ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ පුරාණය සහ ප්‍රථම ක්‍රිකට්‌ තරගය



1916 සමයේ ශ්‍රී ලංකා (එකල සිලෝන්) ක්‍රිකට්‌ සුප්‍රසද්ධි පිතිකරු යුගල එම්. කේ. ඇල්බර්ට්‌ සහ එල්. ඩී. එස්‌. ගුණසේකර.

ක්‍රිකට්‌ ක්‍රීඩාව යටත් විජිත යුගයෙන් ශ්‍රී ලංකාව ලද දායාදයකි. හිරු නොබසින අධිරාජ්‍යයේ ධජය අහසේ පා කොට හළ සෑම විජිතයකම මිහිමත සිය ජාතික ක්‍රිකට්‌ ක්‍රීඩාවේ විකට්‌ටුවද සිටුවා යැමට ඔවුහු අමතක නොකළහ. දහනව වැනි සියවසේ මුල් භාගයේදී මෙරට නැවතී සිටි ඉංග්‍රීසි යුධ හමුදා සේනාංකවල පිරිස්‌ කාන්සිය මගහරවා විනෝදවීම සඳහා මුල්වරට ක්‍රිකට්‌ ක්‍රීඩාවේ යෙදීමෙන් පසු එම ක්‍රීඩාව මෙරට ව්‍යාප්ත වී ගිය බැව් පෙනේ. දැන් මෙන් ඉස්‌තරම් ලෙස සකස්‌ කරන ලද තණ තිල්ල මත නොව, රළු පරළු ගොරහැඩි බිම් මත ඊට සරිලන ඇඳුම් ආම්පන්න නොමැතිව ඔවුන් එදා ක්‍රිකට්‌ ක්‍රීඩා කළේ අද පවතින උනන්දුවකින් හා උෙද්‍යාaගයකින්මය. එම ක්‍රීඩාව මුල් බැස ගත් අන්දම විමසීමේදී ප්‍රථම වරට එහි ඉතිහාසය නියම වකවානු සහිතව හෙළිවනුයේ දැනට රාජකීය විද්‍යාලය නමින් හඳුන්වන එදා (හල්ට්‌ස්‌ඩෝප්හි) කොළඹ ඇකඩමියේ උප විදුහල්පති වශයෙන් සිටි ශූර ක්‍රීඩකයකු වූ දේවගැති බෲක්‌ බේලි එහි සිසු පිරිසක්‌ සමඟ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ යෙදුණු බැව් 1832 දී පළවූ "මිසලනි" නම් වාරිකයක සඳහන්ව තිබීමෙනි. ඒ අනුව සියවස්‌ එකහමාරකට පමණ පෙර එම ක්‍රීඩාව පිළිබඳ උපදෙස්‌ හා ගුරුහරුකම් දීමේ නියුතු වූ දේවගැති බෲක්‌ බේලි ක්‍රිකට්‌ ක්‍රිඩාව මෙරට ජනප්‍රිය කරවීමෙහිලා පුරෝගාමී වූ බැව් වැඩිදුරටත් එහි සඳහන් වී තිබේ. එතැන් පටන් එය කොතරම් ජනප්‍රිය ක්‍රීඩාවක්‌ වූයේද යත්, මුල් අවධියේම එම ආයතනයෙන් බිහිවුණු ක්‍රීඩකයන් අතර සිටි දේවගැති පුත් ඇලන්සන් බේලි 1870 දී කොළඹ සහ උඩරට සමඟ පැවැති ප්‍රථම තරගයේදී ඉතා දක්‍ෂ ලෙස ක්‍රීඩා කළේය. මේ අතර මෙරට ශූර ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ලෙස වඩාත් කැපී පෙනුණ ඉංග්‍රීසි යුධ හමුදා භටයෝ කොළඹ - ගාල්ල සහ මහනුවර යන නගරවල එම ක්‍රීඩාව පවත්වාගෙන යමින් එය ජනප්‍රිය කරවීමෙහිලා උනන්දු වූහ.

