මෙහෙම ගියොත් බුදුදහමට මොකද වෙන්නෙ!

ව නචාරි යුගයේ සිටි මිනිසාගේ ප්‍රධාන අරමුණ වූයේ යම් ආහාරයක්‌ සොයාගෙන අනුභව කර ජීවත්වීමය. ඔවුහු තමනට නොතේරෙන සියලු දේ ගැන ඉමහත් බියකින් පසුවූහ. ඔවුහු සුළඟ, වැස්‌ස, මේඝ ගර්ජනා යනාදියට මෙන්ම නාග, සිංහ, ඇත් වැනි බියකරු සතුන්ටද බිය වූහ.

ක්‍රමයෙන් ස්‌වභාව ධර්මයේ ඉමහත් ව්‍යසනයන්ට මුහුණ දුන් ආදි මිනිසා ඉන් බේරිම සඳහා විවිධ උපක්‍රම සොයාගත්තේය. ගස්‌ බෙන හා ගල් ගුහා වාසස්‌ථාන ලෙස සකස්‌ කර ගත්තේය. නොපෙනෙන දේවලට මෙන්ම විශාල ගස්‌කොලං හා ගල් පර්වත යනාදියට දේවත්වයෙන් සලකා පුද පූජා කළේය. මළවුන්ට බියවී ඔවුන්ගෙන් පිහිට පතා පුද පූජා පැවැත්විය.

කල්යාමේදී මිනිසා ශිෂ්ටාචාරවත් වීමත් සමග විවිධ ආගම් හා දර්ශන පහළ විය. එම ආගමික සංස්‌ථා සකස්‌ වූයේ බොහෝදුරට මිනිසා ලැබූ පාරිසරික වටාපිටාව තුළය. මේ අනුව විවිධ ආගම් හා ඇදහිලි ඇතිවූ අතර ඇතමෙක්‌ සාමකාමී පිළිවෙත් අනුගමනය කළ අතර ඇතමෙක්‌ භීෂණකාරී පිළිවෙත් අනුගමනය කිරීමෙහි යෙදුනහ. මෙම ආගම්වල අනුගාමිකයන් හා පූජකයෝ විවිධ උපක්‍රම මගින් සිය ආගම් ජනතාව තුළ ප්‍රචලිත කළහ. ඇතමුන් ආගමික සංස්‌ථා මගින් මිනිසා දැඩිලෙස බැඳ තබමින් හික්‌මවීමටද උත්සාහ ගත්හ. බලි පුද හා බිලි පූජා ඇතැම් ආගමික ප්‍රධාන අංග විය. එමඟින් දෙවියන් පිදීම මගින් ඔවුහු දේව කරුණාව අපේක්‍ෂා කළහ. කල්යැමේදී ආගම්වලින් මිනිසා දැඩි බැඳීමකට ලක්‌විය.

බුද්ධාගම දේවවාදී ආගමක්‌ හෝ කිසිදු ගැලවුම්කරුවකුගේ හෝ මැවුම්කරුවකුගේ ප්‍රභාවයෙන් බැබළෙන ආගමක්‌ නොවේ. එය ප්‍රඥවන්තයනට ගෝචරවන දර්ශනයකි. එහෙත් එහි ඇති ඇතැම් පූජා විධික්‍රම සාමාන්‍ය ජනතාව අවිචාරශීලි ලෙස වැළඳගෙන ඇත. කලකට පෙර පහළ වූ තාපස නිකාය ජනතාව එසේ වැළඳ ගත්තකි. ගෝමුත්‍ර බොමින් සොහෙන් පිටිවල නිදා ගනිමින් දුෂ්කර ජීවිතයක්‌ ගතකළ එම තපස්‌වීහු ජනතාවගේ ගෞරවාදරයට ලක්‌ වූහ. මෙම තාපස නිකාය හිටි අඩියේම නැතිවී ගියේය.

