back    
   
 
විවිධ වේශයෙන් ඉස්‌මතුවන කෙලෙස්‌
සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය - 09

ලෝභය

නො ලැබූ සැප සම්පත් ලැබීමේ ලෝභය, ලැබූ සම්පත් පවත්වා ගැනීමේ ලෝභය, සැප විඳීමේ ලෝභ යෑයි ලෝභය තෙවැදෑරුම් වේ. එයින් නො ලැබූ සැප සම්පත් ලැබීමේ ලෝභය, පරාර්ථ කාමතා දාතුකාමතාදී වෙස්‌ ගෙන වඤaවා කරන්නේ ය.

පරාර්ථකාමතා වේශයෙන් වඤaචක ලෝභය

"පරාර්ථකාමතා" යනු කුශලච්ඡන්දයකි. අනුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන පරාර්ථකාමී සත් පුරුෂයන් ඒ නිසා කීර්ති ප්‍රශංසා ගරු බුහුමන් ලාභ සත්කාර තනතුරු ලබනු දක්‌නා තැනැත්තා කෙරෙහි තමාටත් ඒවා ලැබීමේ ආශාව ඇතිවේ. කීර්ති ප්‍රශංසාදිය ලබනු පිණිස අනුන්ට වැඩ කිරීම වනාහි අනුන්ට යහපත කිරීමේ ආකාරයෙන් ආත්මාර්ථය ම සිදුකර ගැනීමකි. එසේ කිරීම ලෝකයා රැවටීමකි. එය ගුණවතුන් විසින් නැණවතුන් විසින් පිළිකුල් කරන දෙයකි. ඒ බව තේරුම් ගත් තැනැත්තා කෙරෙහි කීර්ති ප්‍රශංසාදිය ලබනු සඳහා පරාර්ථය පිණිස ක්‍රියා කිරීම ළාමකය. නො මනා දෙයක යන අදහස ඇතිවේ.

දතුකාමතා වේශයෙන් වඤaචක ලෝභය

"දාතු කාමතා" යනු දෙනු කැමැත්තය. එය කුශලච්ඡන්දයකි. ලෝභයට විරුද්ධ ස්‌වභාවයකි. එහෙත් ස්‌වල්පයක්‌ දීමෙන් අනුන් සතුටු කරවීමෙන් ඔවුන්ගෙන් බොහෝ දේ ලැබිය හැකි බව හා බොහෝ වැඩ කරවා ගත හැකි බවද තමාට අනුන් අනුකූල කරවා ගත හැකි බව දක්‌නා වූ තැනැත්තා කෙරෙහි සමහර විට ලෝභය දාතුකාමතා සඩ්ඛ්‍යාත කුශලච්ඡන්දයා ගේ වේශයෙන් පහළ වේ. දීම කුශලයක්‌ වුව ද අනුන්ගෙන් ගැනීම පිණිස දෙන දීමනාව කුශල පක්‍ෂයට නොවැටේ. ගැනීමට කරන උපක්‍රමයක්‌ වූ ඒ දීම, නියම දීමක්‌ නොව ගැනීමේ ම කොටසකි. ලෝභ සහගත ක්‍රියාවක්‌ බැවින් අකුශල පක්‍ෂයට වැටෙන්නකි...

කෘතඥතා වේශයෙන් වඤaචක ලෝභය

අනෙකකු විසින් තමාට කළ උපකාරය අමතක නො කරන්නා වූද, උසස්‌ කොට සලකන්නා වූද, තමා විසින් ඔහුට නැවත උපකාර කරන්නා වූද, ස්‌වභාවය කෘතඥතාව යි. මෙය බුද්ධාදීන් විසින් වර්ණනා කරන ලද උතුම් ගුණයකි. කෘතඥතාව ඇතියවුන්ට උපකාර කළ අය විශේෂයෙන් ඔවුන්ට පහදිති. නැවත නැවතත් උපකාර කිරීමට සිතති. ඒ බව දත් පුත්‍ර ශිෂ්‍යාදීන් කෙරෙහි, මා පිය ගුරුවර ආදීන් ගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමේ ආශාව වූ ලෝභය කෘතඥතා වේශයෙන් පහළ වේ. ඔවුහු එය තමන්ගේ කෘතඥතා ගුණය යි සිතා ගෙන ලෝභ සහගත සිතින් ම මා පිය ගුරුවර ආදීන්ට සත්කාර කෙරෙති. ඔවුන් පමණක්‌ නොව එයට මා පිය ගුරුවර ආදීහු ද ඔවුන් ගේ ක්‍රියා දක්‌නා අන්‍යයෝද රැවටෙති. සමහර පුත්‍ර ශිෂ්‍යාදීහු මා පිය ආදීන් රැවටීමටත් එසේ කරති. මෙය ඔවුන් සඳහා කියන ලද්දක්‌ නොවේ. මෙය පමණක්‌ නොව මෙම පොතෙහි දක්‌වන වඤaචක ධර්ම සියල්ල ම අනුන් රැවටීමට කරන කපටිකම් නොව ඒ ඒ පුද්ගලයා ම රැවටෙන කරුණු බව සැලකිය යුතුය.

