2020 වනවිට ජලය හා හොඳ සනීපාරක්‍ෂාවකට
විශ්ව ප්‍රවේශයක්‌ සැපයීමට අප කැපවී සිටිනවා
සාර්ක්‌ කලාපීය සනීපාරක්‍ෂක කටයුතු පිළිබඳ ඇමැති සමුළුවේදී ජනාධිපති කියයි

සනීපාරක්‍ෂක කටයුතු පිළිබඳ සහශ්‍ර වර්ෂයට අප ළංවෙමින් ඉන්නවා
ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන

අනුර බාලසූරිය

දකුණු හා නිරිත දිග ආසියාවේ අඩුම මාතෘ මරණ අනුපාතය වැනි සහශ්‍ර සංවර්ධන අරමුණු ළඟාකර ගෙන සිටින ශ්‍රී ලංකාව 2020 වන විට ජලය සහ හොඳ සනීපාරක්‍ෂාවට විශ්ව ප්‍රවේශයක්‌ සැපයීමට කැපවී සිටින බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

ජනාධිපතිවරයා එසේ පැවැසුවේ ඊයේ (6 වැනිදා) කොළඹදී ආරම්භ වූ සාර්ක්‌ කලාපීය සනීපාරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් සමුළුව ඇමතූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය( සනීපාරක්‍ෂාව පිළිබඳ දකුණු ආසියානු අමාත්‍ය සමුළුවට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සාර්ක්‌ කලාපීය අමාත්‍යවරුන්, සනීපාරක්‍ෂාව හා අදාළ විෂයයන් පිළිබඳ වෙනත් විශේෂඥයන් මම සාදරයෙන් පිළිගනිමි.

ඔබ රැස්‌වී සිටින්නේ සමාජවල දියුණුවේ ප්‍රධාන දශකයක්‌ සාකච්ඡා කිරීමටයි. නිසි හා ප්‍රමාණවත් සනීපාරක්‍ෂාව හා සමාජයක සෞඛ්‍ය, සමාජයීය, ආර්ථික හා පාරිසරික අභිවෘද්ධියත් අතර වැදගත් සබඳතාවක්‌ තිබේ. නාගරික ප්‍රදේශවල වැඩිවන ජනගහනයත් සමග සමාජය දියුණු වෙද්දී, ග්‍රාමීය අංශය වැඩි වැඩියෙන් සංවර්ධනය දෙස බලද්දී, පුද්ගලයාගේ, පවුලේ හා ප්‍රජාවේ යහපැවැත්මට සනීපාරක්‍ෂාව තුළින් බලපෑම් ඇතිවේ. එය සමාජයක මනා සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් දුර්වල පුද්ගලයන්ගේ තත්ත්වය වර්ධනය කිරීම සඳහා වැදගත් වෙයි.

සම්භාවනීය අමුත්තනි, සාක්‌ කලාපයේ අපි අපේ ජනතාව සඳහා මනා සනීපාරක්‍ෂණයක්‌ සහතික කිරීම සඳහා වැදගත් අමාත්‍ය ප්‍රකාශන තුනක්‌ සකසාගෙන ඇති බව මම දනිමි. එවැනි අනෙක්‌ සෑම ප්‍රකාශනයකටම සේම ඒවා ක්‍රියාත්මක කිරීමට දේශපාලන කැපවීමක්‌ ද අවශ්‍යයි. ජනතාව සඳහා වූ සනීපාරක්‍ෂාව වචනවලට සීමා කළ නොහැක. එය අනිවාර්යයෙන්ම ක්‍රියාවට නැංවිය යුතුයි. මේ සන්දර්භය තුළ සනීපාරක්‍ෂාව පිළිබඳ සැලකිල්ල සමගින් අපේ කලාපයේ සියලු රටවල් සහශ්‍ර සංවර්ධන අපේක්‍ෂා ළඟා කර ගැනීමට උත්සාහ කළ යුතුය.

