ආහාර සුරක්‌ෂිතතාව අතින්
අප සිටින්නේ කොතැනද?



ආහාර යනු මිනිසාගේ මූලිකම අවශ්‍යතාවයි. මේ නිසා ආහාර සුරක්‌ෂිතතාව රටකට ඉතා වැදගත් වේ. ආහාර අර්බුදයක්‌ මෙන්ම ආහාර ද්‍රව්‍යවල හිඟයක්‌ ඇතිවන අවස්‌ථාවලදී මේ ආහාර සුරක්‌ෂිතතාවයේ වැදගත්කම පිළිබඳව අපි නිතර කතා කරමු. මෙකී අවස්‌ථාවලදී ආහාර සුරක්‌ෂිතතාවයේ වැදගත්කම අපට වැඩියෙන් දැනුනත්, මෙය සෑම කලකදීම අප විසින් පවත්වාගත යුතු තත්ත්වයකි. මේ දිනවලත් ආහාර ද්‍රව්‍යවල හිඟයක්‌ පිළිබඳ මෙන්ම ආහාර අර්බුදයක්‌ පිළිබඳවද වූ පුවත් ජනමාධ්‍ය තුළින් නිරන්තරයෙන්ම වාර්තා වෙයි. එයට හේතුව නම් පසුගිය දිනවල අධික වර්ෂාව සහ ඒ නිසාම ඇතිවූ ගංවතුර තත්ත්වයන් නිසා සිදුවූ වගා විනාශයයි. මේ නිසාම ඉදිරි කාලය තුළ සහල් හිඟයක්‌ මෙන්ම එළවළු හිඟයක්‌ ඇතිවීමේ අවදානමක්‌ද මතුව තිබේ. මේ පසුබිම තුළ ආහාර සුරක්‌ෂිතතාවයේ වැදගත්කම ගැන මේ ලිපියෙන් අපි අවධානය යොමු කරමු.

ආහාර සුරක්‌ෂිතතාව යනු කුමක්‌ද? මේ සංකල්පය ජාතික හා ලෝක මට්‌ටමින් සාමාන්‍යයෙන් නිර්වචනය කෙරෙනුයේ සැමට ආහාර සපයා ගත හැකිවීම යනුවෙනි. එසේම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් "ක්‍රියාකාරී හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්‌ ගතකිරීම සඳහා සියලුම ජනතාවට අවශ්‍ය ආහාර සෑම විටම ප්‍රමාණවත්ව ලබාගත හැකි බව ආහාර සුරක්‌ෂිතතාව වශයෙන් නිර්වචනය කර ඇත. මෙමගින් අවධාරණය කර ඇත්තේ මහජනයාට ආහාර පහසුවෙන් ලබා ගැනීමට ඇති හැකියාවයි. මේ නිර්වචනය අනුව පැහැදිලි වන ඉතා වැදගත් දෙයක්‌ තිබේ. එනම් රට තුළ ආහාර ප්‍රමාණවත් ලෙස පැවැතීම පමණක්‌ ආහාර සුරක්‌ෂිතතාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් නොවන බවයි. රටක්‌ තුළ ආහාර නිෂ්පාදනය කිරීමෙන් සහ විදේශයන්ගෙන් ආනයනය කිරීමෙන් රටකට ප්‍රමාණවත් ලෙස ආහාර සපයා ගත හැකිය. එහෙත් ආහාර සුරක්‌ෂිතතාවයේදී වඩාත් වැදගත් වන්නේ රටේ සියලු ජනතාවට එම ආහාර ලබා ගත හැකි තත්ත්වයක්‌ තිබීමයි. රටේ කෙතරම් ආහාර බහුලව තිබුණත් ජනතාවට එම ආහාර ප්‍රමාණවත් ලෙස ලබාගත හැකි තත්ත්වයක්‌ නැත්නම්, එතැන ආහාර සුරක්‌ෂිතතාවක්‌ද ඇතැයි කිව නොහැකිය. ඒ නිසා රටේ ආහාර ප්‍රමාණවත්ව තිබෙන අතරම ඒවා මිලදී ගැනීමට ජනතාවට ආර්ථික ශක්‌තිය ද පැවතිය යුතුය.

