ඔය ඇවිල්ල තියෙන්නෙ
මගෙ සැප සනීප බලාගෙන යන්න!


ක්‍රීඩාගාරයක දේශපාලන සංවාදයක්‌



අනන්ත සිතිජයේ සිට හමන මඳ නල සිප නැගෙන බිඳෙන රළ ගොස ඇසෙන නෑසෙන මානයේ පිහිටි කොළඹ කොටුවේ ජනාධිපති නිල මැදුර ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පයේ ආඪ්‍ය ලක්‌ෂණ මතු නොව රාෂ්ට්‍රපතියකුගේ ප්‍රතාපවත් බවද පිළිබිඹු කෙරෙන සංකේතයක්‌ වැන්න. උදාහිරු කිරණ තවමත් සිසිල් බවකින් ගත වෙළෙයි. මැදුරෙහි ප්‍රවේශය අසල අවිගත් සෙබළු සීරුවෙන් සිටියහ.

මගේ පැමිණීම පිළිබඳව ඔවුන්ට පූර්ව දැනුම්දීමක්‌ කර ඇති බව ඔවුන්ගේ ප්‍රතිචාර වලින්ම මට පසක්‌ විය. මට මඟ පෙන්වූ සෙබළ තවමත් මැදිවිය නොඉක්‌මවූ කඩිසර විලාසයක්‌ පෑවේය. ඔහු මා ඉදිරියෙන්ය. අප ගමන් කරමින් සිටියේ නිල මැදුරට පිටතින් ඉදිකළ ආරුක්‌කු හැඩයට නිමැවූ කුඩා ආලින්දයක්‌ දිගේය. එහි කෙළවරට ගිය ඔහු මගෙන් සමුගෙන ආපසු හැරුණි.

මගේ දර්ශන පථයට හසු වූයේ ගොඩනැගිලි අතරින් දිස්‌වන කොළඹ වරායයි. දවස අවදි වුවද වරායත් තවම නින්දේය. මගේ දෑස්‌ නිදැල්ලේ ඒ මේ අත දිව යයි. මගේ ගමන අපේක්‍ෂාවෙන් තවත් අයෙක්‌ සිටින බව මම තේරුම් ගතිමි. ඔහුද සිවිල් ඇඳුමින් යුත් සෙබළකු විය යුතුය.

මා නතරව සිටියේ නිල මැදුර වෙන් කළ උයනක්‌ අසල වූ මෑතකදී ඉදි කර ඇතැයි සිතෙන දිග ගොඩනැගිල්ලක්‌ සමීපයේය. මට එම ගොඩනැගිල්ල තුළටම කැඳවීමක්‌ ලැබුණි. මා තේරුම් ගත් විලසටම එය ශරීරික අභ්‍යාස සඳහාම ඉදි කරන ලද නවීන ක්‍රීඩාගාරයකි.

"හා එන්න එන්න යන වදන් තරමක්‌ උස්‌ හඬින් ඇසුණි. ඒ ක්‍රීඩාගාරයේ එක්‌ කෙළවරක කිසියම් ව්‍යායාමයක නිරතව සිටි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ හඬය. ඔහුගේ මුව සිනහවකින් සෝබාවත්ව තිබිණි. එහි වූයේ රාජ්‍ය නායකයකුගේ තේජස්‌ විලාසය පමණක්‌ නොව සැබෑ හෘදයාංගම බවකි.

සුදෝ සුදු ජාතික ඇඳුමත් කුරහන් සාටකයත් සමග ජනහද ඇඳි රුව වෙනුවට මා දුටුවේ දම් පැහැති ටී ෂර්ට්‌ එකක්‌ හා සුදු ට්‍රැක්‌ බොටම් එකක්‌ හැඳගත් බාහු බලයෙන්ද යුත් සෘජු කයක්‌ සහිත ක්‍රීඩකයකුගේ විලාසය ගත් ජනාධිපතිවරයාය. ඒ වූ කලී ජනාධිපතිවරයාගේ දෛනික කාල සටහනේ ප්‍රථම අංකය වූ ශාරීරික ව්‍යායාම් කරන වේලාවයි.