අනතුරුව, විශේෂයෙන් ලංකාවේ උඩරට පළාත්වල වැවිලි ආර්ථිකය ඇරඹීමෙන් පසු මෙම ක්‍රීඩාවට ඉමහත් සේ ඇලුම් දක්‌වන්නට වූ කෝපි වගාවේ නියෑළි යුරෝපීය ජාතිකයන් ඊට කොපමණ උනන්දුවක්‌ දැක්‌වූයෙද යත්, ක්‍රිකට්‌ ක්‍රීඩාවේ යෙදීම සඳහා මහාමාර්ග හා රථවාහන නොතිබුණ එදා ඔවුන් කඳු බෑවුම් සහිත කැලෑවල දුර්ග මාර්ගවල සැතපුම් 30-40 අසු පිටින් ගිය බැව් සඳහන් වේ.

මුල් අඩසිය වසර තුළ මෙරට ක්‍රිකට්‌ ක්‍රිඩාව ලැබූ ඉමහත් දියුණුවට බෙහෙවින් හේතු වූයේ, මෙහි ඉතා වෙහෙස මහන්සි වී කෝපි වගා කළ යුරෝපීයයන් සිය විවේකය ගතකිරීම සඳහා උපයෝගී කොට ගත් ප්‍රධාන විනෝදාංශය ක්‍රිකට්‌ ක්‍රීඩාව වූ නිසයි. රුදුරු සීත කඳුකරයේ කටුක දිවි ගෙවමින් වගා ව්‍යාපාරයේ නියෑලුණු ඔවුහු සිය ජීවන බර සැහැල්ලු කර ගැනීම සඳහා ක්‍රිකට්‌ ක්‍රීඩාව කොපමණ දුරට ඉවහල් කර ගත්තෝද යත්, දුර්ග වන ලැහැබ් මද පිහිටි මනරම් තැනිතලා මැද ක්‍රිකට්‌ පිටි තනාගෙන විනෝද වූ බැව් අද ජගත් ටෙස්‌ට්‌ තරග පවා පැවැත්වීමට තරම් සුදුසු රදැල්ල වැනි අංගන දෙස්‌ දෙයි. මුල් අවධියේ එහි පැවැතියේ දිඹුල - මස්‌කෙළිය - දැරවැල්ල - දික්‌ඔය - රදැල්ල ආදී ක්‍රීඩා සමාජ වල තරගයි. 1870 දී පැවැති කොළඹ - උඩරට පිළිබඳ ප්‍රථම තරගයට සහභාගිවූ දෙපිළේ ඡායාරූපයක්‌ තවමත් එහි තිබේ.

කොළඹ නගරයේ ක්‍රීඩාභිලාෂී යුරෝපීය වෙළෙඳුන් සමූහයකගේ උනන්දුව නිසා ශ්‍රී ලංකාවේ ඉපැරණිතම ක්‍රීඩා සමාජය වන කොළඹ ක්‍රිකට්‌ සමජය හෙවත් සී. සී. සී. සමාජය බිහිවූයේ ලංකා ක්‍රිකට්‌ සංගමය පිහිටුවීමටත් පෙර වර්ෂ 1836 දීය. ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බෝර්න් ක්‍රිකට්‌ සමාජය මෙන් මෙරට ක්‍රීඩාව සඳහා අනගිභවනීය සේවයක්‌ සිදුකර ඇති සී. සී. සී. සමාජය මෙරට මෙන්ම විදෙස්‌ තරගද මුල් වරට සංවිධානය කිරීමෙලා පුරෝගාමී වූහ. මුල් අවධියේ යුරොපීය ජාතිකයන්ගේ සාමාජිකත්වයෙන් හෙබි සී. සී. සී. සමාජය පිහිටියේ ගාලු මුවදොරය. එම තණපිටිය 1870 දී ප්‍රථම කොළඹ සහ උඩරට වතුකරුවන් අතර තරගය පැවැත්වීම සංවිධානය කරන ලද්දේත් සී. සී. සී, සමාජය මගිනි. මෙම තරගයට සහභාගිවූ ඇතැම් ක්‍රීඩකයන් පසුව එංගලන්තයේ නමගිය ක්‍රීඩකයන් බවට පත්වූ බැව් කියනු ලැබේ. මෙරට සුප්‍රසිද්ධ පුරාවිද්‍යාඥයකු වූ එච්. සී. පී. බෙල් මහතාද සී. සී. සී. ක්‍රීඩා සමාජයේ ශූර ක්‍රීඩකයකු වූයේය. මෙම ක්‍රීඩා සමාජය ගාලු මුවදොර සිට ඊට සුදුසු පරිසරයක්‌ සොයා 1894 දී කුරුඳුවත්තට පැමිණියේය. මේ සඳහා එදා සිටි ලකිසුරු ශ්‍රීමත් ආතර් හැව්ලොක්‌ පවා මුදලින් ත්‍යාග කළේය. විදෙස්‌ සංචාරයකට ප්‍රථම වරට එතෙර සංචාරයක යෙදී ඇත්තේ 1886 දීය. ඊට සහභාගිවීම සඳහා උඩරට ක්‍රීඩකයන්දසමඟ සී. සී. සී. කණ්‌ඩායම එදා බොම්බායේ පැවැති තරගවලදී ඉතා දක්‍ෂ ලෙස ක්‍රීඩා කරමින් එක තරගයකින් කඩුලු දෙකක ජයක්‌ද, පාර්සිවරුන් සමඟ තරග වැදී ලකුණු 16 කින්ද ජය ගෙන ආහ. ඊළඟට 1894 දී සී. සී. සී. කණ්‌ඩායම බුරුමයට ගිය අවස්‌ථාවේදී සහභාගිවූ තරග 4 න් 3 ක්‌ම දිනා ගත් අතර, 01 ක්‌ රැන්ගුන් ක්‍රීඩා සමාජය සතු විය. එදා සිටි ක්‍රීඩකයන් අතුරෙන් අති දක්‍ෂයකු වූ ටී. කෙලාට්‌ 1889-1905 වසර තුළ කඩුලු 1284 ලබාගනිමින් වාර්තා තබා ඇත.