අපචිතිකාමතා වේශයෙන් වඤaචක ලෝභය

ගරු බුහුමන් කළ යුත්තන්හට ගරු බුහුමන් කරනු කැමැති බව "අපචිතිකාමතා" නමි. එය ද කුශලච්ඡන්දයකි. මා පිය ගුරුවර ආදී ගරු බුහුමන් කිරීමට සුදුසු පුද්ගලයන්ට ගරු බුහුමන් කිරීමෙන් ඔවුන් සතුටු කර ඔවුන්ගෙන් ලාභ ප්‍රයෝජන වඩ වඩා ලැබිය හැකි බව දත් ඇතැම් පුත්‍ර ශිෂ්‍යාදීන් කෙරෙහි මා පිය ආදීන් ගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමේ කැමැත්ත වූ ලෝභය සමහර විට "අපචිතිකාමතා" වේශයෙන් හෙවත් ගරු බුහුමන් කැමැති බැව්හි ආකාරයෙන් පහළ වේ.

අනුකූලතා වේශයෙන් වඤaචක ලෝභය

මා පිය ගුරුවරාදීන්ට කීකරු වන බව අනුකූලතාවය. කීකරු වූ දරුවාට, කීකරු වූ ශිෂ්‍යයාට මා පිය ආදීහු විශේෂයෙන් අනුකම්පා කරති. ඒ බව ඇතැමුන් කෙරෙහි මා පිය ආදීන් ගෙන් උපකාර ලැබීමේ ලෝභය අනුකූලතාවේ වේශයෙන් පහළ වේ. එයින් වඤaචිත වූ තැනැත්තේ මාපිය ආදීන්ට තමන් ගේ සත්‍ය වූ අනුකූලතාවක්‌ කීකරු බවක්‌ නැත ද ඉතා කීකරු බවක්‌ දක්‌වයි.

ප්‍රියවාදිතා වේශයෙන් වඤaචක ලෝභය

ප්‍රිය වචනයෙන් කථා කරන ස්‌වභාවය ප්‍රියවාදිතා නමි. එය උතුම් ගුණයකි. ප්‍රිය වාදියාට අන්‍යයෝ සතුටු වෙති. උපකාර වුවමනා අවස්‌ථාවේදී උපකාරී ද වෙති. ප්‍රිය වචනයෙන් කතා කිරීම අනුන් ගේ සිත් ඇද ගැනීමට හොඳම උපායයිකි. ඒ බව දත් සමහරුන් කෙරෙහි අන්‍යයන් සතුටු කරවා ලාභසත්කාර ගැනුමේ ලෝභය ප්‍රියවාදිත්වයේ වේශයෙන් පහළ වේ. මෙය බොහෝ සෙයින් අනුන්ගෙන් ලාභ සත්කාර ලබන පැවිද්දන් කෙරෙහි හා මන්ත්‍රණ සභාදියට ඇතුළු වීමට ජනයා ගේ ඡන්දය සොයන්නවුන් කෙරෙහි ඇති වන්නකි.

නෛෂ්කාම්‍යකාමතා වේශයෙන් වඤaචක ලෝභය

කාම්‍ය වස්‌තූන් හැර දමනු කැමති බව, ගිහිගෙය හැර පැවිදි වනු කැමති බව "නෛෂ්කාම්‍යකාමතා" නමි. ඇතැම් පැවිද්දන් මහජනයාගෙන් බොහෝ ගරු බුහුමන් පූජා සත්කාර ලබමින් දනිsසුරන් ගේ විලාසයෙන් සැප විඳිනු දක්‌නා වූද, සාමාන්‍යයෙන් සියලුම පැවිද්දන් මහජනයා ගෙන් පූජා සත්කාර ලබන බව දක්‌නා වූද, සමහර ගිහියන් කෙරෙහි, පැවිදි ව පූජා සත්කාර ලැබීමේ, සැප විඳීමේ ලෝභය නෛෂ්කාම්‍යකාමතා වේශයෙන් ම පහළ වේ. එයට රැවටුණ තැනැත්තේ සසරට කලකිරුණුq ආකාරයෙන් හෝ බුදු සස්‌න දියුණු කිරීමට බලාපොරොත්තු වන්නකු ගේ ආකාරයෙන් හෝ පැවිදි වන්නට උත්සාහ කරයි. සමහරවිට පැවිදි ද වෙයි. මෙසේ බුදු සස්‌නට බැස ගන්නවුන් ගේ පැවිද්ද සමහරවිට සාර්ථක ද වේ.

