පන්සිල් නිසැකවම බෞද්ධ උරුමයකි

බුදු සිරිත හා බුදුදහම විකෘති කිරීම පිළිබඳව දිවයින පුවත්පත පළ කළ ලිපියට පිළිතුරු ලෙස එච්. එම්. අබේසිංහ නමින් පළවූ ලිපිය ඉතා සදොස්‌ මෙන්ම බුදු දහම හෝ බුදු සිරිත පිළිබඳ තතු නොදත් එකක්‌ බව පළමුවෙන්ම කිව යුතුය. බුදු දහම කිසි විටෙක ආගම් වාදයේ උමතුව අනුමත කර නැත. බුද්ධ වචනය වූයේ නිදහස්‌ සිතින් විමසා බලා සත්‍යය පසක්‌ කර ගන්නා ලෙසය. "එහි පස්‌සිකො" යනුවෙන් බුදුන් වහන්සේ අපේක්‍ෂා කළ යහපත් දෙය අද ඇතැම් මුග්ධ භෞනිකවාදීහු බුදු දහමට ගැරහීමටද යොදා ගනිති.

අබේසිංහගේ පොත බෞද්ධ ආචාර ධර්ම දැඩි අභියෝගයකට ලක්‌ කරනු පමණක්‌ නොව සිංහල බෞද්ධ මනස තුළට විෂ බීජ ඇතුළු කරවන්නක්‌ බවද කිව යුතුය. අදහස්‌ පළ කිරීමේ නිදහස තිබුණු පළියට එබඳු අදහස්‌ පළ කිරීම උචිතද? ඊටත් වඩා ඛෙදවාචකය වන්නේ මෙම පොත මධ්‍යම පළාතේ සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කිරීමය. මෙම බෞද්ධ විරෝධී සදාචාර විරෝධී ග්‍රන්ථයට අනුබල දැක්‌වූ පිරිස්‌ මේ පොත කියවූවෝදැයි අපි නොදනිමු. මෙබඳු අධම කෘතිවලට සම්මාන දෙන්නේ කිසිදු වග විභාගයකින් නොවන බවද ඉතා පැහැදිලිය.

බෞද්ධ දර්ශනය පිළිබඳව විග්‍රහ කරන න්‍යායෙන් පොදු ජනතාව තුළ නිධන්ගතව මෙන් තිබෙන ආකල්පවලට සරදම් කිරීම යහපත් දෙයක්‌ නොවන බව මේ ලේඛකයාට කිව යුතුය. විශ්වාස හා ඇතැම් ඇදහිලි ඕනෑම සංස්‌කෘතිකයකදී දැක ගත හැකිය. පව් සේදීම සඳහා ඉන්දියාවේ ගංගානම් ගඟට බැසීම එක්‌ විශ්වාසයකි. එහෙත් වෙනත් ආගමිකයකුට එය ගෝචර විය නොහැක. විශ්වාස හා ඇදහිලි තර්කයට එකඟ දේවල් නොවේ. එහෙත් පොදු ජනතාව ඒවාට ගරු කරති. බුද්ධිමත් යෑයි තමන් විසින්ම පුම්බා ගන්නා ලද කෙනෙකුට ඒවා වැරදි විය හැකිය.

මෙම ලේඛකයා සත් සතිය ගැන ප්‍රශ්නයක්‌ නඟයි. ඔහුට අනුව සතියක්‌ ඇසිපිය නොහෙලා බෝ ගසක්‌ දෙස බලා සිටිය නොහැක. ඒ කාලය තුළ කෑම බීම් නිදා ගැනීම් යනාදී කිසිවක්‌ නොකර සිටිය හැකිද යන ග්‍රාම්‍ය තර්කය ඔහු ගන්නේ බුදු දහම මතුපිටින් කියවීමෙන් බව පෙනේ. බුදුන් වහන්සේ සමාධි සුවයෙන් ඒ කාලය ගෙවූ බව බුදු සිරිතෙහි ද දක්‌වා තිබේ. සමාධි සුවයේදී ඕනෑම කාලයක්‌ සියලු භෞතික දේවල් බැහැර කළ හැකිය. ඒ නැතත් සත් සතිය පිළිබඳව බෞද්ධ සමාජය තුළ තිබෙන ගෞරවය බිඳ දැමීමට වුවමනා ඇයි? ඒ වුවමනාව කාගේද? බුදුන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයකු බව ඔහු කීවත් බුදුන් වහන්සේ එයට විවිධ අවස්‌ථාවලදී දුන් පිළිතුරු වලින් තහවුරු වන්නේ බුද්ධත්වයට පත්වීම නිසා ඒ අප කියන "සාමාන්‍ය" ගුණය උන්වහන්සේ ඉක්‌මවූ බවය.