මම ක්‍රීඩාගාරයේ ඔබ මොබ ඇවිදිමින් සිටියෙමි. නවීන පන්නයේ විවිධ මාදිලියේ ක්‍රීඩා උපකරණ පෙළක්‌ම එහි විය. එවේලෙහි ජනාධිපතිවරයා සිටියේ එක තැන හිඳ ඇවිද යා හැකි ට්‍රෙඩ්මිල් නමින් හැඳින්වෙන ක්‍රීඩා උපකරණයක අභ්‍යාසයක යෙදෙමින්ය. ජනාධිපතිවරයා දෙපය තබා ඇවිද යද්දී ගමන ක්‍රමයෙන් වේගවත් වෙයි. කාලය මනිමින් අසල රැඳී සිටි සහායක උපදේශකයාගේ සංඥව අනුව වේගය ක්‍රමයෙන් අඩුවී ව්‍යායාමය නතර විය.

මම පරික්‌ෂාවෙන් බලා සිටියෙමි. මුහුණේ කිසිදු විඩා බර ගතියක්‌ නොවීය. නළලත රැඳුණු ඩා බිඳු සුරතින් පිස දමමින් ආ ජනාධිපතිවරයා පුංචි විරාමයක්‌ ගත්තේය.

"කෝ......අර කෝල් එක මට අරං දෙන්න.

ජනාධිපතිවරයා අසල සිටි සහායකයා සැණකින් කිසියම් අංකයක්‌ රැගෙන ජංගම දුරකථනයක්‌ ඔහුට දුන්නේය.

අනුරාධපුරයේ ගමනට එයාටත් එන්න කියන්න.

දුරකථනයෙහි එහා කෙළවර සිටි අයට උපදෙසක්‌ දුන් ජනාධිපතිවරයා යළි මා වෙතට හරුණි.

හැබැයි ඉතින් මං කැමතියි එළියෙ ටිකක්‌ හුළං වැදි වැදි දුවන්න. ඒත් දැන් කලක ඉඳන් මේකට පුරුදු වෙලා.

ජනාධිපතිවරයාගේ කුඩා විවේකය නිම විය. හේ යළිත් වෙනත් ක්‍රීඩා උපකරණයකට මාරු විය. එය මූලික වශයෙන්ම දෙ අත් හා ගෙලත් සිරුරේ උඩ කොටසත් සඳහා වූ ව්‍යායාමයක්‌ බව මට පෙනුණි. මට හැඟී ගියේ එය නම් මනා පුහුණුවකින් තොරව නොකළ හැකි තරමක්‌ දුෂ්කර ව්‍යායාමයක්‌ බවය. ඉන් පසු මඳ විරාමයක්‌ ගත් ජනාධිපතිවරයාගේ දත්වලට බොක්‌සිං ක්‍රීඩාවේදී භාවිත කරන අත්වැසුම් (ග්ලව්ස්‌) දෙකක්‌ එක්‌විය. සිරුරේ සමබරතාව මෙන්ම ජවසම්පන්න බවද විදහා පාමින් දෑතින්ම ඉදිරියේ එල්ලා තිබුණු දිගටි මෙට්‌ටයක්‌ වැනි දෙයකට නොනවත්වා ප්‍රහාර එල්ල කළ ජනාධිපතිවරයා මට සිහිපත් කළේ බොක්‌සිං ක්‍රීඩකයෙකි.

"මේක තමයි මට, ටිකක්‌ හරි දැනෙන්නෙ"

මගේ සිත දසක කීපයකට පෙර තර්ස්‌ටන් විද්‍යාලයීය ක්‍රීඩාගාරය වෙතට දිව ගියේය.

"ඔබතුමා කොලේඡ් එකේදී බොක්‌ෂිං කළාද"

මම ඇසීමි.

"නෑ ප්‍රැක්‌ටිස්‌ කළත් දිගට කරන්න බැරි වුණා මොකද මං රගර් ගැහුවනෙ. ඒ දෙකම එකට කරන්නත් අමාරුයි."

ජනාධිපතිවරයා සිනාසෙමින් කීවේය.