අද ජගත් තරග පිටියේ හරඹ කිරීමට තරම් සුදුසු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම් බිහිවීම සඳහා එම ක්‍රීඩාව ඉතා උසස්‌ තත්ත්වයෙන් එදා සිට මේ දක්‌වා පවත්වාගෙන ආ සුප්‍රසිද්ධ ක්‍රිඩා සමාජවල අප්‍රතිහත කැපවීම හා ක්‍රීඩා කෞෂල්‍ය සමස්‌ත ශ්‍රී ලංකාවාසී ක්‍රීඩාභිලාෂීන්ගේ නොමඳ පැසසුමට ලක්‌විය යුතුය. මේ අතර, කෝල්ට්‌ස්‌ ක්‍රිකට්‌ සමාජය(1873 අගෝස්‌තු 26), මැලේ සමාජය(1879), එන්. සී. සී, සමාජය (1888 මාර්තු 19) කොළඹ ක්‍රීඩා සමාජය(1895), බ්ලූම්ෆීල්ඩ් සමාජය(1894) යනාදිය කොළඹ නගරයේ ක්‍රිකට්‌ ක්‍රිඩාව උඡ්චලිත අන්දමින් පවත්වාගෙන ඊමෙහි සමත්වූහ. මෙම ක්‍රීඩා සමාජය (මැලේ ක්‍රීඩා සමාජය හැර) මූලාරම්භය යුරෝපීය ජාතිකයන්ගේ උනන්දුව නිසාම සිදුවූ අතර ඒ හැම එකක්‌ම ප්‍රධානත්වය දැරුවෝ ඔවුහුම වූවෝය. මැලේ ක්‍රීඩා සමාජය මැලේ ජාතිකයින්ටම සීමා වූ අතර බ්ලූම්ෆීල්ඩ් සමාජය තුළ බර්ගර් ජාතිකයන් බහුල වූහ.

කොළඹ හැරුණු විට ප්‍රාදේශීය වශයෙන් මෙම ක්‍රීඩාව සඳහා ඉපැරණි ඉතිහාසයක්‌ ඇති දිඹුල සමාජය (1856), ගාලු ක්‍රිකට්‌ සමාජය (1878), කලුතර සමාජය, මහනුවර සමාජය හා නුවරඑළිය සමාජයත් අතර අන්තර් දිස්‌ත්‍රික්‌ක තරග ඉතා ඉහළ මට්‌ටමකින් පැවැත්වූහ.

