බෞද්ධ අධ්‍යාපනයේ නිර්මාතෘ සෙන්පති
හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌


104 වැනි අනුස්‌මරණය 17 දා

මානව ඉතිහාසය සැබැවින්ම ශ්‍රේෂ්ඨ වන්නේත් සුන්දර වන්නේත් ලෝකයේ වරින් වර පහළ වන යුග පූරුෂයන්ගේ විවිධ ක්‍රියාවලියන් තුළින් හා සිතුම් පැතුම් වලිනි. මෙවැනි යුග පුරුෂයන් ඔවුන්ගේ සුවිශේෂ දිනවලදී ගෞරවයන් සමරා, ඔවුන් විසින් කරන ලද සත් ක්‍රියාවන් යළි යළිත් මෙනෙහි කොට, එයින් ආභාසය ලබා, අපගේ ජීවිත හැඩගස්‌වා ගත යුතුය.

මෙම 17 දින 104 වන ගුණ සමරුවෙන් පිදුම් ලබන, සෙන්පති හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා සකල ලෝක බෞද්ධ ජනතාවට හා විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාවට සුවිශේෂ සේවාවක්‌ ඉටු කළ, මෙබඳු පිදුම් ලැබිය යුතු යුග පුරුෂයෙකි.

දිගු කලක්‌ උදාසීනව නිදා සිටි ජාතියක්‌ අවදි කළ උදාර සෙන්පතියකු හැටියටත්, සම්බුද්ධ ශාසනයට නිසි තැන ලබාදෙන්නට සටන් කළ පුරෝගාමියා හැටියටත්, වර්ෂ 1885 දී වෙසක්‌ මස පුර පසළොස්‌වක පොහෝ දිනය, රජයේ නිවාඩු දිනයක්‌ බවට පත් කරන්නට, එවකට පැවැති යටත් විජිත රජය පෙළඹවූ ප්‍රතිසංස්‌කරණවාදියා හැටියටත්, ආනන්ද, නාලන්ද, මලියදේව, ධර්මපාල, ධර්මරාජ, ගාල්ල මහින්ද, විශාකා, මියුසියස්‌ වැනි බොදු ජාතික විද්‍යාපීඨවල සමාරම්භකයා හැටියටත්, ඕල්කට්‌තුමා පිළිබඳ මතකය අපගේ චිත්ත සන්තානවල සදහටම ජීවත් වෙමින්, අප අපගෙන් හැම විටම විමසන්නේ, ඔබ රට, ජාතිය, ආගම, යුක්‌තිය, සදාචාරය, වෙනුවෙන් දුන් දායකත්වය කුමක්‌ද කියාය.

"සත්‍යයට වඩා උසස්‌ ආගමක්‌ නැත" යන ආදර්ශ පාඨය තුළින් ලෝකයේ සත්‍යය සොයා ගිය මෙතුමා, එම අරමුණ ඉටු කර ගනු පිණිස 1875 නොවැම්බර් 17 වන දින ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවරදී, පරම විඥානාර්ථ සංගමය පිහිටුවීය. මෙම සංගමය තුළින් යුක්‌තිය, සදාචාරය, සහෝදරත්වය හා නිදහස උදෙසා ක්‍රියා කිරීම නිසා ලොව විද්වත්තු එතුමා වටා එක්‌ රොක්‌ වූහ. මෙහිදී එතුමාට අසහාය සහයක්‌ දුන් හෙලේනා බ්ලැවැස්‌කි මැතිනිය ද අපි ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙමු. ඕල්කට්‌තුමා ඇමරිකන් ජාතිකයෙකි.