ධර්මදේශනාකාමතා වේශයෙන් වඤaචක ලෝභය

ධර්ම දේශනා කාමතාව ද කුශලච්ඡන්දයකි. දහම් දෙසීමෙන් ලැබිය හැකි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිළිබඳ ලෝභය ලාභ සත්කාර පිණිස දහම් දෙසීම පිළිකුල් කරන තැනැත්තා ගේ සිත්හි සමහරවිට ධර්ම දේශනා කාමතා වේශයෙන් පහළ වෙයි. හේ "ධර්ම දේශනාව තමා ගේ යුතුකමකැ"යි දහම් දෙසීමට පටන් ගනී. ධර්ම දේශනා කාමතා වේශයෙන් පහළ වූ ලෝභයට රැවටී දහම් දෙසන තැනැත්තා ලාභයක්‌ නොවන තැන දහම් දෙසීමට මැලි වෙතත් එහි කාරණය ඔහුට නො වැටහෙයි. ධර්ම දේශනා කාමතා කුශලච්ඡන්දයේ රූපයෙන් පහළ වූ ලෝභයා ගේ මෙහෙයුමෙන් දහම් දෙසන තැනැත්තා ගේ දේශනාව සෘජුව කරන ශුද්ධ දේශනාවක්‌ නොවේ. මහජනයා ස්‌වර්ග මෝක්‌ෂ මාර්ගයෙහි පිහිට වීමට වඩා ඔහු බලාපොරොත්තු වනුයේ ජනයාගේ සිත් සතුටු කිරීමටය. ජනයා ගේ සිත් තමා කෙරෙහි පැහැද වීමටය. එබැවින් ඔහුගේ දේශනාව ඔහුට නො දැනීම වාගේ ඒ අතට යයි. එයින් ඔහුගේ ධර්මයද ඔහුට නො දැනීම නියම බුද්ධ ධර්මය නොව ප්‍රතිරූපක ධර්මයක්‌ (ධර්මය වැනි දෙයක්‌) වන්නේය.

කරුණා වේශයෙන් වඤaචක ලෝභය

කරුණා දැක්‌වීsම් වශයෙන් අනුන් ගේ සිත් සතුටු කර ඒ මගින් ලාභ සත්කාර ලබාගැනීමේ ලෝභය සමහරවිට කරුණා වේශයෙන්ම ම පහළ වන්නේය. මෙය බොහෝ සෙයින් භික්‍ෂූන් කෙරෙහි සිදුවන කරුණකි. සැබෑ කාරණාව දුක්‌තයන් පිළිබඳව ඇති වන ධර්මයකි. මේ ප්‍රතිරූපක කරුණාව පවතින්නේ දුක්‌තයන් පිළිබඳ ව නොව පොහොසතුන් පිළිබඳවය. මේ ප්‍රතිරූපක කරුණාවට රැවටුණු භික්‍ෂූහු තමන්ගෙන් පිහිටක්‌ සොයා එන දුක්‌තයා පලවා හැර පොහොසතාටත් පොහොසතාගේ දරුවාටත් කරුණාව දක්‌වති. කරුණාවට පාත්‍ර වූ පොහොසත්හුද අනේ අපේ හාමුදුරුවෝ බොහෝ කරුණාවත් කෙනෙකැයි පසසති. පහදති.

ශික්‌ෂාකාමතා වේශයෙන් වඤaචක ලෝභය

"ශික්‍ෂාකාමතා" යනු ශීලය මනා කොට රකිනු කැමති බව ය. සිල්වත්හු යෑයි ප්‍රසිද්ධ තැනැත්තන්හට මහජනයා පැහැදී වඩ වඩා පූජා සත්කාර කරනු දක්‌නා තැනැත්තා ගේ පූජා සත්කාර පිළිබඳව වූ ලෝභය, සමහර විට ඔහු ගේ සිත්හි, ශික්‍ෂාකාමතා වේශයෙන් පහළ වේ. එයට රැවටුණු භික්‍ෂු තෙමේ ශීලය වර්ණනා කරන්නකු හා අන්‍යයන්ට වඩා හොඳින් තමා ශීලය රක්‍ෂා කරන්නකු බව ලොවට දක්‌වන්නෙක්‌ද වන්නේය.