අප මේ කතා කරන ආහාර සුරක්‌ෂිතතාවයේ ප්‍රධාන අරමුණ වන්නේ සමාජයේ වෙසෙන සියලුම ජනතාවගේ සාගින්න හා මන්දපෝෂණය තුරන් කිරීමයි. ඒ අනුව ආහාර සුරක්‌ෂිතතාව යන සංකල්පයෙන් අවධාරණය කෙරෙන ප්‍රධාන කරුණු දෙකක්‌ තිබේ. එනම් ප්‍රමාණවත් පෝෂණයෙන් යුත් ආරක්‌ෂිත ආහාරවල සුලභතාවය සහ එම ආහාර ලබා ගැනීමට ඇති හැකියාවයි. මේ අනුව අපට පැහැදිලි වන තවත් දෙයක්‌ වන්නේ ආහාර සුරක්‌ෂිතතාව යන්න රටේ දුප්පත්කම සමඟ ද සම්බන්ධයක්‌ පවතින බවයි. රටක ආහාර කොතෙකුත් තිබුණත් ඒවා මිලදී ගැනීමට ආර්ථික ශක්‌තියක්‌ නැති අන්ත දිළිඳු සහ දිළිඳු බහුතර ජනකොටසක්‌ යම් රටක වෙසෙන්නේ නම්, එවැනි තත්ත්වයකදී එම ජනයාගෙන් බොහොමයක්‌ දෙනා සාගින්නෙන් හා මන්දපෝෂණයෙන් පෙළෙන බව රහසක්‌ නොවේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ කොතැනද? ශ්‍රී ලංකාවේ කිසිවෙක්‌ සාගින්නෙන් මිය යන්නේ නැති බව ඇත්තය. එහෙත් ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ දර්ශකයන් තවමත් පවතින්නේ අයහපත් මට්‌ටමකය. මේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව (2008) මෙසේ කියයි.

"ශ්‍රී ලංකාව, සමාන ආදායම් මට්‌ටම් සහිත බොහෝ රටවල්වලට වඩා යහපත් මූලික සෞඛ්‍ය දර්ශක සහිත රටක්‌ වුවද මන්දපෝෂණය අඛණ්‌ඩව සාපේක්‌ෂ වශයෙන් ඉහළ මට්‌ටමක පවතී. ශ්‍රී ලංකා ප්‍රජා විද්‍යාත්මක සහ සෞඛ්‍ය සමීක්‍ෂණය (2006 - 2007) මගින් ශ්‍රී ලංකාවේ ළමුන්ගෙන් සියයට 18 ක්‌ වයසට අනුව අදාළ උසින් අඩු බවත්, සියයට 15 ක්‌ උසට අනුව තිබිය යුතු බරට වඩා අඩු බවත්, සියයට 22 ක්‌ අදාළ වයසට තිබිය යුතු බර නොමැති බවත් සියයට 4 ක්‌ උග්‍ර ලෙස බර අඩු බවටත් වර්ගීකරණය කර ඇත. මෑතකදී ඉදිරිපත් කළ 2004 - 2010 සඳහා ආහාර සහ පෝෂණ ප්‍රතිපත්තිය මගින් දරිද්‍රතාව සහ මන්දපෝෂණය අනෙකුත් අංශ සමඟ එනම් සෞඛ්‍ය, කෘෂිකර්මය, අධ්‍යාපනය, ආර්ථික ප්‍රතිසංස්‌කරණ සහ ග්‍රාමීය සංවර්ධනය යන අංශවල ක්‍රියාකාරකම් සමඟ ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. සෞඛ්‍ය අධිකාරීන් සායනවලදී විටමින් වර්ග සැපයීම අඛණ්‌ඩව සිදු කළ අතර, ශ්‍රී ලංකාවේ සූක්‍ෂ්ම පෝෂක ගැටලු එනම් මූලික වශයෙන් යකඩ සහ විටමින් ඒ ඌනතාව පිළිබඳ සිය සායනවලදී පෝෂණ අධ්‍යාපනය ලබාදීම ද අඛණ්‌ඩව සිදු කරන ලදී. රජය මන්දපෝෂණය අඩුකිරීම සඳහා නව ක්‍රියාකාරී සැලැස්‌මක්‌ සකස්‌ කරමින් සිටියද, ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ ගැටලුව විසඳීම සඳහා යෝග්‍ය ඵලදායී වැඩසටහන් රාමුවක්‌ තවමත් සකස්‌ වී නොමැත." (ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව - 2008, පි. 81 - 82)