අනෙක්‌ අතට බුදුන් වහන්සේ හය වසරක්‌ දුෂ්කර ක්‍රියා කළ බව සඳහන් පුවතද මේ වර්ගයේ කුතර්කවලින් අභියෝගයට ලක්‌ කළ හැකිය. අදටත් ඉන්දියාවේ වන්දනාවේ යන බෞද්ධ ජනතාව එදා බුදුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළ ස්‌ථානයට පවා යති. බුද්ධත්වය යනු සාරාසංඛ කල්ප ලක්‍ෂයක්‌ පෙරුම් පුරා ලද සනාතන ධර්මයක්‌ බව මේ වර්ගයේ නිගණ්‌ඨ තර්ක නඟන කිසිවෙක්‌ දනිත්ද?

මේ ලේඛකයා බරපතල අවැඩක්‌ කිරීම සඳහා පන්සල් පිළිබඳ මුසාවාද රැසක්‌ දෙසා බා තිබේ. පන්සල් යා යුතු යෑයි බුදුන් වහන්සේ කියා නැතැයි අපි මොහොතකට පිළිගනිමු. එහෙත් උන්වහන්සේගේ මංගල සූත්‍රය, පරාභව සූත්‍රය වැනි ප්‍රකට සූත්‍රවලින්ද වෙනත් බොහෝ තැන් වලද බෞද්ධයාට අදාළ අගනා කරුණු දක්‌වා තිබේ. ඒවායේ සමස්‌ත හරය වන්නේද දුසිරිත දුරු කර සුසිරිත වැඩීමය. සඟරුවන කෙරෙහි ගරු කිරීමය. පන්සලට යන බෞද්ධයා ඒ තතු දනී. සාමාන්‍ය ජනතාවගේ පිළිවෙත් වලදී පවා වන්දනාව පිළිබඳ කරුණු පෙන්වා දී තිබේ. බුදුන්ගේ පාරිභෝගික වස්‌තූන් වන්දනාවට සුදුසු බව තහවුරු කර තිබේ.

ජිවිතය ජය ගන්නට උපදෙස්‌ දෙන කෙනෙක්‌ පන්සල් යැම වරදක්‌ ලෙස දකින්නේ කෙසේද? අනිත් වැදගත්ම කරුණ නම් බුදුන් වහන්සේ පෙර ආත්ම භවයක කුරුරට ධනංජය නම් රජකු ලෙස ඉපිද පන්සිල් සුරැකි බව දක්‌වන කුරු ධර්ම ජාතකයයි. කුරු නුවර සියලු යස ඉසුරු ලැබී ඇත්තේ පන්සිල් රැකීම නිසා බව එම ජාතකයේ දැක්‌වේ. එසේම එදා කලිඟු රට හටගත් දුර්භික්‍ෂය නැති කිරීමට කුරු රටින් ඒ පන්සිල් ධර්මය රැගෙන ආ අයුරුද දැක්‌වේ. එසේ නම් කුරු ධර්මය බුදුන් වහන්සේ සිය දර්ශනයට ඇතුළත් කිරීමේ වරදක්‌ තිබේද?

මෙම කරුණු උඩින් මත්තෙන් විමසා බලා සිංහල බෞද්ධ පදනම බිඳ දැමීමට එබඳු පහර එල්ල කරන බව අපට පැහැදිලිය. පන්සල් යැම, පන්සිල් රැකීම බෞද්ධ පිළිවෙතය. බුදුන් වහන්සේ එබඳු ආඥවක්‌ කර නැති බව ඔහු කීවත් පතිරූප දේශයක වාසය, සත්පුරුෂ ඇසුර බුදුහු අවධාරණය කළහ. ඉතින් ඒ සඳහා බෞද්ධයා පන්සලට නොගොස්‌ කොහාට යා යුතුදැයි ඔහු පැහැදිලිව කියා නැත. එහෙත් ඔහු නොකියා කියන්නේ වෙනත් ලෞකික ගුබ්බෑයමකට යා යුතු බවද?

