සැමට සෙවණක බලාපොරොත්තුව

ආහාර, ඇඳුම් නිවසක්‌ මිනිසකුගේ මූලික අවශ්‍යතා අතර වේ. නිවසක්‌ අහිමි ලක්‍ෂ ගණනක ජනතාවක්‌ අද මෙරට සිටිති. ඇතැමකු ජීවිත කාලයම ජීවත් වන්නේ කුලී නිවාසවලය. නැතිනම් අනවසර බිමක අටවාගත් පැල්පතකය. කොළඹ නගරය ගත් කල මෙවැනි පැල්පත් හා මුඩුක්‌කු සංකීර්ණවල ලක්‍ෂගණනක ජනතාවක්‌ ජීවත් වෙති. මැතිවරණ සමය ළං වන විට මේ අනවසර බිම්වලට එන දේශපාලනඥයන් නිවාස අංක දෙමින් මේ අනවසර පැල්පත්වලට නීත්‍යනුකූල භාවයක්‌ ලබාදේ. අද කොළඹ ගංවතුර තර්ජනයට සෘජු ලෙසම මේ පැල්පත් හා මුඩුක්‌කු නිවාස සංකීර්ණ ද බලපා තිබේ.

කොළඹ නගරය සැලැසුම් කළේ යටත්විජිත සමයේදීය. එකල කොළඹ නගරය තුළ භාණ්‌ඩ ප්‍රවාහන හා මගී ප්‍රවාහන කටයුතු සඳහා ඇළ මාර්ග ඉතා ක්‍රමානුකූලව සකසා තිබිණි. අද මේ එකදු ඇළ මාර්ගයක්‌වත් ප්‍රයෝජනයට ගත නොහැකි මට්‌ටමකට පත්ව තිබේ. හේතුව අනවසර නිවාසත්, පැල්පත් හා මුඩුක්‌කු සංකීර්ණ ය. ඊට අමතරව ඉදිකර තිබෙන කර්මාන්ත හා තට්‌ටු ගොඩනැගිලිය. මේ සෑම තැනකින්ම මුදාහරින දහජරාව ගලා එන්නේ මේ කියන ඇළ මාර්ග වෙතය. බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශය කලක්‌ දුගඳින් පිරී තිබිණි. මංගල සමරවීර මහතා නාගරික සංවර්ධන ඇමැතිවරයාව සිටි කාලයේ බේරේ වැව හාරා පවිත්‍ර නොකරන්නට අද කොළඹට පය තබන්නට බැරි ලෙස දුගඳින් පිරී යන්නට ඉඩ තිබිණි.

"1977 දී මේ රටේ මහා පරිමාණ දේශපාලන පෙරළියක්‌ සිදුවිය. නිදහසින් පසු ලංකාවේ නිවාස ප්‍රශ්නය ද බරපතළ ලෙස හිස ඔසවන්නට විය. අද කොළඹ නගරය මහ අපායක්‌ ලෙස පෙනෙන්නේ අපිරිසිදුකම නිසාය.

මහනුවර සිට කොළඹට ඇතුල් වන විටත්, මීගමුව මාර්ගයේ පැමිණ කොළඹට ඇතුල් වන විටත් පෙනෙන්නේ ටකරන් ගැසූ පැල්පත් සංකීර්ණයන්ය. ගාලුපාර ඔස්‌සේ කොළඹට පැමිණියත්, අවිස්‌සාවේල්ල මාර්ගයේ සිට කොළඹට ඇතුල් වුවත් මේ මුඩුක්‌කු හා පැල්පත්වලින් අඩුවක්‌ නැත. ශ්‍රී ලංකාව හරි දුප්පත් රටක්‌ නේදැයි මෙරටට එන ඕනෑම විදේශිකයකුට මේ නිවාස දුටු සැණිsන් වැටහේ. කොළඹ අලංකාරයට, ගංවතුර තර්ජනයට මෙන්ම මෙරට ජීවත්වන මිනිසුන්ගේ සෞඛ්‍යයට ද සෘජු ලෙසම බලපා තිබෙන මෙම පැල්පත් හා මුඩුක්‌කු නිවාස සංකීර්ණ ඉවත් කර ඒ අයට ජීවත්වීමට, සුදුසු, පහසුකම් සහිත නිවාස ව්‍යාපෘතියක අවශ්‍යතාව කලක සිට මෙරට තිබූ අවශ්‍යතාවකි.

ඒ අවශ්‍යතාව ඉටු කිරීමට ගෙවී ගිය කාලයේදී විවිධ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද ඒ එකකින්වත් පවතින මුඩුක්‌කු හා පැල්පත් නිවාස ප්‍රශ්නයට විසඳුමක්‌ ලැබුණේ නැත.

