දැක්‌ම
රජරට වකුගඩු රෝගය හා බටහිර බංකොළොත් දැනුම

රජරට වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාවෙහි බෙහෙත් නැත. බෙහෙත් තබා රෝග කාරකය කුමක්‌ දැයි කියාවත් බටහිර වෛද්‍ය විද්‍යාවට දැනගත නොහැකිය. බටහිර වෛද්‍යවරු ඒ රෝගය සඳහන් කිරීමේ දී නාඳුනන කාරකවිද්‍යාව යන වචන ද එකතු කිරීමට අමතක නො කරති. බටහිර වෛද්‍ය විද්‍යාවට තාක්‍ෂණික මෙවලම් එකතු කිරීම හැරෙන්නට අද කළ හැකි වෙනත් දෙයක්‌ නැත. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ අනෙක්‌ ක්‍ෂෙත්‍රවල මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවෙහි ද අද කෙරෙන්නේ කළමනාකරණයකි. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය අප සිතුවාට වඩා වේගයෙන් කඩා වැටෙයි. වර්තමානයේ විශ්වය ත්වරණයක්‌ සහිතව ප්‍රසාරණය වන්නේ යෑයි බටහිර තාරකා විද්‍යාඥයෝ පවසති. එය නිරීක්‍ෂණයක්‌ පමණකි. ඒ බව නිරීක්‍ෂණය කර දැනට අවුරුදු පහළොවක්‌ පමණ වන නමුදු බටහිර තාරකා භෞතික විද්‍යාඥයන්ට ඒ එසේ සිදුවන්නේ කෙසේ දැයි තේරුම් කර දිය නොහැකිය. අප බටහිර විද්‍යාව කඩාවැටෙන්නේ යෑයි කියන්නේ ඒ නිසා නොවේ. පසුගිය අවුරුදු හැත්තෑපහක පමණ කාලයක බටහිර විද්‍යාව ඉදිරිපත් කර ඇති එකම ප්‍රධාන වාදය ද්විත්ව හෙලික්‌සය වෙයි. ඒ සමග බටහිර සෛද්ධාන්තික ජෛවීය විද්‍යාවක්‌ ඇති වූ නමුත් බටහිර ඉහළම තරුණ බුද්ධිමතුන් ඉන්පසු ජෛවීය විද්‍යාවන් කරා ඇදුණු නමුත් සෛද්ධාන්තික ජෛවීය විද්‍යාවෙහි වර්ධනයක්‌ නොවීය. අද එහි ඇත්තේ තාක්‍ෂණික වැඩ පෙන්වීම් (සංදර්ශන) පමණකි. අප බටහිර සෛද්ධාන්තික ජෛවීය විද්‍යාවට දුර ගමනක්‌ නැති බව දැන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි ඉගැන්වූ සමයෙහිය. ඒ බව දිනක්‌ මම එහිදී මගේ පැරැණි පේරාදෙණි ශිෂ්‍යයකුට හා තවත් අයෙකුට කීවෙමි. අද ඒ ශිෂ්‍යයා පේරාදෙණියේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන අතර එහි සිටි අනෙක්‌ තැනැත්තා උතුරු අයර්ලන්තයේ විශ්වවිද්‍යාලයක රසායන විද්‍යා මහාචාර්යවරයෙකි.

බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය කඩා වැටෙන බව අප දන්නේ අවුරුදු විසිපහක පමණ කාලයක තිස්‌සේය. එහෙත් ඒ සඳහා තව අවුරුදු සියයකට වඩා ගතවේ යෑයි අපි එකල සිතා සිටියෙමු. එසේ වුවත් දැන් එයට වැඩි කලක්‌ නැති බව අපට පෙනී යයි. බොහෝ විට මගේ ජීවිත කාලය ගෙවී යැමට පෙර බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ ජීවිත කාලය ගෙවී යනු ඇතැයි සිතිය හැකිය. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය නැතිවීමත් සමග මාක්‌ස්‌වාදීන් කියන ධනේශ්වර ක්‍රමය ද නැති වී යනු ඇත. එහෙත් මාක්‌ස්‌වාදීන්ට අවශ්‍ය ධනේශ්වර ක්‍රමය වෙනුවට ඊනියා කම්කරු පංති ආඥදායකත්වයක්‌ ඇති කර බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය ඉදිරියට ගෙන යැමය. අපට එවැන්නක්‌ අවශ්‍ය නොවේ. අපේ අවශ්‍යතාව ධනේශ්වර ක්‍රමය මෙන්ම බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය ද විනාශ වනු දැකීමය. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය තරම් ප්‍රජාතන්ත්‍රවාදය, මානවහිතවාදය ආදී බොරු වචන යොදා ගනිමින් මුළු ලොවම පීඩාවට පත්කළ තවත් ක්‍රමයක්‌ නැත.

