පැන ආ සෙබළා කඳවුරට ගෙන යද්දී
වැල්ලව දුම්රිය පාලමේ ගැටී මරුට


අර්වින් රෝයි සිල්වා - වැල්ලව

පොදු සමා කාලයේදී හමුදාවට භාර වූ සෙබළකු රාත්‍රි දුම්රියෙන් කඳවුරට ගෙන යද්දී වැල්ලව කළු පාලමේ ගැටී මරණයට පත්ව ඇත.

උතුරුදිග දුම්රිය මාර්ගයේ වැල්ලව දැදුරුඔය මතින් දමා ඇති කළු පාලමේ ගැටී පෙරේදා (14) අලුයම මෙලෙස මරණයට පත් වුයේ කාලතුවක්‌කු රෙජිමේන්තුවේ ජී. ආර්. සුරංග සම්පත් නමැති 20 හැවිරිදි තරුණයෙකි. මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඔහු හමුදා සේවයෙන් පැන ආ අතර පසුගිය පොදු සමාවේදී නැවත භාර වූ බව කියයි. එසේ භාර වූ ඔහු ඇතුළු 07 දෙනකු පනාගොඩ හමුදා කඳවුරේ සිට මන්නාරම දක්‌වා රාත්‍රි දුම්රියකින් රැගෙන යමින් සිටියදී පෙරේදා (14) අලුයම 1.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත. කණ්‌ඩායමෙන් එක්‌ සාමාජිකයකු අඩු බව දැනගත් ඔවුන් භාරව ගිය නිලධාරියා ඒ බව දැනුම් දී දුම්රිය මාර්ගය පරීක්‍ෂා කිරීමේදී වැල්ලව පොලිසිය මගින් දැදුරුඔයේ තිබී මෘත ශරීරය සොයා ගෙන ඇත.

කුරුණෑගල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්‌. එම්. එච්. එම්. කේ. සේනානායක මහතා මෙය දුම්රිය අනතුරකින් මොළයට හා හිසට තුවාල සිදුවීමක්‌ නිසා සිදු වූ මරණයක්‌ බව නිගමනය කළේය. මහගල්බඩ එගොඩ හදිසි මරණ පරීක්‍ෂක වීරසේකර මහතා මරණ පරීක්‍ෂණය පැවැත්වීය. වැල්ලව පොලිසියේ සැරයන් (57257) අනුර බණ්‌ඩාර මහතා සාක්‍ෂි සටහන් කර ගත්තේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.