සංස්‌කරණය : නාරද නිශ්ශංක

කරන්නන් වාලේ ටෙලි නාට්‍ය කරලා
රටේ අධ්‍යාත්මය විනාශ කරන්න බැහැ
ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ සුනිල් කොස්‌තා


සුනිල් කොස්‌තා - අධ්‍යක්‌ෂ විජේරත්න ගමගේ - නිෂ්පාදක

කසිකබල් කාමරැල්ලේ චිත්‍රපට දිගට හරහට තිරගත වීම ප්‍රේක්‍ෂකයා සිනමා ශාලාවෙන් ඈත් වීමට හේතුවක්‌ විය. මේවායෙන් ගත යුත්තක්‌ නැති බවත්, සිද්ධ වන්නේ පොකැට්‌ටුවට තට්‌ටු වීම පමණක්‌ බවත් වටහාගත් ප්‍රේක්‍ෂකයා එතැන් පටන් නිකමටවත් සිනමා ශාලාවක්‌ දෙස හැරී බැලුවේවත් නැත. ඒ වෙනුවට ඔවුන්ට විකල්ප රස වින්දන මාධ්‍යයක්‌ තිබිණි. ආලින්දයටම රසය කැන්දගෙන එන රූපවාහිනිය වෙතට ප්‍රේක්‍ෂක සමූහයා නැඹුරුවන්නට විය.

අවාසනාවකි. එදා සිනමාවට වූ නස්‌පැත්තිය අද රූපවාහිනියටත් සිදුවෙමින් තිබෙන බවට ලකුණු පෙනෙන්නට තිබේ. තොරතෝංචියක්‌ නැතිව විකාශය වන හරසුන් බොල් ටෙලි නාට්‍ය රැල්ල බොහෝ ප්‍රේක්‍ෂකයන්ට හිසරදයකි. මේ හේතුව ඉඳහිට විකාශය වන හොඳ අර්ථවත් ටෙලි නාට්‍ය වලටද සිදුකරනුයේ විශාල අසාධාරණයකි. ප්‍රේක්‍ෂකයා සිනමාවෙන් ඈත් වූවා සේම රූපවාහිනියෙන් ඉවත්ව යන දිනයද වැඩි ඈතක නොවේ.

මේ තත්ත්වයෙන් අපේ රූපවාහිනිය, ටෙලි කලාව බේරා ගැනීමේ දැඩි අභියෝගයකට ප්‍රවීණ, පිළිගත් ටෙලි නිර්මාණකරුවන් මුහුණපා සිටිති. ඔවුන් අතින් හොඳ නිර්මාණයක්‌ බිහි වූවොත් එය විකුණා ගන්නට නාලිකාවක්‌ හෝ හොඳ විකාශන කාලයක්‌ නැති තරම්ය.

කරුණු කාරණා මේ ආකාරයට සිද්ධ වන අතරේදී ස්‌වයංජාත, කඩදොර වැනි ඉතා වටිනා නිර්මාණ විකාශනය කිරීමට වගකීම භාරගත් ස්‌වාධීන රූපවාහිනිය තවත් එවැනිම හොඳ නිර්මාණයකට දොරගුළු විවර කර තිබීම සතුටකි.

එය ලෝක ප්‍රකට ආර්. එල්. ස්‌ටීවන්සන්ගේ විශ්ව කීර්තියට පත් නව කතාවක්‌ පාදක කර ගනිමින් නිමැවුණු "පින්සර දොස්‌තරය"ය.


රොමියෝ ජුලියට්‌, රෝද හතරේ මනමාලයා, සිරි සිරිමල්, ඇස්‌ අරින මල රෝස, සිහින වසන්තයක්‌ සහ ෂර්ලොක්‌ හෝම්ස්‌ වැනි ටෙලි නාට්‍ය ප්‍රේක්‍ෂකයා හමුවට ගෙන ආ සුනිල් කොස්‌තාගේ තවත් නිර්මාණයකි. "පින්සර දොස්‌තර".

හොඳ නිර්මාණ නොමැති ටෙලි කලාව ඉඩෝරයට හසුව ඉරිතැලී ගිය පොළවක්‌ බඳුය. ඉඳහිට පොද වැස්‌සක්‌ වැටෙන්නාසේ හරවත් නිර්මාණයක්‌ දෙකක්‌ බිහිවේ. ඒත් ඉඩෝරයට හසුවූ මහ පොළොව සාරවත් කිරීමට ඒ පොද වැස්‌ස ප්‍රමාණවත් නොවේ. පින්සර දොස්‌තර, ස්‌වයංජාත, කඩදොර වැනි නිර්මාණ වැඩි වැඩියෙන් බිහිවිය යුතුය. ඒවාට රූපවාහිනි නාළිකාවන්හි දොරටු විවර කළ යුතුය. එවැනි නිර්මාණකරුවන් ඉහළින් තැබිය යුතුය. "පින්සර දොස්‌තර" ප්‍රේක්‍ෂකයා වෙත ගෙන එන සුනිල් කොස්‌තා ප්‍රවීණ නිර්මාණකරුවා සමග අපි කතා බහ කළෙමු. මතු දැක්‌වෙන්නේ ඒ සාකච්ඡාවේ සටහන්ය.

