රාජාංගන වැව්පිටියේ අහිකුණ්‌ඨික වරිගසභාව

අහස වැහිබරය...... සැඳෑ අඳුරත් සමග ආ වැහි අඳුර මුළු අහස්‌ තලයම වසා පැතිර ගොස්‌ ඇත. කොයි මොහොතේ අහස පොළොවට කඩා වැටේදෝයි කෙනෙකුට සැක සිතෙන එම හවස්‌ යාමයේ ගල්ගමුව කුඩාගම්වාසීහු රාජාංගනය මහ වැව ඉහත්තෑවේ වැව් පිටියට එක්‌රොක්‌ වූයේ තවත් ඓතිහාසික අවස්‌ථාවකට සහභාගි වන්නටය. නැතහොත් දැක බලා ගන්නටය.



ජනවාරි 28 වැනිදා සිකුරාදා හවස්‌ යාමයේ රාජාංගනය වැව් ඉහත්තෑවේ සිදුවූ ඒ අසිරිමත් ඓතිහාසික සිදුවීම වූ කලී ලංකාවේ ජීවත්වන අහිකුණ්‌ඨ§ක ජන වර්ගයේ වරිග සභාවයි.

කුඩා ගමේ ලොකු කුඩා ගැහැණු පිරිමි සියලු දෙනාත් පිටස්‌තර ගම්වලින් පැමිණි අහිකුණ්‌ඨික ජනවර්ගයේ සියලුම දෙනාත් නිසා එදා ඒ වැව් පිටිය වර්ණවත් එකක්‌ව තිබුණේ ඔවුන් ඇඳ පැළඳ සිටි විශේෂ ඇඳුම් ආයිත්තම් නිසාය. ටිකෙන් ටික රෑ බෝ වෙමින් වටින් ගොඩින් අඳුර වැටෙත්ම මේ ජන වර්ගයේ සම්ප්‍රදායන්ට අනුකූලව ගිනිමැල දැල්විණි. ගිනි පන්දම් ඇවිළිණි. ඔවුන්ගේ පැරණි සංස්‌කෘතිකාංග ක්‍රියාත්මක වන්නට වූයේ එතැන් පටන්ය.

තැනින් තැන යමින් ජනතාවට යම් යම් සේවාවන් සලසමින් ජීවිකාව ගෙවන ජන වර්ග ලෝකයේ බොහෝය. බුද්ධ කාලීන භාරතයේත් ජීවත් වූ එවන් ජන පිරිසක්‌ ගැන කතා භූරිදත්ත ජාතකයල චම්පෙයිය ජාතකයඇතුළු ජාතක කතා කිsහිපයක පවා සඳහන්ය. කෙසේ වෙතත් ලංකාවට අහිකුණ්‌ඨ§කයන් පැමිණියේ කුමන කාලයකද කියා නිශ්චිත සාක්‍ෂි නැතත් ඔවුන් අද පවා භාවිත කරන භාෂාවෙන් පෙනී යන්නේ තෙලිඟු රට සිට පැමිණ ඇති බවය.

පැමිණිදා පටන් තම සම්ප්‍රදායට ගරු කරමින් තැනින් තැන ඇවිද ගමන් ශාස්‌ත්‍ර කියවීම, නයි නැටවීම, යන්ත්‍ර මන්ත්‍ර යාගහෝමාදී කටයුතු කිරීම වැනි දේ කරමින් ජීවත් වූවා මිස නිශ්චිත වාසස්‌ථාන නම් භාවිත නොකළහ. කණ්‌ඩායම් වශයෙන් ජීවත්වන මොවුහු දින 7 ක්‌ එක තැනක කූඩාරම් අටවා ගෙන ජීවත් වෙති. දින 7 සපිරුණු තැන බූරුවන් පිට තම බඩු බාහිරාදිය පටවා ගන්නා මොවුහු තව පළාතක්‌ සොයා යති.

සාමාන්‍යයෙන් මේ පිරිස තම දින හතක වාසය සඳහාද තැනක්‌ තෝරා ගන්නේ වැවක්‌ හෝ ගඟක්‌ අද්දරය. නැතහොත් කුමක්‌ හෝ දිය දහරාවක්‌ ආශ්‍රිත පිට්‌ටනියක්‌ අද්දරය.

