උදාවන සිංහල අලුත් අවුරුද්ද අසමඟිකම් දුරැලා
නව ඇරැඹුමකට සුබ මොහොතක්‌

මෙවර උදාවන සිංහල අලුත් අවුරුද්ද අපේ රටට වෙනදාට වඩා සුවිශේෂී උත්සවයකි. ඒ මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවන්නේ තිස්‌ වසරක බිහිසුණු යුද්ධයෙන් බිඳුණු සිංහල, දෙමළ හදවත් සුවපත් කරන්නට ඔසු සොයන මොහොතකවීම නිසාය. අපේ රටේ ජාතීන් අතර සමගිය ඇති කරගැනීම සඳහා මේ වටිනා අවස්‌ථාව ප්‍රයෝජනයට ගන්නේ කෙසේද?

මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසයන් කරන විග්‍රහයකි මේ,

සිංහල අලුත් අවුරුද්ද අලුත් ආරම්භයක්‌ හැටියටයි හඳුන්වන්නෙ. මේ අලුත් ආරම්භය සමාජයට වැදගත් වෙන්නෙ කොහොමද?

අපේ සමාජය පවත්වාගෙන යන ඒකාකාරී ක්‍රියාදාමයක්‌ තිබෙනවා. සමාජය තුළ පවතින මේ ඒකාකාරීභාවය බිඳීම සඳහා යම් යම් වතාවත් සහ සිංහල අලුත් අවුරුද්ද වැනි යම් චක්‍රයක්‌ අනුව සිදුවන ක්‍රියාවලීන් උපයෝගී කරගෙන තිබෙනවා. වසරේ මාස 12 ක්‌ ගෙවී නව මාස 12 ක්‌ ඇරැඹෙන මාසය ආරම්භ මාසය ලෙස සලකා මෙබඳු උත්සවයක්‌ පවත්වා අලුත් ක්‍රියාදාමයකින් ඊළඟ දොළොස්‌ මාසය ආරම්භ කරනවා. දොළොස්‌ මසක්‌ ගතවුණු ඒකාකාරී ජීවිතයට අලුත් බවක්‌ එයින් එකතු වෙනවා. සිංහල සමාජය හෝ හින්දු සමාජය තුළ පමණක්‌ නොව සමස්‌ත මානව සමාජ ක්‍රියාවලියක්‌ ලෙස මෙබඳු ක්‍රියාවලීන් තුළින් ජීවිතයට අලුත් බවක්‌ එකතු වෙනවා. මෙබඳු ජාතික උත්සව තුළින් පමණක්‌ නොවෙයි වෙසක්‌ උත්සවය, ඇසළ උත්සවය බඳු ආගමික උත්සව පවා මේ මානව සමාජමය අර්ථයෙන් බැලුවොත් ජීවිතයේ ඒකාකාරීත්වය බිඳින අලුත් ක්‍රියාදාමයකට අනුව ජීවිතය හැඩගස්‌වන අවස්‌ථා හැටියට හඳුන්වන්න පුළුවන්. මානව සමාජමය අර්ථයෙන් බැලුවොත් සිංහල අලුත් අවුරුද්ද පැහැදිලිවම ජීවිතයේ අලුත් ඇරැඹුමක්‌.



සිංහල අලුත් අවුරුද්ද උදාවෙන්නෙ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමෙනුයි. හැම අවුරුද්දකම මේ සිදුවීමත් සමග අලුත් අවුරුද්ද උදා වුණත් මේ අවුරුද්දෙ අපට විශේෂත්වයක්‌ තිබෙනවා. මෙවර අපට සිංහල අලුත් අවුරුද්ද උදාවෙන්නෙ තිස්‌ වසරක්‌ පුරා සිදුවූ බිහිසුණු යුද්ධයෙන් බිඳුණු සිංහල, දෙමළ හදවත් සුවපත් කරන්නට ඔසු සොයන අවස්‌ථාවකයි. ජාතීන් අතර සමගිය ඇති කරන ප්‍රධාන උත්සවය හැටියට මෙවර උදාවන සිංහල අලුත් අවුරුද්දේ මේ විශේෂත්වය ඔබ දකින්නේ කොහොමද?

