මැතිවරණ කොමසාරිස්‌තුමාගේ ඡන්ද අධිෂ්ඨානය

නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ පැවැත්වීමට තමන් සතු බලතල උපරිමයෙන් පාවිච්චි කරන බව මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක මහතා තමන් හමු වු එ. ජා. ප. නියෝජිතයන්ට ප්‍රකාශ කළ බව දිවයින ඊයේ (15) වාර්තා කර තිබුණි. මොනතරම් දිරි වඩන සුළු ප්‍රකාශයක්‌ද? එහෙත් අවසානයට සිදු වන්නේ කුමක්‌ද?

අප මේ මැතිවරණ කොමසාරිස්‌වරයාට ආඩපාලි කියනවා නොවේ. ඇත්තම කියනවා නම් මැතිවරණ රාජකාරි නිසා එතුමා තරම් දුෂ්කරක්‍රියා කළ කිසිම කොමසාරිස්‌වරයකු මේ රටේ නැති තරම්ය. මැතිවරණ නිසා එතුමාට ආතතිය ද සෑදී තිබේ. කාගෙ කාගෙනුත් වැඩිපුරම ලැබී ඇත්තේ ද අපවාද විය හැකිය. එහෙත් ඒ බොහෝ තැන්වලදී එතුමා නිදොස්‌ බව අපගේ අදහසය.

මැතිවරණ කොමසාරිස්‌වරයාට ඒ කටයුතු කිරිමට ප්‍රධානතම බාධාව එල්ල වන්නේ දේශපාලනඥයන්ගෙන්ය. එහිලා බලය හිටි ආණ්‌ඩුවට අයත් දේශපාලනඥයන්ගෙන් සිදුවන බාධා වැඩිය. එය මේ ආණ්‌ඩුවේත් මෙතෙක්‌ තිබුණු හැම ආණ්‌ඩුවකමත් ස්‌වභාවයය. දේශපාලනයේදී ආණ්‌ඩුබලය තිබෙන අය හැසිරෙන ආකාරයෙත්, බලය නැති උදවිය හෙවත් විපක්‍ෂයේ අය හැසිරෙන ආකාරයෙත් සෑහෙන වෙනස්‌කම් තිබේ.

ආණ්‌ඩුවේ බොහෝ මැති ඇමැතිවරුන් කල්පනා කරන්නේ නීතිය යනු තම අභිමතය බවය. ඔව්හු එසේ නොකියති. එහෙත් එසේ කරති. වේදිකාවේදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දෙසාබාන ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී පංචස්‌කන්ධ, භාවිතයේදී එහි අනෙක්‌ පැත්තය. ඔවුන්ට උවමනා දේ ඔවුන්ගේ හෙංචයියෝ මනාව කරදෙති. විපක්‍ෂ වලින්ද තම තම ශක්‌ති පමණින් ඒවාට පිළිතුරු දෙන අවස්‌ථාද තිබේ.

මේ ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතිය රටට හැමදාමත් කළේත්, කරන්නේත් විපත්ති, මැතිවරණ නීතිය ගැන නීති පොතේ මොනතරම් දේවල් තිබුණත් මැතිවරණයක්‌ ආරම්භයේ සිට අවසානය දක්‌වාත් සිදුවන්නේ නීතිවිරෝධී දේවල්ය.

මැතිවරණ කොමසාරිස්‌වරයාගේ නියෝජිතයින්ට සිය රාජකාරිය කිරීමට බාධා පවතී. පෝස්‌ටර්, කටවුට්‌ යනාදිය මැතිවරණ නීතියට පටහැනිය. එහෙත් ඒ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට හැකිද? පොලිසියට හැකිවන්නේ විරුද්ධ පක්‍ෂවල පෝස්‌ටර් හා කටවුට්‌ ඉවත් කිරීමට පමණි. ආණ්‌ඩු පක්‍ෂය නියෝජනය කරන අපේක්‍ෂකයන්ගේ පෝස්‌ටර් හෝ කටවුට්‌ වලට අත තැබීම අනතුරුදායක බව පොලිසිය දනී.