මේ අතර තවත් ව්‍යායාමයක්‌ සඳහා සූදානම් වන අයුරුද මට පෙනුණි. එවර නම් බිම අතුරන ලද මෙට්‌ටයක දිගාවී සිරුරේ දෑත්, ඇඟිලි හා දෙපාත් මස්‌ පිඬුත් සඳහා වූ ව්‍යායාමයක නිරත විය. සහායකයෝ දෙදෙනාම එහිදී නම් එක්‌ වූහ. තවත් විනාඩි දහයක්‌ පමණ ගත වන්නට ඇත. නැගී සිටි ජනාධිපතිවරයා මෙට්‌ටය මත වාඩි විය. සහායකයෙක්‌ රූපවාහිනිය ක්‍රියාත්මක කරද්දී අනෙකා ජනාධිපතිවරයාට පැන් බඳුනක්‌ පිළිගැන්වීය.

රූපවාහිනි තිරයේ දිස්‌ වූයේ බැරක්‌ ඔබාමාගේ දසුනකි.

බලන්නකො ඊජිප්තුවෙ වෙලා තියෙන ලෙඩේ. දැන් ඔබාමටත් ඕනෑවෙලා තියෙන්නෙ මුබාරක්‌ යවා ගන්න.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර දේශපාලනයේ විවාදාත්මක මාතෘකාවක්‌ මා දෙසට යොමු කළේය.

හැබැයි ඇමෙරිකාවයි බටහිරයි තමයි අද තුන්වැනි ලෝකයටම ලෙඩ දාන්නෙ. අපිටත් මොනවද නොකළේ. යට වෙන්න හොඳ නෑ.

ජනාධිපතිවරයා යළිත් සිය විග්‍රහය ඉදිරිපත් කරමින්ම නැගී සිටියේය. එවර නම් සියලු ව්‍යායාම් අවසන් බව මට පැහැදිලි විය.

ජනාධිපතිවරයා තුවායකින් සිරුරෙහි රැඳුණු දහදිය මාත්තු කරමින්ම ඇවිද ගියේ ක්‍රීඩාගාරයේ මැද කොටසේ වූ සිය විශේෂ අසුනටය. මම ද ඔහු පසු පස ඇදුනෙමි. සහායකයා දුරකථන ඇමතුම් කීපයකම සාරාංශය ඔහු වෙත ඉදිරිපත් කළේය. මම ඒ සංවාදයට බාධා නොකර නිහඬව සිටියෙමි. මට සිහි වූයේ මා මෙතැනට පැමිණ විනාඩි හතළිහක පමණ කාලයක්‌ ගෙවී ඇති බවය. එසේ නම් අඩුම වශයෙන් ජනාධිපතිවරයා පැයකට නොඅඩු කාලයක්‌ උදෑසන ව්‍යායාම්වල නිරත වනු ඇතැයි මම සිතින් කාලය මැන්නෙමි. මගේ මතක වීදිය දිගේ දිස්‌ වූයේ කඳ බඩ මහත තරබාරු විකට රූප පෙළකි.

අපේම කාටුන් ශිල්පීන් විසින් දේශපාලනඥයන් චිත්‍රයට නංවන්නේ කෙබඳු උත්ප්‍රාසයකින්ද? ගෙල, කඳ, උදරය යන සියලු අංග අසමබර වාමන රූප බවට ඔවුන් පත් වන්නේ සිය ශරීර සුවතාව අමතක කිරීම නිසාය. එහෙත් රටේ රාජ්‍ය නායකයා සිය දවස ආරම්භ කිරීමට පෙර සිරුරට දෙන දුෂ්කර ක්‍රියාව ඔහුගේ පෞරුෂත්වයට මෙන්ම නිරෝගී බවටද මනා රුකුලක්‌ වී ඇතැයි මම හඟිමි. ජනාධිපතිවරයා පසු ගිය දිනක තමාත් සමග පයින් ඇවිදීමට කාටදෝ අභියෝගයක්‌ද කළ අයුරු මට මතක්‌ විය. සත්තකින්ම නව යොවුන් තරුණයකු සමග වුවද තවමත් කරට කර සිටිය හැකි ජව සම්පන්න බවක්‌ ඔහු තුළ ඇතැයි මා සඳහන් කරන්නේ කිසිදු ඇස්‌වහක්‌ කටවහක්‌ නොවේවා යන පහන් සිතින්මය.

