වත්මන් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. "වී වගාව අපේ ගොවියාගේ රක්‍ෂාව නොවේ. ජීවිතයයි. සිතුම් පැතුම්, සිරිත් විරිත්, විනෝදය විවේකාස්‌වාදය පදනම් කරගත් සමස්‌ත සංස්‌කෘතියම වී ගොවිතැනයි" යනුවෙන් මහින්ද චින්තන ඉදිරි දැක්‌මෙහි සඳහන් කර ඇත.

මහින්ද චින්තන ඉදිරි දැක්‌මෙහි ප්‍රධානතම සංවර්ධන අරමුණක්‌ වන්නේ ආහාර සුරක්‍ෂිතතාවයි. ආහාර සුරක්‍ෂිතතාව යන සංකල්පය ජාතික හා ගෝලීය වශයෙන් නිර්වචනය කරන්නේ "සැමට ආහාර" සපයා ගත හැකි වීම යනුවෙනි. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAධ) විසින් ආහාර සුරක්‍ෂිතතාව නිර්වචනය කර ඇත්තේ "ක්‍රියාකාරී හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්‌ ගත කිරීම සඳහා සියලුම ජනතාවට අවශ්‍ය ආහාර සැම විටම ප්‍රමාණවත්ව ලබා ගත හැකි බව" යනුවෙනි. ඒ අනුව ආහාර සුරක්‍ෂිතත්වයේ අරමුණ වන්නේ සමාජයේ ජීවත්වන සියලුම ජනතාවගේ සාගින්න හා මන්දපෝෂණය තුරන් කිරීමයි. එබැවින් ආහාර සුරක්‍ෂිතතාව සඳහා රට තුළින් ම ආහාර නිපදවීමෙන් හෝ ආහාර රට තුළ තිබීම පමණක්‌ ප්‍රමාණවත් වන්නේ නැත. ආහාර සුරක්‍ෂිතතාව යන සංකල්පය මූලික කරුණු දෙකක්‌ කෙරෙහි අවධානය යොමු කරයි.

1. ප්‍රමාණවත් පෝෂණයෙන් යුත් ආරක්‍ෂිත ආහාරවල සුලභතාව

2. එම ආහාර ලබා ගැනීමට ඇති හැකියාව.

වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය ආහාරවලින් එනම් ධාන්‍ය, මාංශ භෝග, මාළු හා මස්‌, එළවළු හා පලතුරු ආදියෙන් වැඩි ප්‍රමාණයක්‌ රට තුළ නිෂ්පාදනය කරයි. විශේෂයෙන් රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන සහල් අවශ්‍යතාවෙන් 95% ක්‌ පමණ රට තුළ නිෂ්පාදනය කරන අතර ඉතිරිය ආනයනය කරනු ලැබේ. තිරිඟු අවශ්‍යතාව සම්පූර්ණයෙන් ම ආනයනය මගින් සපුරා ගනු ලබන අතර, ඇතැම් මත්ස්‍ය නිෂ්පාදන එනම් ටින් මාළු හා කරවල ආදිය ආනයනය කරන නමුත් ආහාර සුරක්‍ෂිතතාවේ පෝෂණමය වශයෙන් වැදගත් වන අලුත් මාළු අවශ්‍යතාව සම්පූර්ණයෙන් ම රට තුළ නිෂ්පාදනය කෙරේ. වර්තමාන දේශීය කිරි නිෂ්පාදනය මගින් සපුරාලන්නේ ජාතික කිරි අවශ්‍යතාවෙන් 30% ක්‌ පමණි. බඩඉරිගු, කඩල, අර්තාපල්, මිරිස්‌, ලොකුළුනු වැනි වෙනත් බෝගයන් රට තුළම නිෂ්පාදනය කිරීමට හැකියාව ඇතත් එවායේ වර්තමාන දේශීය නිෂ්පාදන මට්‌ටම එම බෝගයන්ගේ ජාතික අවශ්‍යතාව සපුරාලීමට තරම් ප්‍රමාණවත් නොවේ. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් රටේ ආහාර අවශ්‍යතාවෙන් කොටසක්‌ ආනයනය තුළින් සපුරා ගනු ලැබේ.

