පාසල්වලට දක්‍ෂ ගුරුවරුන් නොදී
දරුවන්ට "විෂය බෑ" කීම වැරදියි
හොඳ ගුරුවරුන් දෙන්න අපේ රජය කැපවෙනවා
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

පාසලේ උගන්වන්නේ නැත්නම් දරුවෝ ටියුෂන් නොයා මොනවා කරන්නද?

කඹුරුපිටිය - පී. එල්. ජයවර්ධන, මාතර - කේ. එච්. පියසේන

පාසල් දරුවන්ට දක්‍ෂ ගුරුවරුන් නොදී ගණිතය බැරිය කියනවා. සමහරු ගණිතය විෂයයේ ලකුණු මට්‌ටම අඩුකරන්න යෝජනා කරනවා. ගණිතය ලිහිල් කරන්න සරල කරන්න යෝජනා කරනවා. ඒවා එකක්‌වත් විසඳුම් ලෙස මා දකින්නේ නැහැ. සෑම පාසලකටම ඒ ඒ විෂයයන් උගන්වන්න ගුරුවරුන් ලබාදිය යුතුයි. අප රජය ඒ සඳහා කැපවෙනවා යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

මාර/පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද දන්දිනා සමරසිංහ දිසානායක ගුණ සැමරුම් තෙමහල් සිප් මැදුර සිසු අයිතියට පැවැරීම වෙනුවෙන් පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මෙම අදහස්‌ පළ කළේය. ජනාධිපතිවරයාගේ මෑණියන් වන දන්දිනා සමරසිංහ දිසානායක මහත්මිය සිහිවීම වෙනුවෙන් මෙම ගොඩනැඟිල්ල ඉදිකර තිබිණි. එය විවෘත කිරීමෙන් පසු පැවැති උත්සව සභාව අමතා තවදුරටත් කතා කළ මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද පැවසීය.

අපි හැමදාම කතා කරනවා ගුරු හිඟය ගැන. හැමදාම ගුරුවරු අලුතින් පත් කරනවා. මේ කාලයේදී ගුරුවරුන් හතළිස්‌ පන්දාහක්‌ විතර අරගෙන තියෙනවා. දැන් දකුණු පළාතේ පාසල්වල ගුරු තුලනය කර ගුරු හිඟය පියවීමට කටයුතු කරමින් සිටිනවා.

මේ පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය අද වනවිට දියුණු පාසලක්‌ බවට පත්වෙමින් තියෙනවා. නගරයේ සිට හැතැප්ම දෙකක්‌ තුනක්‌ දුරින් මෙවැනි දියුණු මට්‌ටමේ කියාගන්න පාසල් දකින්න ලැබෙන්නේ කලාතුරකිනුයි. ඒ පාසල් අතර ප්‍රමුඛතාව මෙම පාසලට හිමිවෙනවා.

ගම්වල දරුවන් රෑ තුනට හතරට නැගිටලා නිදි මරාගෙන නගරයේ පාසල්වලට එනවා. නගරයෙන් බැහැර තියෙන මේ පාසලේ දරුවන් එක්‌දාස්‌ හයසියයක්‌ ඉන්නවා කියලා විදුහල්පතිනිය කීවා. ඒකෙන්ම මෙම පාසලේ ආකර්ෂණීය බව පේනවා. විදුහල්පතිවරයා, ගුරු මණ්‌ඩලය කැපවීමෙන් කටයුතු කරනවා නම් ඒ පාසල දියුණුවට පත්වෙනවා. දරුවන්ගේ ආදරය පාසලට තිබිය යුතුයි.

මා ඉපදුනේ පාලටුවේ. හැදුණේ වැඩුණේ මැදමුලනේ. හැම නිවාඩුවකදීම පාලටුවට ආවා. රෝහණ සංඝ සභාවේ මහානායක අත්තුඩාවේ රාහුල හිමියන්, මගේ මෑණියන් ඇතුළු විශිෂ්ට දරු පිරිසක්‌ මේ පාසලෙන් රටට දායාද කර තියෙනවා. රටට ආදරය කරන වැඩදායක දරු පිරිසක්‌ බිහිකර තියෙනවා. මට සිංහල හෝඩියේ "අ" යන්න කියා දුන්නේ, ආදරය කියලා දුන්නේ මේ පාසලෙන් කියලයි හිතන්නේ. මට ඉස්‌සෙල්ලා "අ" යන්න කියා දුන්න, ආදරය කියා දුන්න මගේ මෑණියන් මේ පාසලෙන් ඉගෙන ගත්ත නිසයි මම එහෙම කියන්නේ.

