පිළිවෙතින් පෙළ ගැසීමට මිත්‍යා දෘෂ්ටීන් ඈඳා ගැනීම

එළැඹ ඇත්තේ සමස්‌ත ලෝකවාසී බෞද්ධයන්ට වැදගත් වසරකි. ඒ මේ වසරේ මැයි මාසයේ දාහත්වැනිදා එනම් වෙසක්‌ පුන් පොහෝ දිනට යෙදෙන 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිසාය. මෙවර වෙසක්‌ පුන් පොහෝ සඳින් මුළු ලොව එකළුවන්නේ සිදුහත් බෝසතාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත්වී වසර 2600 සැමරීම සනිටුහන් කරමිනි. එම අසිරිමත් සඳේ ආලෝකයේ සිරිය වඩාත් දැනෙනුයේ සිංහල බෞද්ධ අපටය. ඒ වසර 2300 කට අධික කාලයක්‌ තිස්‌සේ පිරිසිදු ථෙරවාදී බුදුදහම ලොවට බෙදාහළ බෞද්ධ මධ්‍යස්‌ථානය ලෙසින් මේ පුංචි දිවයින ලෝකයෙන් පිදුම් ලබන හෙයිනි. මේ සදහම් දිවයිනට අතිශයින් වැදගත් වන්නාවූ අසිරිමත් දිනය සැමරීමට පිළිවෙතින් පෙළගැසෙන සමයක එය කඩාකප්පල් කිරීමේ විවිධ බලවේග ක්‍රියාත්මක බව දැන් පැහැදිලි වෙමින් තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය මගින් ඉදිරිපත් කර ඇති "2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු" නමැති ග්‍රන්ථයේ දීපව්‍යාප්ත ජාත්‍යන්තර වැඩසටහනද සම්බුද්ධත්ව ජයන්ති අසිරිය බොඳ කිරීමේ වෑයමකි.

මෙම ග්‍රන්ථය තුළින් ක්‍රියාත්මක කිරීමට කරන ඇතැම් යෝජනා පිළිබඳව අවධානය යොමුකිරීමේදී එය අන්‍යාගමිකයන්ගේ උපදෙස්‌ පරිදි සැකසූවක්‌ද යන සැකය නැගේ. මෙම ග්‍රන්ථයේ 33 පිටුවේ සඳහන් වන අන්‍යාගමික කමිටු පිහිටුවීම යන පරිච්ඡේදය යටතේ හින්දු, ඉස්‌ලාම්, කතෝලික ආගමික දිස්‌ත්‍රික්‌ කමිටු පිහිටුවීමට නිර්දේශ කර ඇත්තේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු යන විශේෂ ශීර්ෂ පාඨය යථාර්ථවාදී කිරීමට බව දක්‌වමිනි. මෙය කිනම් විහිළුවක්‌ද? බෞද්ධයන්ට අතිශයින්ම වැදගත්වූ දිනයක්‌ සැමරීමට අන්‍යාගමික කමිටුවලින් ඉටුවන මෙහෙවර කුමක්‌ද? මෙය අන් කිසිවක්‌ නොව සර්වාගමික සමුළු ඔස්‌සේ අන්‍යාගමිකයන් තම ආගම ප්‍රචාරය කර ගැනීමේ කූඨ උපක්‍රමයේ තවත් එක්‌ ඉදිරි පියවරකි. එකී අන්‍යාගමිකයන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයත්, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයත් මෙම ග්‍රන්ථය මගින් නිර්දේශ ඉදිරිපත් කිරීම කණගාටුදායකය.

