|
|
|
|

සුබ අලූත් අවුරුද්දක්!
අලුත් අවුරුද්ද උදාවීමට තව දින දෙකකට වඩා නැත. අවුරුද්ද ළංවන
විට සාම්ප්‍රදායිකව ඒ පිළිබඳව සිදුවන වාද විවාද වලද නිමක්
නැත. කෙනෙක් මෙය සිංහල අලුත් අවුරුද්ද ලෙස හැඳින්වීමට එරෙහි
වෙති. තවත් කෙනෙක් එය දෙමළ අවුරුද්ද ලෙස හැඳින්වීම සදොස්
යෑයි කියති. සිංහල - දෙමළ අලුත් අවුරුද්ද ලෙස හෝ සිංහල -
හින්දු අලුත් අවුරුද්ද ලෙස හෝ එය හැඳින්වීමද වැරැදි බව තව
කෙනෙක් කියති. සම්ප්‍රදාය හා උරුමය පිළිබඳව කෙරෙන ඒ විවාදවලට
අපි මැදිහත් නොවෙමු. එහෙත් මෙම අවුරුදු සිරිත් විරිත් සිංහල
බෞද්ධයන්ට මෙන්ම දෙමළ හින්දූන්ට තම ජාතික අනන්‍යතා මත පදනම් වූ
අපූර්ව සංස්‌කෘතික ආලෝක ධාරාවක් සපයන විශිෂ්ට අවස්‌ථාවක් ලෙස
අපි දකිමු.
සිංහල බෞද්ධයා වඩාත් මෙම සිරිත් විරිත් සුරකින බව කීම
නිවැරැදිය. එසේම බෞද්ධ නොවන සිංහලයන් අතරද අවුරුදු සිරිත්
විරිත් පවත්වන අය සිටින බවද අපි දනිමු. ඒ කුමක් වුවද අලුත්
අවුරුද්ද අපගේ ඉහළම සංස්‌කෘතික හා ජාතික උළෙල බවට පත්ව තිබෙන
බව අපගේ අදහසය.
සංස්‌කෘතික බැඳීම් යනු කවර ජාතියකට වුවද අගනා දේවල්ය. සිංහල
බෞද්ධයා අලුත් අවුරුද්ද දකින්නේ සාරධර්ම මත පදනම් වූ වටිනාම
අවස්‌ථාවක් ලෙසය. එය එක් අතකින් පන්සලට ද තවත් අතකින් ගොවි
බිමට ද සම්බන්ධ වූවකි. අවුරුදු සිරිත් විරිත්වල අනිවාර්ය
අංගයක් වී තිබෙන පුණ්‍ය කාලයට නොවරදවාම පන්සලට යැම සිංහල
බෞද්ධයාගේ සිරිතය.
සිංහලයා අවුරුදු සිරිත් සඳහා පිළිගන්නා නැකැත් කීපයක්‌ම තිබේ.
මේ නැකැත් මිථ්‍යාවක් බව කියන පඬිවරුද සිටිති. එහෙත් මුළු රටම
එක්‌ව එකම දිනයක, එකම වේලාවක ක්‍රියාත්මක වන නැකත් කීපයක්‌ම
අවුරුද්ද සමග බැඳී තිබේ. ලංකාවේ ඈත ගම්දනව්වල සිට කොළඹ සුපිරි
නිවෙස් දක්‌වා අකුරටම ඉටුකෙරෙන එම නැකැත් ඔවුන්ගේ ජීවිතවල
කොටසක් බවට පත් වූයේ එහි වූ සංස්‌කෘතික හරය නිසාම බවද නිසැකය.
අද සිටින ඊනියා විද්වතුන් නොදකින පොදු ආගමක් බවට හා
සංස්‌කෘතික වන්දනාවක් බවට අවුරුද්ද පත්වී තිබීම ගැන ඇතැම්
ජාතිභ්‍රෂ්ට තකතීරු පඬිහු උරණ වන්නාහ. ඒ අසංස්‌කෘතික අජීරණයේ
විෂබීජ ජනමාධ්‍ය ඔස්‌සේ ද මුදාහරින බවද රහසක් නොවේ.