එසේම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරන පරිදි දිනකට ආහාරවලින් ලබාගත යුතු අවම කැලරි ප්‍රමාණයට වඩා අඩු කැලරි ප්‍රමාණයක්‌ ලබන ජනගහනය සියයට 51 ක්‌ තරම් සැලකිය යුතු ඉහළ අගයක්‌ ගන්නා බව ද කිව යුතුය. රටේ සියලු ජනතාවට ප්‍රමාණවත් පෝෂණයෙන් යුත් ආහාර මිලදී ගැනීමටද හැකියාව තිබිය යුතු වේ. ඒ නිසා ජනතාවට මොනවා හෝ ආහාරයට ගැනීමට තිබීම පමණක්‌ ප්‍රමාණවත් නැත. මේ සියලු කරුණු අනුව අපට පැහැදිලි වනුයේ රටක ආහාර සුරක්‌ෂිතතාව යන්න ඉතා පුළුල් සංකල්පයක්‌ බවයි. බැලූ බැල්මට වචනාර්ථය අනුව නම් අපට හැඟී යන්නේ රටකට අවශ්‍ය ආහාර ප්‍රමාණය හිඟයකින් තොරව පවතින්නේ නම් ඒ රටේ ආහාර සුරක්‌ෂිතතාවයක්‌ පවතින බවයි. එහෙත් එය එසේ නොවන බව දැන් පැහැදිලිය. එසේම ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව මගින් පෙන්වා දී ඇති අපගේ මන්දපෝෂණ දර්ශකයන්ද තවමත් අයහපත් මට්‌ටමක පවතින නිසා ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‌ෂිතතාව සම්බන්ධයෙන් කළ යුතු තවත් බොහෝ දේ ඇති බව අපට පැහැදිලිය.

එසේ නම් ජනතාවගේ ආහාර සුරක්‌ෂිතතාව සහතික කිරීමට කළ යුත්තේ මොනවාද? ප්‍රධාන වශයෙන්ම අපගේ ආහාර නිෂ්පාදනය තිරසාර ලෙස වර්ධනය කර ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්ය. හැකිතාක්‌ අපගේ භූමියෙන් උපරිම ප්‍රයෝජන ගෙන වගා කළ හැකි හැම බිම් අඟලකම පාහේ වගා කරමින් රටට අවශ්‍ය ආහාර ප්‍රමාණය උපරිම ලෙස නිෂ්පාදනය කර ගැනීමට අප ක්‍රියා කළ යුතුව තිබේ. "අපි වවමු - රට නඟමු" වැනි වැඩසටහන් හරහා රජය විසින් දේශීය නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා ක්‍රියාකරමින් සිටී. එහෙත් කලක සිටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් පවතින්නේ ඉහළ මට්‌ටමකය. පසුගිය දිනවල ඇදහැළුණු අධික වැසි සහ ඒ නිසාම ඇතිවූ ගංවතුර තත්ත්වයන් නිසා වී වගාවන් සහ එළවළු වගාවන් බොහොමයක්‌ විනාශ වීම නිසා මේ තත්ත්වය තවත් උග්‍රවීමට පුළුවන. එනම් ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තවත් ඉහළ යැමට ඉඩ තිබෙන බවයි.