මේ අතර සඳහන් කළ යුත් තවත් ක්‍රීඩා සමාජ කිහිපයක නම් මෙහිදී සඳහන් නොකළහොත් එය අකෘතඥවීමෙකැයි හැඟී යනු ඇත. සාමාන්‍ය ක්‍රීඩා සමාජයක්‌ පිහිටුවීම සඳහා රැස්‌වූ හැව්ලොක්‌ ටවුමේ පිරිසක්‌ අතර බෙහෙවින් බර්ගර් ජාතික ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ගැවසීම නිසා, 1896 දෙසැම්බර් 26 වැනි දින බී. ආර්. සී. සමාජය බිහිවිය. මෙම සමාජය අනුකරණය කරමින් උපත ලද ටැමිල් යුනියන් සමාජය 1899 දී දෙමළ ජාතික වෛද්‍ය සිසුන් පිරිසක්‌ විසින් බිහිකරන ලදුව දොස්‌තර රොක්‌වුඩ් ආදීන්ගේ ප්‍රබල අනුග්‍රහය නිසා ඉතා දියුණු තත්ත්වයකට පත්වුනි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රිඩාව ගැන සඳහන් කරන විට නොට්‌ස්‌ ඩී. ඒ. හා ටුවර්ස්‌ යනාදී ක්‍රීඩා සමාජය ගැනත් වෙසෙසින් සඳහන් කළ යුතු වේ.

මෙවන් විවිධ තරාතිරම්වල ක්‍රීඩා සමාජ අතුරෙන් අදත් වෙසෙස්‌ දස්‌කම් විස්‌කම්පාන "සිංහල ක්‍රීඩා සමාජය" (එස්‌. එස්‌. සී.) පොදු ජනයා අතර එම ක්‍රිඩාව ජනප්‍රිය කිරීමෙහි මෙන්ම උනන්දුව දිනා ගැනීමටද ප්‍රබල ලෙස උත්සුක වී තිබේ.

ශූර ක්‍රීඩකයකු වූ සී. ඒ. පෙරේරා විසින් පාසල්වලින් තෝරාගත් යොවුන් ශූරයන් 11 දෙනකු මෙහෙයවමින් 1889 මාර්තුවේ ගාලු මුවදොරදී කෝල්ට්‌ස්‌ ක්‍රීඩා සමාජය සමඟ ඉතා තියුණු තරගයක යෙදුනාහ. සී .ඒ. පෙරේරාගේ නායකත්වයෙන් යුක්‌ත වූ මේ පිළ ඩග්ලස්‌ ද සේරම්, එස්‌. එල්. ගුණවර්ධන, එම්. එස්‌. ගුණරත්න, ඩී. බී. ගුණසේකර, එෆ්. ඒ. ඔබේසේකර හා ඊ. වීරසූරිය යනාදි ඉපැරණි ක්‍රිකට්‌ ශූරයන්ගෙන් සමන්විත වූහ. මුළුමනින්ම වාගේ දක්‍ෂ සිංහල තරුණ ක්‍රීඩකයන්ගෙන් සැදුණු මෙම කණ්‌ඩායම එදා දැක්‌වූ ක්‍රීඩා කෞෂල්‍යයෙන් ඔද වැඩි 1899 මාර්තු මස 29 වැනි දින වෙස්‌ලි විද්‍යාල ශාලාවට රැස්‌වී සිංහල ක්‍රීඩා සමාජය (එස්‌. එස්‌. සී.) බිහි කර ගත්හ. ඊට පුරෝගාමීව කටයුතු කළේ ඩබ්ලිව්. ඒකනායක නමැති නීති ශිෂ්‍යයෙකි. කොළඹ විහාර මහා දේවී උයනේ පිහිටි භූමිය බද්දට ලබාගත් එස්‌. එස්‌. සී. සමාජය 1900 අගෝස්‌තු 7 සහ 8 දිනවල කොළඹ ක්‍රීඩා සමාජය සමඟ ප්‍රථම වරට තරගවැදුණාහ. එදා කඩුලු 3 කට ලකුණු 303 ක්‌ ලබාගත් එස්‌. එස්‌. සී, පිලට ශාන්ත තෝමස්‌ විද්‍යාලයීය ආදි සිසුවෙකු වූ ඩග්ලස්‌ ද සේරම් ලකණු 132 ක්‌ ලබා දුන්නේය. සිය ප්‍රථම තරගයේදීම ඉතා ප්‍රබල පිලක්‌ ලෙස පෙනී සිටි එස්‌. එස්‌. සී. කණ්‌ඩායම එදා සිට අද දක්‌වා ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාව සඳහා විශිෂ්ට සේවයක්‌ සිදුකර ඇති අතර, එම සමාජය සීග්‍ර දියුණුqව සඳහා ඩී. බී. හා. ඊ. අයි. ගුණසේකර දෙසොහොයුරන්ද ශ්‍රී ලංකාවේ අගමැතිවරුන් වූ ඩී. එස්‌. සේනානායක හා ජෝන් කොතලාවල ආදී ප්‍රභූ සාමාජිකයන්ගෙන්ද ලැබූ අනුග්‍රහය අතිමහත්ය.