බක් මහ හෙවත් භාග්‍යවත් මාසය ලෙස සම්මත වූ අලුත් අවුරුද්ද
එක් අතකින් සොබාදහම සමග ද බැඳී තිබේ. සිංහල ගම මිථ්‍යාවකැයි
කියන ඊනියා නවීනයන් කුමක් කීවත් අවුරුද්දට ගමේ යන පිරිස්
කොපමණ සිටිත්ද? ඒ කියන ගම සංකල්පීය වශයෙන් ගත්කල මහගෙදරයි.
අවුරුද්දට මහගෙදරට ඒම හා නෑයින්ට සංග්‍රහ කිරීම, වැඩිහිටියන්,
මව්පියන් බුලත් දී වැඳීම, තෑගිබෝග ලබාදීම, වැඩ ඇල්ලීම, පන්සල්
යැම මෙන්ම ක්‍රීඩාවල යෙදීම ආදී විවිධ ක්‍රියාකාරකම් තිබේ.
මේවායින් ජීවිතය ද අලුත් වන අතර සමගිය හා බැඳීම ද වර්ධනය වේ.
පැරණි තරහ මරහ අමතක කිරීමේ අගනා සාරධර්මයක් ද අවුරුද්දේ තිබේ.
මේවා පැරණි හණමිටි ලෙස වීසි කළ යුතු දේවල්ද? මේවායින් ජීවිතයට
යමක් ලබාගත හැකිද? අප විසින් දවස් තුන්සිය හැටපහක් තිස්‌සේ
ගෙවන ලද ඒකාකාරී ජීවිත රටාවෙන් වෙනස් වීමට මේවායින් අනුබලයක්
නොලැබේද?
සත්තකින්ම උනුන්ට එරෙහිව හිස ගිනිගත්තවුන් මෙන් දිවයන මෙම
පාරිභෝගික සමාජ රටාව තුළ අතරමං වූ බොහෝ දෙනකුට අවුරුද්ද
සහනශීලී අත්දැකීමක් වන බව අපගේ අදහසය. අද අප මැදිවී සිටින
ආර්ථික දුෂ්කරතා, වෙනත් අර්බුද අවුරුද්දට හරස් වන බවද ඇත්තය.
එහෙත් සල්ලි තිබෙනව නම් හැමදාම අවුරුදු යෑයි කීමට අපි විරුද්ධ
වෙමු. අපගේ පිළිගැනීම අවුරුද්ද යනු ඊට වඩා පුළුල් ජාතික
ලකුණක් බවය.
එකිනෙකාගේ හිස්‌වල තිබෙන වර්ගවාදී හා ආගම්වාදී මලකඩ හා එයින්
දූෂිත වූ මනස් තුළින් දකින අවුරුද්ද කුමක් වුවත් අප දකින
අලුත් අවුරුද්ද සංස්‌කෘතික හා ජාතිකත්වය මත පදනම් වූ විශිෂ්ටතම
මංගල්‍යයකි. එයින් අපි නිවෙමු. අපගේ දුහුල් තැන්, අවුල් තැන්
මකා ගනිමු. මානව දයාවෙන් ද සතුටින් ද අලුත් ඇරැඹුමකට එමගින්
අපට දෙන දිරිය හා ශක්‌තිය අපමණය.
මේ උතුම් දිනයෙහි අවුරුදු සුව විඳින අතරම එක් එක් අය
පෞද්ගලිකව සිතා බැලිය යුතු කරුණක් ද වේ. ඒ අප කෙරෙන් ගිලිහී
යන සාරධර්ම, සංස්‌කෘතික හරයන් යළි සුරැකීම සඳහා යොමු වීමය.
සම්ප්‍රදාය හා උරුමය යනු මඟහැර යා නොහැකි දෙයකි. එයට උඩින් පැන
ඉගිලීමට දඟලන අයට සංස්‌කෘතිය මෙන්ම අවුරුද්ද නොවැටහීම ද
පුදුමයක් නොවේ. සූකරයන්ට ගජමුතු කුමට· |
|
|
|