උපතින්ම කිතු බැතිමතෙකු වූ මෙතුමා හට ඇමරිකාවේදී එදා ලක්‌දිව මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ පානදුරා වාදය ගැන ලියවුණු පත්‍රිකාවක්‌ කියවීමට ලැබිණි. මෙතෙක්‌ ලෝකයේ සත්‍ය සොයමින් සිටි මෙතුමන්ට නිර්මල බුදු දහම තුළ ගැබ්ව තිබූ දර්ශනය දැක එම දහම වඩවඩාත් ගවේෂණය කළේය. මෙහි ප්‍රතිඵලය වූයේ 1880 මැයි මස 17 වන දින හෙලේනා පී. බ්ලැවැස්‌කි මැතිනිය ඇතුළු පිරිසක්‌ සමග ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද පිරිවෙනට පැමිණ එහි දී පූජ්‍ය අක්‌මීමන ධර්මාරාම මහා ස්‌වාමීන් වහන්සේගෙන් තිසරණ සහිත පංචශීලය ලබා හදවතින්ම බෞද්ධයකු බවට පත් වීමය. පූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල, පූජ්‍ය මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද, පූජ්‍ය වස්‌කඩුවේ ශ්‍රී සුභූති ආදී විද්වත් හිමිවරුන්ගේ ඇසුර තුළින් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයා වැටී සිටි ප්‍රපාතය දුටු ඕල්කට්‌තුමා, ඔවුන් එයින් ගොඩගැනීමට නම්, ස්‌ථිර එකමුතුවක අවශ්‍යතාවත්, දිර්ඝකාලීන එහෙත් කඩිනම් බල වේගයක්‌ ඇති කළ යුතු බවත්, මේ සඳහා අධ්‍යාපනය උපයෝගී කරගෙන බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය බෞද්ධ පරිසරයකට නැඹුරු කළ යුතු බවත්, වටහා ගෙන 1880 ජුනි මස 17 වන දින කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය පිහිටුවිය. අනාගත ජාතියක ජීවනාලිය ර¹ පවතින්නේ වර්තමාන දරුවන්ගේ හැදියාව හා අධ්‍යාපනය මත බව වටහා ගත් මෙතුමා, කොළඹ මැලිබන් වීදියේ දෙමහල් ගොඩනැඟිල්ලක්‌ මිලට ගෙන, පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ කාර්යාලය සඳහා යොදා ගත් අතර, පසුව ශිෂ්‍යයන් 37 දෙනෙකුගෙන් යුත් ඉංග්‍රීසි පාඨමාලාවක්‌ ඩබ්ලිව්. ලෙට්‌ බීටර් මහතාගේ ප්‍රධානාචාර්ය ධුරයෙන් මෙම ස්‌ථානයේ ආරම්භ කළේය.

ඉංග්‍රීසි ජාතික ශ්‍රාස්‌ත්‍රාචාර්ය ඩබ්ලිව්. ලෙඩි බීටර් මහතා ක්‍රි. ව. 1889 දක්‌වා නොමිලයේ ඉගැන්වීම් කළ අතර, 1889 පසු ප්‍රධානචාර්ය ධුරයට ඒ. ඊ. බුල්ජන්ස්‌ මහතා පත්ව ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවන විට ක්‍රි. ව. 1895 දී මෙම පාසල මරදානට ගෙන යන ලදී. වත්මන් ආනන්ද විද්‍යාලය නමින් ලක්‌දිව බෞද්ධයන්ගේ අග්‍රේෂ්වර පාඨශාලාවක්‌ බවට පත් වී ඇත්තේ, එදා පිටකොටුවේ කුඩාශාලාවක ඕල්කට්‌තුමාගේ දූරදර්ශී දැක්‌ම තුළින් පටන් ගත් පාසලයි. සෙන්පති හෙන්රි ස්‌ටීල් ඕල්කොට්‌තුමාගේ දර්ශනය තව දුරටත් ඉදිරියට ගෙන යමින්, තව තවත් පාඨශාලා මහත් බාධක මධ්‍යයේ ආරම්භ කිරීමට කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය සමත් විය. ආනන්ද, නාලන්ද, ධර්මපාල, මලියදේව, ධර්මරාජ, විශාඛා, මියුසියස්‌ වැනි පාඨශාලාවල් ඇතුළුව පාඨශාලා 460 ක්‌ කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ නිර්මාතෘ ඕල්කොට්‌තුමාගේ දර්ශනයෙන් බිහිවූ බව අප සිහිපත් කරන්නේ මහත් ආඩම්බරයෙන් හා භක්‌තිපූර්වකවය. නොයෙකුත් විදේශ බලපෑම්, අර්ථික දුෂ්කරතා, දහසකුත් එකක්‌ කරදර මැද අපේ බෞද්ධයන්ට අමතකව ගිය හා අමතක කළ ජාතික ගති සිරිත් හා ගුණ ධර්මයන් නැවත ජාතියේ ඉදිරි මඟ සමග යහමඟට යොමු කළ සෙන්පති හෙන්රි ස්‌ටීල් ඕල්කොට්‌ වැනි උදාර පුරුෂයන් සිහිපත් කිරීම, කෘතවේදී ජාතියකගේ යුතුකමක්‌ වන්නේය.

ඕල්කොට්‌තුමා විසින් කරන ලද මහඟු සේවාව බුදු දහමට හෝ අධ්‍යාපනයට හෝ පමණක්‌ සීමා වූයේ නැත. දේශීය ආහාර බෝග අගය කරන්ටත්, දේශීය කර්මාන්ත ව්‍යාපාර ආරම්භ කරන්ටත් එතුමා විසින් ස්‌වදේශිකයන් පොළඹවන ලදී. ඕල්කොට්‌තුමාගේ ඇවෑමෙන් එතුමාගේ ආභාසය ලැබූ ධර්මපාල තුමා වැනි ශේ්‍රෂ්ඨ පුද්ගලයන් මෙම මගෙහි එඩිතරව ගමන් කළ බවට ඉතිහාසය සාක්‍ෂි දරයි.

එස්‌. පී. වීරසේකර,
සභාපති,
කොළඹ
පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.