ගෝලීය ආහාර අර්බුදය යළිත්


ඒක නාමකිං සබ්බේ සත්ථා ආහාරට්‌ඨිතිකා
- බුදුන් වහන්සේ

ආහාරය මනුෂ්‍යයාගේ මූලික අයිතියකි.
ආහාර පිළිබඳ ලෝක රාජ්‍ය නායක සමුළුව,
රෝමය - 1996

සමස්‌ත මානව සංහතිය කෙරෙහි -විශේෂයෙන් ලෝක ජනගහනයෙන් බහුතරය වන දිළිඳු ජනයා සහ ඔවුන් වෙසෙන රටවල් මත - කෙටිකාලීන සහ දිගුකාලීන බරපතල අනර්ථකාරී ප්‍රතිවිපාක ජනිත කිරීමේ විභවතාව සහිත ලෝක පරිමාණ ආහාර අර්බුදයක්‌ යළිත් වර්ධනය වෙමින් පවතී. දැනට කර ඇති පුරෝකථන අනුව සියලු මූලික ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉදිරි මාස කිහිපය තුළ කිහිප ගුණයකින් ඉහළ යනු ඇත. දැනටමත් ලෝකය බහුවිධ අර්බුදයනට ගොදුරු වී සිටී. 2008 මුල් භාගයේ එක්‌සත් ජනපදයේ ආරම්භ වූ සහ 1929 -30 මහා අවධමනයට පමණක්‌ දෙවැනි වන්නා වූ මහා මූල්‍ය අර්බුදය හෙවත් ආර්ථික අවපාතය තවම අවසන් වී නැත. පෘථිවි වායුගෝලය උණුසුම් වීම නිසා උද්ගත වූ කාලගුණ විපරිතය (Climate change) මානව වර්ගයාගේ හුදු පැවැත්ම තර්ජනයට ලක්‌කර ඇත. භූමිකම්පා, නාය යැම්, සුනාමි, චණ්‌ඩ කුණාටු, නියඟය සහ ගංවතුර වැනි ස්‌වාභාවික විපත් කෙටි කාල අනුක්‍රමයක්‌ සහිතව ලෝකයේ සෑම භූමි කලාපයකම පාහේ සිදුවෙමින් තිබේ. මාර්තු දෙවැනි සතියේ ජපානයේ හටගත් මහා භූමිකම්පාව සහ සුනාමියත් එහි ප්‍රතිඵල ලෙස ඇතිවූ න්‍යෂ්aටික බලාගාර අර්බුදයක්‌ නිසා ජනිත කම්පනය සමනය වීමට තව සැලකිය යුතු කලක්‌ ගත වනු ඇත. ඉන්ධන මිල ගණන් දිගටම ඉහළ යමින් පවතී. ඉරාකයේ, ඇµaගනිස්‌තානයේ හා පාකිස්‌තානයේ නේටෝ හමුදා මැදිහත්වීම් නිසා බියකරු මානව ෙ€දවාචකයක්‌ නිර්මාණය වී තිබේ. ලොව මුල්පෙළේ අධිරාජ්‍යවාදී රටවල් කිහිපයක්‌ එක්‌ව තුන්වැනි ලෝකයේ දිළිඳු රාජ්‍යයක්‌ වන ලිබියාව ආක්‍රමණය කිරීමෙන් මානව සමාජය තවත් ව්‍යසනයකට ගොදුරු කර ඇත. මේ සියල්ල සමඟ ගෝලීය ආහාර අර්බුදයත් එක්‌ වූ විට ඇති විය හැකි ප්‍රතිවිපාක සිතා ගැනීම අපහසු නැත.

ළඟ එන ගෝලීය ආහාර අර්බුදය පිළිබඳ අන්තරාය ඇඟවීම් ලොව මුල් පෙළේ විද්වතුන්, ආයතන හා ජනමාධ්‍ය ගණනාවක්‌ විසින් ඉකුත් සති කිහිපය තුළ අවධාරණය කර තිබිණ, 2008 වසර සඳහා ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී, ප්‍රකට අර්ථ ශාස්‌ත්‍රඥ පෝල් කෘග්මන් 2011.02.13 දා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පත්‍රයට සම්පාදනය කළ ලිපියක මෙසේ සඳහන් කරයි. "තුන් වසරක්‌ ඇතුළත දෙවැනි වරටත් අපි ගෝලීය ආහාර අර්බුදයකට මැදිව සිටිමු. තිරිඟු, ඉරිඟු, සීනි සහ තෙල් මිල විශාල ලෙස වැඩි වීම නිසා ලෝක ආහාර මිල ගණන්, ඓතිහාසිකව තවමත් පහළ අගයක පවත්නා එක්‌සත් ජනපද උද්ධමනයට කර ඇති බලපෑම එතරම් ප්‍රබල නොවුණද, ස්‌වකීය ආදායමෙන් මුළු ප්‍රමාණයම පාහේ නොවේ නම් වැඩි කොටස මූලික ආහාර ද්‍රව්‍ය සඳහා වැය කරන්නා වූ ලෝකයේ දිළිඳු ජනයා කෙරෙහි කුරිරු ප්‍රතිවිපාක ජනිත කර තිබේ. මේ ආහාර අර්බුදයේ අනිටු විපාක ආර්ථික විද්‍යාවෙන් බොහෝ ඔබ්බට විහිද යයි."

මෝදු වෙමින් පවත්නා ආහාර අර්බුදයට අදාළව මෑතකදී පළ වූ තවත් ජනමාධ්‍ය වාර්තා කිහිපයක්‌ සැකෙවින් මෙසේය.