අපේ සිංහල සමාජයටත් දෙමළ සමාජයටත් පොදුවේ සහභාගි විය හැකි එක තැනක්‌ මේ උත්සවය. සිංහල, දෙමළ ජාතීන් දෙකට අත්වැල් බැඳගත හැකි ඉතාමත් හොඳ අවස්‌ථාවක්‌ මේ උදාවෙන්නෙ. සිංහල, දෙමළ ජාතීන් අතර තිබුණු අසමගිකම් අවසන් වූ යුද්ධයක්‌ සමග අවසන් කරල, පෑරුණු සිත් සුවපත් කරන්නට මේ උදාවන සිංහල අලුත් අවුරුද්ද ඉතාමත් වැදගත් අවස්‌ථාවක්‌ හැටියට සලකන්න පුළුවන්. එකමුතුකම සමගි සම්පන්නව එකම රටක්‌ හැටියට ශ්‍රී ලාංකේය සමාජය ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය අලුත් ආරම්භය මේ ජාතික උත්සවය තුළින් අපට ලබාගන්න පුළුවන්. නක්‍ෂත්‍රයට අනුව සුබ මොහොතින් කටයුතු



ආරම්භ කරල අතීත අමනාපකම් අමතක කරල අනාදිමත් කාලයක්‌ පවුලේ අය අතර හිතමිත්‍රාදීන් අතර සමගිය එකමුතුකම ඇති කළ මේ ජාතික උත්සවය සමාජමය වශයෙන් ජාතිය එකමුතු කිරීමේ අපේ රටේ වර්තමාන අවශ්‍යතාව ඉටුකර ගැනීමට ඉතාම වැදගත් අවස්‌ථාවක්‌.

බුලත් අතක්‌ දීල ආචාර සමාචාර කරල අතීත සිත්තැවුල් අමතක කරල මේ උත්සවයේ තිබෙන සමගිසම්පන්න බව අලුතින් ජීවිතය පටන් ගැනීමේ චාරිත්‍රය අපේ රට එකමුතු කරගැනීමට යොදා ගැනීමට පුළුවන්. මෙවර අලුත් අවුරුදු උදාව අපට විශේෂයෙන් වැදගත් වන්නේ ඒ නිසයි.



ලෝකය හැම මොහොතකම නවීනත්වය කරා ගමන් කළත් සිංහල අලුත් අවුරුද්ද ලෝකය තුළ පැරැණි නොවන රමණීය උත්සවයක්‌ ලෙස පවතිනවා. සිංහල අලුත් අවුරුද්දේ මේ අපූරු ලක්‍ෂණය ඔබ දකින්නෙ කොහොමද?

මගේ අත්දැකීමේ හැටියට මෙයට දශක පහකට හයකට කලින් ලෝකය නෙමෙයි අද තියෙන්නෙ. සමාජයත් මුළුමනින්ම වාගෙ වෙනස්‌ වෙලා. යුගයෙන් යුගය ඇතිවූ වෙනස්‌කම් මේ උත්සවවලටත් බලපාල තියෙනව. එදාට වඩා වෙනස්‌ අන්දමින් මේ උත්සව පවත්වනව. සිංහල අලුත් අවුරුද්දේ කරන කෙළි සෙල්ලම්වලත් එදාට වඩා වෙනස්‌ බවක්‌ අද තිබෙනව. මිනිසුන් තුළ අන්තර් සම්බන්ධතාත් එදාට වඩා අද බොහෝ වෙනස්‌කම්වලට ලක්‌වෙලා තිබෙනව. ජනමාධ්‍යවල ක්‍රියාකාරීත්වයත් සම්පූර්ණයෙන්ම වෙනස්‌. මෙයට අවුරුදු පනහකට හැටකට කලින් තිබුණෙ එක ගුවන්විදුලියයි. පුවත්පත් පළ වුණෙත් ඉතාමත් සීමාසහිත ප්‍රමාණයක්‌. මේ සියල්ල නිසා අද සමාජය විශාල වෙනස්‌වීමකට ලක්‌වී තිබෙනව. බටහිර සමාජයෙන් ආභාසය ලබල වෙනත් ප්‍රවණතාවන්ට අවනත වෙලා සමාජය වෙනස්‌ වන විට මෙබඳු ජාතික උත්සවත් ඒ ප්‍රවණතාවන් හා බද්ධ වෙනව. නමුත් සිංහල අලුත් අවුරුදු උත්සවයේ අනන්‍යතාව ඒ නිසා වෙනස්‌ වෙලා නැහැ. ඒ අනන්‍යතාව පවත්වාගෙන යන්න සිංහලයන් හැටියට අපි කැමැතියි. අපේ ජාතිකත්වය ර¹ පවතින්නෙ ඒ මතයි. සිංහල අලුත් අවුරුදු උත්සවය ලෝක ප්‍රවණතා හා බද්ධවෙමින් නමුත් එහි අනන්‍යතාව රැකගනිමින් ඉදිරියට ගමන් කරනව. නවීන ලෝකය සමග බද්ධ වූ නමුත් පැරැණි නොවන උත්සවයක්‌ හැටියට සිංහල අලුත් අවුරුදු උත්සවය පවතින්නේ ඒ නිසයි.

නමුත් වර්තමාන සිංහල අලුත් අවුරුද්ද යම් ආකාරයක පිරිහීමකට ලක්‌වී තිබෙන බව ඇතැම් විද්වතුන් දරන අදහසක්‌. විශේෂයෙන් චාරිත්‍ර වාරිත්‍ර සහ අලුත් අවුරුදු කෙළි සෙල්ලම්?