මෙම කාරණයේදී "ගම් උදා" වැඩසටහන ප්‍රශංසනීය වැඩ කොටසක්‌ ඉටු කළ බව පිළිගත යුතුය. "ගම් උදා" වැඩසටහන් හරහා අලුත් ගම් බිහිවූ අතර අලුත් නගර ඇතිවීමටද එය බලපෑමක්‌ බවට පත් විය. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේදී අගමැති ලෙස කටයුතු කළ ආර්. ප්‍රේමදාස මහතා ගම් උදා වැඩසටහන හරහා නිවාස අහිමිව සිටි දශලක්‍ෂයකට නව නිවාස ලබාදීම සඳහා "ගම් උදා" වැඩසටහන අරඹා සාර්ථකව ඉදිරියට කරගෙන ගියේය. එකල ඊට එරෙහි වූවෝ ද සිටියහ. ප්‍රේමදාස මහතාගේ උපන්දිනය දා "ගම් උදාව" සැණකෙළියක්‌ බවට පත් කර මුදල් කාබාසිනියා කළ බවටද චෝදනා එල්ල විය. නමුත් ආර්. ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවයෙන් පසුව ගම්උදාවද අභාවයට ගිය අතර අදටත් "ගම්උදාවක්‌" වැනි නිවාස ව්‍යාපෘතියක අඩුව රටට ඉතිරිව තිබේ.

අද (16 වැනිsදා) මේ ඇරඹෙන්නේ එවන් ජාතික නිවාස ව්‍යාපෘතියක්‌ දැයි අපි නොදනිමු. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ලබාදුන් "මහින්ද චින්තනය" තුළින් සැමට නිවසක්‌ ලබා දෙන බවට පොරොන්දුවක්‌ දී තිබේ.

"ජනසෙවණ නිවාස ව්‍යාපෘතිය" නමින් මේ ඇරඹෙන්නේ ඒ නිවාස ව්‍යාපෘතිය ද? ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් පසුව රටටත්, රටේ ජනතාවටත්, විශේෂයෙන්ම නිවසක්‌ අහිමි වූවන්ට නිවසක අයිතිය ලැබෙන සේ නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්‌ රජය ක්‍රියාත්මක කිරීමට පටන් ගැනීම සතුටට කරුණකි. රටක්‌ ගොඩනගන්නට නම් රටේ පොදු මහජනයා වගේ ප්‍රශ්න එකින් එක විසඳිය යුතු වේ.

නොමිලේ ආහාරදී, නොමිලේ ඇඳුම් පැලඳුම් දී, නොමිලේ බෙහෙත් හේත් දී, නොමිලේ නිවසක්‌ ලබාදී මේ රටේ ජනතාව සුඛිත මුදිත කර රට සංවර්ධනය කළ නොහැකි බව සැබෑය. නමුත් මේ රට සංවර්ධනය කිරීමට නම් කොළඹ පැල්පත්ටික, මේ මුඩුක්‌කු සංකීර්ණ, අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතුමය. කොළඹ අද අපායක සිරි ගනී. කොළඹ එක්‌තරා කොටසක්‌ මහ ධනවතුන්ගෙන් සමන්විත මහල් නිවාසවලින් පිරී තිබියදී තවත් පසෙක ජීවත්වන්නේ, අන්ත දිළින්දෝය.

දුප්පතුන් නැති ලෝකයක්‌ පැතුවත් දුප්පත්කම සියයට සියයකින් නැති කළ නොහැකි බව කියති. නමුත් මේ පැල්පත් හා මුඩුක්‌කු නිවාස සංකීර්ණ ප්‍රශ්නයට වත් විසඳුමක්‌ දීමට හැකි නම් කොළඹ ගොඩගැසී සිටින දිළිඳු ජන කොටස්‌වල බරපතළ ප්‍රශ්නයක්‌ විසඳී යන බව ඇත්තකි.

වත්මන් රජයේ අරමුණ ඉදිරි වසර පහ තුළ නිවාස දශ ලක්‍ෂයක්‌ ඉදිකිරීමය. ඒ අනුව අද (16 වැනිදා) කිරුළපන, මිහිඳුපුර නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරේ. එය වසර දෙකක්‌ තුළ නිම කිරීමද රජයේ අරමුණය. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්‌ථා බැංකුව, රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව ඒකාබද්ධව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරති.