අල්පේච්ඡතා වේශයෙන් වඤaචක ලෝභය

පමණට වඩා ප්‍රත්‍යය නො පිළිගන්නා වූද රැස්‌ නො කරන්නා වූද ස්‌වභාවය "අල්පේච්ඡතා" නමි. අල්පේච්ඡ භික්‍ෂූන්ට මහජනයා පැහැදී ප්‍රශංසා කරති. ඔවුන් ගේ කීර්තිය ව්‍යාප්ත වේ. නොපිළි ගන්නා තැනැත්තාට වඩ වඩා දෙන්නට උත්සාහ කිරීමත් ප්‍රත්‍යය වුවමනා ඇති තැනැත්තාහට දෙන්නට නො කැමැති වීමත් මිනිසුන් කෙරෙහි පවත්නා වූ එක්‌තරා ගුප්ත ස්‌වභාවයකි. ඒ ස්‌වභාවය නිසා බොහෝ ප්‍රත්‍යය පිළිගැනීමට නොකැමති තැනැත්තා ළඟ ප්‍රත්‍යය ගොඩ ගැසේ. අල්පේච්ඡතාව නිසා ලැබෙන කීර්ති ප්‍රශංසාවට හා ලාභයටත් ඇලුම් කරන්නා කෙරෙහි සමහරවිට ඒ ලෝභය අල්පේච්ඡතා වේශයෙන් පහළ වෙයි. එයට රැවටෙන තැනැත්තා තමා කෙරෙහිsද අල්පෙච්ඡතාව ඇතිවීය යි අල්පේච්ඡයකු සේ කතා කරන්නටත් හැසිරෙන්නටත් වෙයි.

විචෙයH දානතා වේශයෙන් වඤaදක ලෝභය

සිල්වතුන් ගුණවතුන් තෝරාගෙන ඔවුනට දන් දෙන ස්‌වභාවය විචෙයHදානතා නමි. තමන් ලබාගෙන තිබෙන වස්‌තුවෙන් සතයකුදු අඩුවීම ඉවසිය නො හෙන ලෝභියා වෙත ප්‍රතිග්‍රාහකයකු පැමිණි කල්හි සමහර විට ඒ ලෝභය ඔහු ගේ සත්තානයෙහි විචෙයH දානතා වේශයෙන් පහළ වේ. ඒ ලෝභයේ මෙහෙයීමෙන් ඔහුට මෙසේ සිතෙන්නේය. බුදුන් වහන්සේ විසින් "විචෙයHදානං සුගතප්පසත්ථං" යන ආදීන් විමසා දන් දීම ම වර්ණනා කරන ලදී. මේ ප්‍රතිග්‍රාහකයා දන්දීමට සුදුසු සිල්වත් ගුණවත් කෙනෙක්‌ ද? දුශ්ශීලයෙක්‌ද? ශ්‍රමණ වේශයෙන් හැසිරෙන සොරෙක්‌දැ" යි කවුරු දනිත්ද? නාදුනන මොහුට මේ දුටු පළමු වතාවේ ම කෙසේ දෙන්නෙම්ද? විමසා සුදුසු නම් පසුව දෙන්නෙමැ යි සිතා, දීම කල් තබන්නේය. ඔහු ගේ දීමත් එයින්ම කෙළවර වන්නේය.

අල්පේච්ඡතා වේශයෙන් වඤaචක ලෝභය

ලෝහය මඳ බව අල්පේච්ඡතා නමි. අනුන්ගෙන් යම් කිසිවක්‌ පිළිගතහොත් නැවත ඒ තැනැත්තාහට තමා විසිනුත් සංග්‍රහ කළ යුතුය. ස්‌වල්පයකුදු වියදම් වීම නො ඉවසන ලෝභියාට එය වැටහෙනුයේ මහත් බරපතල කරුණක්‌ සැටියටය. එබැවින් සමහර ලෝභීහු අනුන්ගෙන් සංග්‍රහ ලැබීමට බිය වෙති. ඔවුන්ට අනුන් සංග්‍රහයක්‌ කරන්නට තැත් කරන තැන දී ඔවුන් ගේ ඒ ලෝභය අල්පේච්ඡතා වේශය ගනී. එයට රැවටුණු අය අනුන්ගෙන් කිසිවක්‌ ගැනීම නුසුදුසුය. තමන්ට ඇති සැටියට තමන් ගේ දෙයින් යෑපීම යහපත්ය. අනුන් ගෙන් කිසිවක්‌ නො ගන්නා කල්හි තමා කාහටවත් ණය නැතියෙක්‌ වන්නේ යෑයි අනුන්ගෙන් කිසිවක්‌ නොපිළි ගනිති.

සන්තුෂ්ටිතා වේශයෙන් වඤaචක ලෝභය

වඩා හොඳ කෑම් බීම් ඇඳුම් පැලඳුම් ආදිය සොයන්නට නොගොස්‌ ඇති දෙයකින් පහසුවෙන් ලැබිය හැකි දෙයකින් සතුටු වන ස්‌වභාවය සන්තුෂ්ටිතා නමි. තමන්ට අසුවී තිබෙන දෙයින් මඳකුදු වියදම් කිරීමට නොකැමැති ලෝභියා ගේ ඒ ලෝභය වියදම් කළ යුතු අවස්‌ථාව පැමිණි කල්හි සන්තුෂ්ටිතා වේශය ගන්නේය. එයින් වඤaචිත වූවෝ කවර ලෙසකින් වුවත් වියදම් කළ යුතු අවස්‌ථාව ඉක්‌මවා ධනය ම ඉතිරි කර තබා දුක සේ සැපයූ ධනයෙන් ප්‍රයෝජන නොගෙනම මිය යති.