2020 වනවිට ජලය හා හොඳ සනීපාරක්‍ෂාවට විශ්ව ප්‍රවේශයක්‌ සැපයීමට ශ්‍රී ලංකාව දැනටමත් කැපවී සිටියි. දකුණ හා නිරිතදිග ආසියාවේ අඩුම මාතෘ මරණ අනුපාතය වැනි සශස්‍ර සංවර්ධන අරමුණු අපි දැනටමත් ළඟා කරගෙන ඇති හෙයින් මෙය ද ළඟා කර ගත හැකි බව අපට විශ්වාසයි.

සැමට ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමට ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමාන ඉඩකඩ තිබීම හා මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ සහශ්‍ර සංවර්ධන අරමුණුවලට ළඟාවීමේ නියම මාර්ගයකයි අපි දැන් ගමන් කරමින් සිටින්නේ. 2015 වන විට ජාතික මට්‌ටමේ දරිද්‍රතාව අඩු කිරීමේ සහශ්‍ර සංවර්ධන අරමුණේ ඉලක්‌කය කරා ළඟා වෙමින් සිටිනවා. මේ සියල්ලෙහිදීම සනීපාරක්‍ෂාව හා හොඳ සෞඛ්‍ය පුරුදු ඉතා වැදගත් භූමිකාවක්‌ ඉටුකරනවා.

සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, ශ්‍රී ලංකාව හා අපේ කලාපයේ අනෙක්‌ රටවල් සනීපාරක්‍ෂාව පිළිබඳ ක්‍ෂේත්‍රයේ මහත් අවධානය යොමු කළයුතු පැතිකඩවල් තිබෙන බව මෙහිලා සඳහන් කළ යුතුයි. පාසල්වල සනීපාරක්‍ෂාව, විශේෂ අවශ්‍යතාවන් යුත් පුද්ගලයන්ට පහසුකම් සැපයීම පොදු ස්‌ථානවල ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් සැපයීම හා ඉතා විශේෂ වශයෙන් මේ පොදු පහසුකම් රැක බලා ගැනීමට හා නඩත්තු කිරීමට තිරසාර සැලසුම් එසේ අවධානය යොමු කළ යුතු කරුණුවලට ඇතුළත්.

සොබාදහම හා මිනිසුන් යන දෙපක්‍ෂයම විසින් ඇති කරන ලද බොහෝ ව්‍යසනයන්ට ලෝකය මුහුණ දෙමින් සිටින අවස්‌ථාවක එවැනි තත්ත්වයක්‌ තුළ සනීපාරක්‍ෂක අවශ්‍යතාවන්ට මුහුණ දීමට සූදානම් වී සිටීමද අවශ්‍යය.

මෑත අවුරුදු කිහිපයේදී ඇති වූ අවස්‌ථා දෙකකදී සනීපාරක්‍ෂක පහසුකම් සැපයීම පිළිබඳ අභියෝගයන්ට මුහුණ දීමට හැකිවීම පිළිබඳ සාධාරණ ආඩම්බරයක්‌ ශ්‍රී ලංකාවට තිබේ. පළමුවැන්න 2004 දෙසැම්බර් ඇති වූ සුනාමි ව්‍යසනයයි. දෙවැන්න 2009 දී ත්‍රස්‌තවාදය සාර්ථකව පරාජය කිරීමෙන් පසු 300000 කට ආසන්න ජනතාවක්‌ පුනරුත්ථාපනය හා නැවත පදිංචි කරවීමයි.

මේ අවස්‌ථා දෙකම ඉතා අසීරු හා සංකීර්ණ ගැටලු ඇති කළ අතර අප ඒවා විස¹ ගත්තේ කැපවීමේත් අලුත් ක්‍රම භාවිතයේත්, එම ගැටලු පිළිබඳ මානුෂික එළඹුමෙන් සංයෝජනයත් සමගයි. ඇත්ත වශයෙන්ම සනීපාරක්‍ෂාව පිළිබඳ ගැටලුවලට මුහුණ දීමට අප තුළ තිබෙන සූදානම නිසා මේ අර්බුදකාරී අවස්‌ථා දෙකේදීම ලෙඩ රෝග පැතිරීම හා වසංගත විය හැකි බවට සිදුකෙරුණු බොහෝ අනාවැකි අසත්‍ය බවට ඔප්පු කිරීමට අපට හැකි වුණා.

සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, මේ අභියෝගයන්ට මුහුණ දීමට අපේ කලාපයේ අසල්වැසියන්ගෙන් ද ලොව වෙනත් ප්‍රදේශවල වූ මිතුරන්ගෙන් ද අපට ලැබුණු සහයෝගය පිළිබඳව මා සඳහන් කරන්නේ කෘතඥපූර්වකයි.

සමාජ ආර්ථික අභිවෘද්ධියේ ප්‍රධාන අංගයක්‌ ලෙස සනීපාරක්‍ෂාව සංවර්ධනය කිරීමේදී සංවර්ධන බැංකුවලින්, බහු හා දිවි පාර්ශ්වික ආධාරක ආයතනවලින් සේවය සඳහා හොඳ න්‍යාය පත්‍රයක්‌ සහිත රාජ්‍ය නොවන සංවිධානවලින් හා වෙනත් බොහෝ ජාත්‍යන්තර හා දේශීය ආයතනවලිනුත් අපට බොහෝ උපකාර ලැබුණා.

මනුෂ්‍ය වර්ගයාගේ උන්නතිය උදෙසා ජලයෙහි ඇති වැදගත්කම පිළිබඳව දැන් අපිට වැටහෙමින් තියෙනවා. ජීවිත පැවැත්මට ජලය අවශ්‍ය වනවා මෙන්ම ගෞරවාන්විත ජීවිතයකට වඩාත් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ද ජලය අත්‍යවශ්‍ය අංගයක්‌. මෙයින් අපගේ මහින්ද චින්තනයේ ප්‍රතිපත්ති රාමුව හරහා සොබා දහමින් අප වෙත ලබාදුන් ජල සම්පත පාවිච්චි කිරීමට හා සුරැකීම පිළිබඳ ප්‍රතිපත්තීන් ක්‍රියාවේ යොදවමින් සිටින්නෙමු.

මානව සම්පත් සංවර්ධනයේ ලා ජලයෙහි ඇති වැදගත්කම අප වටහා ගෙන සිටිමු. ජලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හා ජල සම්පත සුරැකීමෙහි ලා මෙන්ම සමාජයීය එකමුතුවක්‌. උචිත තාක්‍ෂණයක්‌ සහ ජලය රැස්‌ කිරීමේ, බෙදා හැරීමේ හා නිසි පරිදි භාවිත කිරීමේදී සුදුසු තාක්‍ෂණ ක්‍රමවේදයන් භාවිත කිරීමට ද අවශ්‍ය බව අපි වටහාගෙන සිටින්නෙමු.

අපගේ සනීපාරක්‍ෂක ප්‍රතිපත්තීන් ග්‍රාමීය අවශ්‍යතාවන් කෙරෙහි ද අවධානයක යොමු කරයි. පසුගිය වසර පහ ඇතුළත අපගේ රජය සාර්ථක ලෙස ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය සිදුකර තිබෙනවා. ජල සම්පත ආරක්‍ෂා කිරීම සුරක්‍ෂිත කිරීම ග්‍රාමීය ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම යනාදිය අපගේ ග්‍රාම සංවර්ධන ක්‍රමෝපායන්ගේ අංගයන්. මම සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. ග්‍රාමීය පළාත්වල සිට නාගරික පළාත්වලට සංක්‍රමණය වීමේ අඩුවක්‌ දක්‌නට ලැබෙනවා.

ග්‍රාමීය ප්‍රදේශවල සනීපාරක්‌ෂක පහසුකම් ඇතුළුව අනෙකුත් පහසුකම් ලබාදීමෙන් අපගේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කර තිබෙනවා.

ජනතාවට අවශ්‍ය ආර්ථික වර්ධනය පමණක්‌ම නොවේ. සමාජයේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයන් වර්ධනය කරන අතරේම විශාල ප්‍රදේශයක්‌ පුරා පැතිරුණු ප්‍රතිලාභයන් මිනිසුන්ට එයින් ලැබිය යුතු යෑයි මම දැඩි ලෙස විශ්වාස කරනවා. සමාජයක මූලික අවශ්‍යතාවයන් සතුටුදායක ආකාරයෙන් භුක්‌ති විඳීමට නම් එහි සිටින පුද්ගලයන්ට ජලය සනීපාරක්‌ෂාව වාසස්‌ථාන විදුලිය සෞඛ්‍ය සහ අධ්‍යාපනය ප්‍රධානයි. අප රජයේ ප්‍රතිපත්ති රාමුව වන මහින්ද චින්තන ඉදිරි දැක්‌ම නිර්මාණය කර තිබෙන්නේ ආර්ථික සංවර්ධනය තුළ තිබෙන මෙම මූලික දර්ශනය උපයෝගි කර ගෙනයි.