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැතිවරයා ලෙස විමල් වීරවංශ මහතා මෙම "නිවාස ව්‍යාපෘති" ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන තිබෙන අතර මෙය සාර්ථකව ඉදිරියටත් කරගෙන යැමට හැකිවීම යනු ඔහුගේද දේශපාලන ගමනේ නව සංධිෂ්ඨානයකට එය හේතුවනු ඇත.

නිවාස දශ ලක්‍ෂයක ව්‍යාපෘතිය වසර පහක්‌ තුළ සිදු කිරීමට නියමිතව තිබෙන අතර 2011 වසරේ පමණක්‌ ඉදිකිරීමට සැලැසුම් කර තිබෙන නිවාස ගණන හැටදහසකි. මෙරට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයකටම එක්‌ නිවාස ව්‍යාපෘතියක්‌ මෙම වසරේදීම ලබාදීම ද අරමුණකිs. ඒ සඳහා මෙම වසරේ රුපියල් මිලියන 4500 ක්‌ ඒ සඳහා ඇස්‌තමේන්තු කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි "ලක්‌විජය සාගර පලන්සූරිය මහතා පැවැසීය.

දැනටමත් "හරිත පුරවර", "ජන සෙවණ උපහාර", "සසුනින් සෙවණ" සසුනට සෙවණ", "සහ සවිය", "නගමු පුරවර" , "සහශ්‍ර ලංකා" ආදී නිවාස ව්‍යාපෘති ද ක්‍රියාත්මක වන බව සඳහන්ය.

නිවාස ව්‍යාපෘති විවිධ නම්වලින් ක්‍රියාත්මක වුවත්, විවිධ ආයතනවලින් ක්‍රියාත්මක වුවත් කම් නැත. නමුත් මේ හරහා අවසානයේදී සිදුවිය යුත්තේ නිවසක අවශ්‍යතාව දැඩිව දැනෙන, නිවසක්‌ ඉදිකරගත නොහැකි සැබෑ දුප්පත් පවුල්වලට මේ නිවාස ලබාදීමය. මෙරට ඉතිහාසය තුළ ක්‍රියාත්මක වූ විවිධ නිවාස ව්‍යාපෘති යම් යම් අයගේ ව්‍යාපාර බවට පත් වූ බවද නොරහසකි. කොන්ත්‍රාත්කරුවන්ගේ සාක්‌කු පුරවන, දේශපාලන හෙංචයියලාගේ මඩි තර කරන, දේශපාලන කේවට්‌ටයන්ගේ හා දේශපාලන හිතවතුන්ගේ "හිසට සෙවණ" දෙන නිවාස ව්‍යාපෘතිවලින් ඵලක්‌ නැත. නිවසක්‌ අවශ්‍ය වන්නේ නිවසක්‌ ඉදිකිරීමට වත් පොහොසත්කමක්‌, සවි ශක්‌තියක්‌ නොමැති දුප්පතුන්ටය. මුලින්ම කොළඹ පැල්පත් හා මුඩුක්‌කු සංකීර්ණ ඉවත් කළ හැකි සේ තට්‌ටු නිවාස හෝ ක්‍රමවත්ව සැකසූ නිවාස සංකීර්ණ ඉදිකළ යුතුව තිබේ. කොළඹ සැලැසුමකට සකස්‌ කළ හැක්‌කේ එවිටය. කොළඹ පමණක්‌ නොව ගම් නියම් ගම්වලද දුප්පතුන් සිටියි. අසරණ වූ පවුල් සිටිති. ඒ අය වෙනුවෙන් "ගම් උදාව" වැනි නිවාස සංකීර්ණ හරහා සෙත සැලැසිය හැකිය. එවැනි නිවාස ව්‍යාපෘතියක අවශ්‍යතාව තාම ඉටුවී නැති බව සැබෑය.

උතුර සහ නැගෙනහිර යන ප්‍රදේශ දෙක පුරා වසර තිහකට ආසන්න කාලයක්‌ යුද්ධයක්‌ තිබිණි. ඒ ප්‍රදේශවලද නිවාස අහිමි වූවෝ ලක්‍ෂ ගණනකි. විවිධ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම රජයේ ව්‍යාපෘති යටතේ ද ඒ ප්‍රදේශවලට නිවාස ඉදිවේ. රාජ්‍ය ආයතන ස්‌ථාපිත කෙරේ. මේ ව්‍යාපෘති එකිනෙකට බද්ධ කළ යුතුය. විවිධ ආයතන, විවිධ අමාත්‍යාංශ, විවිධ සංස්‌ථා, එක එක ව්‍යාපෘති ක්‍රියාත්මක කරති. හැකි නම් ජාතික නිවාස ව්‍යාපෘතියක්‌ යටතේ මේ රටේ යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාවටත්. මේ රටේ නිවාස අහිමි වූ ජනතාවටත් හිසට සෙවණක්‌ සිතට සහනයක්‌ ලැබෙන සේ ජාතික නිවාස ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වන්නේ නම් එය ඉතා කාලෝචිතය. පමා වී හෝ මේ ඇරඹුණේ ජාතිය ඉල්ලන නිවාස ව්‍යාපෘතියදැයි අපි නොදනිමු.

