ලංකාවේ සාහිත්‍යය යනු
සිංහල භාෂකයන්ගේ සාහිත්‍ය පමණක්‌ද?
"දෙබසේ දෙබස" ගැන වචනයක්‌


ලංකාවේ ලියෑවෙන ඉංග්‍රීසි සාහිත්‍යයෙහි නව වර්ධනයක්‌ දැකිය හැකි බව පසුගිය වසර කීපයේ පෙනිණ. එහි කූටප්‍රාප්තියක්‌ වන්නේ ශෙහාන් කරුණාතිලකගේ චයිනමන් නවකතාව පළ වීම යෑයි කියන්නට පුළුවන. එය ලංකාවේ ලියෑවුණු අපට අමුතු ප්‍රබන්ධ කතාවකි. ඉන් නිරූපිත ප්‍රබන්ධ කලාව නැවුම්ය. එහෙත් එවැනි කෘති ගැන සිංහල සාහිත්‍ය ලෝකයේ සිදුවන කතා බහ අල්පය.

ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍ය ලෝකයේ සිදු වන දේ සිංහල පාඨකයන්ට විස්‌තර කරන එක්‌ ලේඛකයෙක්‌ අපට සිටියි. ඔහු නීල් විඡේරත්නය. ඔහු සිංහල සාහිත්‍ය ලෝකයේ සිදුවන යහපත් දේ ගැන ඉංග්‍රීසියෙන්ද ඉංග්‍රීසි සාහිත්‍ය ලෝකයේ සිදුවන දේ සිංහලයෙන් ද ලියා පළ කරයි. මෙසේ ඔහු ලියූ සිංහල තීරු ලිපි මාලාවක්‌ "දෙ බසේ දෙබස" (විඡේසූරිය 2010) නමින් හුරුබුහුටි ග්‍රන්ථයක්‌ ලෙස මෑතකදී පළ විය. මෙම කෘතිය ඉංග්‍රීසි භාෂාවෙන් ලංකාවේ සිදු වන සාහිත්‍ය කටයුතු හා ඒවා කරන සාහිත්‍යකරුවන්, ප්‍රකාශකයන් හා විචාරකයන් ගැන රසවත් හැඳින්වීමකි.

බොහෝ ජාතිකවාදී දෘෂ්ටිවාදීන් සිංහලයාගේ සංස්‌කෘතික ජීවිතය හුදෙක්‌ සිංහල කේන්ද්‍රීය ද අතීත කේන්ද්‍රීය ද එකක්‌ කරන්නට කැස කවනු පෙනේ. සමහර ජාතිකවාදීන්ට අවශ්‍ය වන්නේ අන් භාෂාවලින් පවතින ඥානය තමන්ට අවශ්‍ය ලෙස විකෘති කොට සාදා දෙන අති සරල සූත්‍ර ඒක භාෂක සිංහලයන් ලවා විශ්වාස කරවන්නටය. මෙරට වසන සිංහල කතා නොකරන හෝ සිංහල නොවන භාෂාවලින් ලියන කියන අය අපේ ජාතිකත්වයට අයිති නැති පිරිසක්‌ යෑයි ඇතැම් අය සිතන බවද පෙනේ. මෙය විශ්ව විද්‍යාලවල පවා දැකිය හැකි තත්ත්වයකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නා අය හා ඉංග්‍රීසි විෂයක්‌ ලෙස හදාරන අය ගැවසෙන්නේ තමන්ටම වෙන් වූ තැන්වලය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති කාර්යාලය සහිත ගොඩ නැගිල්ලේ යට ඒ ශිෂ්‍යයන් ගැවසෙන තැනයි. එයට ප්‍රධාන හේතුව සිංහල භාෂක දේශපාලන කණ්‌ඩායම් මේ ශිෂ්‍යයන්ට 'අලයන්' හෝ 'ෙද්‍රdaහීන්' ලෙස සලකා පහර දීම යෑයි කියනු ලැබේ. ඉංග්‍රීසි මධ්‍යයෙන් උගන්නා පිරිස ඒ කාරණය නිසාම තමන් උසස්‌ යෑයි සලකන බව සිංහල පමණක්‌ දන්නා අය කියති. විශ්ව විද්‍යාල පරිපාලනය ද අචාර්යවරුන් වන අපිද මේ දෙපිරිස අතර අන්තර්සම්බන්ධතා වර්ධනය කිරීමට වැඩිමනත් යමක්‌ නොකරමු.

