දියණියෝ
ජගත් ඡේ. එදිරිසිංහ


මගේ දියණිය බුත්තල තණමල්විල

දුටුවෙමි කඳුළ නුඹගේ පුංචි ඇස්‌වල

ගෙවුණ ද මාසයක්‌ දෙකක්‌ නිසසල

තවමත් දැනෙයි ඒ පුංචි කඳුලේ සීතල



ඝනඳුර ගලන සීතල හැන්දෑව ළං වෙන වන පෙත අසල ඉව කර එබෙන හැංගෙන

මරණය රුදුරු දැයි මේ තරම් සිහිවන

කරුමය කිමද මගෙ දියණියන් හඬවන



හරි පුදුමයි මේ කඳුළේ සිසිල මට හුරුයි

දුර සිටියත් හැඳිනිය හැකිය මේ කඳුළමයි

එය තිබුණේ ඔබ වැනි දියණියක ඇස්‌ තුළයි

ඈ සිටියේ කිලිනොච්චියේ පාසලක්‌ අසලකයි



කඳුළක වෙනස තෝරන්නට නොහැකි වේමැයි

සුසුමක පහස නුඹගෙත් ඇගෙත් එකමැයි

එකමෙක වෙනස අප මේ ඉමෙයි ඈදුරයි

මගේ දියණියේ අප සැම බොහෝ අසරණයි



මගෙ අත ළඟම සිටිනා නුඹ කඳුළ විගසින

පිසලමි ඇඟිලි තුඩගින් මහත් සෙනෙහෙන

එනමුදු දුර සිටින ඒ දුවගෙ කඳුළින

රිදවෙන සිටත නැත සහනයක්‌ හිමිවන













ජගත් ඡේ. එදිරිසිංහ වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. එසේ වුවත් ඔහු තුළ ජීවත් වන, නිර්මාණකරුවා, සාහිත්‍යකරුවා පිළිබඳ තොරතුරු අප දැනගන්නේ, 1999 සිට, ඔහු විසින් ලියාපළ කරන ලද නිර්මාණ කෘති ආශ්‍රයෙනි. කෙටිකතාව, කවිය යොවුන් නවකතාව මතු නොව ප්‍රධාන ධාරාවේ නවකතාව ද ඔහුගේ නිර්මාණ ක්‍ෂේත්‍රයට අයත් වේ. 1999 දී කන්ද උඩ මාළිගාව කෙටි කතා සංග්‍රහය සමග සාහිත්‍ය ක්‍ෂේත්‍රයට පිවිසෙන ජගත් විසින්, සිසිරයේ පිපුණු මල (2000) කාව්‍ය සංග්‍රහය ද අසුර අඩවිය (2007), ගිම්හාන සුළඟ (2008) යන නවකතා ද ඉස්‌කෝලෙ යන කාලෙ (2009) යොවුන් නවකතාව ද පළකොට ඇත. දියණියෝ නම් ඉහත පද්‍ය නිර්මාණය ඔහු විසින් 2009 දී ලියා පළ කරන ලද රාජාලි පියාපත නම් කාව්‍ය සංග්‍රහයට ඇතුළත් නිර්මාණ රැසක්‌ අතරින් මා සිත් ගත් එක්‌ නිර්මාණයකි. රාජාලි පියාපත කාව්‍ය සංග්‍රහය කර්තෘ ප්‍රකාශනයක්‌ වන අතර, එහි එන ඇතැම් කවියක අර්ථය වඩාත් මතු කිරීම සඳහා අමල් ශාන්ත මුනින්දාදාස සිත්තරාගේ සිතුවම් ද උපකාර වී තිබේ.

කවියා දියණියන් දෙදෙනකු දකියි. එනම් ඔහුගේ දියණිය හා තවත් දියණියකි. ඔහුගේ දියණිය බුත්තල තණමල්විල ජිවත් වන්නීය. අනෙක්‌ දියණිය ඔහුට හමුවන්නේ උතුරුකොනේ කිලිනොච්චියේ පාසලක්‌ අසලකයි. කවියා ඔවුන් දෙදෙනාගේම දෑස්‌වල කඳුළක්‌ දකියි. ඔහුගේ ම දියණියගේ පුංචි කඳුළේ දැනුණු සීතලම ඔහුට කිලිනොච්චියේ පාසලක්‌ අසල දකිනා දියණියගේ කඳුළෙහි ද දැනේ.

"හරි පුදුමයි මේ කඳුළේ සිසිල මට හුරුයි

දුර සිටියත් හැඳිනිය හැකිය මේ කඳුලමයි

එය තිබුණේ ඔබ වැනි දියණියක ඇස්‌ තුළයි

ඈ සිටියෙ කිලිනොච්චියේ පාසලක්‌ අසලකයි."



කඳුළක, සුසුමක වෙනස තෝරන්නට නොහැකි වේ යෑයි කවියා පවසයි. එහෙත් එක්‌ වෙනසක්‌ ඔහු දකියි. ඒ ඔවුන් දෙදෙනා දෙතැනක. එකිනෙකාට බොහෝ දුර වූ දෙපසෙක ජීවත්වීමයි. කවියා එය අප ඉදිරියෙහි නිර්මාණය කරන අයුරු බලන්න.