පරානුද්දයතා වේශයෙන් වඤaදක ලෝභය

අනුන්ට කරුණා කරන ස්‌වභාවය පරානුද්දයතා නම්, දුගියකු මගියකු යදියකු අවුත් කිසිවක්‌ ඉල්ලා සිටින කල්හි තමන් ගේ වස්‌තුව අඩු වීම නො ඉවසන තැනැත්තා ගේ ඒ ලෝභය සමහර විට පරානුද්දයතා වේශයෙන් එළඹ සිටින්නේය. එයට රැවටෙන ලෝභියා මොවුනට මෙසේ අනුන්ගෙන් ඉල්ලා කෑම පුරුදු වීම මහත් නපුරක්‌ය. යමක්‌ දුනහොත් එයින් උනන්දු වී මොවුහු මේ ඉල්ලීම දිගටම කරන්නාහුය. එයින් මොවුහු වඩා කාලකණ්‌ණි වන්නාහ. දීම නම් මොවුනට කරන අපරාධයක්‌ය. නො දීම ම මොවුනට කරන යහපත යෑ යි සිතා කිසිවක්‌ නො දෙන්නේය. පරානුද්දයතා වේශයෙන් එන ලෝභයට රැවටී සිටින ඇතැම්හු තම දූ දරුවන්ට පවා හොඳින් ආහාර පාන නො දෙති.

ආත්මසංරක්‌ෂණතා වේශයෙන් වඤaචක ලෝභය

තමා ගේ ආත්මය හෙවත් ජීවිතය ආරක්‍ෂා කරන ස්‌වභාවය "ආත්මසංරක්‍ෂණතා" නමි. ජීවිතාරක්‌ෂාව සඳහාවත් මුදල් වියදම් කරනු නොකැමැති තැනැත්තා ගේ ඒ ලෝභය ආත්ම සංරක්‍ෂණතා වේශය ගන්නේය. එයින් වඤaචිත වූ තැනැත්තේ වැඩි මුදලට ගත යුතු ආහාර පානාදියේ නොයෙක්‌ දොස්‌ දක්‌නේය. අඩු මුදලට ලැබිය හැකි ආහාර පානාදීන් ගේ බොහෝ ගුණ දක්‌නේ ය. ඔහු ගුණ ලැබීමටත් රෝගවලින් වැළකී විසීමටත් හොඳ මේවා යෑයි අඩු මුදලින් ලැබිය හැකිදෑ පමණක්‌ ගන්නේ ය. වටිනා ආහාර පාන අගුණය යි ප්‍රතික්‍ෂේප කරන්නේය.

නිර්ලෝභතා වේශයෙන් වඤaචක ලෝභය

සැප විදීමේ ආශාව අධික තැනැත්තා කෙරෙහි ඒ ලෝභය නිර්ලෝභතාවේ හෙවත් අලෝභයේ වේශයෙන් පහළ වේ. එයට රැවටුණ තැනැත්තේ, තමන්ගේ වස්‌තුව පමණට වියදම් කරමින් ජීවිකාව කරන්නා වූ අන්‍යයන්ට ලෝභීහු යෑයි නින්දා කරමින් සපයන සියල්ල ම වියදම් කොට කා බී ඒ වේලාවෙහි සැප විඳ, ධනය නො සැපයිය හැකි කාලය, ධනය නො ලැබෙන කාලය පැමිණි කල්හි දුකට පත් වන්නේය. එබඳු අය බොහෝ සෙයින් මහලු කාලයේ දී දුකට පත් වන්නාහ.

රාගය

ස්‌ත්‍රීන් දැකීමය. ඔවුන් ගේ ක්‍රියා දැකීමය. ඔවුන්ගේ හඬ ඇසීමය. ඔවුන් ගේ ගන්ධය ආඝ්‍රාණය කිරීමය. ඔවුන්ගෙන් ලැබෙන රසය වැළඳීමය. ඔවුන්ගේ ශරීර ස්‌පර්ශය ලැබීමය. ඔවුන් හා සම්භාෂණයෙහි යෙදීමය. තවත් ක්‍රමවලින් ඔවුන් ඇසුරු කිරීමය යන මේවා පිළිබඳ ව පුරුෂ චිත්තයෙහි හටගන්නා වූ සප්‍රීතික ලෝභයද, පුරුෂ දර්ශනාදිය සම්බන්ධයෙන් ස්‌ත්‍රී චිත්තයෙහි හටගන්නා වූ සප්‍රීතික ලෝභයද, රාග නම් වේ. මෙය සමහරවිට නිෂ්ප්‍රීතික ද වන්නේය. සමහරවිට තවත් පුරුෂයකු සම්බන්ධයෙන් පුරුෂයකුටද, ස්‌ත්‍රියක සම්බන්ධයෙන් ස්‌ත්‍රියකටද රාගය ඇති වේ. මෙය මෛත්‍රී කරුණා ශ්‍රද්ධාදි අනේක වේශයන් ගෙන් පහළ වී වඤaවා කරන ධර්මයකි.