මෙහිලා භාෂා ලෝක දෙක තුළම ප්‍රකාශ වන්නේ එකම ලාංකිකත්වය බව පෙන්නාදීමේ එක්‌ උපක්‍රමයක්‌ හැටියට මා උගන්වන තුලනාත්මක සාහිත්‍ය පාඨමාලාවකදී ලංකාවේ පළ වන ඉංග්‍රීසි සාහිත්‍ය ගැන ද කතා කරමි. වරක්‌ ජීන් අරසනාගයම් හා විවිමර් වැන්ඩර්පූටන්ගේ කවි උගන්වමින් මා පෙන්වා දුන්නේ ජනවාර්ගිකව සීයට සීයක්‌ සිංහල නොවන මෙවන් ලේකාවන්ගේ කෘතිවල එන්නේ අපටද අදාළ අපේම අත්දැකීම බවයි. ලංකාවේ සාහිත්‍යය සිංහල නොවන බසකිනුත් ලියවිය හැකිය යන්න මේ ගැමි දරුවන්ට කියාදීමට මට අවශ්‍ය විය. එහෙත් මේ ලෝකය වෙත තමන්ම යාමට තරම් ඉංග්‍රීසි දැනුම ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අල්පයහ. ඒ අන්කිසිවක්‌ නොව ද්වීභාෂික නිදහස්‌ අධ්‍යාපනයක්‌ ඇති කර ගැනීම අපට අප අහිමි වීමේ පලයකි. සිංහල පමණයි අධ්‍යාපනය නොමිලේ දෙන අධ්‍යාපනයක්‌ මිස නිදහස්‌ අධ්‍යාපනයක්‌ නොවේ. නිදහස්‌ චින්තනයක්‌ සඳහා වන දැනුම සපයන්නට ඒකභාෂා අධ්‍යාපනයට හැකියාවක්‌ නැත.

මේ භාෂා දෙක අතර සාහිත්‍ය ලෝක යා කරන්නට තැත් කරන අපට නීල් විජේරත්නගේ දෙබසේ දෙබස ප්‍රයෝජනවත් කෘතියකි. වර්තමාන ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් සිදු වන සාහිත්‍ය කටයුතු ගැන වැදගත් තොරතුරු සපයා සිංහල කියවන පාඨකයා උනන්දු කරවීමට වත් මේ කෘතියට හැකියාව ඇත. විඡේරත්න මේ කෘතියෙහි එක්‌ කරන්නේ ඔහු පුවත්පත්වලට ලියූ තීරු ලිපි නිසා ඔහුගේ මිහිරි රචනා ඉතා කෙටිය. ඒ නිසා ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් කෙරෙන සාහිත්‍ය කටයුතු ගැන කිසිවක්‌ම නොදන්නා පාඨක පිරිසකට සවිස්‌තර හා ප්‍රාමාණික දැනුමක්‌ සැපයීමට ඒවාට ශක්‌තියක්‌ නැත. ඒ නිසා ඔහු විවර කරන අලුත් ද්වාරයෙන් ඇතුලුව එම විෂය පිළිබඳ දීර්ඝ රචනා කිරීමට කෙනකු පෙළඹිය යුතුය. ඒ සඳහා සිංහල ද ඉංග්‍රීසිය ද එක සේ දැන ගත යුතුය. එසේම මේ දෙබසින්ම නිතර කියවන අයද විය යුතුය. මා දන්නා විශ්ව විද්‍යාලවල නම් එවැන්නෝ ටික දෙනෙකි. ඒ අනික්‌ පොතත් නීල් විඡේරත්නටම ලියන්නට සිදු වෙනු ඇත¾



පේරාදෙණියෙහි විශේෂ වැඩක්‌

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශය කලෙක සිට පවත්වාගෙන එන අපූරු පාඨමාලාවක්‌ ඇත. ඉන් කරන්නේ ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය විශේෂ උපාධියක්‌ ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිංහල හා දෙමළ බසින් ලියෑවෙන සාහිත්‍ය ගැන හැඳින්වීමක්‌ සැපයීමයි. නූතන ලංකාවේ භාෂා තුනකින් ලියෑවෙන සාහිත්‍ය අතර එහා මෙහා යා හැකි විද්‍යාර්ථීන් පිරිසක්‌ මෙමගින් බිහිවෙතියි අපේක්‌ෂා කළ හැකිය. එහෙත් යම් ශාස්‌ත්‍රීයත්වයකින් යුතු සිංහල බසින් ලිවිය හැකි, එසේම ලෝක සාහිත්‍ය ගැනද පැතිරි දැනුමෙන් යුතු පිරිසක්‌ තාමත් මෙවැනි පාඨමාලා ඇසුරින් බිහි වී නැත. එවැනි පිරිසක්‌ බිහි වන ලකුණු පළ කරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දැන් දැන් විශ්ව විද්‍යාලවලට පිවිසෙති. මෙවැනි පිරිස්‌ දිරි ගැන්වීමට හා ඔවුන් උනන්දු කරන පරිසරයක්‌ විශ්ව විද්‍යාලවල දැකිය හැක්‌කේ අඩුවෙනි. ඒ අතින් පේරාදෙණියෙහි ඉංගී්‍රසි අංශය කරන කටයුත්ත අගය කළ යුතුය.