ආහාර සුරක්‍ෂිතතාව ඉහළ නැංවීම කෙරෙහි රජයේ ප්‍රතිපත්තිය

කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීමේ අවශ්‍යතාව රජයේ දස අවුරුදු ප්‍රතිපත්ති රාමුව මගින් හඳුනාගෙන ඇත. ඒ සඳහා දේශීය නිෂ්පාදන දිරිගැන්වීමට රජය විසින් "අපි වවමු - රට නගමු" නමින් ජාතික මට්‌ටමේ වැඩසටහනක්‌ ක්‍රියාවට නංවන ලදී. මෑත කාලයේ සහල් නිෂ්පාදනයෙහි සිදු වූ ශීඝ්‍ර වර්ධනයට රජයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වූ මෙම දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ වගා කළ බිම් ප්‍රමාණය පුළුල් වීම හේතු විය. 2009 වසර පමණක්‌ ගත් විට දේශීය නිෂ්පාදනයට ආසන්න වශයෙන් මෙටි්‍රක්‌ ටොන් 91,000 ක දායකත්වයක්‌ ලබා දෙමින් පුරන්කුඹුරු අක්‌කර 75,752 ක්‌ වගා කර ඇත. මීට අමතරව කෘෂි නිෂ්පාදන ඉහළනැංවීම සඳහා දිරි දීමනා සහ සහනයන් ද ලබා දී තිබේ.

සමස්‌තයක්‌ ලෙස ගෙන බලන විට ශ්‍රී ලංකාවේ දිළිඳුකම කාලයත් සමඟ අඩුවීමක්‌ දැකිය හැක. වර්ෂ 2000 දී 20% ක්‌ වූ දිළිඳු කුටුම්භ ප්‍රතිශතය හා සසඳන විට 2007 දී එය 15.2% ක්‌ දක්‌වා අඩු වී ඇත. 2010 වන විට එය 7.6 ක්‌ දක්‌වා අඩු වී තිබේ. එසේ වුවත් දිවයිනෙහි ඇතැම් ප්‍රදේශවල හා වතු අංශයෙහි මෙම අනුපාතය සියයට 27 සිට 34 දක්‌වා පමණ ඉහළ අගයක්‌ ගන්නා බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. එම නිසා ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාව වැඩි දියුණු කිරීම උදෙසා දිළිඳුකම අඩු කිරීමේ ප්‍රයත්නයක්‌ අඛණ්‌ඩව පවත්වා ගෙන යැම අවශ්‍ය වේ.

ශ්‍රී ලංකා ප්‍රජා විද්‍යාත්මක හා සෞඛ්‍ය සමීක්‍ෂණය (2006 - 2007) අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5 ට වඩා අඩු ළමුන්ගෙන් 18% ක්‌ වයසට අදාළ උසින් අඩු බවත්, 15% ක්‌ උසට අනුව තිබිය යුතු බර නොමැති බවත්, 4% ක්‌ උග්‍ර ලෙස බර අඩු බවත් පෙන්වා දී ඇත. එසේම දිනකට ආහාරවලින් ලබා ගත යුතු අවම කැලරි ප්‍රමාණයට අඩු කැලරි ප්‍රමාණයක්‌ ලබන ජනගහනය 51% ක්‌ තරම් සැළකිය යුතු ඉහළ අගයක්‌ ගනියි.

ඒක පුද්ගල ආදායම 1977 සිට 2004 දක්‌වා එක්‌සත් ජනපද ඩොලර් 300 සිට 1000 දක්‌වා වැඩි කිරීමට වසර 25 ට වැඩි කාලයක්‌ ගත වී ඇත. බෙඳුම්වාදී ත්‍රස්‌තවාදය ඇතුළු බොහෝ බාධක මැද වුවත් පසුගිය වසර 5 ක කාලය තුළ එය දෙගුණයක්‌ කර ගැනීමට හැකි වී ඇත. එහෙත් ඒක පුද්ගල ආදායම වැඩි වී තිබුණත් ජනගහනයෙන් භාගයක්‌ පමණ (40% කට වැඩි ප්‍රතිශතයක්‌) ජීවත් වන්නේ දවසකට ඩොලර් 2 කට නැතිනම් රු. 200 කට අඩු ආදායමකිනි. මීට වඩා බරපතල කරුණ වන්නේ ආදායම් ව්‍යාප්තියේ කැපී පෙනෙන විෂමතාවයි. ඉතාම මෑතකදී ලබා ගන්නා ලද දත්තවලට අනුව පහළම සිටින 20% ක ජන කොටසට ලැබෙන්නේ මුළු ආදායමෙන් 4.6 ක්‌ වන අතර, ඉහළම සිටින පොහොසත් 20% ට මුළු ආදායමෙන් 54.7 ක්‌ හිමි වේ.