මෛත්‍රී රූපයෙන් වඤaචක රාගය

තමා විසින් රාග වසයෙන් ඇලුම් කිරීමට නුදුසුදු කෙනෙකු යන හැඟීම ඇති කෙනකු සම්බන්ධයෙන් යම් කිසිවකුට රාගය ඇති වුවහොත් ඒ තැනැත්තා ඒ රාගය දුරු කිරීමට උත්සාහ කරයි. දුරු නොවේ නම් වැඩෙනු නො දෙන්නට උත්සාහ කරයි. වැඩුණේ වී නම් ක්‍රියාකාරී වීමට නොදෙන්නට උත්සාහ කරයි. තමා හට නුදුසුදු පරිදි ඇති වූ ඒ රාගයට බියෙන් එය දුරු කර ගැනීමට උත්සාහ කරන්නා වූ තැනැත්තා කෙරෙහි වැඩෙන්නටත් ක්‍රියාකාරිත්වයට පැමිණෙන්නටත් ඉඩ නොලබන්නා වූ ඒ රාගය පසුව ඒ තැනැත්තා ගේ අදහසට සුදුසු වන සැටියට පුද්ගල තත්ත්වයට සුදුසු වන සැටියට මෛත්‍රී වේශය ගන්නේය. මෛත්‍රී වේශයෙන් හෙවත් මිත්‍රත්වයේ ආකාරයෙන් ඒ තැනැත්තා කෙරෙහි ඒ රාගය පහළ වන්නේය. එසේ පහළ වූ කල්හි ඔහුට එය රාගය ම බව නොදැනෙන්නේය. එයට රැවටුණා වූ හෙතෙමේ මෛත්‍රිය හෙවත් මිත්‍රත්වය සෑම දෙනා සමඟ ම පැවැත්වීමට සුදුසු දෙයකැයි මෛත්‍රී වේශයෙන් පැමිණි රාගය පිළිගන්නේය. එයට වැඩෙන්නට අවකාශ දෙන්නේය. එසේ අවකාශ ලැබූ රාගය මෛත්‍රී වේශයෙන් ක්‍රමයෙන් වැඩී පසුව රාගයේ සැටියට ම සිට ක්‍රියාකාරිත්වයටද පැමිණෙන්නේ ය. මෙබඳු කරුණු විලින් පරෙස්‌සම් වීම ඉතා දුෂ්කරය. නුවණැතියෝද මේවාට මුළා වී අන්තයේදී වරදට පැමිණෙති. මෛත්‍රී රූපය ගන්නා රාගය බොහෝ සෙයින් පැවිද්දන් කෙරෙහි ඇතිවේ. එයට වසඟ වී අන්තිමේ දී ඔවුහු ශ්‍රමණ ධර්මයෙන් ද පිරිහෙති.

කරුණා වේශයෙන් වඤaචක රාගය

පොහොසතුන්ට දුප්පත් ස්‌ත්‍රීන් පිළිබඳව ව ඇති වන රාගය සමහරවිට කරුණා රූපයෙන් පහළ වේ. එයට රැවටුණ තැනැත්තේ අනුන් ගේ අමාරුවට පිහිට වීමේ ආකාරයෙන් ඒ ස්‌ත්‍රීන්ට සංග්‍රහ කරන්නේය. ඔවුන් හා ආශ්‍රයට ද යන්නේය. දුම්රිය බස්‌රිය ආදියේ ගමන් කරන අවස්‌ථාවලදී බොහෝ පුරුෂයන්ට කරුණා රූපයෙන් රාගය ඇතිවේ. දුබල රෝගියකු මහල්ලකු මැහැල්ලක පැමිණි කල්හි ඔවුනට විශේෂයෙන් කරුණා කළ යුතු වුවද එබඳු අවස්‌ථාවල දී ඒ පැත්තවත් නොබලන සමහරු හොඳින් හැද පැළඳ ගත් තරුණ කාන්තාවක පැමිණෙනු දුටුහොත් වහා නැගිට ඇයට තමාගේ අසුන දෙති. අසුන් දීමට එකවර දෙතුන් දෙනා නැගිටිනු සමහර විට දක්‌නා ලැබේ. ඔවුන් මෙසේ කරනුයේ ඔවුන් තුළ කරුණා රූපයෙන් පහළ වූ රාගයෙනි. රෝගාතුර වූ ස්‌ත්‍රීන් දක්‌නා කල්හි ද සමහරුන්ට කරුණා රූපයෙන් රාගය ඇතිවේ. එයට රැවටුණාහු තමන් මේ කරනුයේ කුමක්‌ද කියා නොදැන ම කරුණා කිරීමේ ආකාරයෙන් ඒ ස්‌ත්‍රීන්ට උපකාර කරන්නාහුය.