මීට සිය වසකට පෙර 1882 දී ප්‍රථම වරට සංචාරක එංගලන්ත කණ්‌ඩායමක්‌ සමඟ ගාලු මුවදොර පිටියේදී තරග වැදීමට සමස්‌ත ලංකා පිලට හැකිවූයේ නැව් අනතුරක්‌ නිසා පහළ වූ වාසනාවකිනි. ඔස්‌ටේ්‍රලියාව බලා යමින් තිබූ එංගලන්ත කණ්‌ඩායම රැගත් නැව මොහොතකට කොළඹ වරායේ නවතා යළි ගමන් අරඹත්ම "පෙෂාවෝර්" නමැති එම නැවට පැමිණි අනතුරක්‌ නිසා ආපසු ඒමට සිදුවිය. ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා නතර කළ නැවේ සිටි එංගලන්ත කණ්‌ඩායම සමඟ තරග කිරීමේ වාසනාව පෑදුනේ එහෙයිනි. ඉතාමත් සතුටදායක ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල එදා පළමු ඉනිමේදී සියල්ල දැවී ලකුණු 92 ක්‌ද, දෙවැනි ඉනිමේදී කඩුලු 7 කට ලකුණු 16 ක්‌ද ලබාගත් අතර එංගලන්ත කණ්‌ඩායම සියල්ල දැවී ලකුණු 155 ක්‌ ලබාගත්හ. ඉන් අනතුරුව ඔස්‌ටේ්‍රලියානු පිළත් සමඟ තරග වැදීමේ වාසනාව පෑදුනේ 1884 අප්‍රියෙල් 01 වැනි දිනය. එදා පැවැති තරගය සඳහා මුහුණ දුන් සී. සී, සී. පිල මෙහෙයවන ලද්දේ ඊ. ඡේ. ඡේම්සන් විසිනි. එවක සිරිත් පරිදි 18 දෙනෙකුගෙන් සමන්විත වූ සී. සී. සී. පිලට ලබාගත හැකි වූයේ ලකුණු 49 ක්‌ පමණි. එහෙත් ඔස්‌ටේ්‍රලියානු පිල ලකුණු 75 ක්‌ හිමිකරගනිමින් ලකුණු 26 ක ජයක්‌ අත්කර ගත්තේය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ දියුණුවට ඒ පිළිබඳ සමාජ පිටිවහලක්‌ වූ නමුත්, එහි තෝතැන්න වූයේ පාසල් ක්‍රිකට්‌ කණ්‌ඩායම් බැව් අමතක කළ යුතු නොවේ. ඉන් රාජකීය විදුහල හා ශාන්ත තෝමස්‌ විදුහල අතර තරගය ඉතා ජනප්‍රිය වේ. ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිඩා තරගවලින් ප්‍රධානතම මෙන්ම ඉපැරණිතම තරගයද මෙය වන්නේය. මෙම තරගය ඇරඹීමේ ගෞරවය උප ගුරුවරයකු ලෙස රාජකීය විදුහලේ සේවයට පැමිණි විශිෂ්ට ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වූ ඈෂ්ලි වෝකර්ට හිමිවිය යුතුය. රාජකීය විදුහලින් 1879 දී ඇරඹි දීපව්‍යාප්ත ලෙස මුලු මහත් ශ්‍රී ලංකාවේ විදුහල් කරා පැතිර ගිය මෙම ආචාරශීලී උසස්‌ ක්‍රීඩාව ඒ අයුරින්ම පවත්වාගෙන යැම ජගත් ශූරතාව සඳහා පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකා පිල පෝෂණය කිරීමට හේතුවන බැව් අපේ යොවුන් පරපුර විසින් විශේෂයෙන් සැලකිය යුතු කරුණකි.

නුවරඑළියේ හේමපාල,
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.