ලෝකයේ මහබලවතුන් අපට උපදෙස්‌ දෙන්නේ කිසිම දෙයක්‌ නොමිලේ ලබා දිය යුතු නැති බවයි. නිදහස්‌ අධ්‍යාපනය, නිදහස්‌ සෞඛ්‍යය සමෘද්ධිය ආදී ව්‍යාපෘති නතර කරන ලෙසට ලෝක බැංකුව වැනි ආයතනවල මතයයි. ස්‌ථාවරය යි. නමුත් නිදහස්‌ අධ්‍යාපනය, නිදහස්‌ සෞඛ්‍යය හා සමෘද්ධි දීමනාව ආදිය නිසා මෙරට කී දෙනකු අද ජීවිතයේ ප්‍රශ්න යට කර ඉහළට මතුවී ඇත්දැයි බලන්නට කිසිවෙක්‌ ක්‍රියා නොකරති. ජාතික නිවාස ව්‍යාපෘති ද එයාකාරය. මේවා හරියට ක්‍රියාත්මක කිරීම තුළින් දුප්පතුන්ට විශාල සෙතක්‌ සැලසිය හැකිය. නමුත් අද මෙරට නිදහස්‌ අධ්‍යාපනය සේම, නිදහස්‌ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වන ආකාරයේ මෙන්ම නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති පිටුපසද වංචා, දූෂණ, අක්‍රමිකතා සිදු වේ.

අප උත්සාහ කළ යුත්තේ ජාතික අවශ්‍යතාවට අනුව කිසිදු දේශපාලන පක්‍ෂයකට, කිසිදු දේශපාලනඥයකුට හෝ කිසිදු හිතවත්කමකට යට නොවී දුප්පතුන් වෙනුවෙන්ම මෙම නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බවකි.

"ගම් උදාව" අපට සිහි වන්නේ ඒ නිසාය. හිසට සෙවණක්‌ නැති දුප්පතුන් බොහොමයකට ගම් උදාවෙන් නිවසක්‌ ලද බව ඇත්තකි. ඒ හරහා විවිධ වාසි, ලාභ ලබාගත් පිරිස්‌ ද සිටියහ. එහි අඩුපාඩු ද තිබිණි. මුදල් නාස්‌ති කළ පිරිස්‌ද සිටියහ. නමුත් "ගම් උදාව" අදටත් විශ්වකර්ම ව්‍යාපෘතියකි.

"ජන සෙවණ" ව්‍යාපෘතිය අද ඇරඹෙන්නේ ඒ හිඩැස්‌ වසා දමා විය යුතුය. වසර ගණනකට පසු මේ රටේ නිවසක සිහින දකින, නැති බැරි මිනිසුන්ට නිවසක්‌ ලැබෙන "ජනසෙවණ" නිවාස ව්‍යාපෘතිය "ගම් උදාව" ව්‍යාපෘතියටත් වඩා සාර්ථක නිවාස ව්‍යාපෘතියක්‌ වනු දැක්‌ම අපේ ප්‍රාර්ථනයයි. මේ රටේ පැල්පත් තිබිය යුතු නැත. මුඩුක්‌කු නිවාස සංකීර්ණ තිබිය යුතු ද නැත. විවිධ දේශපාලනඥයන්ගේ විවිධ දේශපාලන පෙරොන්දුවලට රැවටෙන මේ ජනතාව දෙපයින් සිටවිය යුතුය. නිවසක අයිතිය මේ රටේ හැමටම උරුම විය යුතු දෙයකි. තමන්ටම කියා නිවසක, නිදහසේ, පිරිසිදුව, විශ්වාසයෙන් ජීවත්වීමට අකැමැති කිසිවකු නැත.

ඒනිසා "ජනසෙවණ" නිවාස ව්‍යාපෘතිය හරහා මේ රටේ නිවාස නැති දශලක්‍ෂයක ජනතාවකට පමණක්‌ නොව මුළු රටේම ජනතාවට සෙත සලසන ජාතික නිවාස ව්‍යාපෘතියක්‌ බවට පත් කළ යුතුය. පමා වී හෝ මෙවැනි නිවාස ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වීම අගනේය.

ශිරාන් රණසිංහ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.