මෙසේ හිටි අඩියේ පහළ වන ආශ්චර්යන් වවාගෙන කන පූජකවරුන් නිසා ආගමට සිදුවී ඇති හානිය අපමණය. වරෙක එක්‌ යතිවරයෙක්‌ බවුසර මගින් පිරිත් පැන් බෙදා හැරියේය. චන්ද්‍රිකා වැවේ ජලය පිරිත් කොට ජනතාවට බෙදා දුනි. තවත් අයෙක්‌ සුදුනයි හා බෝගස්‌වල බුද්ධ රූප පෙන්වා ආර්ථික වශයෙන් පොහොසත් විය. ඇතැම් භික්‍ෂු පිරිසක්‌ යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් කරමින් ශාස්‌ත්‍ර බලමින්, වස්‌ කවි කියමින් බඩ ගෝස්‌තරය සපයා ගනිති. තවත් අයෙක්‌ නිදන් හෑරීම අල්ලස්‌ ගැනීම වැනි නීති විරෝධී ක්‍රියාවල යෙදෙමින් හා දේශපාලනය කරමින් රාජ්‍ය පාලනයේද යෙදෙති.

වැරද්ද වනුයේ මෙවන් ක්‍රියාවන් නැවැත්වීමට කිසිදු ආගමික සංස්‌ථාවක්‌ නොමැති වීමය. නිකාය හැට ගණනක හිමිවරුන්, අධිකරණ නායක හිමිවරුන් ආදීන් රාශියක්‌ සිටියත් ඉන් ශාසන චිරස්‌ථිතියට සේවයක්‌ වනවා දැයි විමසිය යුතුය. බොහෝ භික්‍ෂුන් වහන්සේලා තමනට අවශ්‍ය පරිදි කටයුතු කරති. එනිසාම ඇතැම් විට ගිහියන් ගෙන් නින්දා අපහාස පවා විඳිති.

තරුණ භික්‍ෂුන් වහන්සේලාගේ ඕනෑ එපාකම් සොයා බැලීමට සිටින පිරිසද ඉතා සීමිතය. ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නැත. අධික ආදායම් ලබන පූජ්‍යස්‌ථාන වලින් හෝ අහිංසක භික්‍ෂුන් වහන්සේලා නඩත්තු කිරීමේ වැඩපිළිවෙළක්‌ අරඹා නැත. හදිසියකදී නවාතැනක්‌ ලබාගැනීමට ඉඩ නොදෙන පන්සල්ද ඕනෑ තරම් ඇත.

විවිධ ආගමික සංවිධාන මගින් හෝ පුද්ගලයන් විසින් හෝ බුද්ධාගම හෑල්ලුවට ලක්‌කරන්නාවූ විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වැඩිවෙමින් පවතී. සුවඳ විලවුන් බෝතල්වල මෙන්ම රහමෙර බෝතල් වල බුදුන් වහන්සේගේ රුව වෙළෙඳ භාණ්‌ඩයක්‌ සේ යොදන ලද අවස්‌ථා ද වේ. පසුගිය කාලයේ සෙරෙප්පු හා කොමඩ්වල බුදුරුව චිත්‍රණය කළ අවස්‌ථා තිබිණි. කාන්තා ඇඳුම් හා යට ඇඳුම්වලද බුද්ධ රූප යොදා ගත් මානසික රෝගීහු සිටිති.

ඇතැම් අරාබි රටවල වෙසක්‌ කාඩ් පතක්‌ හෝ ගුවන් තොටුපළින් රට තුළට ගෙන යැමට අවසර දෙන්නේ නැත. එහෙත් ලංකාවේ නීතිය එතරම් දැඩි නොවීම නිසා දොa මේ බෞද්ධ රටේ බුදුන් වහන්සේට නිග්‍රහ කරන්නාවූ විවිධ මෙවලම් රට තුළට ගලාඒමට ඉඩ සැලසී ඇත. මෙවන් තත්ත්වයන් මැඩලීම සඳහා තද නීති පැනවීමට මහා සංඝයා වහන්සේලා විසින් රජයට බලපෑම් කළ යුතුවේ.

