කූට වෙළෙඳුන්ට
ඉඩ නොදෙනු....!


පාරිභෝගික භාණ්‌ඩ මිල ජනතාවට වාසිදායක ලෙස පවත්වාගෙන යැමට ආණ්‌ඩුවට වුවමනාවක්‌ නැතැයි විපක්‍ෂයේ සමහරු ඝෝෂා කරති. මේ තරම් සංවර්ධන වැඩ කර තිබෙද්දීත් ඒවා ගැන වචනයක්‌වත් නො කියා ජනතාවගේ බඩ ගැන පමණක්‌ කතා කිරීම විපක්‍ෂයේ දේශපාලන කුහකකමකැයි ආණ්‌ඩුවේ සමහරු මොර දෙති. එහෙත් මොන තරම් හොඳ වැඩ කළත් ජනතාවගේ බඩට වදින මොහොතක ඒ හැම වැඩක්‌ ම අමතක වීම ස්‌වාභාවික බව අපගේ ද පිළිගැනීම ය.

මේ රටේත් වෙනත් ඕනෑම රටකත් වෙළෙ¹ම ලාභය මුල් කරගෙන පවත්වාගෙන යන බව කවුරුත් දනිති. එහෙත් රටක ජන ජීවිත අපහසුතාවට ලක්‌වන අයුරින් වෙළෙ¹ම තබා සංවර්ධනයක්‌ වුවද සිදු කිරීම නුසුදුසු බව අපි නිර්භයව ම කියන්නෙමු.

දැන් සෑහෙන කලක සිටම රට මුහුණ දී සිටින ස්‌වාභාවික විපත් ගැන අමුතුවෙන් මතක්‌ කළ යුතු නැත. කුඹුරු අක්‌කර ලක්‍ෂ ගණනින් පාළු වී ගොස්‌ තිබෙන, එළවළු ඇතුළු බොහෝ වගාවන් ද විනාශ වී ගොස්‌ තිබෙන වාතාවරණයක දී ආණ්‌ඩුවක්‌ වුව ද, මුහුණ දෙන්නේ සුළුපටු අභියෝගයකට නො වන බව ඇත්ත ය.

හදිසියේ සිදු වන ආපදාවකට මුහුණ දී ක්‍ෂණිකව එයින් ගොඩ ඒමට කෙටි මාර්ග නැති බව ද පැහැදිලි ය. එසේම අපට කවදාවත් ම ආපදාවක දී එයට මුහුණ දීමට වැඩපිළිsවෙළක්‌ නොවූ බව ද කිව නොහැක. එහෙත් රට ම මුහුණ දී සිටින පොදු ආපදාවකදී වුවද අපේ වෙළෙඳපොළ මාන බලන්නේ පාරිභෝගිකයන් ගසා කෑමට වීම අප මුහුණ දී සිටින අභාග්‍යයකි.

මිල පාලනය සඳහා ආණ්‌ඩුව මිලක්‌ නියම කළ විට සිදු වන්නේ ද වෙළෙඳපොළෙන් ඒ භාණ්‌ඩ අතුරුදන් වීම ය. දැන් හාල් සඳහා පාලන මිලක්‌ නියම කර තිබේ. එහෙත් හාල් තොග සැඟවීමේ හොර වැඩපිළිවෙළක්‌ දැන් සිදු වෙමින් තිබේ. මෙය ක්‍රම ක්‍රමයෙන් උග්‍ර කර හාල් හිඟයක්‌ මැවීමට හාල් වෙළෙඳ මාෆියාවට බැරි නැත.

වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාට අනුව මේ රට තුළ හාල් ටොන් ලක්‍ෂ හයක්‌ තිබිය යුතු ය. එය හාල් හිඟයක්‌ ඇති නො වීමට ප්‍රමාණවත් බව ද ඇමැතිවරයාගේ තර්කය වී තිබේ. හාල් තොග සැඟවීම යනු කුඩු සඟවන්නාක්‌ මෙන් බඩතුරේ හෝ රහස්‌ තැනක හෝ ගසා සඟවා ගත නො හැකි ය. එනිසා ඒ හාල් තොගය නිවැරැදිව සොයාගෙන වෙළෙඳපොළට එකතු කිරීම ඉතා වැදගත් ය.