පොලිස්‌පතිවරයාත් හැමදාම මැතිවරණ නීතිය ගැන මහාවංශයෙන්ම කතා කරයි. ඒත් උන්නැහේගේ භාවිතයද, මැතිවරණ කොමසාරිස්‌වරයාට නොදෙවෙනිය. නීතිය අතේ තිබුණත් නීතිය අතේ පත්තු කරගැනීමේ අවදානම පොලිස්‌පතිවරයා දනී.

මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වී ගෙවී ගිය මේ සුළු කාලය ඇතුලත ප්‍රචණ්‌ඩ ක්‍රියා 30 ක්‌ පමණ සිදු වී ඇතැයි වාර්තා වී තිබේ. බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෙඩි තබාගෙන ඇත්තේ ඒ පක්‍ෂයේම දෙපිරිසකි. මේ වර්ගයේ මැරයන් රකිනු විනා පිටුදකිනු අප දැක නැත.

සැබැවින්ම අද වන විට දේශපාලනය යනු දුෂිතම ව්‍යාපාරයක්‌ පමණක්‌ නොව මැර මෙහෙයුමක්‌ බවට ද පත්ව තිබේ. මේ දිනවල මහා මාර්ග හෝ අතුරු මාර්ගවල යන දේශපාලන ප්‍රචාරක වාහන වලින් මුදාහැරෙන්නේ මොන තරම් අසංවරයක්‌ද? මාර්ග නීති නැත. ජනතාව කාණුවට බැස දිවි බේරා ගතයුතු මදාවියෝ ද ඒ රිය පෙරහරවල සිටිති.

ගමේ දේශපාලනයට එන ඇතැම් අයගේ කැරැට්‌ටුව ගම්වල අය ද දනිති. එහෙත් ඔවුන්ට සහාය පල කරන්නැයි පක්‍ෂවල නායකයෝ ම කියති. අඩුම තරමින් ගමවත් බේරා ගැනීමට අද ජනතාවට බැරිවි තිබේ. කලකට පෙර ගමේ යහපතට පොදුවේ ජනතාව ම පත්කරගත් බැම්බර් මහත්තයා අද අතුරුදන්ය. ඒ වෙනුවට පෝස්‌ටර්වල හෝ කටවුට්‌වල හෝ සිට විරිත්තන දේශපාලන විකටරූප බහුලය.

කතු මෙසේ හෙයින් මේ දේශපාලනය යහපත් කිරීම යනු, සා අඟින් පනා කැපීමකි. සා අඟ යනු තිබෙන දෙයක්‌ නොවේ. නිසා නැති දෙයකින් පනා කැපීම ද කළ නොහැක. එහෙයින් මේ දේශපාලන මගෝඩීස්‌තුමන්ලා සමග තවත් මැතිවරණයක්‌ ගැන සිතීම ද මුලාවකි. එහෙත් එතුමා එසේ අධිෂ්ඨානයක්‌ හෝ ඇතිකර ගැනීම අප පැසසිය යුතුය.

අපේ මැතිවරණ කොමසාරිස්‌තුමනි, මේ ජර පත් දේශපාලන විකෘතිය අතහැර දැමීමට කිසිවෙක්‌ කැමති නැති බව ඔබතුමාද දන්නෙහිය. අපිද දනිමු. එහෙත් යම් පමණකින් හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ පතුරු හෝ බේරාදීමට ඔබතුමාටත්, පොලිසියටත් හැකි වේ. නම් එදාට අපි කැවුම් කිරිබත් කන්නෙමු. අනේ දැන් හොඳ ඡන්දයක්‌ නිමවී යෑයි ඔබට ප්‍රශස්‌ති ද ගයන්නෙමු. එහෙත් ඒ සිහිනය අපි කවදා දකිමුද?
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.