මගේ කල්පනා ලෝකය යළිත් බිඳී ගියේ ජනාධිපතිවරයා ඉතින් යෑයි කියමින් යළිත් මා දෙසට හැරුණු හෙයිනි. මෙවැනි ක්‍රීඩාගාරයක්‌ කිසිසේත් දේශපාලන සමාජ කතිකාවකට උචිත නොවන බව මට හැඟුනත් මට සිදු වූයේ එබඳු කතාබහකට මුළ පිරීමටය.

ජනාධිපතිතුමා මොකද හැබෑට ප්‍රාදේශීය සභා නොමිනේෂන් වලට වුණේ."

ඒක නේන්නං හරිම වැරදි දේශපාලන රණ්‌ඩු තමයි අද තියෙන්නේ. සමහරුන්ට ඕනෑ ඒ ඒ අයගෙ කට්‌ටිය ලිස්‌ට්‌වලට දාගන්න. මගෙ හිතේ ගම්පහ බැසිල් විතරයි ඒ වැරැද්ද නොකළේ. කොහොමහරි ඒක අවුල් කර ගත්ත මං රටේ නොහිටි ඩිංගට. ඒ වගෙම මට ඕනෑ ප්‍රාදේශීය පාලනයට වැඩි ඉඩක්‌ දෙන්න. ගමේ ඉස්‌සර හිටිය මැම්බර්ට දේශපාලනයක්‌ තිබුණෙම නෑ. ඒකට අද මරා ගන්නවා.

ඔබ හිතන්නෙ මොකක්‌ද හේතුව ඇයි බැරි මේ දේවල් නවත්වන්න.

අද මැම්බර් මහත්තය මන්ත්‍රීතුමා වෙලානෙ. ඒ සංකල්පය අද අභාවයට ගිහිල්ල ඒකයි මේ පරිහානිය. අපි එය වෙනස්‌ කළ යුතුයි. සමහරු විරුද්ධ වෙයි. ඒ වුණත් මං ඒ ගැන දැඩි තීරණයක ඉන්නේ. අනික තමයි දහදහකට වැඩිය නාමයෝජනා ඉල්ලුව.

මං කිව්වෙ කිසිම චෝදනාවක්‌ තියෙන කෙනෙකුට නාම යෝජනා දෙන්න එපා කියලා සංවිධායකයන්ට කපන්න දෙන්නත් එපා කිව්වා. ගමට වැඩ කරන්න ගම දන්න අය තෝරා ගත යුතුයි.

දැන් මේ නාමයෝජනා ප්‍රශ්නෙ උසාවියට ගිහිල්ල නෙ.

ඔව්. හැබැයි සමහර ඒව ප්‍රතික්‌ෂේප වූයේ පුංචි තාක්‌ෂණික ප්‍රශ්න නිසා. මං උදාහරණයක්‌ කියන්නම්. මගෙ ජනාධිපතිවරණෙදි සන්ධානයට දුන්න දෙමළ පරිවර්තනය හරි නම් කොහොමද ඒක දැන් වැරදි වෙන්නෙ. මං හිතන්නෙ අධිකරණමය තීන්දුවක්‌ දෙයි. අපි බලමු.

මා ඊළඟට ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේ දෙමළ සන්ධානය සමග කෙරෙන සාකච්ඡා පිළිබඳවය. ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ එය ඉතා සංවේදී ප්‍රශ්නයක්‌ බවත් ප්‍රවේශමින් එයට විසඳුමක්‌ ලබා දිය යුතු බවත්ය.

"ඇත්තටම එල්. ටී. ටී. ඊ.යට විරුද්ධව කරපු යුද්ධයට පැහැදිලි ඉලක්‌කයක්‌ තිබුණා. අපි ඒකට හොඳින් මුහුණදීල ප්‍රභාකරනුත් පරාජය කළා. ඒකනෙ අද මේ අපි පස්‌සේ පන්නන්නේ.

කොහොමහරි මේ දෙමළ ජනතාවගේ අහිමිවී ගිය සමාජ ආර්ථික ජීවිත අප ලබා දෙනවා. අද ඒ අයට නායකත්වය දෙන්නේ මූලිකවම දෙමළ සන්ධානය. තවත් අය ඉන්නව නමුත් එල්. ටී. ටී. ඊ. ය සමග හිටපු අයට විශ්වාස මේ දෙමළ සන්ධානය.

