වැදී සිටින සටනකදී ඒ සටන කෙලෙස මෙහෙයවනු ඇද්ද යන්න පිළිබඳව අපට නිශ්චිතව යමක්‌ කිව නොහැක. නිශ්චිතවම කිව හැක්‌කේ මෙම පුංචි ඡන්දය ද ආණ්‌ඩුවට මඟහැර හෝ අත්හැර දැමිය නොහැකි සටනක්‌ බවය.

ආණ්‌ඩුවේ නිල බල ප්‍රසිද්ධියේ ඒ සඳහා භාවිත නොවුවද ඒවා වෙනත් ප්‍රාදේශීය දේශපාලන චරිත හා අනුගාමික කොටස්‌වලට හොඳ ආවරණයක්‌ වනු නිසැකය. එහෙයින් රජය ඒ පිළිබඳ දැඩිව අවධානය යොමුකළ යුතු බව අපට යෝජනා කළ හැකිය.

ඡන්ද සටනකදී කාගෙත් අරමුණ කෙක්‌කෙන් හෝ කොක්‌කෙන් බලය ලබාගැනීම බව ද අපි දනිමු. අනතුරුව ඒ බලය උඩ දමා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රලාප දෙඩවීම හැර රටට හෝ ජනතාවට මෙතෙක්‌ බොහෝ ඡන්දවලින් උදා වූ යහපත කුමක්‌ද? එහෙත් ඒ යථාර්ථය වෙනස්‌ විය යුතු බව අපි අවසන් වශයෙන් ද පෙන්වා දෙන්නෙමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.