මෙම ලේඛකයා මහත් අභිරුචියකින් ගණිකා සමාගම ගැන කියන්නේද? බුදුන් ගණිකා ඇසුර තහනම් කර නැතැයි ඔහු කියන්නේ ඒ සඳහා යන අයට තල්ලුවක්‌ දීමටද? අම්බපාලි වැනි ගණිකාවන් බුදුන්ගේ දායිකාවන් ලෙස සිටී බවද ඇත්තය. එහෙත් එදා භාරත සමාජය තුළ ගණිකාව යනු සුවිශේෂ තත්ත්වයකි. ඒ තත්ත්වය පිරිනමන්නේ රජුය. එය ලෞකික ජීවිතයට එකඟ වුවද ගණිකාවන් ඇසුර පරිහානියට හේතු වන බව බුද්ධ වචනය විය.

බුදුන් වහන්සේගේ කාලය තුළදීත් චාර්වාක නමින් දර්ශනයක්‌ විය. එහි හරය වූයේ මෛථුනය, මත්ස්‍ය, මාංශ, මද්‍ය හා නිද්‍රd යන පස්‌වැදැරුම් කරුණු ජීවිතයට ආදේශ කර ගැනීමය. මෙය පංචමකාර ලෙසද හැඳින්වේ. ඇත්තටම එය පංච විකාරයකි. කාමභෝගී ජීවිතයකට වුවමනා භෞතික සම්පත්වලින් ඉහවහා යන ජීවිතයක්‌ද මේ ලේඛකයා යෝජනා කරන්නේ? බුද්ධ කාලීන සමාජයේ සසුන්ගතව සිටි එක්‌ මුඩු මහණෙක්‌ වරක්‌ ගණිකාවන් සොයා ගියේය. හේ වැරදීමකින් ගණිකාවගේ නිල්පාට වස්‌ත්‍රයක්‌ ඇඳගෙන ආපසු පැමිණ ඇත. එය දුටු වෙනත් භික්‍ෂුවක්‌ ඒ ගැන විමසා තිබේ. එහිදී ඔහු කියා ඇත්තේ තමා නීලපට දර්ශනවාදියකු බවය.

මේ වර්ගයේ ලෞකික ජීවිතවලට ලොල් වූ පවිටෝ එදත් වූහ. අදත් සිටිති. කෙසේ හෝ අපේ ජනතාව සුමඟට ගන්නා තැන පන්සලය. පන්සලත්, බුදුගෙයත්, බෝමළුවත් ගිහි උපාසක උපාසිකාවන්ගේ පින් බිම බව අපි දනිමු. මේ පිළිගැනීම සමහරුන්ට බාධාවකි. මත්පැන් අඩුවීම තැබෑරුම්වලට පාඩුවකි. මස්‌ මාළු වෙළෙ¹ම අඩුවීමද එබඳුම දෙයකි. එසේම බෞද්ධයාට මත්පැන් නිසා සිදුවන ආදීනව පෙන්වාදී ඇත්තේද බුදුන් වහන්සේය. ස්‌ත්‍රී ධූර්තයන්, සුරා සොඬුන්, සූදු අන්තුවන් ලැබෙන ලැබෙන දේ විනාශ කරන්නෝ නොවෙත්ද? බුදු දහමේත් ඒ ප්‍රායෝගික සත්‍යය උගන්වා තිබේ.

ජීවිතය ජය ගැනීමේ බුදුමඟ ඉතා පැහැදිලිවත් සංසාරයෙන් එගොඩවී තෘෂ්ණාව නැති කර නිවන් යන මග ඉතා පැහැදිලිවත් බුදුන් වහන්සේ පෙන්වා දී තිබේ. අද ජනප්‍රියව තිබෙන ධනාත්මක චින්තනයේ පදනම මේ බෞද්ධ ඉගැන්වීම් බව අපි නිර්භයව කියන්නෙමු. බුද්ධ වචනය ඉදිරියට දමා බෞද්ධ සදාචාර ධර්මවලට ගැරහීම කපටි අවස්‌ථාවාදීන්ගේ පිළිවෙත බව අමුතුවෙන් කිව යුතු නැත.