"ශ්‍රී ලාංකික මහජනතාව තුළ සෑම ආගමක්‌ම කෙරෙහිම ආගමික ප්‍රබෝධයක්‌ ඇති කිරීම පිළිබඳව සැලකිලිමත්වීම මෙම වකවානුවේ ඇති වැදගත් කාර්යභාරයක්‌ ලෙස හඳුන්වාදිය හැකිය. මෙම කාර්යභාරය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී අභියෝගාත්මක වැඩපිළිවෙළක්‌ විය හැකි ලෙසද හඳුනාගත යුතු වේ. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු යන විශේෂ ශීර්ෂ පාඨය යථාර්ථවාදී කරමින් අන්‍යාගම් වන හින්දු, ඉස්‌ලාම්, කතෝලික/ක්‍රිස්‌තියානි ආගම් සඳහා දිස්‌ත්‍රික්‌ කමිටු පිහිටුවනු ලැබේ". අන්‍යාගමික කමිටු පිහිටුවීම සාධාරණීකරණයට ග්‍රන්ථයෙන් එලෙස කරුණු දක්‌වා ඇත. බෞද්ධ ආගමික උත්සවයක්‌ නිමිති කර ගනිමින් අනෙකුත් ආගම් පිළිබඳව ප්‍රබෝධයක්‌ කිරීම නොව සිදුවිය යුත්තේ සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳ බෞද්ධයන් ප්‍රබෝධමත් කිරීමය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමය. එසේ නොමැතිව ඉහත ආකාරයෙන් අන්‍යාගමික දිස්‌ත්‍රික්‌ කමිටු හරහා සම්බුද්ධත්ව ජයන්තියට සිදුවන සෙතක්‌ නම් නොමැත. එමගින් සිදුවනුයේ බෞද්ධයන්ගේ මේ අසිරිමත් උළෙල අන්‍යාගමික උපක්‍රමයන් හමුවේ දියවී යැම පමණකි. අදාළ දිස්‌ත්‍රික්‌කයේ ලේකම්වරයා (දිසාපති) මෙම අන්‍යාගමික කමිටුවල කැඳවුම් කරු ලෙස කටයුතු කරන අතර ඒ සඳහා එක්‌ එක්‌ ආගමේ පූජකවරු, දිස්‌ත්‍රික්‌ ලේකම් සහ දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන්, දිස්‌ත්‍රික්‌කයේ අදාළ ආගම නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරු, එකී ආගම් නියෝජනය කරන පළාත් සභාවේ මැති ඇමැතිවරුන්, පළාත් සභාවේ ලේකම් ඇතුළු පළාත් සභාවට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන්, පොලිස්‌ අධිකාරී, අධ්‍යාපන අධ්‍යක්‍ෂ, සංස්‌කෘතික නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර, ගොවිජන සේවා නිලධාරී, සමාජසේවා අධ්‍යක්‍ෂ ආදීන්ගෙන් සමන්විත වේ.

මෙකී සංයුතිය දෙස බැලීමේදී පැහැදිලි වනුයේ සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් අන්‍යාගම් ප්‍රචාරය සඳහා රාජ්‍ය අංශයේ සෘජු මැදිහත්වීම ලබාදීමට කටයුතු කර ඇති බවයි. එය පනින රිළවුන්ට ඉනි මං බැඳීමක්‌ වැනිය. ඒ මෙරට ක්‍රියාත්මක ඇතැම් මූලධර්මවාදී අන්‍යාගමික කල්ලිවලට මෙය කාලෙකින් ලැබුණ හොඳ අවස්‌ථාවක්‌ බැවිනි. එකී මූලධර්මවාදී කණ්‌ඩායම් සදාචාර විරෝධී ආකාරයෙන් ආගම් ප්‍රචාරයේ යෙදී සිටින බව කාටත් නොරහසකි. මෙවැනි කමිටු ඔවුන්ගේ සදාචාර විරෝධී ක්‍රියාවන් රිසි සේ සිදුකර ගැනීමට උඩගෙඩි දීමකි. එනිසා වර්තමානයේ බෞද්ධයාට සිදුවෙමින් තිබෙන අසාධාරණකම් පිළිබඳ කිසිදු අවබෝධයක්‌ නොමැතිව හෝ අවබෝධයක්‌ ඇතත් ඒ පිළිබඳ කිසිදු තැකීමක්‌ නොකර මෙකී අන්‍යාගමික කමිටු පිහිටුවීමේ නිර්දේශය ඉදිරිපත් කිරීම ඉතා බරපතල තත්ත්වයකි.