බටහිර විද්‍යාවේ සළු පිළි එකිනෙක ගැලවෙමින් පවතියි. මේ සම්බන්ධයෙන් හොඳම සාක්‍ෂිය පසුගිය අවුරුදු හැත්තෑපහක පමණ කාලයක බටහිර විද්‍යාවේ හරිහමන් සංකල්ප එකකට වඩා බිහි නොවීමය. බටහිර තාක්‍ෂණයද ඉදිරියට නො යයි. අද එහි කෙරෙන්නේ ඔප මට්‌ටම් කිරීම් කටයුතු මිස මූලික දෑ නොවේ. අද බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට ප්‍රශ්න විසඳීමට නොහැකිය. එයට කළ හැක්‌කේ ප්‍රශ්න කළමනාකරණය පමණකි. වත්මන් සමාජයේ කළමනාකරණයට ඉතා වැදගත් තැනක්‌ ලැබී ඇත්තේත් ලංකාවේද විශ්වවිද්‍යාලවල කළමනාකරණ පීඨවල අධිවේගී වර්ධනයක්‌ දක්‌නට ඇත්තේත් එබැවිනි. අද මෙරට ඇති බටහිර ඉංජිනේරු පීඨවලද කළමනාකරණය ගැන දැඩි අවධානයක්‌ දැක්‌වෙන අතර වෛද්‍ය කළමනාකරුවන්ගේ අවශ්‍යතාවක්‌ පැන නැඟෙනමින් පවතියි. මුළුමහත් ලෝකය ම අද ව්‍යාජත්වය වැළඳ ගෙන ඇත. ගල් පිළිම වෙනුවට බොල් පිළිම මතුවී ඇත. එයට හොඳම උදාහරණය බටහිර භෞතික විද්‍යාවේ ශ්‍රේෂ්ඨයකු ලෙස පුම්බනු ලැබ ඇති ස්‌ටීවන් හෝකින් ය. මේ සියල්ල පඬියන්ගේ වචනවලින් කියන්නේ නම් පශ්චාද් යුද තත්ත්වයකි. එහෙත් එය ලංකාවේ කෙරුණු ඊනියා යුද්ධයක්‌ නොවේ. එය ඊනියා දෙවැනි ලෝක යුද්ධය වෙයි. ඇමරිකාව බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ නායකත්වයට පත්වූයේ ඊනියා දෙවැනි ලෝක යුද්ධයට පසුවය. ඇමරිකානු විශ්වවිද්‍යාලවල කළමනාකරණ පීඨවලට වැදගත්කමක්‌ ලැබුණේ ද ඇමරිකානු නායකත්වය යටතේය. ඉතා කෙටියෙන් වුවත් ඊනියා (පළමු හා) දෙවැනි ලෝක යුද්ධ ගැන විග්‍රහයක්‌ කළ යුත්තේ බටහිරයන් ඒ පිළිබඳ කරන කියන දෑට අමතරව තවත් කතන්දර ද ඇති බැවිනි. (සෑම ඊනියා විද්‍යා ප්‍රවාදයක්‌ම කතන්දරයකි. වැඩි විස්‌තර සඳහා විද්‍යා කතන්දර පොත කියවන්න) බටහිර ඇතැමුන් ඊනියා පශ්චාද් නූතනත්වය ලෙස නම් කරන්නේ ඇමරිකානු නායකත්වය යටතේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය මිස අලුත් තත්ත්වයක්‌ නොවේ. ඊනියා (පළමු හා) දෙවැනි ලෝක යුද්ධ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය ඉදිරියට ගෙනයන්නේ කෙසේද යන්න තීරණය කිරීමට කරන ලද යුද්ධ ය. ඒ ලෝක යුද්ධ වූයේ අප වැනි රටවල් එයට සහභාගි වූ නිසා නොවේ. ලෝකය පාලනය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ දැඩි තීරණයක්‌ ගැනීමේ අවශ්‍යතාව එකල බටහිරයන්ට හා බටහිරට අනුව සකස්‌ වූ ජපානයට අවශ්‍ය විය. එංගලන්තයට තවදුරටත් ලෝක