අද දරුවන් ටියුෂන් යනවට කෑ ගහනවා. පාසලේ උගන්වන්නෙ නැත්නම් දරුවො ටියුෂන් නොයා වෙන මොනව කරන්නද? පාසලෙන් හොඳ අධ්‍යාපනයක්‌ ලබා දෙනවානම් දරුවන් ටියුෂන් යන එකක්‌ නැහැ. අපි ටියුෂන් යැම ගැන දරුවන්ට දොස්‌ කිය කියා ඉන්න යුගය අවසන් කළ යුතුයි.

අපි වැඩිම මුදලක්‌ වැය කරන්නේ අධ්‍යාපනය, ආරක්‍ෂාව සහ සෞඛ්‍ය වෙනුවෙනුයි. මේ රටේ ආරක්‍ෂාව සඳහා වැය කිරීම වැරදිද? අධ්‍යාපනයට වැඩි මුදලක්‌ වැය කරන්නේ බුද්ධිමත් දරු පිරිසක්‌ බිහිකරන්නයි. අද අපි දරුවන් හදන්න ඕන රටට විතරක්‌ නොවෙයි ලෝකයට මේ විශ්වයට ගැලපෙන දරුවන් හදන්න ඕනෑ. ඒකට මුලපුරන්න ඕන පාසලෙනුයි.

අපි හැමෝම විභාග ගැන කතා කරනවා. විභාගයෙන් සමත්වන දරුවන්ගෙන් සියයට පහක්‌ විතරයි විශ්වවිද්‍යාලයට ගන්නේ. ඉතිරි සියයට අනූපහට මොකද වෙන්නේ. ඒ පිරිස මේ රටේ වැඩදායක පුරවැසියන් පිරිසක්‌ බවට පත්කරන්න යෞවන කටයුතු අමාත්‍යාංශයට අපි භාරදීල තියෙනවා. මුළු රටේම දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදීලා, කාර්මික අධ්‍යාපනය ලබාදීලා, ජීවිතයට යම් හැකියාවක්‌ ඇති කරලා ඒක රැකියාවක්‌ ලබාගන්න මට්‌ටමට ගෙන යන්න කටයුතු කළ යුතුයි.

විභාගය සමත් වුණාම ගෙදරට වෙලා නිකන් ඉන්නේ නැතිව ඒ ඒ අංශවලට යොමු වී වෘත්තිය නිපුණතාවක්‌ ලබාගන්න දරුවන් කටයුතු කළ යුතුයි. ඉල්ලුමක්‌ තියෙන රැකියා ගැන සොයා බලා ඊට අදාළ පාඨමාලා හදාරන්න ඕනෑ. මේවා හඳුනාගන්න යම් වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්න කටයුතු කරනවා. අපේ රජය ඒ කටයුත්ත සඳහා කැපවී සිටිනවා.

රටේ මොන තරම් නිදහස තිබුණත් රට සංවර්ධනය කළත් අනාගතයේ දරුවන් සමාජයට බරක්‌ වෙනවා නම් පළක්‌ නැහැ. පන්සලට පල්ලියට නොයන, දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගරු නොකරන සමාජයක්‌ නම් අප කරන කාර්යයෙන් වැඩක්‌ නැහැ. අපි අපේ දරු පරපුර විනයගරුක දරු පිරිසක්‌ බවට පත් කළ යුතුයි.

ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක අත්තුඩාවේ රාහුල හිමියෝද, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාද, ඇමැතිවරුන් වන ඩලස්‌ අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, චන්ද්‍රසිරි ගජධීර යන මහත්වරුද පළාත් සභා සහ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුද මේ අවස්‌ථාවට සහභාගි වූහ. විදුහල්පතිනි එස්‌. එදිරිසිංහ මහත්මිය සහ ප්‍රධාන ශිෂ්‍ය නායක ආර්. කේ. ශානුක චතුරංග යන අය කතා කළහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.