මධ්‍යම පරිසර අධිකාරියෙන් පාරිසරික දත්ත පද්ධතියක්‌

සිරිමන්ත රත්නසේකර

මුළු දිවයිනම ආවරණය වන පරිදි පාරිසරික දත්ත පද්ධතියක්‌ නිර්මාණය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත.

මෙරට භූගෝලීය හා දුරස්‌ථ සන්නිවේදන දත්ත විශ්ලේෂණයේදී පාරිසරික වශයෙන් වැදගත් මූලික දත්ත වන පාරිසරික, සමාජීය හා ආර්ථික තොරතුරු අන්තර්ගත කර එම දත්ත පද්ධතිය නිර්මාණය කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා "දිවයින" ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

මෙම දත්ත පද්ධතිය මගින් පාරිසරික කළමනාකරණය, සැලසුම්කරණය, ඇගයීමේ හා දැනුවත් කිරීමේ කාර්යයන් හා පාරිසරික ආදර්ශ නිර්මාණකරණය සඳහා හොඳ පිටිවහලක්‌ වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මෙම පාරිසරික දත්ත පද්ධතිය උපයෝගී කරගනිමින් එක්‌ එක්‌ දිස්‌ත්‍රික්‌කය සඳහා අදාල දත්ත වෙන වෙනම සංයුක්‌ත තැටියක අඩංගු කර එළිදක්‌වන බවත් එහි පළමු පියවර ලෙස ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පාරිසරික දත්ත පද්ධතිය ඇතුළත් සංයුක්‌ත තැටිය එළිදැක්‌වූ බවත් හෙතෙම කීවේය.

මේ වනවිට මොනරාගල, බදුල්ල සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයන්හි පාරිසරික දත්ත පද්ධතිය නිර්මාණය කර ඇති බවත් මෙම වසර අවසන් වීමට පෙර අනෙකුත් සියලුම දිස්‌ත්‍රික්‌කයන්හි පාරිසරික දත්ත පද්ධතිය නිර්මාණය කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මධ්‍යම පරිසර අධිකාරියේ පර්යේෂණ හා විශේෂ ව්‍යාපෘති ඒකකය මගින් මෙම දත්ත පද්ධතිය ගොඩනගන බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්ත මේන්තුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන සතු දත්ත උපයෝගී කරගනිමින් මෙම පාරිසරික දත්ත පද්ධතිය නිර්මාණය කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.