වෙරළුගොල්ලේ ළිඳකට වැටී සිටි දිවියකු
දින 2 කට පසු බේරා ගනිති


සුරංග දිල්හාන් - ගම්පොල

නාවලපිටිය වෙරළුගොල්ල ගම්මානයේ ළිඳකට වැටී සිටි හොඳින් වැඩී ඇති ඉතා දුර්ලභ ගණයේ දිවියකු බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරිහු කඩිනමින් කටයුතු නොකිරීම නිසා එම සතාට දින 02 ක්‌ පුරා එම ළිඳ තුළම සිටීමට සිදුවූ බැවින් දැඩි ජනතා විරෝධය එල්ල වී තිබිණි.

වනජීවී දෙපාර්තමේන්තුව තුළ වනජීවී වෛද්‍යවරුන් ලංකාවටම 5 දෙනකු පමණක්‌ සිටීම හා දැඩි වාහන හිඟය මෙම ප්‍රමාදයට හේතුවී තිබිණි.

පසුගිය 12 වැනිදා රාත්‍රි ළිඳට වැටී සිටි මෙම සතා පිළිබඳව එම ළිඳ අයිතිකරු වන කේ. ලියනගම මහතා විසින් 13 වැනිදා උදෑසන 7.00 ට පමණ නාවලපිටිය පොලිසිය වෙත දන්වා ඇති අතර නාවලපිටිය පොලිස්‌ නිලධාරීන් පැමිණ ඒ පිළිබඳව උදෑසන 8.30 ට පමණ වනජීවී දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබේ.

නාවලපිටිය පොලිසිය ඒ අයුරින් ක්‍රියාත්මක වෙමින් සිටියදී ලියනගම මහතා හා ඔහුගේ බිරිඳ අජන්තා ගමගේ මහත්මිය ගමේ අය සමග රාජ්‍ය තොරතුරු අංශය වෙත එම සිද්ධිය දන්වා ඒ මගින් අදාළ ස්‌ථානවල අංක ලබාගෙන මිනිපේ වනජීවී කාර්යාලයටත් මහනුවර හා නුවරඑළිය වනජීවී කාර්යාලවලටත් මේ පිළිබඳ දන්වා තිබේ.

(13 දා) දින දහවල් වන විට මේ සිද්ධිය කණවැකුණු වෙරළුගොල්ල දෙකිඳ, මාපා කන්ද අළුත්ගම ආදී ප්‍රදේශවල සියගණනක්‌ ජනයා මෙම ස්‌ථානයට එක්‌ රොක්‌වූ අතර නාවලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති උදය වික්‍රමසේකර මහතා මහජනයාගේ මෙන්ම දිවියාගේ ආරක්‌ෂාව සඳහා පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම ස්‌ථානයේ සේවය සඳහා යොදවා තිබිණි.

දහවල් වන විට, නුවරඑළිය වනජීවී කාර්යාලයෙන් නිලධාරීන් දෙදෙනකු පැමිණ සිටියත් මෙම සතා නිර්වින්දනය කිරීමට හා ඌ රැගෙන යැමට කූඩුවක්‌ නොමැතිවීම නිසා ඔවුන් සමග පොලිසියද එක්‌ව අදාළ අංශ වෙත දුරකථන ඇමැතුම් දුන්නද රාත්‍රි 7.30 පමණ වනතුරු කිසිදු නිලධාරියකු පැමිණ නොසිටියේය.

රාත්‍රි කාලයේ දී කූඩුවක්‌ද සමග විල්ගමුව අඩවියේ වනජීවී වෛද්‍ය ඩබ්. ඒ. ධර්මකීර්ති මහතා පැමිණියද පැමිණ සිටි මහජනයාට සහ පොලිsස්‌ නිලධාරීන්ට පවසා සිටියේ සවස 6 න් පසු නිර්වින්දනය කිරීම නීතියට පටහැනි නිසා එසේ කිරීමට නොහැකි බවය.

මේ වන විටත් දැඩි කෝපයෙන් රැස්‌ව සිටි පිරිස වනජීවී නිලධාරීන්ට දොස්‌ පැවරූ අතර නාවලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති උදය වික්‍රමසේකර මහතා සිද්ධිය සමථයකට පත්කර, පසු දින දිවියා ගොඩ ගැනීමට කටයුතු කරන තුරු කලබල නොකරන ලෙස ඉල්ලා සිටියේය.

මෙහිදී සතා පිළිබඳ අදහස්‌ දැක්‌වූ ගම්වාසීන් ප්‍රකාශ කර සිටියේ මෙම දිවියා නිසා ගමේ සියලු දෙනාගේ ජීවිත දැඩි අවදානමකට ලක්‌ව තිබූ බවයි.

මේ වන විට ගමේ සිටි එළහරකුන් හා එළුවන් දිවියා විසින් මරා ඇති බවත් නිවෙස්‌වල සිටි බල්ලන් 50 කට අධික සංඛ්‍යාවක්‌ කා දමා ඇති බවත් පැවසූ ගම්වාසීන් කෑලැවක්‌ හරහා වැටී ඇති ගම්මාන මාර්ගයේ උදෑසන පාසල් යවන කුඩා දරුවන්ගේ ජීවිතවලට දැඩි අනතුරක්‌ ඇතිවී තිබුණ බවයි.

මෙහිදී වෛද්‍ය ධර්මකීර්ති මහතා අදහස්‌ දක්‌වමින් කියාසිටියේ මාදුරු ඔය වනයේ සිටි අලි පැටවුන් දෙදෙනකු පිළිබඳ සොයා බැලීමට ගොස්‌ සිටි නිසා ඒමට නොහැකි වීම තවත් එක්‌ හේතුවක්‌ බවයි.

පෙරේදා 13 රාත්‍රි එම ගමේම ගත කළ වෛද්‍ය ධර්ම කීර්ති මහතා ඇතුළු පිරිස ඊයේ (14 දා) දින දිවියා ගොඩගැනීමේ මෙහෙයුම ආරම්භ කළේ නාවලපිටිය පොලිසියේ හා ගම්මුන්ගේ සහයෝගයෙනි.

නිර්වින්දනය කිරීමෙන් පසු දිවියාට ලණු දමා ළිඳෙන් ගොඩට ගෙන කූඩුවක දමා වනජීවී කාර්යාල වාහනයකින් එම සතා රැගෙන යනු ලැබීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.