ශ්‍රද්ධා වේශයෙන් වඤaචක රාගය

ශෝභන රූපය හා මිහිරි කට හඬ ද තරුණ බව ද ඇත්තා වූ භික්‍ෂූන් දක්‌නා ඇතැම් කාන්තාවන් කෙරෙහි ශ්‍රද්ධා වේශයෙන් (පැහැදීමේ ආකාරයෙන්) රාගය පහළ වේ. භික්‍ෂුව සම්බන්ධයෙන් තමන්ගේ සිත්හි පහළ වී තිබෙන දෙය ශ්‍රද්ධාව නොව අනෙකත් බව ඒ කාන්තාවෝ නො දනිති. එයින් මෙහෙයන ලද ඔවුහු ඉන් පෙර භික්‍ෂුවකට කිසි සැලකිල්ලක්‌ නො කළා හුද බොහොම හොඳ හාමුදුරුවෝ යෑ"යි පසසමින් ඒ භික්‍ෂුව කරා නිතර එළඹෙති. සැලකිලි ද කරති. සමහරවිට ඒ භික්‍ෂුව පසසමින් අන්‍ය භික්‍ෂූන්ට නින්දා කරන්නට ද බසිති. ඔවුන් ගේ මේ ශ්‍රද්ධාව කුමක්‌ද යන බව ඔවුන් තබා ඔවුන් ගේ හිමියෝ ද නෑයෝද නො දනිති. කාරණය තේරුම් ගැනීමට තරම් නුවණැතියකු මෙය දැන ගෙන කිව හොත් ඔවුහු ඒ තැනැත්තාට ද විරුද්ධ වන්නාහ. ඊර්ෂ්‍යා කාරයෙකැ යි දෝෂාරෝපණය කරන්නාහ. ක්‌ලේශ වඤaචනයට මනුෂ්‍යයෝ කොතරම් තදින් හසු වෙද්ද යන බව මෙබඳු කරුණු වලින් තේරුම් ගත හැකිය.

පුණ්‍යකාමතා වේශයෙන් වඤaදක රාගය

පුණ්‍යකාමතා යනු පින් කරනු කැමති බවය. ශ්‍රද්ධා රූපයෙන් උපන් රාගය ම පසුව පුණ්‍යකාමතා රූපය ගන්නේය. එයින් මෙහෙයනු ලැබූ ස්‌ත්‍රීහු පින් කරමි යි තමන් ඇලුqම් කරන භික්‍ෂුව නිසා භික්‍ෂුන්ට දන් දෙති. භික්‍ෂූන් වෙසෙන විහාරයන්ට ගොස්‌ පින්කම් කරති. මේවා පින්වේ ද නොවේද යන බව නිශ්චය කිරීම ඉතා දුෂ්කරය. දර්ශන රාගයද පුණ්‍ය කාමතා වේශය ගන්නේය. ඇතැම් තරුණ තරුණියන් පින් කිරීමට යෑයි පිරිත් පින්කම් බණ පින්කම් යන්නේත් වන්දනා ගමන් යන්නේත් පුණ්‍ය කාමතා වේශයෙන් පැමිණි රාගයා ගේ මෙහෙයීමෙනි.

කෘතඥතා වේශයෙන් වඤaචක රාගය

තෘතඥතා යනු කෙළෙහි ගුණ සැලකීමය. ස්‌ත්‍රියක අතින්ම උපකාරයක්‌ මුත් ලැබූ පුරුෂයා කෙරෙහිද පුරුෂයකුගෙන් උපකාරයක්‌ ලත් ස්‌ත්‍රිsය කෙරෙහිද සමහර විට කෘතඥතා වේශයෙන් රාගය පහළ වේ. කෘතඥතා ප්‍රතිරූපක රාගයට රැවටුණ පුරුෂ තෙමේ තේ කෝප්පයකින් මුත් තමාට සංග්‍රහ කළ ස්‌ත්‍රිය ගේ බොහෝ ගුණ දකී. ගුණ අමතක කිරීම නො වටනේය යි ඇය ගැන සැලකිලි කරන්නට වෙයි. ස්‌ත්‍රීහු ද එසේමය. සමහරවිට තමන්ට උපකාර කරන කාන්තාවන් සම්බන්ධයෙන් ඇතැම් භික්‍ෂූන්ටද කෘතඥතා ප්‍රතිරූපය ඇතිවේ.