ග්‍රාම කේන්ද්‍රිය යනු ග්‍රාමීය ජනතාව දරිද්‍රතාවයෙන් මුදාගෙන ඔවුන් සියලු දෙනාටම මූලික අවශ්‍යතාවයන් ගැටලුවකින් තොරව ලබාගැනීමට ඇති හැකියාවයි.

මම දැඩිව විශ්වාස කරනවා අර්ථාන්විත සංවර්ධනයක්‌ හුදෙක්‌ම ආර්ථික වර්ධනය පමණක්‌ම හිතාගෙන කටයුතු කරන්නේ නෑ.

ආර්ථික සංවර්ධනය හැම විටම රටේ හැම පුරවැසියාටම ප්‍රයෝජනවත් අවස්‌ථාවක්‌ සලසා දෙන තරමට ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි.

දරිද්‍රතාවය හා දුක්‌ විඳීම අඩු කිරීමට ජාතීන් විසින් ගැටුම් සහ යුද්ධ සඳහා වැය කරන ලද විශාල මුදල් ප්‍රමාණය සංවර්ධනයට පර්යේෂණ හා තාක්‌ෂණික කටයුතුවලට වැය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ මානුෂවාදී ප්‍රවේශය තුළින් හැකිවූයේ රජයට ගැටුම් නිම කිරීමට පමණක්‌ම නොවෙයි. පෙර එයට යොදන ලද සම්පත් අද වන විට ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සුබසාධනය වෙනුවෙන් යොමු කරන්න හැකිවෙලා තිබෙනවා.

මහජන මුදල් ග්‍රාමීය කේන්ද්‍රීය ප්‍රවේශයන්ට ගොවීන්ට දරුවන්ට, වැයකරන්නා සේම ජලයට සනීපාරක්‌ෂාවට සහ පිරිසුදු පරිසරයක්‌ ඇති කිරීමට වැය කිරීම වඩාත් පළදායි හා ප්‍රයෝජනවත් වනවා. එම නිසා මෙවැනි අමාත්‍ය සමුළුවක්‌ තුළින් අප ලෝකයෙන් ඉල්ලා සිටිය යුත්තේ ඔවුන්ගේ ආරක්‍ෂක පිරිවැය සංවර්ධනය සඳහා යොදවන ලෙසයි.

එම ක්‍රියාමාර්ගයට දායක විය හැකි ස්‌ථාවරයක මම දැන් සිටිනවා. අපගේ රජය ත්‍රස්‌තවාදයට එරෙහි කටුක හා වියදම් සහගත යුද්ධයක්‌ අවසන් කළා පමණක්‌ නොව අපගේ ආරක්‍ෂක පිරිවැය අඩු කර තිබෙනවා. 2005 දී දල ජාතික ආදායමින් 5% ක්‌ වූ එය අද වන විට 3% දක්‌වා අඩු කර තිබෙනවා. ජාතික ආරක්‍ෂාව සැපයීමට හා තිරසාර සාමයක්‌ රට තුළ පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රමාණය මෙයයි.

සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, ජලය එක්‌රැස්‌ කිරීම හා ජලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ දී උදාර වූ අතීත සංස්‌කෘතික හා ආගමික සම්ප්‍රදායන්ගෙන් ශ්‍රී ලංකාව ශක්‌තිමත්ව සිටී. වත්මන් ඉංජිනේරුවන් පවා විශ්මයට පත් කළ වැව් අමුණු තැනීම, ජලාපවහන පද්ධතීන් දියුණු කිරීමට අපගේ මුතුන් මිත්තන් පෙන්නුම් කළ ඉංජිනේරු දස්‌කම්වලට ජීවමාන සාධක වන්නේ අපගේ පුරාණ නගරයි.