එමෙන්ම මෙහි වඩා ෙ€දනීය කරුණු කිහිපයක්‌ද වේ. එනම් -නාගරික සංවර්ධන අධිකාරිය, අග්‍රාමාත්‍ය කාර්යාලය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය එකතුව වවුනියාවේ බෞද්ධ, හින්දු, ස්‌ලාම්, ක්‍රිස්‌තියානි/කතෝලික පූජනීය ස්‌ථාන සඳහා ඉඩම් සහ ප්‍රමාණ තෝරා ගැනීම - ආගමික මධ්‍යස්‌ථාන සඳහා රූගත සැලසුම් සකස්‌ කිරීම - ඉහත කරුණු සඳහා ඇස්‌තමේන්තුවක්‌ සකස්‌ කිරීම, භාණ්‌ඩාගාරයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම - ජනාධිපතිතුමාගේ සුරතින් ඉහත ස්‌ථාන උත්සවාකාරයෙන් ආරම්භ කිරීම, ඉහත කටයුතු අවසන් කරන දින නියම කර ගැනීම - ඉහත සඳහන් කළ ආගමික මධ්‍යස්‌ථාන ජාත්‍යන්තර බෞද්ධ, හින්දු, ඉස්‌ලාම්, ක්‍රිස්‌තියානි/කතෝලික නායකත්ව සහ ජනතාව සමග උත්සවාකාරයෙන් ජනාධිපතිතුමා සහ ජනාධිපති ආර්යාව විසින් විවෘත කිරීම යන කරුණු සඳහා අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබාගෙන තිබීමයි.

සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට අන්‍යාගමික පූජනීය ස්‌ථාන සඳහා වවුනියාවේ ඉඩම් වෙන් කිරීමට යෝජනා කරද්දී නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්‌ථාන මුස්‌ලිම් අන්තවාදයෙන් රැක ගැනීමට කිසිදු වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කර නැත. වවුනියාවේ හෝ නැගෙනහිර පළාත තුළ බෞද්ධ පුදබිම් සඳහා අමුතුවෙන් බිම් කොටස්‌ වෙන් කළ යුතු නැත. සිදුකළ යුත්තේ විවිධ අන්තවාදී කල්ලි අල්ලාගෙන සිටින බෞද්ධ පුදබිම් සංවර්ධනය කර සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ඒවා වැඳ පුදා ගැනීමට බෞද්ධයන්ට අවස්‌ථාව සලසාදීමය. නැතිනම් මෙකී යෝජනාවෙන් සිදුවනුයේ අතීත බෞද්ධ උරුමයන් රැඳී භූමි තුළ රාජ්‍ය අනුග්‍රහය යටතේ අන්‍යාගමික පුදබිම් ඉදිවීම පමණි.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා බුද්ධශාසන කාර්ය සාධක මණ්‌ඩලය විසිවැදෑරුම් වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කර ඇත. ෙත්‍රෙනිකායික මහනාහිමිවරුන්ගේ උපදෙස්‌ පරිදි නිකාය තුනම නියෝජනය වන පරිදි විද්වත් නාහිමිවරුන් 12 නමක්‌ගෙන්ද, මෙරට බෞද්ධ සංවිධානවල නායකත්වය දරන විද්වතුන් 14 දෙනකුගෙන්ද මෙම මණ්‌ඩලය සමන්විත වේ. එකී බුද්ධශාසන කාර්ය සාධක මණ්‌ඩලය මගින් සම්පාදිත "2600 සම්බුද්ධත්ව ජයන්ති සැමරුම සඳහා වූ විසි වැදෑරුම් සැලැස්‌ම" ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේද අනුමැතිය ලැබිණි. එම සැලැස්‌ම නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කාර්යාලයක්‌ද පිහිටුවනු ලැබීය. එම මෙහෙයුම් කාර්යාලය මගින් ඉහත කී විසි වැදෑරුම් වැඩ සැලැස්‌ම භාෂා තුනෙන්ම මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලද්දේ 2009 වසරේ ජනවාරි මාසයේදීය. බුද්ධශාසන කාර්ය සාධක මණ්‌ඩලය චෝදනා කරනුයේ ඊට පටහැනි ලෙසින් ඉහත සඳහන් කළ දීපව්‍යාප්ත ජාත්‍යන්තර වැඩසටහන අග්‍රාමාත්‍ය කාර්යාලයත්, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයත් ඉදිරිපත් කර ඇති බවයි.