එහෙත් සිංහල මාධ්‍ය ශිෂ්‍යයන් හා ඉංග්‍රීසි මාධ්‍ය ශිෂ්‍යයන් වෙන් වෙන්ව කල් ගෙවීම අවාසනාවන්ත තත්ත්වයකි. සාමාන්‍යයෙන් නවක වධය වැනි විකාර සම්ප්‍රදායන්ට විරුද්ධ ඉංග්‍රීසි මාධ්‍ය ශිෂ්‍යයන් කෙරෙහි සතුරු ආකල්පයක්‌ දැරීම නවක වධ නායකයන්ගේ සිරිතය. උතුරේ හා නැගෙනහිර දෙමළ භාෂක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සංවාදයක්‌ අරඹා ඇති අන්තරේ (එනම් ජවිපෙහි ශිෂ්‍ය අංශය¾) සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය සිසුන් අතර සුහදතාව වර්ධනය කිරීමට කිසිවක්‌ නොකරයි. ඒ සුහදතාව ඇති කිරීම සඳහා කළ හැකි ප්‍රථම කාර්යයක්‌ නවක වධය දේශපාලන ක්‍රියාධරයන් ඇති කර ගැනීමට හා දේශපාලන සුවච කීකරුකම් ඇති කිරීමට භාවිත කිරීම නතර කිරීමයි. ජවිපෙ හා එහි ශිෂ්‍ය අංශය එය තමත් නවත්වා නැති බව සෑම විශ්ව විද්‍යාලයකින්ම පාහේ වාර්තා වෙයි. ඉසුරු ප්‍රසංගගේ zබිඳුණු වම්Z අත කෘතියෙනුත් මෙම නිගමනයට සාධක ලබා ගත හැකිය. එසේම කිසිවකු නවක වධයහෙs නොයෙදෙන නිසාම හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්නා නිසාම තමන් අන් අයට වඩා උසස්‌ නොවන බවද ඔවුන් විසින් වටහා ගනු ලැබිය යුතුය. ලංකාව තුළ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි තිබස අතර නිරන්තර දෙබසක්‌ තිබිය යුතුය. විඡේරත්නගේ කෘතිය අප විසින් වටහා ගනු ලැබිය යුත්තේ ඒ දෙබසට මග සලසන කෘතියක්‌ ලෙසටය.



සිංහලයෙන් නොලියන ලාංකිකයන්

දෙබසේ දෙබස පොතෙන් පෙනෙන හැටියට ඉංග්‍රීසි භාෂාවෙන් පවතින තවත් ලාංකේය බවක්‌ සිංහල භාෂා පාඨකයාට දැන ගන්නට ලැබේ. ඉංග්‍රීසියෙන් ලියන ලේඛක ලේකාවන් ඒ බසින් ලියන නිසාම ඔවුන්ගේ නිර්මාණවල එන්නේ වරප්‍රසාදිත හා ඉහළ පාන්තික ජීවිතයක්‌ යෑයි සිංහල පමණක්‌ දන්නා අය සිතන බව පෙනේ. මෙහි ඇත්තක්‌ තිබිය හැකි වුවත් එය දරුණු අති සරලකරණයකි. විවමර් වැන්ඩර්පූටන්, ජීන් අරසනායගම්, සුමති සිවමෝහන් (ඇය තිරාණගමගේ නැගණියයි) වැනි ලේකාවන්ගේ ඇතැම් නිර්මාණවල සමාන්‍ය ලාංකිකයාගේ ජීවිතය නිරූපණය වන අතර ඇතැම් විට ඔවුන්ගේ කෘතිවල එන්නේ කවදාවත් ඒවා කියෑවීමට ඉඩ නැති ඒක භාෂක ලාංකිකයන්ගේ ජීවිතයයි. විශේෂයෙන්ම ජීන් අරසනායගම්ගේ කවියෙහි එන ලංකාවේ ග්‍රාමීය ජීවිතය (කුරුණෑගල ප්‍රදේශයේ) සිංහල කවියක හමු නොවන තරම් අපූර්වත්වයක්‌ ගත්තකි. එහෙත් සිංහල ද බෞද්ධ ද නොවන මේ අයගේ සාහිත්‍ය කියවන්නට කලින්ම ඒවා ක්‍රිස්‌තියානි-යුදෙව් චින්තනයේ පල යෑයි කියන්නට ජාතික චින්තක න්‍යායාචාර්යයෝ සිංහල භාෂකයන්ට කාලයක සිට උගැන්වූහ. ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් ජාතියට උගන්වා ඇත්තේ Ñදෙබසක යෙදෙන හැටි නොව තනියම කතා කරන හැටිය. පිරිසිදු සිංහලයා යනු තනියම කතා කරන්නකු බවට පත් කරන්නට ජාතික චින්තකයෝ සමත් වී සිටිති. ද්විකෝටිකය වෙනුවට චතුස්‌කෝටිකය මතු කරන්නේ යෑයි කියා පටන් ගත් ඔවුහු සිංහලයාට ලබා දී ඇත්තේ දරුණූ ඒක කෝටිකයකි¾ මෙය නම් අපේ බුදු රජාණන් වහන්සේ කෙලෙසකවත් උගන්වන්නට ඉඩ නැති මූලධර්මවාදයකි. සියලු සිංහලයන් ඊනියා සිංහලත්වය වෙතින් නියම බෞද්ධත්වය වෙත අවදිවීම නම් අවශ්‍ය කාර්යයකි.