සමානාත්මතා වේශයෙන් වඤaචක රාගය

අන්‍යයන්ද තමා හා සම තත්ත්වයෙහි තබා සිතන ස්‌වභාවය සමානාත්මතා නමි. එය උතුම් ගුණයකි. බොහෝ සෙයින් පොහොසත්තු දුප්පතුන් ඇසුරු කිරීම තමාට නුදුසුදු දෙයකැයි සලකති. එහෙත් දුප්පත් කාන්තාවන් කෙරෙහි රාග වශයෙන් ඇල්ම පොහොසතුන්ට ද ඇති නොවන්නක්‌ නොවේ. පොහොසත් තරුණයකුට දුප්පත් පවුලක තරුණියක ගැන ඇල්ම ඇතිවූ කල්හි, ඔහු තුළ පවත්නා වූ දුප්පතුන් ඇසුරු කිරීම තමාට නුසුදුසු ය යන හැඟීම ඇය හා සම්බන්ධකම් පැවැත්වීමට බාධාවක්‌ වෙයි. එකල්හි ඒ රාගය සමානාත්මතා වේශය ගන්නේ ය. එයට රැවටුණු තැනැත්තේ සමානාත්මතා නමැති ගුණය ඉදිරිපත් කර ගෙන රාගයෙන් දුප්පතුන් ඇසුරු කරන්නට පටන් ගනී.

ප්‍රතිසංස්‌කාරකාමතා වේශයෙන් වඤaචක රාගය

තමා කරා පැමිණෙන්නවුන්ට ප්‍රිsය වචනයෙන් කථා කොට අවස්‌ථාවට සුදුසු හැටියට සංග්‍රහ කරන ස්‌වභාවය ප්‍රතිසංස්‌කාරකාමතා නමි. මෛථුනාධ්‍යාශයම රාගය යෑයි ඇතැමෙක්‌ වරදවා සිතති. දැකීම, ප්‍රිය සම්භාෂණය ආදිය පිළිබඳ වූ ආශාවත් රාගයමය. දර්ශනයෙන් හා කථා කිරීමෙන් ද ආස්‌වාදය ඇතිවන කෙනකු තමන් වෙත පැමිණි කල්හි ඒ ආස්‌වාදය විඳිනු කැමති බව වූ රාගය, පටිසන්ථාර කාමතා වේශයෙන් පහළ වේ. එයින් චඤaචිත වූ නැතැත්තේ තමා වෙත පැමිණි තමා ගේ මන පිනවන ආගන්තුකයා සමීපයට කැඳවා ඔහු හා ප්‍රිය සම්භාෂණයෙහි යෙදෙන්නේය. ආදරයෙන් ඔහුට සංග්‍රහ කරන්නේය. ඔහු තමා කෙරෙන් ඉවත්ව යන්නට උත්සාහ කළත් ඉක්‌මනින් එය සිදුකර ගන්නට ඉඩ නොදෙන්නේය. හැකි තාක්‌ කාලයක්‌ ආගන්තුකයා නවත්වා ගන්නට උත්සාහ කරන්නේය. ඔහු ආගන්තුකයා ගේ පැමිණි කාරණය ද ඉතා ඕනෑ කමින් ඉටුකර දෙන්නේය.

පරාභිවෘද්ධිකාමතා වේශයෙන් වඤaචක රාගය

අනුන් ගේ දියුණුවට කැමති බව පරාභිවෘද්ධිකාමතා නමි. සමහර විට රාගය පරාභිවෘද්ධි කාමතා වේශය ගන්නේය. එයින් චඤaචිත වූ තැනැත්තේ ස්‌ත්‍රීන් හට ඉගෙනීමට උපකාර කිරීම, රක්‍ෂාවල් සොයා දීම යන ආදිය අනුන් දියුණු කිරීමේ කැමැත්තෙන් කරන දෙයක්‌ සැටියට කරන්නේය. ස්‌ත්‍රීන්ට පමණක්‌ නොව සමහර ළමයින්ට ද පරාභිවෘද්ධි කාමතා ප්‍රතිරූපක රාගයෙන් සංග්‍රහ කරති. රාගය බොහෝ වෙස්‌ ගන්නා ධර්මයකිs. ප්‍රිය වාදිතා, ධර්ම දේශනා කාමතා, ධර්ම ශ්‍රවණ කාමතා, දාතු කාමතා, පරීක්‍ෂණතාදි රාගය ගන්නා වූ තවත් බොහෝ වේශයෝ ඇත්තාහ.


රත්මලාන ධර්ම පර්යේෂණාලයේ
හෑගොඩ විපස්සි හිමි

මෙම ලිපියේ ඉතිරි කොටස
ලබන සතියේ බලාපොරොත්තු වන්න
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.