ඔබ ටෙලි නාට්‍යයක්‌ නිර්මාණය කරන්න කාලය ගන්නවා... ඇයි ඒ?

මේක මගේ ආත්මීය ප්‍රකාශනයක්‌. මට හැඟෙන දේ තමයි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා එය කළ යුත්තේ සෙමින්. මොනව හරි කරන එක නොවේ මගේ අරමුණ.

ඒ වුණාට අද ටී. වී. නාලිකා දිහා බැලුවාම ටෙලි නාට්‍යයක්‌ කරන එක හරිම පහසුයි වගේ පෙනෙන්නේ?

ඔව්... ඔබ කියන එක ඇත්ත. ඒත් මම කොහොමද එහෙම ටෙලි නාට්‍ය කරලා පාරෙ බැහැලා යන්නේ. මගේ ටෙලි නාට්‍යයක්‌ මේ දවස්‌වල විකාශය වෙනවා. එය නරඹන අය මට කතා කරලා හොඳ කියනවා. කරන්නන් වාලේ ටෙලි නාට්‍ය කළාම රටේ අධ්‍යාත්මය විනාශ වෙනවා කියන එක කිසිම කෙනෙක්‌ කල්පනා නොකරන එකයි ප්‍රශ්නේ.

මෙගා ටෙලි නාට්‍යයක්‌ කළා නම් ඔබට මීට වඩා ඉක්‌මනින් ප්‍රේක්‍ෂකයා වෙතට යන්න තිබුණා කියා හිතෙන්නේ නැද්ද?

මම කවදත් මෙගා නරකයි කියා කියන්නේ නැහැ. වැඩේ මෙගාද? සුළුද කියන එක නොවේ ප්‍රශ්නය. කරන වැඩේ හරිද වැරැද්ද කියන එකයි. කොටස්‌ දෙසීය තුන්සිය යන ටෙලි නාට්‍ය තියෙනවා. මෙගා කියන්නේ කොටස්‌ ගණනින් විශාලද යන්න නොවේ හරය විශාලද කියන එකයි. මේ ගැන තමයි දෙගිඩියාවක්‌ තියෙන්නේ.

හරයෙන් මෙගා වූ ටෙලි නාට්‍යයක්‌ කරන්න ඔබට අදහසක්‌ නැද්ද?

හරවත් දෙයක්‌ එක්‌ක කොටස්‌ සීයක ටෙලි නාට්‍යයක්‌ කවුරු හරි කරනවානම් එසේ කළ හැකියි. කවුරු හරි ඉදිරිපත් වෙනවානම් මම දෙවරක්‌ හිතන්නෙ නෑ හොඳ එකක්‌ ලැබුණොත් කරනවා.

"පින්සර දොස්‌තර" කෙබඳු කතාවක්‌ද?

මෙය ලෝකප්‍රකට ආර්. එල්. ස්‌ටීවන්සන්ගේ විශ්ව කීර්තියට පත් "ඩොක්‌ටර් ජෙකිල් ඇන්ඩ් මිස්‌ටර් හයිඩ්" කෘතිය පාදක කර ගනිමින් කළ නිර්මාණයක්‌. ලෝකය පුරා චිත්‍රපට එකසිය විසි තුනක්‌ මෙය පාදක කරගෙන නිර්මාණය කර තිබෙනවා. අවසන් චිත්‍රපටය කළේ 2010 වසරේදී. ඊට අමතරව වේදිකා සහ ටෙලි නිර්මාණ රැසකුත් මෙය පදනම් කරගෙන නිර්මාණයවී තිබෙනවා. අනෙක මෙම නව කතාව ඉංගී්‍රසි සාහිත්‍යය හදාරන ළමයින්ගේ අත්පොතක්‌ ලෙස භාවිත කරනවා. මේ නිර්මාණය තුළ අධ්‍යාත්මික කතාවක්‌ තිබෙනවා. එක්‌ මිනිසෙකු තුළ විවිධ ස්‌වභාවයන් තිබෙනවා. පාරිසරික බලපෑම් සමග හැසිරෙන, ක්‍රියාකරන අයුරු අපි දන්නවා. පින්සර දොස්‌තර සමාජයට යහපතක්‌ කිරීම සඳහා යහපත් මිනිසෙක්‌ හදන්න උත්සාහ කරනවා. ඒත් ඒක වැරදිලා බිහිවන්නේ අමනුෂ්‍යයෙක්‌. මේක අපි එදිනෙදා අත්දකින දෙයක්‌. මේ කතාව නිර්මාණය වුණේ 1800 ගණන්වල. ඒත් අදටත් මේ කතාව වලංගුයි. මෙවැනි පින්සර දොස්‌තරලා අදත් අපට හමුවෙනවා.