ලාපින් බුද්ධා නමින් හඳුන්වන චීන ප්‍රතිමා වන්දනාවක්‌ මේ වනවිට ලංකාවේ ජනප්‍රිය වී ඇත. මුදල් ලැබෙනවා නම් බුදුන් වහන්සේගේ පිළිම පවා විනාශකරන්නෝ සිටිති. එහෙත් ලාපින් බුද්ධා නම් විසුලු ප්‍රතිමාවකට පුද පූජා පවත්වන්නේ කෙලෙසද? ලාපින් බුද්ධා සංකල්පය පිළිබඳ විවිධ මත ඇත. එක්‌ මතයකින් කියෑවෙන්නේ චීනයේ සිටි ඉතා ධනවත් ඉතා ස්‌ථුල කාමාශක්‌ත පුද්ගලයෙක්‌ සිය අවශ්‍යතාවන් සඳහා දරුවන්ට මුදල් දී ඇඟ පත සම්බාහනය කරගැනීමේ ක්‍රියාවලියක යෙදුන බවය. ඒ සඳහා ඔහු අතදිග හැර මුදල් ලබාදී ඇත. මුදල් ලබා දෙන්නකු ලෙස ඒ නිසා ඔහු ප්‍රසිද්ධ විය. අදද කෙරෙනුයේ ප්‍රතිමාව අත ගැමය. ඕනෑම විකෘතියක්‌ බුද්ධා යන වචනයට සුදුසුද? අපේ රටේ ඇති නිදහස පිළිබඳ අප කනගාටු විය යුතුය.

යුරෝපයේ ඇතැම් හෙලුවැලි සමාජ ශාලාවක්‌ zබුද්ධ බාර්Z යනුවෙන් නම් කර ඇති බවක්‌ පසුගියදා පුවත්පත්වල පළවී තිබිණි. එම රට කුමක්‌ වුවත් එක්‌කෝ එහි තානාපති කාර්යාලයක්‌ නැත. එසේත් නැත්නම් එම රටේ සිටින ලංකාවේ තානාපති නිලධාරීහු බුද්ධ බාර් තුළට වී සූර්වී සිටින්නෝද?

අද ලංකාවේ ඇතැම් ආයතන වලින් සෝවාන් හා වෙනත් මාර්ග ඵල ලබාගැනීම සඳහා ටියුෂන් පන්ති පවත්වන බවටද සහතික ලබාදෙන බවටද ආරංචි පැතිර ඇත. ඇතමුන් තමන් සෝවාන් වී ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. ඒ අතර භාවනා පන්ති හතු පිපෙන්නාක්‌ මෙන් ඇතිවෙමින් පවතී. ලංකාවේ පමණක්‌ නොව පිටරට අසහනයෙන් පෙළෙන සුද්දන්ට හා සුද්දියන්ට සහනය ලබාදීම් වස්‌ විවිධ කම්මට්‌ටනාචාරීන් විසින් භාවනා පන්ති පවත්වන බවද කියති. ඒ සඳහා ඊළඟ ගුවන්යානයෙන් මියාමි වෙරළට යැමට සූදානම් වූ ඕනෑ තරම් පිරිස්‌ද විරල නැත.

මේ අතර ඇතමුන්ට ඇති ප්‍රශ්නය වී ඇත්තේ ගිහියන් පිරිත් කීම, විනය වර්ධන සමිති පිහිටුවීම, භික්‍ෂුණී සාසනය ඇති කිරීම යනාදියයි. මේවා ශාසනයට එතරම් ගැටලු අත්කර දුන්නේ නැත. ඊට වඩා ශාසනයට පහර එල්ල වන කරුණු අනන්තවත් ඇතිවෙමින් පවතී.

