සෘජු විදෙස්‌ ආයෝජන වර්ධනය කරගැනීමට
ආයෝජන මණ්‌ඩලයෙන් නව සැලසුම්


ඉදිරි වසර 3-4 ඇතුළත රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4-5 අතර වූ ප්‍රමාණයක සෘජු විදෙස්‌ ආයෝජන අත්පත් කරගැනීම සඳහා වූ නව ක්‍රමෝපායන් ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය විසින් ප්‍රකාශයට පත් කොට ඇත. රටේ මෙතෙක්‌ අත්පත්කර නොගත් විශාලතම සෘජු විදෙස්‌ ආයෝජන ප්‍රමාණයක්‌ මෙම වසරේදී ලබා ගැනීම ආයෝජන මණ්‌ඩලයේ අපේක්‍ෂාවයි. එය ඇ. එ. ජ. ඩොලර් බිලියනයකට (මිලියන 1000) වඩා වැඩි වනු ඇත. රටේ ජාතික සංවර්ධනයේ මූලික අවශ්‍යතාවන් වන රැකියා උත්පාදනය සහ සෑම ක්‍ෂේත්‍රයකම ආදායම් ඉහළ දැමීම අරමුණු කර ගනිමින් ආයෝජන මණ්‌ඩලයේ ඇති සම්පත් ප්‍රශස්‌ත ලෙස යොදා ගැනීම මෙම ප්‍රතිසංවිධාන කියාවලිය තුළින් බලාපොරොත්තුවේ. "ආසියාවේ ආශ්චර්යය" කරා යන ගමනේදී රජයේ ඒකායන බලාපොරොත්තුව වනුයේ සියලු ජන කොටස්‌වල ආදායම් මාර්ග ශීඝ්‍රයෙන් වර්ධනය කරවීමයි.

ආයෝජන මණ්‌ඩලයේ සභාපති ජයම්පති බණ්‌ඩාරනායක මහතා පවසන පරිදි අප වෙත පැවරී ඇති වගකීම වනුයේ යුධ තත්ත්වය අවසන් වීමෙන් පසු රට තුළ මතු වී ඇති නව ආයෝජන අවස්‌ථා හඳුනාගෙන ඒවායින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමයි. අපගේ අරමුණ විය යුත්තේ ඒවා සැබෑ ආයෝජන බවට පරිවර්තනය කිරීමයි. නව ආයෝජන සඳහා ව්‍යවසායිකයන් සූදානම්වන කල්හි, ආයෝජන මණ්‌ඩලයේ කාර්යභාරය විය යුත්තේ අනෙකුත් අදාළ අංශ සමඟ එක්‌වී ආයෝජකයන්ට අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් ඉටුකරදීම බව සභාපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

ආයෝජන මණ්‌ඩලය සතු අපනයන සැලසුම් කලාප 12 ආදර්ශ කලාප බවට පරිවර්තනය කෙරේ. ඒවා අති නවීන යටිතල පහසුකම් සහ මනා කාර්මික සම්බන්ධතා යාන්ත්‍රණයක්‌ සමඟින් පරිසර හිතකාමී කලාප බවට පත්කෙරෙනු ඇත. කලාප තුළ ආයෝජනය සිදුකර ඇති ආයෝජකයන්ට අවශ්‍ය සේවාවන් වඩාත් ප්‍රශස්‌ත අයුරින් ලබාදීම සඳහා කලාප කළමනාකාරිත්වයට වඩාත් නිදහසක්‌ සහ වගකීමක්‌ සහිත වැඩිබලතල පැවරෙනු ඇත. රට තුළ අලුතින් පිහිටුවීමට යෝජිත නව අපනයන සැකසුම් කලාප සඳහා වන අනාගත ක්‍රමෝපායන් සැලසුම් කිරීමේ වගකීමද කලාප කළමනාකරිත්වයට පැවරෙනු ඇත. තවද කලාප කළමනාකාරණ අංශය විසින් ශ්‍රී ලංකාව පුරා අනාගතයේදී ස්‌ථාපිත කිරීමට යෝජිත කලාපයන් සඳහා අවශ්‍ය සංවර්ධන උපාය මාර්ග සැකසීමටද ක්‍රියා කරනු ඇත.

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයෙහි පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයීය මූලස්‌ථානය එකම කණ්‌ඩායමක්‌ ලෙස ආයෝජකයාට ප්‍රශස්‌ත සේවාවක්‌ සැලසීම අරමුණ කරගෙන ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගැනේ. ආයෝජකයන්ගේ පහසුව තකා මණ්‌ඩලයේ සියලුම කාර්යාල එකිනෙකට සමීප මහල් කිහිපයක පිහිටවනු ලැබේ. මෙයින් ආයෝජකයන්ට ක්‍ෂේත්‍ර කණ්‌ඩායම් සහ සංයුක්‌ත ආයෝජක සේවා මධ්‍යස්‌ථානය සමඟ පහසුවෙන් ගනුදෙනු කිරීමට හැකිවනු ඇත. යෝජිත වෙනස්‌කම් හේතුකොට ගෙන අතිරික්‌ත වන මහල්වල ඉඩ ප්‍රමාණයන් ඵලදායි කාර්යයන් සඳහා යොදා ගැනේ.

මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ආයෝජන මණ්‌ඩලයේ පොදු කාර්ය පිරිවැයෙන් රුපියල් මිලියන 100 ක පමණ සුවිශේෂ වාර්ෂික ඉතිරියක්‌ ඇතිකර ගැනීම මණ්‌ඩලය අපේක්‍ෂා කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.