එමෙන්ම එම ග්‍රන්ථයේ බුද්ධශාසන කාර්ය සාධක මණ්‌ඩලය ඉදිරිපත් කර ඇති විසිවැදෑරුම් වැඩපිළිවෙළහි සැලසුම් හා යෝජනාත්, මහනාහිමිවරුන්ගේ ප්‍රකාශත්, ජනාධිපතිතුමාගේ ප්‍රකාශයත් එහි ඇතැම් තැන්වල ඇති උද්ධෘතයනුත් උපුටා ගැනීම පිළිබඳ කිසිදු සඳහනක්‌ නොකර ඇතුළත් කර ඇත.
මේ අනුව පැහැදිලි වනුයේ අග්‍රාමාත්‍ය කාර්යාලයත්, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයත් තවත් සදාචාර සම්පන්න නොවන ක්‍රියාවන්ද සිදුකර ඇති බව පැහැදිලිය. එනම් බුද්ධශාසන කාර්ය සාධක මණ්‌ඩලය ඉදිරිපත් කළ විසිවැදෑරුම් වැඩපිළිවෙළ තමන්ගේ වැඩපිළිවෙළක්‌ ලෙස ඉදිරිපත් කිරීමයි. අග්‍රමාත්‍ය කාර්යාලයට හෝ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයට සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නව වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කිරීමට හැකියාව නැතිනම් ජනපති අනුමැතියි ලබාදී ඇති විසිවැදෑරූම් වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදෙනවා වෙනුවට මෙවැනි වංචාවන් සිදුකිරීම කිසිසේත් උචිත නොවේ.

මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇති දීපව්‍යාප්ත ජාත්‍යන්තර වැඩසටහනද සර්වාගමික සංකල්පයක සිට ඉදිරිපත් කර ඇති බව පැහැදිලිය. දියුණු ලොව තුළ දේවවාදී ආගම්වලට හිමිව තිබූ තැන අහිමිව යද්දී එකී ආගමික පූජකවරුන් සර්වාගමික සමුළු හරහා තම ආගම් ප්‍රචාරය කිරීමේ කූඨ වැඩපිළිවෙළක නිරතව සිටී. අපේ ඇතැම් භික්‌ෂුන් වහන්සේද මෙම කූඨ උපක්‍රමයට හසුව ඇත. බුදුදහම යනු දේවවාදය ප්‍රතික්‌ෂේප කරන දහමකි. එවැනි දහමක පූජ්‍ය පක්‌ෂය අනෙකුත් දේවවාදී ආගම්වල පූජකවරු සමග ආගමික සමුළුවලට සහභාගිවීම කෙසේ නම් පෑහෙන්නේද?

සිදුවෙමින් පවතිනුයේ 2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් සැරසෙනවා වෙනුවට පිළිවෙලින් පහරදීමකි. බුදුදහමට ප්‍රමුඛත්වය දීමටත්, එය සුරැකීමටත් ව්‍යවස්‌ථාවෙන් බැඳී තිබෙද්දී අගමැතිවරයා පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණේ කිසිදු ආගමකට විශේෂයක්‌ නොදක්‌වන බවකි. එය රාජ්‍ය ප්‍රතිපත්තියට පටහැනි ප්‍රකාශයකි. මෙරට අන්‍යාගමිකයන් බෞද්ධයන්ට වඩා නිදහසේ තම ආගමික නිදහස භුක්‌ති විඳිමින් සිටී. එහෙත් බුදුදහමට ප්‍රමුඛස්‌ථානය ලබාදීමට ව්‍යවස්‌ථාවෙන් බැඳී සිටින රාජ්‍යයක බෞද්ධයන්ට සිදුවන අකටයුතුකම් තවමත් නිමක්‌ නැත. එක්‌තැනක දුප්පත්කම දඩමීමා කරගනිමින් ක්‍රිස්‌තියානි මූලධර්මවාදය සදාචාර විරෝධී ආකාරයෙන් බෞද්ධයන් බිලිබා ගනිමින් සිටී. අනෙක්‌ පසින් මුස්‌ලිම් මූලධර්මවාදය නැගෙනහිර පළාතේ බෞද්ධ පුදබිම් කොල්ලකමින් සිටී. ඊට නොදෙවැනි ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයත්, බුද්ධ ශාසන අමාත්‍යංයත් සම්බුද්ධත්ව ජයන්තිය අන්‍යාගමිකයන්ට පාවාදීමට සූදානමේය.