ඇතැම් යතිවරුන් පසුගිය කාලයේ බොහෝ උදහස්‌ වූයේ භික්‍ෂුණී සාසනය පිහිටුවීම සම්බන්ධයෙනි. අදද ඇතැම් භික්‍ෂුන් වහන්සේලා භික්‍ෂුණීන් වහන්සේලා පිළිගන්නේ නැත. එහෙත් වැලිවිට සරණංකර සංඝරාජතුමන්ගේ යුගයේදී ගනින්නාන්සේලා උපසම්පදා කිරීමට අනුගමනය කළ ක්‍රමවේදය ඇතමුන් අද අමතක කර ඇත. සියමෙන්, රාමඤ්ඤ දේශයෙන් ආදී වශයෙන් ලබාගත් උපසම්පදාව එම රටවල නමින් නිකායන් බවට පසුව පත්විය. භික්‍ෂුණීන් වහන්සේලාද එම ක්‍රමය අනුව ගොස්‌ බුරුම, සියම් දේශයන් ගෙන් උපසම්පදාව ලබාගෙන ඇත. බෞද්ධ ජනතාව විසින් ඔවුන් පිළිගනු ලැබ ඇත.

මේ අතර බෝධි සත්ව වන්දනාව නැවත මතුකරමින් තිබෙන බව ඇතැම් රාජමහා විහාරයන්හිද බෝධි සත්ව වන්දනාව ප්‍රචලිතව තිබීමෙන් පෙනේ. ගෞතම බුදුන්වහන්සේ හැර බෞද්ධයාට වෙනත් සරණක්‌ නැත යන්න මෙහිදී අදාළ පාර්ශ්ව වෙත මතක්‌ කළ යුතුව ඇත. මේ අතර බෝධිසත්ව වන්දනාව සහිත නව ආගමක ප්‍රාදුර්භූතවීමක්‌ද දක්‌නට ඇත.

වර්තමානයේ වාර්තාවී ඇති අලුත්ම සිද්ධිය වන්නේ රාරියාස්‌ හෙවත් රා බුද්ධා වන්දනයයි, පාකිස්‌තාන් ජාතිකයන් කිහිප දෙනෙකු විසින් ආරම්භ කර ඇති මෙම ආගම බොහෝ ප්‍රදේශවල ව්‍යාප්තව ඇත. රා බුද්ධා හැම ආගමකම ප්‍රධානියා වන බවත් ඔහු මොන නමින් හිටියත් වෙනස්‌ නොවන බවත් ඔහු යේසුස්‌ වහන්සේගේ පියා බවත් එම ආගමේ ඉගැන්වේ. පසළොස්‌වක පොහොය දින දී හඳේ පෙනෙන්නේ එම රා බුද්ධා වන මෛත්‍රී බුදුන් වන අතර හඬ නගා එදින අවශ්‍ය දේ ඉල්ලීමෙන් සියල්ල ලැබෙන බව ඔවුහු පවසති. ඒඩ්ස්‌, පිළිකා වැනි රෝග පවා එමඟින් සුව වෙතැයි එම දේශකයෝ පවසති.

කනගාටුව වන්නේ දැනට මීගමු, දෙහිවල, කැලණිය. මොරටුව යන පෙදෙස්‌වල සිටින අනුගාමිකයන් අතර බෞද්ධ භික්‍ෂුන්ද සිටිනවා යෑයි පැවසීමය. ලෝක විනාශය අනුව ජනතාව එක්‌ එක්‌ අංශ වෙත යොමු කරන අතර සිල් ගැනීම් වැනි කටයුතු අනවශ්‍ය ලෙස ඔවුහු දකිති. කරදරයට පත්වූ අයට සහනය ලබා දීම මෙම ආගමේ පරමාර්ථය බව කියෑවේ. ජනතාව ගෙන් කිසිවක්‌ අපේක්‍ෂා නොකරන ඔවුන් දේශනා සඳහා කාලය පමණක්‌ අපේක්‍ෂා කරති. මෙම ආගම පිළිබඳ බැලුම් ගල නම් ගුවන් විදුලි වැඩ සටහනකින් අනාවරණය කිරීම ගැන ඔවුන්ට ස්‌තූති වන්ත විය යුතුය. ශාසන බලධාරීන් මේ පිළිබඳ සොයාබලා අවශ්‍ය පියවර ගනු ඇතැයි ජනතාව අපේක්‍ෂා කරති.