අනාගත අභියෝග

තම ආදායමින් සාපේක්‍ෂ ලෙස ඉහළ ප්‍රතිශතයක්‌ ආහාර සඳහා වියදම් කරන, ආන්තික පාරිභෝජන නැමියාව වැඩි වශයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල ආහාර සුරක්‍ෂිතතාවට ඉහළ යන ආහාර මිල ගණන් බරපතල අභියෝග මතු කරයි. එසේම නැවත වරක්‌ ජාත්‍යන්තර බොරතෙල් මිල ගණන් ඉතා ඉහළ මට්‌ටමකට ළඟා වුවහොත් ජීව ඉන්ධන නිෂ්පාදනයට ධාන්‍ය සඳහා ඇති ඉල්ලුම ඉහළ යැමත් සමඟ ලෝක ධාන්‍ය මිල ඉහළ යැමට බලපෑමක්‌ ඇති වීමට පුළුවන. බලශක්‌ති මිල ගණන්වල ඉහළ යැම තුළින් කෘෂිකාර්මික භාණ්‌ඩවල නිෂ්පාදන පිරිවැය ඉහළ යැම හරහා භාණ්‌ඩ මිල ගණන්වල ඉහළ යැමක්‌ සිදුවීමට පුළුවන. එසේම කෘෂිකර්මාන්තය සඳහා කාලගුණය තීරණාත්මක සාධකයක්‌ ලෙස සැම විටම ක්‍රියා කරයි. මේ නිසා කාලගුණික වෙනස්‌වීම් වැනි අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා විශේෂයෙන් ම කුඩා පරිමාණ කෘෂිකාර්මික නිෂ්පාදකයන්ට වඩා දියුණු ජල කළමනාකරණ ක්‍රම හඳුන්වාදීමත් මෙවර අය වැය මගින් විශේෂ අවධානයක්‌ යොමු කොට ඇති කෘෂි පර්යේෂණ මගින් කෙටි කාලීන දෙමුහුන් බීජ ප්‍රභේද හඳුන්වා දී ඒවා ප්‍රචලිත කිරීම අත්‍යවශ්‍ය වේ.

ආදායම් වැඩිවීමත් සමඟ අලුතින් සංවර්ධනය වන රටවල්වල ජනතාවගේ ආහාර පුරුදු ධාන්‍ය වැනි ප්‍රධාන ආහාරවල සිට මස්‌ හා කිරි වැනි පශු සම්පත් නිෂ්පාදනවලට යොමු වීම අපේක්‍ෂා කළ හැකිය. ශ්‍රී ලංකාව ද දැන් අඩු මධ්‍යම ප්‍රමාණයේ ආදායම් සහිත නැගී එන රටක්‌ ලෙස වර්ගීකරණය කෙරේ. මෙහිදී ඇතිවන ආර්ථික වර්ධනයත් සමඟ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව නගර කරා යොමු වෙමින් නාගරීකරණය වේගවත් කොට ඇත. එම නිසා අලුතින් ඇතිවන පාරිභෝජනය සඳහා භාණ්‌ඩ සැපයීම අතර පරතරය සපුරාලීම සඳහා කෘෂිකාර්මික හා පශු සම්පත්වල නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය ආයෝජනයන් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.

විශේෂයෙන් සහල් සඳහා වෙළෙඳපොළෙහි ඇතිවන හිඟයට මුහුණදීම සඳහා අවස්‌ථානුකූල හා සුදුසු ක්‍රියාමාර්ග හඳුන්වාදීමේ අරමුණෙන් යුතුව අදාළ රාජ්‍ය ආයතනවලට රට තුළ පවත්නා ධාන්‍ය තොග පිළිබඳ අඛණ්‌ඩ තක්‌සේරු කිරීමක්‌ හා ප්‍රමාණවත් තොග පවත්වා ගැනීමට ඉඩකඩ ලබාදීම සඳහා සුදුසු යාන්ත්‍රණයක්‌ හඳුන්වා දීම අනිවාර්යයෙන්ම කළ යුතුය. මේ අතර ගෙවතු දසලක්‍ෂයේ වැඩපිළිවෙළ වැනි කෘෂිකාර්මික අංශයේ වර්ධනය වේගවත් කිරීම සඳහා සැලසුම් සහිතව කටයුතු කිරීමත් ගබඩාකරන පහසුකම්, ආහාර සැකසුම් තාක්‍ෂණය, ප්‍රවාහන පහසුකම්, පසු අස්‌වනු හානි අවම කිරීම, බැංකු ණය ලබා ගැනීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම ද අත්‍යවශ්‍ය වේ.