සරල චාම් අපිස්‌ ජීවන රටාවකට උරුමකම් කියන මොවුහු වත්මන් තෙලිඟු බසට වඩා වෙනස්‌ අතීත තෙලිඟු භාෂාවක්‌ කතා කරති.

අහිකුණ්‌ඨිකයෝ රටේ කොතන හිටියත් ඔවුන් හැම දෙනාම නෑදෑයෝය. අතීතයේ කණ්‌ඩායම් වශයෙන් රට පුරා විසිර ගොස්‌ ජීවත් වූ මේ ජනතාව අවුරුද්දකට වරක්‌ ලංකාවේ කොහේa හෝ නිශ්චිත තැනක නිශ්චිත දිනකදී එකතු වූහ. එකතුවී වරිග සභාව තබා තම ප්‍රශ්න කතා බහ කළහ. එක්‌වී තීන්දු තීරණ ගත්හ. නැවත විසිර ගියහ. ඔවුන් නැවත හමුවන්නේ වසරකට පසුවය.

මේ අහිකුණ්‌ඨ§ක පිරිස සියලු පරිපාලනමය තීන්දු තීරණ ගන්නේ වරිග සභාවේ දීය. පිටස්‌තර කිසිදු පාලනයකට වග නොකියන හා යටත් නොවන අහිකුණ්‌ඨ§කයෝ වරිග සභාවේදී එක්‌ව ගන්නා තීන්දු තීරණවලට ගරු කරති. හිස නමති. අදහති.

කණ්‌ඩායමක්‌ වශයෙන් වෙන්වී තැනින් තැන ඇවිද යන කණ්‌ඩායමක නායකයා ආරච්චිලය. ඔහුගේ අණ මුළු රැහැ පුරාම විහිද පැතිර යයි. රැහැ පිළිබඳ තීන්දු තීරණ ගන්නේ ඔහු වන අතර එවන් කණ්‌ඩායම් සියල්ල එකට එකතුවූ තැන සමස්‌ත අහිකුණ්‌ඨ§ක වරිගය පිළිබඳ තීන්දු තීරණ ගන්නේ සියලු ආරච්චිලාගෙන් සැදුම්ලත් වරිග සභාවකය.

මේ අහිංසක සරල ජීවන රටාව බිඳ වැටෙන්නේ 1940 ගණන්වලදී මේ රටේ ගොවිජනපද ව්‍යාපාර හා ජනපදකරණ වැඩසටහන්වල ප්‍රතිඵලයක්‌ හැටියටය. ඉන් පසුව තැනින් තැන ඇවිදගෙන යන අහිකුණ්‌ඨිකයන් හට නිශ්චිත ගම්මාන ලැබිණි. එදායින් පසුව සම්ප්‍රදායික ජීවන රටාව ඉවත ලූ අහිකුණ්‌ඨික ජනතාව තැනින් තැන ගොස්‌ රැකියාව කර ආපසු ගෙදර එන්නට පුරුදු වූහ.

මේ අනුව අද අහිකුණ්‌ඨික ජනතාව ඉන්නේ ලංකාවේ ගම් 5 කය. කුඩාගම ඉන් එක ගමකි. ගලිගමුවේම ඇති අන්දරබැද්ද තවත් ගමකි. කලාවැව කියා ගමක ද අහිකුණ්‌ඨිකයෝ ජීවත් වෙති. අනෙක්‌ ගම් දෙක ඇත්තේ අක්‌කරේපත්තුව ප්‍රදේශයේය. ඒ දෙක සිරිවල්ලිපුරම් හා අලිගම්බේ ලෙස හඳුනාගෙන ඇත.

අද මේ ගම් පහටම නායකයෝ සිටිති. මෙවර වරිග සභාව පවත්වන රාජාංගන වැව ඉහත්තෑවේ පිහිටි කුඩාගම ගමේ නායකයා හෙවත් ආරච්චිල නඩරාජාය. අන්දරබැද්දේ ආරච්චිල මසන්නාය. අලිගම්බේ ආරච්චිල රාසකුමාර්ය. සිරිවල්ලිපුරම් ගමේ ආරච්චිල කරුප්පන්ය. කලාවැව අහිකුණ්‌ඨික ගමේ ආරච්චිල අනවත්තුය..... මෙවර කුඩා ගමේදී එකතුවී වරිග සභාව පවත්වන්නේ මෙන්න මේ ආරච්චිලා පස්‌දෙනා ඇතුළු ඔවුන්ගේ නියෝජිතයෝ පිරිසය....