ඇයි පින්සර දොස්‌තර චිත්‍රපටයකින් ඉදිරිපත් කරන්න නොසිතුවේ?

අපේ මූලික අභිප්‍රාය වුණේ ටෙලි නාට්‍යයක්‌. නමුත් දැන් මගේ හිතේ අදහසත් තියෙනවා චිත්‍රපටයකට ඔබින ලෙස මෙය සංස්‌කරණය කරන්න. ඒක අලුත් අත්දැකීමක්‌ වේවි. පළමුව මේ චිත්‍රපටය පෙන්වන්නේ මාධ්‍යයට. මාධ්‍ය කියනවා නම් චිත්‍රපටයකට හොඳයි කියලා ඉන්පසු සිනමා ශාලාවලට දානවා. මේ ගැන නිෂ්පාදක සමගත් සාකච්ඡා කරමින් ඉන්නේ.

ඊට අමතරව චිත්‍රපටයක්‌ කිරීමේ අදහසක්‌ ඔබට නැද්ද?

මැයි, ජුනි විතර චිත්‍රපටයක්‌ කරන්න සූදානම් වෙනවා. ඒ චිත්‍රපටය බොහෝ වෙනස්‌ ආකාරයේ නිර්මාණයක්‌ වේවි.

පින්සර දොස්‌තර නිර්මාණය කළේ මීට කලකට ඉහත. විකාශය ප්‍රමාද වීමට හේතුව?

අලෙවියේදී විවිධ ගැටලු ඇතිවුණා. ස්‌වාධීන රූපවාහිනියට අපි ස්‌තුතිය පුද කළ යුතුයි. අපටත් වඩා උනන්දුවක්‌ ස්‌වාධීන රූපවාහිනියට තිබුණා පින්සර දොස්‌තර විකාශනය සඳහා ඔවුන් මෙගා ටෙලි නාට්‍ය කළත් ඒ අතර කඩදොර, ස්‌වයංජාත සහ පින්සර දොස්‌තර වැනි හොඳ ටෙලි නාට්‍යයක්‌ විකාශය වෙනවා. මේ නාට්‍ය තුන හතරක්‌, පහක්‌ දක්‌වා වැඩිකර ගන්නයි අප උත්සාහ කළ යුත්තේ.

පින්සර දොස්‌තරට ප්‍රවීණයන් දායකවී සිටිනවාද?

ඔව්... ටෝනි රණසිංහ, ලූෂන් බුලත්සිංහල, දයා අල්විස්‌, ක්‌ලීටස්‌ මෙන්ඩිස්‌ වැනි ප්‍රවීණයන්ගේ දායකත්වය ලැබුණා. ඒ වගේම චින්තක සෝම කීර්ති කැමරාවෙන්, සුනිල් විඡේරත්න කලා අධ්‍යක්‍ෂණයෙන් චම්පික ඩයස්‌ සංස්‌කරණයෙන් සහ දිනේෂ් සුබසිංහ සංගීතයෙන් පින්සර දොස්‌තරට විශාල ආලෝකයක්‌ ලබා දුන්නා. මේ බොහෝ ශිල්පීන් මෙගා නාට්‍යවලට සම්බන්ධයි. ඒත් හරවත් නිර්මාණවලට දායක වෙන්න ඔවුන් කැමතියි. මෙහි තිබෙන්නේ වැරදි මුලක්‌. ඒ මුල ගලවා ගත හැකිනම් අපට මේ තත්ත්වය වෙනස්‌කර ගත හැකියි. නිෂ්පාදක විඡේරත්න ගමගේ මහතා ගැනත් සඳහන් කළ යුතුයි. ඔහු අපට ආශීර්වාදයක්‌. ඔහු වියදමට වඩා උනන්දු වුණේ හොඳ නිර්මාණයක්‌ කරන්න. මුදලට වඩා ඔහුට වටින්නේ සතුට. මෙවැනි නිෂ්පාදකවරයෙක්‌ ලැබීම මගේ වාසනාවක්‌. මට මීට පෙර හමුවූ නිෂ්පාදකවරු මෙන්ම විඡේරත්න ගමගේ මහතාත් නිදහසේ නිර්මාණය කිරීමේ ඉඩකඩ මට ලබා දුන්නා. කිසිම ප්‍රශ්නයක්‌ වුණේ නැහැ. අපි තවමත් හොඳ මිත්‍රයෝ. සෑම සතියකම සෙනසුරාදා රාත්‍රි 8.00 ට විකාශය වන "පින්සර දොස්‌තර"ට ඉහතින් නම් සඳහන් කළ නළු නිළි පිරිසට අමතරව නලින් ප්‍රදීප් උඩවෙල, චන්ද්‍රා කළුආරච්චි, උදේනි අල්විස්‌, නිමල් පල්ලෙවත්ත, රජිව් ආනන්ද සහ සමන් අල්මේදා ඇතුළු ශිල්පීන් රැසක්‌ රඟති.

අජිත් අලහකෝන්

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.