සොබාදහම සමගින් ඒකාත්මිකව කටයුතු කිරීම අපගේ සම්ප්‍රදාය තුළ ජල දූෂණයට ඉඩක්‌ නොවීය. මෙම සම්ප්‍රදායන් අද හා මතු පරපුරට දායාද කිරීමට නම් අප විසින් ඒවා සුරැකිය යුතුය.

මෙම සම්මේලනය සුවිශේෂ වැදගත් කමින් යුත් හෙයින් එය යථාර්ථයක්‌ බවට පත් කිරීමට යුනිසෙµa ආයතනය මගින් දෙන ලද සහයෝගය මම විශේෂයෙන් අගය කරනවා. ජලය සංරක්‍ෂණය කිරීමට හා සනීපාරක්‌ෂාව හා සම්බන්ධ ප්‍රශස්‌ථ ප්‍රමිතීන්ට ළඟාවීමේ අපගේ ප්‍රයත්නයේදී කලාපීය සහයෝගීතාව හා එකමුතු බව අත්‍යවශ්‍ය කරුණකි.

ජල සංරක්‍ෂණයට හා ජලය ඉතා හොඳින් භාවිතා කිරීමට ඉතා වැදගත්කමක්‌ ලබාදෙන තමාටම ආවේනික වූ සම්ප්‍රදායක්‌ වර්ධනය කර ගැනීමට දකුණු ආසියානු රටවල් මේ සම්බන්ධයෙන් අතීතයෙන් හා වර්තමානයෙන් ඔබ ලබා ඇති අත්දැකීම් බෙදාහදා ගැනීමට මෙම සම්මන්ත්‍රණය ඉවහල් වනු ඇති බව මගේ විශ්වාසයයි. හොඳ සෞඛ්‍ය පුරුදු හා ඒවා වර්ධනය කරගැනීමට අප උගත් පාඩම් අනාගතයට රැගෙන යන්නේ කෙසේද යන්න විමසා බැලීමට අප කලාපයේ හා ඉන් පිටත ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් මෙම සමුළුවේ කටයුතු සාර්ථක වේවා යෑයි මම ප්‍රාර්ථනා කරමි.

ඔබගේ මෙම ශ්‍රී ලංකා සංචාරය මිත්‍ර ජනතාවක්‌ හා සුන්දර රටක්‌ පිළිබඳ මතකයන් ජනිත කරන්නක්‌ වේ යෑයි පතමි.

ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා - මෙම කලාපයේ මිලියන 737 ක ජනතාවක්‌ අඩු සනීපාරක්‍ෂක මට්‌ටමකයි සිටින්නේ මෙම සමුළුව එම ජනතාවට බලපානවා. සනීපාරක්‍ෂක වැඩසටහන් සඳහා වැඩියෙන්ම යොමු කළ යුත්තේ ළමුන් කාන්තාවන් සහ පාසල් පද්ධතිය තුළය.

සනීපාරක්‍ෂක කටයුතු පිළිබඳ සහශ්‍ර වර්ෂයට අපි ලංවෙමින් ඉන්නවා. ජනාධිපතිතුමා සාක්‌ කලාපයේ නායකයා වශයෙන් හා ජී 15 කණ්‌ඩායමේ නායකයා ලෙස සනීපාරක්‍ෂව පිළිබඳව පානීය ජලය යන මාතෘකා අන්තර්ජාතික මට්‌ටමට ගෙන ගොස්‌ තිබෙනවා.

ජනාධිපතිතුමාගේ උපදෙස්‌ පරිදි අපේ රටේ සනීපාරක්‍ෂාව ඉහළ මට්‌ටමට ගෙනගොස්‌ තිබෙනවා. අප කලාපයේ හොඳ ශිෂ්ටාචාරයක්‌ තිබෙනවා. ඒවා අනෙක්‌ කලාපයන්ට ආදර්ශයක්‌.

ඉන්දියාවේ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති මිලානෝ දේශ්මුක්‌ මහතාද අදහස්‌ දැක්‌වූ අතර දකුණු ආසියා කලාපයේ අදාළ විෂයභාර ඇමැතිවරු ද සහභාගී වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.