"කඳුළක වෙනස තෝරන්නට නොහැකි වේමැයි

සුසුමක පහස නුඹගෙත් ඇගෙත් එකමැයි

එකමෙක වෙනස අප මේ ඉමෙයි ඈ දුරයි

මාගේ දියණියේ අප සැම බොහෝ අසරණයි."



ඔහු ළඟම සිටිනා ඔහුගේ දියණියගේ ඇස නැඟි කඳුළ ඇඟිලි තුඩගින් විගසින් පිසලන්නට හැකිමුත් දුර සිටින දියණියගේ කඳුළ පිසලන්නට නොහැකිය. එය කවියාගේ සිතෙහි දුකක්‌ උපදවයි. ඔහු සිතට සහනයක්‌ නොගෙනේ.

සැබෑ කලාකරුවා, තමා ජීවත් වන අවට ලෝකයේ නෙක සිදුවීම් දෙස, පුද්ගල ගති ස්‌වභාවයන් දෙස, චරිත දෙස නිරීක්‍ෂණාක්‍ෂියෙන් යුතුව බලයි. විශේෂයෙන් කවියකුගේ සිත, ඉතා සියුම් වේදනාවෙන් හෝ සංතුෂ්ටිදායක හැඟීමකින් වුව සසල වෙයි. ඒ කවියකු නිරන්තරයෙන් ම සංවේදී මනසකින් යුතුව ජීවත් වන බැවිනැයි සිතේ. ජගත් ඡේ. එදිරිසිංහ කවියාගේ සංවේදී මනසට හසුවන දියණියන් දෙදෙනා පිළිබඳ පාඨක සිත්හි කවියෙන් සිතුවමක්‌ අඳින්නේ, ඔවුන් දෙදෙනා පිළිබඳ ඔහුගේ සසල වූ සිතින් උපන් කවි සිතුවිල්ලක්‌ මුල් කොටගෙනය. බුත්තල තණමල්විල යනු නගරයේ ඈත දුෂ්කර ගමකි. කිලිනොච්චිය ඊටත් වඩා දුෂ්කර වූ දිගු කාලයක්‌ තිස්‌සේ ශාපලත් යුද්ධයකින් බැට කෑ ජන ජීවිතය විනාශ වී ගිය, ශ්‍රී ලංකාවේම තවත් පෙදෙසකි. මේ දෙතැන ජීවත් වන දියණියන් දෙදෙනාගේම කඳුළේ සීතල කවියාට එක ලෙසින් දැනෙන්නේ, තම දියණියගේ කඳුළ පිසින්නට හැකි මුත්, කිලිනොච්චියේ දියණියගේ කඳුළ පිසින්නට නොහැකිව තැවෙන්නේ, ඔහු සිත තුළ උතුරා ගිය මානව දයාව නිසා නොවේදැයි අපට සිතේ. ඔවුන් අතර දුරස්‌ථභාවය, කවියාගේ ගතින් මේ දියණියන් ඈත්කොට තැබුවද සිතින් ඔවුන් දෙදෙනාම කවියාගේ සිතට සමීපව ජීවත් වනවා විය යුතුය. දුර සිටියත්, ඇගේ කඳුළ හඳුනන්නට හැකි යෑයි කිලිනොච්චියේ දියණිය අමතමින් ඔහු පවසන්නේ ඒ නිසාය. තණමල්විල දියණිය මෙන්ම කිලිනොච්චියේ දියණිය ද මුහුණ දෙන්නේ සමාන අත්දැකීම්වලටය. ගනඳුර, වනපෙත එක්‌ අතකින්ද වෙඩි හඬ වියළි සුළඟ ජීවිතය පිළිබඳ අවිනිශ්චිත බව තවත් අතකින්ද මේ දෙදෙනාටම රුදුරු මරණය සිහි ගන්වය.s ඒ බිහිසුණු රුදුරු මරණය ද මේ දියණියන් හඬවන්නේ? ඒ ඔවුන් නිකම් වරදක්‌ කළ වරදටද? කවියා අප වෙත ඉදිරිපත් කරන මේ පැනයට පිළිතුරක්‌ අප සතු ද? මේ දියණියන් දෙදෙනාගේ ජීවිත මුහුණ දෙන ඉරණම කුමක්‌ද?

ජගත් ඡේ. එදිරිසිංහ කවියා තම හද සසල කළ අත්දැකීම කවියක්‌ ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට තෝරාගත් සිව්පද ආකෘතිය මනාව නිර්මාණය බද්ධ වේ. විමලරත්න කුමාරගම කවියාගේ ඇතැම් නිර්මාණයක්‌ දියණියෝ කියවද්දී මා මතකයට නැඟුණු බව කිව යුතුය. හේරත්හාමි වැනි චරිතයක්‌ දෙස කුමාරගම කවියා සානුකම්පිතව බැලූ ලෙස, ජගත් ඡේ. එදිරිසිංහ කවියාද දියණියන් දෙදෙනකු කෙරෙහි දයාර්ද වූ හදවතින් බලන්නට ගත් උත්සාහයක්‌ සාර්ථක නිර්මාණයක්‌ බවට පත් කර ගැනීම සඳහා උපයුක්‌ත කවි බස ද නිර්මාණශීලී ගුණයෙන් යුතු යෑයි මට සිතේ.


බුද්ධදාස ගලප්පත්ති

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.