අහිකුණ්‌ඨික ජනතාව වෙනුවෙන් මෙවන් වරිග සභාවක්‌ 28 වැනිදා පැවැත් වුණේ අවුරුදු 40 ගණනකට පසුව වීම විශේෂත්වයකි.

ලංකාවේ මේ වන විට සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ පරවර අහිකුණ්‌ඨික බෝරා වැදි, මුහුදු වැදි, චීනා, සෙට්‌ටි ආදී ජාතීන් 28 ක්‌ පමණ සිටින බව හඳුනාගෙන ඇත. ඒ සෑම ජාතියකටම වෙන් වෙන් වූ අනන්‍යතා තිබේ.

සෑම ජාතියක්‌ සතුවම සංස්‌කෘතීන් තිබේ. සිරිත් විරිත් හා ඇවතුම්, පැවතුම් තිබේ. එහෙත් ඒවා වෙන වෙනම හඳුනා ගැනීම දුෂ්කර වී ඇත්තේ මහ ජාතින් විසින් සියලු සුළු ජාතීන් යටපත්කර ගෙන ක්‍රියාත්මකව තිබෙන නිසාය.

ඒ අතර අහිකුණ්‌ඨිකයන් සතු සංස්‌කෘතිය හා හර පද්ධතිය මෙන්ම ජීවන රටාව වෙනම හඳුනා ගන්නට සමත් වූ පිරිසක්‌ ද සිටිති. ඒ දිල්මා සමූහ ව්‍යාපාරයේ දිල්මා කන්සර්වේෂන් ආයතනයයි. අහිකුණ්‌ඨික ජනතාව තුළ සැඟව ඇති සංස්‌කෘතිය මතුකරවීමටත් ඒවා මේ සමාජ තලය තුළ ක්‍රියාත්මක කරවීමටත් දිල්මා කන්සර්වේෂන් ක්‍රියා කළේ ඉන් පසුවය. මේ වරිග සභාව ඒ වැඩසටහනේ එක්‌ පියවරක්‌ පමණක්‌ බව අප වටහා ගත්තෙමු....

එදා රාත්‍රියේ එම වැව් පිටියේ එක්‌ වූ අහිකුණ්‌ඨික ජන සමුහය මැද ආරච්චිලා පස්‌දෙනාගේ ඓතිහාසික වරිග සභාව එසේ පැවැත්විණි. කුඩාගම ප්‍රකාශනය නම් ලියවිල්ලක්‌ද ප්‍රකාශයට පත් කරන්නට මෙහිදී ආරච්චිල ලා තීරණය කළහ.

මේ ඓතිහාසික වරිග සභාවට පසු ඔවුන්ගේ සංස්‌කෘතිකාංග රැගත් උත්සවය ඇරැඹිණි. සියල්ල සිදුවුණේ විටින් විට ඇදහැළුණු මහ වැසි මැද ගිනි මැල හා හුළු අතු එළියෙන් වීම මෙහි වර්ණවත් බව තව තවත් වැඩි කළේය.

සියල්ල අවසානයේ පසුදා උදේ ශ්‍රී ලාංකික අහිකුණ්‌ඨික ජනතාවගේ අනාගත අභිවෘධිය වෙනුවෙන් තවත් විශේෂ පියවරක්‌ තැබිණි. ඒ දිල්මා කන්සර්වේෂන් මෙහෙයවීමෙන් අහිකුණ්‌ඨික ජනතාව වෙනුවෙන් සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ තනන්නට රාජාංගන වැව් පිටියේ මුල්ගල තැබීමය. වරිග සභාවට රැස්‌වූ ආරච්චිල ලා පස්‌ දෙනාගේත් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් රංජිනි පෙරේරා මැතිනියගේත් දිල්මා නිර්මාතෘ මෙරිල් ඡේ ප්‍රනාන්දු මහතාගේත් මූලිකත්වයෙන් එදා හිමිදිරි පාන්දර ඒ සද්කාර්යයට මුල් ගල තබනා ආකාරය අහිකුණ්‌ඨික ජනතාව දැක බලා ගත්තේ දිලිසෙන දෙනෙත්වලින් යුතුවය.

බුලිත ප්‍රදීප් කුමාර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.