කොළඹ පමණක්‌ නොව ඉන් බාහිර නගරවල හා උප නගරවල ද හාල් වෙළෙන්දෝ සිටිති. ඒ වෙළෙඳුන් අතර හාල් වෙළෙඳපොළම පාලනය කළ හැකි බලවත් වෙළෙඳ සිටුවරු ද වෙතියි කියනු ඇසෙයි. වෙළෙඳ ඇමැතිවරයාගේ පාරිභෝගික අධිකාරිය මේ හාල් සැඟවීම ගැන ඇස ගසා ගෙනම සිටිය යුතු ය.

ලෝක වෙළෙඳපොළ නිර්මාණය වන්නේ ද ඒ ඒ රටවල සැපයුම අනුව ය. එසේ නැතුව ලෝක වෙළෙඳපොළ නිෂ්පාදන කාර්යයට අත ගසා නැත. ඒ නිසා ලෝක වෙළෙඳපොළ දෙසම බලා නො සිට මේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් නිපදවා ගැනීමට ද අප උනන්දු විය යුතු ය.

ශ්‍රී ලංකාව හාල්වලින් ස්‌වයංපෝෂිතව තිබුණු රටකි. එහෙත් වී ගොවිතැනට ලැබුණු අනුග්‍රහය මඳ වීම නිසා සමහරු එය අතහැර දැමූහ. තවත් බොහෝ කෘෂි නිෂ්පාදනයන් ද අඩු වී ඇත්තේ ද ගොවිතැන ඵලක්‌ රහිත දෙයක්‌ ය යන අදහස කා වැදීම නිසා ය.

මේ හදිසියේ වී හෝ පොල් රටට ම නිෂ්පාදනය කර ගැනීමට බැරි වුවද, මේවා පිළිබඳ නිශ්චිත සැලසුම් දැන් රටට අවශ්‍ය බව කාටත් වැටහී තිබේ. මල් පෝච්චියක හෝ මිරිස්‌ පැළයක්‌ වවා ගැනීමට අපි හුරු වී නො සිටිමු. ආණ්‌ඩුවට බැණ බැණ රු. 600 කට අමු මිරිස්‌ කෑ හැකි දැයි ඇසීම අපට හුරු ය.

විපක්‍ෂයේ දැන් කතාව හාල්, පොල් හා එළවළු වෙනුවෙන් මරාගෙන මැරීමට තරම් සූදානමකින් බව ද පෙනේ. එහෙත් විපක්‍ෂය බලයේ සිටි කාලවලදී කෘෂිකර්මයට දැක්‌ වූ සැලකිල්ල කුමක්‌ ද?

තතු මෙසේ හෙයින් මේ වර්ගයේ පොදු ජාතික අර්බුදයක්‌ රටට ඇති වූ විට කවුරුත් එකමුතුව එයට විසඳුම් සොයා ගත යුතු ය. මේ හැම දෙයකින් ම තැලෙන්නේ ජනතාව මිස ආණ්‌ඩුව හෝ විපක්‍ෂය නොවේ. ඒ දෙගොල්ලන්ට ම යාන වාහන ද පරිවාර සම්පත් ද ආහාර පාන ද තිබේ. එහෙත් මේ එකම ජනතා සේවකයෙක්‌ හෝ ආපදා අවස්‌ථාවකදී ජනතාව වෙනුවෙන් එක්‌ වේලක්‌ හෝ බඩගිනි ඉවසා තමන්ගේ ආහාර වේලක්‌ පරිත්‍යාග කර තිබේද? ඇත්ත කතාව එයයි.

මොනවා වුවත් ඉදිරි කාලයේදී ආහාර ද්‍රව්‍ය ප්‍රශ්නය උග්‍ර වීමට ඉඩ නොදී හාල්, පොල්, එළවළු ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට හෝ සැපයීමට ආණ්‌ඩුව ක්‍රියා කළ යුතු ය. පොදු ජනතාව ගසා කෑමට හාල් වෙළෙඳුන්ට හෝ වෙනත් කූට වෙළෙඳුන්ට හෝ ඉඩ දිය යුතු නැත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.