රටක ආහාර නිෂ්පාදනය තිරසාර ලෙස වර්ධනය කර ගන්නා අතරම එම ආහාර ද්‍රව්‍යවල මිල ස්‌ථාවර ලෙස පවත්වා ගැනීමද ආහාර සුරක්‌ෂිතාව සහතික කිරීමේදී ඉතා වැදගත්ය. ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් නිරන්තරයෙන්ම ඉහළ යන්නේ නම් ජනතාවගේ ආහාර සුරක්‌ෂිතතාව තහවුරු කිරිම දුෂ්කරය. ඒ නිසා රජය විසින් ජනතාවගේ එදිනෙදා ජන ජීවිතයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන්වත් මිල ස්‌ථාවරත්වයක්‌ ඇතිකර ගැනීම ඉතාමත් වැදගත්ය. මේ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යංශය විසින් පසුගිය කාලය පුරාවටම නොයෙකුත් උත්සාහයන් ගෙන තිබුණත් ඒවා එතරම් ප්‍රතිඵලදායක වී නොමැති බව පෙනේ.

එසේම ජනතාවගේ ආහාර සුරක්‌ෂිතතාව තහවුරු කිරීමේදී තවත් ඉතා වැදගත් කරුණක්‌ වන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම් මට්‌ටම ඉහළ නැංවීමයි. ඔවුන්ට නිසි පෝෂණයෙන් යුත් ආහාර ලබාගත හැකි වන්නේ හොඳ ආදායම් තත්ත්වයක්‌ පවතින්නේ නම්ය. ඒ නිසා ඵලදායී ලෙස, එසේම සැබෑ දුප්පත් ජනතාව ඉලක්‌ක කර ගනිමින් දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් දියත් කිරීම මෙහිදී අත්‍යවශ්‍ය දෙයකි. ආදායමින් සාපේක්‌ෂ වශයෙන් ඉහළ ප්‍රතිශතයක්‌ ආහාර සඳහා වියදම් කරන විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල ආහාර සුරක්‌ෂිතතාව සඳහා ආහාරවල මිල ගණන් ඉහළ යැමේ තත්ත්වය අඛණ්‌ඩව ඇති කරනුයේ බරපතල අභියෝගයකි. වත්මන් ස්‌වාභාවික ආපදා බහුල දේශීය සහ ලෝක පරිසරය හමුවේ මේ අභියෝගාත්මක තත්ත්වය තවත් වැඩිය.

දේශීය වශයෙන් ගත් කල වර්ෂාවෙන් හා ගංවතුරෙන් අපේ කුඹුරු සහ වෙනත් එළවළු ඇතුළු ආහාර බෝග වගාවන් විශාල වශයෙන් විනාශයට පත්වීම හේතුවෙන් ඇති වී ඇති සැපයුමේ හිඟය නිසා දේශීය වශයෙන් නිපදවන ආහාර ද්‍රව්‍යවල මිල ගණන්ද ඉහළ යන තත්ත්වයක්‌ නිර්මාණය වී තිබේ. ලෝකයේ වෙනත් රටවලද ස්‌වාභාවික විපත් හේතුවෙන් එම රටවල ආහාර බෝග වගාවන්ට ද බලවත් හානි සිදුව තිබේ. මේ තත්ත්වය ලෝක ආහාර මිල ගණන් තවත් ඉහළ නැංවීමට හේතු වනු ඇතැයි සිතිය හැකිය. මෙය අප ආනයනය කරන ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල මිල ඉහළ යැම හරහා දේශීය මිල පීඩනය උග්‍රවීමටත්, අප ජනතාවගේ ආහාර සුරක්‌ෂිතතාව පහත හෙළීමටත් හේතු වනු ඇත. ලෝක ඛණිජතෙල් මිල ගණන් ඉහළ යැම මේ තත්ත්වයට තවත් අහිතකර ලෙස බලපෑම ද වැළැක්‌විය නොහැකිය.


ශ්‍යාම් නුවන් ගනේවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.