සිය බිරිඳ ආබාධයකට ලක්‌වූ විට කම්සුව විඳීම සඳහා ඇගෙන් දික්‌කසාද වීම මේ ලේඛකයා අනුමත කරන බවක්‌ද පෙනේ. එය අපගේ සිංහල බෞද්ධ සමාජය පිළිගත් සාරධර්මයකට පයින් ගැසීමකි. යුද බිමට ගිය සිය සැමියන් මියගිය විටදී පවා වෙනත් සරණක නොගිය තරුණ කාන්තාවෝද අප අතර සිටිති. එසේ නැවත විවාහ වීම වරදක්‌ සේ අපි නොදකිමු. එහෙත් මේ ලේඛකයා ජීවිතය ජය ගැනීමට රෝගී බිරිඳ දික්‌කසාද කිරීමට අපට උපදෙස්‌ දෙන්නේද?

අප මේ අධම කෘතිය වැඩි පුර හුවා නොදැක්‌වූයේද එය වෙළෙඳ වාසියකට හරවා ගැනීමට ඉඩ ඇති හෙයිනි. එහෙත් දැන් ඔහු දෙන පිළිතුරු වලින් පවා තහවුරු වන්නේ ඔහු බුදු දහමේ ස්‌වාධීනත්වය ගැන මතුපිටින් තර්ක කරන අයෙකු බවය. ඔහු තර්ක කරන්නේ "කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා" යන ලෞකික නිකායේ නූතන නිගන්ඨයන්ට පාර කපන්නටදැයි අපට සාධාරණ සැකයක්‌ද ඇතිවේ. ඒ කුමක්‌ වුවත් අද බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්‌ වී තිබෙන සිංහලත්වයත්, ඒ හා බැඳුණු බෞද්ධ සංස්‌කෘතියත් අනතුරට දැමීම බරපතල අපරාධයකි. මේ වර්ගයේ අදහස්‌ සේවය කරන්නේ ඒ සඳහා බව සුපැහැදිලිය.

මධ්‍යම පළාත් සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන්ද මේ අපරාධයට රුකුලක්‌ ලැබී තිබේද යන්නත් රජය සොයා බැලිය යුතුය. පන්සල් බුදුදහමට අයිති නැතැයි කියන්නේත් පන්සල් යා යුතු බවට නීතියක්‌ තිබේදැයි අසන්නේත් කා වෙනුවෙන්ද? කාගේ අරමුණක්‌ ඉටු කරදීමටද? බෞද්ධයා විමර්ශනශීලී මනසක්‌ සහිත අයෙකි. ඔහු කිසි විටෙක මිථ්‍යා දෘෂ්ටීන් වැළඳ නොගනී. අද මේ රටේද බෞද්ධයන් බිලි බා ගැනීමට විවිධ ව්‍යාපාර තිබේ. හාමුදුරුවන්ගේ වැරදිම කියන්නෝද සිටිති. භික්‍ෂූ ශාසනය විවේචනය කිරීම ගිහි අයට අයත් දෙයක්‌ නොවේ යෑයි යන මතය අප එලෙසම පිළිනොගනිමු. එහෙත් තවමත් මේ රටේ බුදු දහම සුරකින්නේ භික්‍ෂුහුම නොවෙත්ද? මන්ත්‍ර, ගුරුකම්, වෙනත් ව්‍යාපාර කරන අයද භික්‍ෂුන් අතර සිටිති. ඒ ගැන මහ නාහිමිවරු බලා ගත යුතු වෙති. එහෙත් බෞද්ධයන් ලෙස අප පන්සලට යා යුතුය. හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා අපට වුවමනාය. ජීවිතය ජය ගත හැක්‌කේද එබඳු මඟකින් බව සිතන බෞද්ධයා නූගත් යෑයි කිසිවකුට බැහැර කළ හැකිද?

මෙම ලේඛකයා නඟන චෝදනාවක්‌ වන්නේද "බණ" තුළ දේශකයන් වහන්සේගේ මති මත තිබෙන බවය. කාලාම සූත්‍රයද ආවරණයක්‌ ලෙස යොදා ගෙන ඔහු අපව නොමඟ යෑවීමට සැරසෙයි. එහෙත් බෞද්ධ සූත්‍ර, අභිධර්ම, විනය පිළිබඳ දැනුමැති ගිහියෝද අප අතර විරලව හෝ සිටිති. ඒ කිසිවෙක්‌ මේ වර්ගයේ මුග්ධ වචන පිළිනොගත යුතු බව අපගේ අවධාරණයයි.

ජී. එස්‌.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.