අපට බුද්ධ ශාසන අමාත්‍යාංශයක්‌ ඇත. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ෂෂ පරිච්ඡේදයේ 9 වන වගන්තිය අනුව රජය බුද්ධාගම ආරක්‍ෂා කිරීමට බැඳී ඇත. ඒ අතර සෑම ප්‍රදේශයකම ශාසනාරක්‍ෂක මණ්‌ඩල පිහිටුවා ඇත. මහානායක අනු නායක අධිකරණ නායක වැනි තනතුරු දරන්නාවූ මහා සංඝරත්නය ඇත. දළදා මාලිගය, ශ්‍රී පාදය, මිහින්තලය, කැලණිය, ශ්‍රී මහා බෝධිය වැනි ජනතාව ලක්‍ෂ ගණනින් රොක්‌වන ආගමික සිද්ධස්‌ථාන ඇත. එසේම අයිස්‌ලන්තය වැනි රටක හැරුණ විට ලෝකයේ හැම රටකම පාහේ ශ්‍රී ලාංකික ප්‍රධාන සංඝ නායක වරුද සිටිති. එහෙත් කනගාටුවට කරුණක්‌ වන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ ගම්බද පෙදෙස්‌වල පන්සල් ඉතා දිළිඳු තත්ත්වයේ පැවතීමය. ඇතැමක සංඝයා වහන්සේලා නැත. දාන මාන ලැබෙන්නේද නැත.

යාපන ප්‍රදේශයේ ධර්මය දේශනා කිරීමට හෝ ඔවුන් බුද්ධාගම දෙසට නැඹුරු කිරීමට කිසිදු සංඝ පීතෘවරයෙක්‌ ඉදිරිපත්ව නැත. එහෙත් ලෝකයට නිර්මල බුදුදහම ලබාදෙන ප්‍රධාන රට ලංකාව බව කියති.

මෑතකදී ගුවන් විදුලි සංස්‌ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතා සහ ගලබොඩ ඤාණිස්‌සර නායක හිමියන් එක්‌ව දෙමළ භාෂාවෙන් බණ දේශනා කිරීමේ කටයුත්තකට අතගසා සිටීම පැසසුම් කටයුතුය. අවශ්‍ය වන්නේ එවන් පියවර ගැනීමය. ඕස්‌ට්‍රෙලියාවේ, ප්‍රංශයේ, ජර්මනියේ සුද්දන් මහණ කිරීමට දක්‌වන උනන්දුව යාපනයේ දෙමළ දරුවන් පැවිදි කිරීමටද දැක්‌වීමට කාලය පැමිණ ඇති බවද සඳහන් කළ යුතුය.

මේ අතර සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය සර්ව ආගමික කමිටු පිහිටුවීමට උත්සාහ ගන්නා බව දැන ගන්නට ඇත. බෞද්ධයන්ට බුද්ධාගම අදහන හැටි කියාදීම හා නත්තල සැමරීම ගැන කියාදීම මෙහි පරමාර්ථයක්‌ විය හැක. ඉන් අදහස්‌ කරන්නේ සියල්ලම එක්‌වී නිවනට හා ස්‌වර්ගය ට යැමට කෙටි මාවතක්‌ දැන්ම සිට සූදානම් කිරීමට නම් එය හොඳ වැඩපිළිවෙළකි.

