ඔසප් චක්‍රය අක්‍රමවත් වන්නේ ඇයි?

වර්තමානයේ බොහෝ කාන්තාවන් පීඩාවිඳින රෝගාබාධයක්‌ ලෙස ඔසප් චක්‍රය අක්‍රමවත්වීම හැඳින්විය හැකිය. ඊට ආසන්නතම හේතුව ලෙස වර්තමාන කාන්තාවන්ගේ සංකීර්ණ ජීවන රටාව හැඳින්විය හැකිය. මේ බව වඩාත් තහවුරුවන්නේ අප වෙත ලැබී ඇති ගැටලුවලින් වැඩිම ප්‍රමාණයක්‌ තිබෙන්නේ ඔසප් චක්‍රය අක්‍රමවත්වීම පිළිබඳවය. එබැවින් මෙවර අපි ඔසප් චක්‍රය අක්‍රමවත්වීම පිළිබඳ විමසා බලමු.

ක්‍රමවත් ඔසප් චක්‍රයක්‌ යනු දින 28 කට වරක්‌ කාන්තාවගේ ඩිම්භ කෝෂයෙන් ඩිම්භයක්‌ පිටවීමය. ශුක්‍රාණුවක්‌ සමග එකතු නොවූ මෙම ඩිම්භය යෝනි මාර්ගය ඔස්‌සේ සිරුරින් පිටතට පැමිණ විනාශවී යයි. මෙසේ ඩිම්භයක්‌ පිටවීමේදී පිටවන රුධිරය දින 3 ත් 5 ත් අතර කාලයක්‌ පවතී.

පිටවන රුධිරයේ පැහැය තද රතුය. ඔසප් වීමේදී කිසිදු වේදනාවක්‌ ඇති නොවේ.

මෙම ලක්‍ෂණ නොමැතිව සිදුවන ඔසප්වීම අක්‍රමවත් ඔසප්වීමකි. එනම් නියමිත පරිදි දින 28 කට වරක්‌ ඔසප්වීම සිදු නොවීම, ඔසප්වීමේදී අධික වේදනාවක්‌ ඇතිවීම, ඔසප්වීම දින 35 ත් 45 ත් අතර දීර්ඝ කාලයකදී ඇතිවීම හෝ දින 15 ක්‌ 20 ක්‌ වැනි කෙටිකාලයකදී ඇතිවීම, ඔසප්වීමේදී අධික ලෙස රුධිරය පිටවීම, එසේ පිටවන රුධිරය අපිරිසිදු පැහැයක්‌ ගැනීම ආදිය අක්‍රමවත් ඔසප් චක්‍රයක ලක්‌ෂණ වේ.

ඔසප් චක්‍රය අක්‍රමවත්වීමට හේතු රැසක්‌ පවතී. ප්‍රධාන වශයෙන්ම ශාරීරික සහ මානසික හේතු ඒ සඳහා බලපායි.

ශාරීරික හේතු

ඔසප් චක්‍රය අක්‍රමවත්වීමට බලපාන ශාරීරික හේතු ලෙස මන්ද පෝෂණය, අධික ස්‌ථූලතාව, උසට සරිලන බරක්‌ නොමැතිකම, ගර්භාෂ ගෙඩි, ඩිම්භ කෝෂ ආශ්‍රිත රුදිර ගැටිති හට ගැනීම, සුද යැම කාලයක්‌ පැවතීම ඔසප්වීම සම්බන්ධ හෝමෝනවල අසමතුලිතතාව ප්‍රධාන තැනක්‌ ගනී.

මානසික හේතු

කාන්තාවක්‌ උපතින් සැහැල්ලු මනසකින් යුත් මෘදු තැනැත්තියකි. ඇයට ජීවිතයේ විවිධ අවස්‌ථවලදී මතුවන ගැටලු හමුවේ මානසික පීඩාවට පත්වේ. විශේෂයෙන්ම පවුලේ අඹු සැමියන් අතර ගැටුම් මතුවන විට දූ දරුවන් සම්බන්ධ ප්‍රශ්න මතුවන විට, රැකියාවේ සහ සමාජයේ දී මතුවන ප්‍රශ්න හමුවේ මානසික පීඩාවාට පත්වේ. කිසියම් කරුණක්‌ නිසා වේදනාවෙන් පසුවන විට, එසේත් නැත්නම් ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් සිටින විට සිරුරේ හෝමෝන අසමතුලිතතාවයට පත්වේ. එහි ප්‍රතිඵලය වන්නේ ප්‍රජනන හෝමෝන වලද අසමතුලිතතාවක්‌ මතුවීමය. එසේ වූ විට ඔසප් චක්‍රය අක්‍රමවත් වේ.