බලවතා ලෙස කටයුතු කිරීමේ නොහැකියාව ඒ වන විට පැහැදිලි විය. එපමණක්‌ නොව බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයට ද ප්‍රශ්න පිට ප්‍රශ්න විය. බටහිරට එහිදී ගතහැකි මාර්ග තුනක්‌ විය. එකක්‌ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයම කළමනාකරණය කිරීම විය. අනෙක්‌ දෙක පදනම් වූයේ නැවතත් කතෝලික චින්තනය වෙත යැම මතය. ෆැසිස්‌ට්‌වාදය හා මාක්‌ස්‌වාදී සමාජවාදය කතෝලික චින්තනයේ ප්‍රතිඵල විය. ෆැසිස්‌ට්‌වාදයට ඉදිරි දර්ශනයක්‌ නොවීය. දේශපාලන ආධිපත්‍යය තරකරගැනීම එහි ප්‍රධාන කටයුත්ත විය. ඒ අතර බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ ඇතැම් ව්‍යqහ කඩා බිඳ දැමීම ද ෆැසිස්‌ට්‌වාදයේ අවශ්‍යතාවක්‌ විය. ජර්මනිය, ඉතාලිය හා බටහිර ක්‍රමයට සකස්‌ වීමට වලිකෑ ජපාන දෙවැනි යුද්ධයෙහි දී එක්‌ හවුලක්‌ විය. ජර්මනිය හා ඉතාලිය මූලික වශයෙන් කතෝලික රටවල් බව අමතක නොකළ යුතුය. ජපානය ආසියාවෙන් කැඩී වෙන්වීමට උනන්දුවක්‌ දැක්‌වූ රජවරුන්ගේ නායකත්වයෙන් ෆැසිස්‌ට්‌වාදය කරා ඇදී ගියේය. සෝවියට්‌ රුසියාවට බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය අවශ්‍ය වූ නමුත් එය ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය ප්‍රතික්‍ෂේප කෙළේය. එය පරස්‌පරයක්‌ බව මාක්‌ස්‌වාදී අපෝහකවාදීන්ට තේරුම්ගැනීමට නොහැකි වූයේ ඔවුන්ගේ අපෝහකය ම බංකොළොත් රූපිකය ම මිස වෙනත් න්‍යායක්‌ නොවූ නිසාය. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය ප්‍රතික්‍ෂේප නොකළ ස්‌ටැලින්, චර්චිල් හා රූස්‌වෙල්ට්‌ සමග එකතු විය. ජපානය, චින්තනයක්‌ මිස පැහැදිලි දර්ශනයක්‌ නොතිබූ ජර්මනිය හා ඉතාලිය සමග එකතු විය. යුද්ධය කෙළවර වූයේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය කළමනාකරණය දෙසට යොමු කරමින් ගැඹුරක්‌ හෝ ඉතිහාසයක්‌ හෝ නැති ඇමරිකාවට ලෝක ආධිපත්‍යය හිමි කරමිනි. සෝවියට්‌ රුසියාව තාවකාලිකව වූ නැගෙනහිර යුරෝපීය රටවල් තම ආධිපත්‍යය යටතට ගත්ත ද ඒ දරාගැනීමේ ශක්‌තියක්‌ එයට නොවීය. ඊනියා අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධතා නිසා බිඳී ගිය සමාජ ක්‍රමයක්‌ වේ නම් ඒ මාක්‌ස්‌වාදී සමාජවාදය ම මිස අනෙකක්‌ නොවේ. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය රැක ගැනීමට අනෙක්‌ සංස්‌කෘතීන්, චින්තන ජීවන රටා විනාශ කිරීම බටහිරයන්ගේ ප්‍රතිපත්තිය වෙයි. ඇමරිකානු නායකත්වය යටතේ ඒ නග්නව ම කෙරෙයි. බටහිර කෘෂි රසායනික ද්‍රව්‍ය හා කාර්මික ද්‍රව්‍ය වෙළෙන්දෝ අපේ ගොවියන්ගේ ජීවන රටාව වෙනස්‌ කිරීමට ඔවුන් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ වියගහට බැඳීමට හැටේ දශකයේ සිට ක්‍රියා කළහ. ඊනියා ලෝක බැංකුව හා එක්‌සත් ජාතීන්ගේ විවිධ සංවිධාන අප රටවල් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය යටතේ කළමනාකරණයට ලක්‌කිරීමට ක්‍රියාත්මක වන ආයතන වෙයි. හැටේ දශකයේ පමණ මේ සංවිධානවල නියෝජිතයකු ලෙස පැමිණි මුමා නමැත්තෙක්‌ කුඹුරෙන් මීහරක්‌ ඉවත්කර ට්‍රැක්‌ටර් යෙදවීමට යෝජනා කෙළේය. අසූව දශකය පමණ වන විට කෘෂි රසායනික පොහොර අපේ ගොවීන්ට හඳුන්වා දෙනු ලැබිණි. ගොවීන්ට ඒ නොමිළයේ බෙදා දුන්නේ එයට වසර සියයකට පමණ පෙර සුද්දන් අපට අරක්‌කු හා දුම් වැටි නොමිලයේ බෙදා දී අප අසරණ ජනතාව නැති කිරීමට කටයුතු කළ ආකාරය සිහිගන්වමිනි. පොහොර පසුපස වල්නාශක හා කෘමිනාශකද ඇදී ආවේය. බටහිරයන්ගේ කෘෂි රසායන ද්‍රව්‍ය සමග මිශ්‍ර කෙරී ඇති ආසනික්‌ හා රසදිය අද අපේ පොළොවට එක්‌ වී ඇත. රජරට ජනතාවගේ වකුගඩු රෝගය මේ ආසනික්‌ හා රසදිය කිවුල සහිත රජරට ජලයට එක්‌වීම නිසා ඇතිවන්නක්‌ බව ඒ පිළිබඳ අධ්‍යයනයක යෙදෙන කැලණිය විශ්වවිද්‍යාලයේ මගේ මූලිකත්වයෙන් ඇති කණ්‌ඩායම තේරුම් ගෙන ඇත. කණ්‌ඩායමට ඒ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුද බටහිර වෛද්‍යවරු ද අයත් වෙති.

සුපුරුදු පරිදි මේ කණ්‌ඩායමට ද විරුද්ධවාදීන් වෙතත් ඔවුන්ට කළ හැකි ඉටිගෙඩියක්‌ නැත. බටහිර වෛද්‍ය විද්‍යාවට වකුගඩු රෝගයේ කාරක තේරුම් ගත නොහැකි වුවත් අපට රෝගය සඳහා ප්‍රතිකාර ද ඇත. දැනටමත් ඒ ප්‍රතිකාර හේතුකොටගෙන පදවි ශ්‍රී පුර රෝහලේ රෝගීන් කිහිප දෙනෙකු සුවය ලබා ඇත. අපේ ප්‍රතිකාර සුද්දන් අපේ වෙදකම විනාශ කිරීමට පෙර පැවති සිංහල නිල වෙදකම මත පදනම් වෙයි. සිංහල වෙදකම ශරීරයට කරන වෙදකමක්‌ පමණක්‌ නොවේ. එහි ආධ්‍යාත්මික පැත්තක්‌ද ඇත. වෛද්‍යවරු අඩුම තරමින් පන්සිල් රැකිය යුතු අතර අපි රෝගීන් සඳා රෝහලේ පරිත්‍රාණ දේශනා ද සංවිධානය කරමු. ප්‍රතිකාර හා රෝග විනිශ්චය ද අර ටෙස්‌ට්‌ මේ ටෙස්‌ට්‌ මගින් නොව ආධ්‍යාත්මික ව කරන්නෙමු. බොරුපන ප්‍රවාදය අනුව බෙහෙත් ඒ ප්‍රදේශයෙන්ම ලබා ගනිමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.