ජනතාවගේ ආහාර සුරක්‍ෂිතතාව සහතික කිරීමට හැකිවනුයේ ආහාර නිෂ්පාදනයේ තිරසාර වර්ධනය, මිල ස්‌ථායිතාව පවත්වා ගැනීම සහ අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම් මට්‌ටම ඉහළ නැංවීම මගින් පමණි. රජයේ වර්තමාන කෘෂිකාර්මික ප්‍රතිපත්තිය අඛණ්‌ඩව ඉදිරියට ගෙන යන අතරම, සමාජ ආර්ථික සංවර්ධන වැඩසටහන් හරහා ඉතා දිළිඳු කුටුම්භවලට ආහාර ලබා ගැනීමේ ඇති හැකියාව වැඩිදියුණු කිරීම මෙබඳු ප්‍රතිඵලයක්‌ අත්කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධානතම අඩිතාලම විය යුතුය.

2011 ජනවාරි මස 31 වැනි දින පවත්වන ලද මහජන එක්‌සත් පෙරමුණේ 20 වැනි ජාතික මහා සම්මේලනයේදී ඉදිරිපත් කරන ලද දේශපාලන යෝජනාවේ ඇතුළත් "ආහාර සුරක්‍ෂතතාව" යන ඡේදයේ මෙසේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව අනුගමනය කළ නිවැරැදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ලෝකයේ ඇති වූ තෙල් අර්බුදයට මුහුණදෙමින් හා ආහාර හිඟයට මුහුණ දීමට සහලින් රට ස්‌වයංපෝෂිත කිරීමේ ඉලක්‌කය සපුරාලීමට පොහොර සහනාධාරය සහතික මිල, ණය, උපකරණ, බීජ ආදී පහසුකම් රාශියක්‌ ලබාදීමෙන් සිදුකෙරිණි. ලෝකය කාලගුණ විපර්යාසයකට භාජන වෙමින් පවතී. නියඟය, ජල ගැලීම් ඉන් ප්‍රධාන වනු ඇත. ඒ නිසා ලෝකය ආහාර අර්බුදයකට ගමන් කරන බව අපි දනිමු. මෙයට මුහුණ දීමට අපට හැකියාවක්‌ ඇත. සහල් ධාන්‍ය හා අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර වගා කිරීමට ජනතාව පෙළ ගැස්‌විය යුතුය. වතු හා සෑම බිම් අඟලක්‌ම වහ වහා වගාවට ගෙන යා යුතුය.

එය ආහාර අර්බුදයකින් මිදීමටත්, ගමට නව ආදායම් ඉපයීමටත්, විදේශවලින් ආනයන කිරීමේ නිවට ප්‍රතිපත්තියෙන් මිදීමටත් දායක වනු ඇත. මේ සඳහා අවශ්‍ය ජලය රැස්‌ කිරීමට වැව් සියල්ල ප්‍රතිසංස්‌කරණය කොට උතුරට ජලය ගෙන යා යුතුය. දේශීය කිරි නිෂ්පාදනය වැඩිකිරීමට ජාතික සැලැස්‌මක්‌ තුළ පියවර ගත යුතුය. ආර්ථික අපහසුතාවන් ඇති සෑම පවුලකටම අත්‍යවශ්‍ය ආහාර බඩු මල්ලක්‌ ලබාදීම අන්තර් කාලීනව කළ යුතුය. භාණ්‌ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය හා ජල මාර්ග ඒකාබද්ධ වූ ද. මහජනතාව සඳහා දුම්රිය හා මහාමාර්ග ඒකාබද්ධව ද රට වටා නාවික ප්‍රවාහනයක්‌ ඇති කර එමගින් භාණ්‌ඩ හා පොදු ගමනාගමන ප්‍රවාහනය අඩු මිලට ලබා දීමට කටයුතු කළ යුතුය. මුළු රටම මානව සංහතියේ පැවැත්ව සඳහා වූ ගෝලීය උණුසුම. පරිසර විනාශය ආදී ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට පෙළ ගස්‌වා, සැලසුම් සකස්‌ කොට නොසැලෙන වැඩපිළිවෙළක්‌ මේ සඳහා ක්‍රියා කළ යුතුය. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාව සම්බන්ධයෙන් ඈත අනාගතයට බැලුම් හෙළිය හැකි ප්‍රතිපත්තියක්‌ හා වැඩපිළිවෙළක්‌ රජය ඉදිරිපත් කොට ඇති බවත්, එම ප්‍රතිපත්ති පිළිගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ රටේ සමස්‌ත පොදු ජනතාව බව අනිවාර්යයෙන් කිව හැකිය.

කරුණාතිලක දිසානායක
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.