එතකොට කේ. පී. මොනවද කරන්නේ.

එයා තමයි දෙමළ ඩයස්‌පෝරාවට ආමන්ත්‍රණය කරන්නේ. මොකද එයාම අද කියනව ලොකු විනාශයක්‌ වුණේ කියලා. ඇත්තටම අපි ආවේගශීලී නොවී මේ ප්‍රශ්න කතා කළ යුතුයි. අප අතර වුණත් ඉන්නව නිකම් පපඩම් තර්ක දාන අය.

අපි බලමු සිංහල මිනිහට මොනවද ඕනෑ. නිදහසේ කාල බීලා ඇඳල ඔලුව කෙළින් කරගෙන ඉන්නනෙ. ඉතින් දෙමළ මිනිහටත් ඕනෑ ඒ ටිකමයි. ඔය න්‍යායවල් ඒ කාටවත් ඕනෑ නෑ. අපි තමයි ඒව දාගෙන ඝෝෂා කරන්නෙ. එනිසා විශ්වාසයෙන් යුතුව මේ ජනතාවගෙ හද ගැහෙන රිද්මය හඳුන ගෙන ඒ අනුවයි විසඳුම් හොයන්න ඕනෑ. ඒකට අපට අපේම දේවල් භාවිත කළ හැකියි. බොරු කතාකාරයො ඕනෑ නෑ.

අපේ සංවාදය මැදට බාධා කරමින් ලැබුණු දුරකථන පණිවිඩයට මොහොතක්‌ සවන් යොමු කළ ජනාධිපතිවරයා එහෙනම් අපි යමුදැයි අසමින් අසුනින් නැගී සිටියේය. ක්‍රීඩාගාරයෙන් පිටත වූ කුඩා උයන මැදින් අපි ගමන් කළෙමු.

මේවා සේරම වල් බිහි වෙලා තිබුණේ. ජරාවාස වෙලා. දැන් තමයි මේ අවට ලස්‌සන හරි පේන්නෙ. බලන්නකො අර කහකුරුල්ල. හරියට කුරුල්ලොත් එනවා.

ජනාධිපතිවරයා වටපිට බලමින් සමහර දේවල් පිළිබඳ කරන විස්‌තරයද අසමින් මමද ඔහු පසු පසින් ගියෙමි. අනතුරුව අපි මන්දිරයේ පළමු මහළට ඇතුළු වීමු. පාතරාසය සූදානම්ව තිබුණි. ඒ වනවිට තවත් අමුත්තෝ පිරිසක්‌ පැමිණ සිටියහ. ඒ ජනාධිපතිවරයාගේ සමීප පිරිසක්‌ බව ඔවුන්ට දැක්‌වූ ප්‍රතිචාරයෙන්ම පැහැදිලි විය. අපි සියලු දෙනාම විහිළු තහළු කරමින් පාතරාසය ගනිමු. මට සමු ගැනීමට කාලය එළැඹ තිබිණි. මම ජනාධිපතිවරයාගෙන් සමුගනිද්දී ඔහු මා පෙන්වා විහිළුවක්‌ද කළේය.

"ඔය ඇවිල්ලා තියෙන්නේ මගෙ සැප සනීප බලාගෙන යන්න"

ජනාධිපතිවරයාගේ ඒ වදන් තුළ සැඟව ඇත්තේ පසුගිය දිනවල ඔහුට එරෙහිව ඇතමුන් විසින් පතුරන ලද කටකතා විය හැකිය. සත්තකින්ම ඒ වර්ගයේ කටකතා පිළිගන්නට තරම් දුබල මනසක්‌ මට නැත. ඒ පිළිබඳ අබැටක හෝ කුකුසක්‌ යමකු තුළ තිබේ නම් එය කෙරම් මුළාවක්‌දැයි මට ඉතා පැහැදිලිය. සත්තකින්ම මෙබඳු කටකතා පතුරුවන්නෝ රෝගීහු නොවෙත්ද? එය මානසික මෙන්ම දේශපාලන රෝගී තත්ත්වයක්‌ බව ඉතා පැහැදිලිය.

ගාමිණි සුමනසේකර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.