ජයලත් දකුණු ඉන්දියාවේ සංචාරයක

එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්‌සත් ජාතික පක්‍ෂ සහන සහ මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් දොස්‌තර ජයලත් ජයවර්ධන මහතා සතියක දකුණු ඉන්දියාවේ සංචාරයක්‌ සඳහා 30-01-2011 ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස්‌ ඇත.

මෙම සංචාරයේදී දැනට දකුණු ඉන්දියාවේ සරණාගතයන් ලෙස සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාවගේ සුව දුක්‌ සහ වර්තමාන තත්ත්වය විමසීමටත් ඔවුන්ගේ සුබසාධක කටයුතු සිදුකරන තමිල්නාඩු ප්‍රාන්ත බලධාරීන් හා ස්‌වෙච්ඡා සංවිධාන ප්‍රධානීන් හමුවීමටත් ක්‍රියා කරන අතර මෙම ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගතයන් පිළිබඳ වාර්තාවක්‌ සිය සංචාරයෙන් පසු එක්‌සත් ජාතික පක්‍ෂයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තවද යුද්ධය නිම වීමත් සමග ශ්‍රී ලංකාවේ සිය ගම් බිම් වලට පැමිණීමට සිය කැමැත්තක්‌ දක්‌වන මෙම ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගතයන්ට විපක්‍ෂය වෙනුවෙන් අවශ්‍ය සහාය සහ අනුග්‍රහය ලබාදීමේ වැඩපිළිවෙළක්‌ද සකස්‌ කිරීම ඔහුගේ මෙම සංචාරයේ තවත් අරමුණක්‌ වේ.

දැනට ඉතා සාර්ථකව දකුණු ඉන්දියාවේ ක්‍රියාවට නංවා ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ දොස්‌තර ජයලත් ජයවර්ධන විසින් මෙම සංචාරයේදී දීර්ඝ අධ්‍යයනයක්‌ කිරීමට අපේක්‍ෂා කරයි. ලෝකයේ වැඩිම කාලසීමාවක්‌ විකාශය වන රූපවාහිනී සෞඛ්‍ය වෛද්‍ය විද්‍යාත්මක වැඩසටහන මෙහෙයවීම වෙනුවෙන් තමන්ට හිමිවූ ලෝක ගිනස්‌ වාර්තාව පිළිබඳ දකුණු ඉන්දියාවේ විශ්වවිද්‍යාල බලධාරීන් සහ වෛද්‍ය විශේෂඥයන් දැනුවත් කිරීමටද මෙම සංචාරය උපයෝගී කරගන්නා බව දොස්‌තර ජයලත් ජයවර්ධන සඳහන් කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.