2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට අපගේ සූදානම කෙතරම් ඉබි ගමනේදැයි වැටහෙනුයේ 2500 බුද්ධ ජයන්තිය සැමරුම පිළිබඳ අවධානය යොමු කිරීමේදීය. එකල 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් සැරසී ඇත්තේ 1944 වසරේÊසිටය. 1955 යෙදී තිබුණු මේ 2500 බුද්ධ ජයන්තියට වසර දහයක්‌ තිස්‌සේ සැලසුම් සකස්‌ කරමින් ඒවා ක්‍රියාවට නංවා ඇත. එමෙන්ම එම සැළසුම් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇත. 1944 වසරේ ලංකාවේ ජනගහනය 62,76,000 කි. පොලිස්‌ වාර්තා අනුව ඒ වසරේ අපරාධ සංඛ්‍යාව 34,623 කි. 1955 වන විට ජනගහනය 85,89,000 කි. ජනගහණය වර්ධනය වුවත් ඒ වසරෙහි අපරාධ සංඛ්‍යාව 18,163 දක්‌වා පහත බැස තිබිණි. 1944 මිනීමැරුම් සංඛ්‍යාව 617 කි. එය 1955 දී 466 දක්‌වා අඩුවී ඇත. 2500 බුද්ධ ජයන්තිය සැමරීමේ වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය එයින්ම පැහැදිලිය. එහෙත් 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මෙරට බෞද්ධ ජනසමාජය තවමත් අඩ නින්දකය. ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට ලබාදෙන ප්‍රචාරය හමුවේ සම්බුද්ධත්ව ජයන්තිය අමතකව ඇත. "2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු" යනුවෙන් බැනර්, බෝඩ් ප්‍රදර්ශනය වුවද ඒ සඳහා වූ ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ තවමත් ක්‍රියාත්මක වන වගක්‌ නම් නොපෙනේ. ඒ අසිරිමත් දින උදාවීමට ඇත්තේ තව දින එකසිය දාහතරක්‌ පමණි. එය සැමරීම සඳහා මෙරට සියලු බෞද්ධයන් අත්වැල් බැඳගත යුතු කාලය එළඹ ඇත. සම්බුද්ධත්ව ජයන්තිය සැමරිය යුත්තේ බෞද්ධයන්ට අවශ්‍ය පරිදි මිස අන්‍යාගමික බලවේගවල අරමුණු ඉටුකිරීම සඳහා නොවන බව සියලු දෙනා මතක තබාගත යුතුය. එම නිසා අග්‍රමාත්‍ය කාර්යාලය සහ ආගමික කටයුතු අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති මෙම වැඩපිළිවෙළ වහාම ඉල්ලා අස්‌කර ගත යුතුය. එමෙන්ම දැනට ඉදිරිපත්වී ඇති විසිවැදෑරුම් වැඩපිළිවෙළ සක්‍රීය කර එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීම වැදගත්ය. මෙරට බෞද්ධයන්ට සම්බුද්ධත්ව ජයන්ති වෙසක්‌ සඳේ අසිරිය සිත් සේ විඳ ගත හැකිවනුනේ එවිටය.


ලක්‌මාල් බෝගහවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.