තමාට හුරුපුරුදු ජීවන රටාවෙන් ඈත් වූ විට වෙනත් පරිසරයකට ගියවිට ද මානසික පීඩනය ඇතිවේ. එවැනි අවස්‌ථාවලදී ද හෝමෝන අසමතුලිතතාවය ඇතිවේ.

අක්‍රමවත් ඔසප් චක්‍රයක්‌ ඇතිවූ විට මතුවන ගැටලු විවාහක සහ අවිවාහක යන දෙපාර්ශ්වයට බලපාන ආකාරය දෙආකාරය.

අවිවාහක කාන්තාවනට

අවිවාහක කාන්තාවනට ඔසප්චක්‍රය අක්‍රමවත්වීම මතුවූ විටදී ඉන් අවබෝධකර ගත යුතු වන්නේ ඇය කිසියම් රෝගයකින් පෙළෙන බවය. එම රෝගී තත්ත්වය ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව මතුව තිබේ. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ දරුඵල අහිමිවීමය.

ඔසප් චක්‍රය අක්‍රමවත් අවිවාහක කාන්තාවන් මුහුණ දෙන ගැටලු අතරට ඇයගේ මුහුණේ සහ අත්පාවල සම දුර්වර්ණවීම, සමේ වියළි ස්‌වභාවයක්‌ ඇතිවීම, අධික ලෙස රෝම කූප වර්ධනය, නිතර කෝපය ඇතිවීම, අලස බවක්‌ දැනීම, සිතේ සතුට නැතිවීම අධික ස්‌ථූල හෝ අධික කෙට්‌ටු සිරුරක්‌ ඇතිවීම ප්‍රධාන තැනක්‌ ගනී.

විවාහක කාන්තාවන්ට

විවාහක කාන්තාවනට ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව ඇතිවූ විට ප්‍රධාන වශයෙන් ඇයට සිය ඔසප් චක්‍රයේ සරුකාලය හඳුනාගැනීමට නොහැකි වේ. ලිංගික සම්බන්ධයේදී දැඩි වේදනාවක්‌ ඇතිවීම, යෝනි මාර්ගයේ වියළි බවක්‌ පැවතීම යන අපහසුතා ප්‍රධාන තැනක්‌ ගනී.

ඔසප් චක්‍රය අක්‍රමවත්වීම නිසා ඩිම්භ මේරීම ඉතා අඩු මට්‌ටමකට පත්වේ. ඩිම්භ නිෂ්පාදනය ද ඉතා අඩු මට්‌ටමක පවතී.

ඔසප් චක්‍රය ක්‍රමවත් කර ගැනීම

ඔසප් චක්‍රය අක්‍රමවත්වූ විට බොහෝ දෙනා වර්තමානයේ හුරුවී සිටින්නේ බාහිරින් හෝමෝන ඖෂධ ලබා ගැනීමය. මෙහිදී ප්‍රතිඵලය වන්නේ සිරුරින් හෝමෝන නිපදවීම තවතවත් අඩාලවීමය. එබැවින් ප්‍රතිකාර ලබාදීමේදී මතුව ඇති රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාදිය යුතුය. එනම් ඔසප් චක්‍රය අක්‍රමවත්වී ඇත්තේ ගර්භාෂ ගෙඩි නිසා නම් ඒවා ඉවත්කිරීම කළ යුතුය.

මෙය ආයුර්වේදයේ හඳුන්වා ඇත්තේ "නිධානං පරිවර්ජයෙක්‌" යෑයි කියාය. එනම් හේතුව සොයා බලා ප්‍රතිකාර ලබාදීම යනුය.

ඔසප් චක්‍රය අක්‍රමවත් කාන්තාවන් බැබිල, ගොටු කොළ, හාතාවාරිය, ඉරමුසු වැනි ඖෂධවලින් සකස්‌ කළ කැඳවර්ග පානය කිරීම ගුණදායකය. මෙම ඖෂධීය පානයන් කාන්තාවන්ගේ රෝග සුවකිරීම සඳහා ඉතා වටිනා ඖෂධීය ගුණයෙන් යුක්‌තය.

නිතරම මානසික සතුට පවත්වාගෙන යා යුතුය. එහිදී සරල ජීවිතයක්‌ ගත කිරීම ඉතා වැදගත්ය.

දරුඵල ලබා නොමැති කාන්තාවන් දිගු කාලයක්‌ උපත් පාලන ඖෂධ ගැනීමෙන් වැළකිය යුතුය.

කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර අධිකව ගැනීම සුදුසු නැත. හැකිතාක්‌ දුරට පෝෂ්‍ය ගුණය සහිත සමබල ආහාර වේලක්‌ ගත යුතුය.

ඔසප්වීමේ වෙනස්‌කම් පිළිබඳ ලබන සතියේ විමසා බලමු.

ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.