එහි යම් සත්‍යයක්‌ තිබෙනව. ඒ වගේම මේ පිළිබඳ අවදියෙන් සිටින පිරිසකුත් ඉන්නව. සිංහල අලුත් අවුරුද්දේ අනන්‍යතාව රකින්නෙ ඔවුන්. මේ සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ තිබිය යුතුයි. අඩු තරමින් අලුත් අවුරුදු සමය තුළ හෝ සිංහල අලුත් අවුරුද්දට ආවේණික කෙළි සෙල්ලම් භාවිත කිරීමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක විය යුතුයි. අද තරුණ පරපුරට බාල පරපුරට මේ කෙළි සෙල්ලම් පිළිබඳ අවබෝධයක්‌ ලබාදීල ඒවා නොනැසී පවත්වාගෙන යැමට අවශ්‍යයි.

මෙයට දශකයකට දෙකකට පෙරත් අලුත් අවුරුදු රස කැවිලි අපි අපේ ගෙවල්වලමයි හැදුවෙ. නමුත් අද මේ රස කැවිලි ගෙවල්වලම හදාගන්නෙ ඉතාමත් සුළු පිරිසක්‌ විතරයි. අද ඕනම රස කැවිල්ලක්‌ අවුරුදු සමයෙ පමණක්‌ නොවෙයි අවුරුද්දේ ඕනම දවසක මිලදී ගන්න පුළුවන්. අද මේවා නියම ප්‍රමිතියෙන් ඉතාමත් හොඳ තත්ත්වයෙන් නිෂ්පාදනය කරන තැනුත් තිබෙනව. අද අවිවේකී සමාජය තුළ මේ කාලයට ගැලපෙන විදිහට සකස්‌ වී තිබෙනවා වෙන්න පුළුවන්. අවුරුද්දේ හැම දිනකම අලුත් අවුරුදු කෑමබීම මිලදී ගැනීමට හැකිවීම නිසා මේ කෑමබීම ජනතාව අතර ප්‍රචලිතවීමට එය හේතුවක්‌ වී තිබෙනවා.

සිංහල අලුත් අවුරුද්ද පැරැණි නොවී පැවතීමේ ප්‍රධාන සාධකය එහි අනන්‍යතාව රැක ගැනීමට ජනතාව තුළ ඇති ඕනෑකමයි. එය නොනැසී පැවතුණොත් මේ කිසිවක්‌ ගැටලු නොවෙයි.



සිංහල අලුත් අවුරුද්ද ඉතාමත් ඈත අතීතයේ සිට සිංහලයන්ගේ ජීවිත අලුත් කරමින් පැවත එන ජාතික උත්සවයයි. නමුත් මේ උත්සවය ගැන සල්ලි තියෙනව නම් හැමදාම අවුරුදු වගේම අවුරුද්දත් ඇවිත් ගියා වැනි අදහස දරන අයත් ඉන්නවා. සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ එසේ "හැමදාම තියෙන" හෝ "ඇවිත් යන" එකක්‌ද?

වර්තමාන සමාජයේ ගොඩනැඟී තිබෙන අසමානතාව නිසා ඇතිවුණු තත්ත්වයක්‌ ලෙසයි මා මෙය දකින්නෙ. ආර්ථික අසමානතා සමාජය තුළ ගොඩනැඟෙන විට සතුට මුදල්වලට ගන්න හදන අය වගේම මුදල් හදල් නැත්නම් ජීවිතයෙන් ඵලක්‌ නෑ කියල හිතන අයත් ඉන්නව. මෙයට අවුරුදු පනහකට හැටකට වඩා අද සමාජය තුළ දරිද්‍රතාව වැඩිවී තිබෙනව. එදා මේ සමාජ පරතරය මෙතරම් තදින් තිබුණෙ නෑ. අද විවිධ හේතු සාධක මත ඇති නැති පරතරය විශාල වී තිබෙනවා. අද තිබෙන පරිභෝජන සමාජය තුළ ජනමාධ්‍ය හරහා ජනතාවට බොහෝ දේ ප්‍රචාරය කරනු ලබනවා. මේ නිසා බොහෝ දෙනා ජීවත්වෙන්නෙ අතෘප්තියෙන්. මේ දේවල් අපට නැහැ නේද යන අතෘප්ති කර හැඟීමෙන් පීඩා විඳිමිනුයි සමාජයේ වැඩි දෙනා අද ඉන්නෙ. ආර්ථික අසමානතා තදින් ව්‍යාප්තව ඇති සමාජයක ස්‌වභාවය එයයි.



මහාචාර්ය

කේ. එන්. ඕ. ධර්මදාස

සාකච්ඡා කළේ

පාලිත සේනානායක

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.