මෙවන් පසුබිමක සිංහල ද බෞද්ධ ද නොවන ලංකාවාසීන් සිංහලයෙන් නොව ඉංග්‍රීසියෙන් ලියන දේ සමග දෙබසකට ආරාධනා කරන මෙම සරල කෘතිය එහි මතු පිට සරලත්වයට වැඩි ගැඹුරු අ`ගවුමක්‌ සහිත කෘතියකි.

නීල් විඡේරත්න ක්‍රිකට්‌ ගැන ලිව්වත් සාහිත්‍ය ගැන ලිව්වත් රසවත් හා දුර්ලභ සිද්ධි අර්ථ සම්පන්න ලෙස මතු කර දක්‌වන්නට දක්‌වන්නේ පුදුම සමත්කමකි. උතුරු කොණේ සෙල්ලම්මා නංගිලාගේ සාහිත්‍ය පැටිකිරිය යන ලිපිය මගින් විඡේරත්න කරන්නේ ඉංග්‍රීසියෙන් ලංකාවේ පළ වූ පොතක එන තොරතුරු සිංහල පාඨකයාට හෙළිදරව් කිරීමයි. මෙම ලිපියෙහි එන හැටියට ලංකාවෙහිදී කාන්තාවක විසින් ලියන ලද ප්‍රථම නවකතාව ලියා ඇත්තේ මංගලනායගම් තම්බය්යා විසිනි. දුර්ලභ පුවත් කෙරේ විඡේරත්න යොමන අවධානය ඔහු විසින් මෑතකදී ඉංග්‍රීසියෙන් පළ කළ බැටින් ඔන් අ මැටින් විකට්‌ නම් කෘතියෙනුත් පෙනේ.

එසේම අන් ලේඛකයන්ගේ කෘති සුහද සිතින් කියවා උණුසුම් ලෙස අගය කිරීමට ඔහු තුළ ඇති විවෘත ගුණය අප කාගෙත් අවධානයට ලක්‌ විය යුතුය. තමන් තෝරාගත් කෘති පිළිබඳ ගැඹුරු කියවීම් සපයන්නට තැත් නොකිරීම ඔහුගේ ලිපිවල ඇති අඩුවකියි කෙනකු කියන්නට පුළුවන. එහෙත් ඔහු ලියන්නේ එවැනි රචනා නොවේ. ඔහුට අභිමත ශානරය තීරු ලිපියයි. ඔහුගේ කාර්ය ඉන් නවතියි. එහෙත් ඔහු නවතින්නේ වැඩි දුර ගවේෂණයට අවශ්‍ය ඉ`ගි සපයමිනි. ඒ නිසා ඔහුගේ කෘති ඔහුගේ වැනි විවෘත මනසකුත් ඔහුට සේම ද්විභාෂිකත්වයකුත් ඇති අයට පර්යේෂණ මාතෘකා සමුච්චයන් වැනිය. ඔහුගේ මේ ගුණය සලකා මා පහන සහ කැඩපත(2010) කෘතියේදී මෙසේ ලිව්වෙමි(

"නීල් විඡේරත්න ඒ ඒ පඨිතය ඉල්ලා සිටින ආදර්ශ පාඨක භූමිකාවේ නියලෙමින් කියවන කෙනකු බව ඔහුගේ ඉන්දියානු පොත් රාක්‌කයෙන් පෙනේ. අනේ ඔහු තව ටිකක්‌ දිග රචනා ඒඒ පොත් ගැන ලිව්වා නම් කියා ඔහුගේ සුන්දර කෙටි රචනා කියවද්දී අපට සිතෙන්නේ ඒ නිසාය."


ලියනගේ අමරකීර්ති

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.