අප රට ප්‍රධාන බෞද්ධ රටක්‌ වන්නාසේම බෞද්ධ සංවිධාන රාශියක්‌ද තිබෙන රටකි. එසේ වුවත් පෝය දින හෝ ඉරිදා දිනවල ආගමික කටයුතුවල යෙදීමට බොහෝ විට විවිධ බාධක ඇතිවන අවස්‌ථා ඇත. ජාත්‍යන්තර වශයෙන් වෙසක්‌ පෝයදින නිවාඩු දිනයක්‌ කිරීමට පෙරමුණ ගත්තේද අන්‍යාගමික ඇමැතිවරයෙකු වූ දිවංගත කදිර්ගාමර් මහතාය. (එතුමාට ස්‌තූති වේවා) පෞද්ගලික ආයතන හා සංවිධාන විසින් විවිධ උත්සව සැනකෙළි පෝය දිනවලද පවත්වනු ලබයි. මේවා නැවැත්වීමට කිසිදු ආයතනයක්‌ රජයෙන් ඉල්ලා නැත. 2009 වර්ෂයේදී ලංකාව හා පකිස්‌තානු ක්‍රිකට්‌ තරගය පැවැත්වූයේ කටින පිංකම තිබූ පොහොය දිනදීය. ඉල් පෝය දිනක බස්‌නාහිර පළාත් සභා නැටුම් තරග පැවැත්වීමද සිදුවී තිබුණි. මේවා නැවැත්වීමට කිසිදු ශාසනාරක්‍ෂක බලමණ්‌ඩලයක්‌ ක්‍රියා කර නැත. කිසිදු අරාබි රටක සාමාන්‍ය සිකුරාදා දිනක හෝ මෙවැනි කටයුතු කිරීමට අවසර නැත.

ඒ හැරුණ විට 2010 මහ ඇමැති සමුළුවේදී සම්මත වූ යෝජනාවක්‌ වූයේ ඉරිදා දිනවල වරුවක්‌ ටියුෂන් පංති පැවැත්වීම නැවැත්විය යුතු බවය. එක්‌තරා ඇමැතිවරයකු ගේ මැදිහත් වීම නිසා එය ක්‍රියාත්මක වීම නැවතී තිබේලු! එහෙත් කිසිදු බෞද්ධ සංවිධානයක්‌ හෝ සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලය හෝ එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නැත. අද ද ඇතැම් ධර්ම ශාලාවල ඉරුදින ටියුෂන් පංති පැවැත්වෙන අතර ඇතැම් භික්‍ෂුන්ගේද එදින රාජකාරිය වී ඇත්තේ ටියුෂන් පංතිවල සේවය කිරීමය.

මේ අතර ජපන් ආරයට ගිය පන්සල් හා පූජාවිධි මෙන්ම ළදරු පාසල් පිහිටුවීමද සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී. විදෙස්‌ ආධාර ඇතිව එසේ ආගමික ස්‌ථාන වැඩි දියුණු කිරීමේ කිසිදු වැරැද්දක්‌ නැත. එහෙත් විදේශ මුදල්වලට මුවා වී දේශීය ආගමික සංස්‌කෘතිය පාවාදීම කළ යුතු නොවේ. කලකට පෙර ජපන් පන්සලේ බුදු පිළිමයට කාසි වලින් ගැසීම සිදුවනු දක්‌නට ලැබිණි. දේශීය භික්‍ෂුන්වහන්සේ නමක්‌ ජපන් භික්‍ෂුවක්‌ මෙන් රබානක්‌ වයමින් බුදුන්වහන්සේට පූජා කිරීමක්‌ද දක්‌නට ලැබිණි.

මේ අතර ලුම්බිණිය, ඉසිපතනය, බුද්ධගයාව, කුසිනාරාව පිහිටියේ ලංකාවේ බවත් බුදු උපත සිදුවූයේ ලංකාවේදී බවටත් විපරිතයක්‌ද දෙසනු ඇසෙයි. එතුමාට අනුව ධර්මාශෝක රජු දැනට තිබෙන ඉන්දියානු බෞද්ධ සිද්ධස්‌ථාන ලංකාවේ අනුරුවට අනුව සාදා ඇත. එසේ ඉදිකිරීමට ධර්මාශෝක රජුට තිබුණ ඔළුවේ අමාරුව අපට තේරුම් ගත නොහැක.

මේවා මෙසේ සිදුවෙද්දී ශාසන මාමක ලෙස ඒවා සිදුවීමට ඇති ඉඩකඩ නැති නොකොට පිළිවෙතින් සරුවන ලෙස නියෝග දීම පමණක්‌ ප්‍රමාණවත් වේද යන්න ගැටලුවකි.

හි. ලි. ඔස්‌ටින් සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.