"නව ආහාර අර්බුදයක්‌ ගැන එක්‌සත් ජාතීන් අන්තරාය අඟවයි. තත්ත්වය බෙහෙවින් අවිනිශ්චිත බව ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ද පිළිගනී. රටවල් 80 ක්‌ පමණ ආහාර ඌනතාවකට මුහුණ පා සිටී. මූලික කෘෂි නිෂ්පාදන සඳහා වන ගෝලීය මිල දර්ශකය, 20 වසරකට පෙර එය හඳුන්වාදීමෙන් පසු මෙතෙක්‌ ඉහළම අගය කරා දැන් ළඟා වී ඇත."

ප්‍රංශ පුවත් සේවය (AFP) 2011.01.11

"සහල්, තිරිඟු, සීනි, බාර්ලි සහ මස්‌ ලෝක මිල ගණන් 2011 වර්ෂයේදී සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි එක්‌සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පසුගිය සතියේ නිවේදනය කළේය.

-Inter Press Service (IPS) 2011.01.10

"ආහාර මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇතැයි ජී - 10 මහ බැංකු අධ්‍යක්‍ෂවරුන් වෙනුවෙන් කතා කරමින් මධ්‍යම යුරෝපීය බැංකුවේ සභාපති ෂෝන් ක්‌ලෝඩ් ටි්‍රචට්‌ අද බේසල්හීදී (ස්‌විට්‌සර්ලන්තය) පැවැසීය."

- ස්‌විස්‌ පුවත් සේවය (EFE) 2011.01.10

"ආහාර මිල අර්බුදයක්‌ ගැන ලෝක බැංකුව බිය පළ කරයි. අර්බුදය 2008 වසරට වඩා උග්‍ර වනු ඇතැයි ලෝක බැංකු සභාපති රොබට්‌ සුලික්‌ බීබීසීයට ප්‍රකාශ කළේය."

- BBC, 2011.01.15

"ඇල්ජීරියාව හිඟය සහ නොසන්සුන්තාව වළක්‌වා ගනු පිණිස තිරිඟු මිල දී ගනී. මේ මාසයේ මේ දක්‌වා මිලදී ගත් තොගය ටොන් මිලියනයක්‌ බව ඇල්ජීරියාවේ කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය."

- රොයිටර්ස්‌, 2011.01.18

ආහාර අර්බුද මානව ඉතිහාසයේ අලුත්ම සංසිද්ධියක්‌ නොවේ. නූතන යුගයට පෙර අවධිවල විටින්විට හටගත් දුර්භික්‍ෂ නිසා සිය දහස්‌ ගණනින් මිනිසුන් මියගිය බවට සාක්‍ෂි සෑම රටකින්ම සොයා ගැනීමට පිළිවන. කාර්මික විප්ලවය, ගොවිපොළ යාන්ත්‍රීකරණය, හරිත විප්ලවය, රසායනික පොහොර සහ පළිබෝධ නාශක භාවිතය, මහා පරිමාණ ගොවිතැන වැනි වර්ධනයන් සමග ලෝක ජනගහනයට බෙහෙවින් වැඩි පිරිසක්‌ නඩත්තු කිරීමට ප්‍රමාණවත් තරමින් ආහාර සහ කෘෂි නිෂ්පාදන පරිමාව ඉහළ ගිය නමුදු දිගු කාලීන ආහාර සහ කෘෂිකර්ම අර්බුදය අවසන් වූයේ නැත. පෙර අවධිය සමඟ සසඳන කල සෑම රටකම පාහේ ඒක පුද්ගල ආහාර පරිභෝජනය සහ ආහාර සුරක්‍ෂිතතාව සතුටුදායක ලෙස වර්ධනය වුවද දිගුකාලීන හා නිදන්ගත ගැටලු එලෙසම පැවතිණ. බිලියන 6.9 ක්‌ (කෝටි 690 ක්‌) වන වත්මන් ලෝක ජනගහනයෙන් බිලියනයක්‌ දෙනා (කෝටි සියයක්‌) නිදන්ගත සාගින්නට ගොදුරුව සිටිතියි ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ගණන් බලා තිබේ. මෙය දල ඇස්‌තමේන්තුවක්‌ පමණි. විටමින් සහ පෝෂණ ඌණතාව හා මන්දපෝෂණයේ වෙනත් ආකාර සලකන කල ආහාර අනාරක්‍ෂිතතාවෙන් පසුවන පිරිස ලෝක ජනගහනයෙන් අඩක්‌, එනම් බිලියන 3 ක්‌ (කෝටි 300 ක්‌) පමණ වෙයි. ලොව ධනවත්ම රාජ්‍යය වන එක්‌සත් ජනපදයේ පවා සාගින්න ප්‍රධාන ගැටලුවකි. එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව ආහාර අනාරක්‍ෂිත කුටුම්බයනට අයත් පිරිස 2006 දී ළමයි මිලියන 13 ක්‌ ඇතුළුව මිලියන 35 ඉක්‌මවීය. මේ තත්ත්වය ආහාර නිෂ්පාදනයේ අඩුවක්‌ නිසා ඇති වූවක්‌ නොව ලාභයම පෙරදැරි කොටගත් නිෂ්පාදන රටාව නිසා ජනිත වූවකි.

සාමාන්‍ය ව්‍යවහාරයේදී ආහාර අර්බුදයක්‌ ලෙස හඳුන්වනුයේ දිගුකාලීන ගැටලුව එසේම තිබියදී වරින් වර සිදු වන හදිසි හා තියුණු ආහාර මිල නැඟීම්ය. එවැන්නක්‌ සති හෝ මාස කිහිපයකින් ඇතිවන්නක්‌ නොව වසර කිහිපයක්‌ තිස්‌සේ කෙමෙන් සිදුවන මිල නැඟීම උච්ඡ අවස්‌ථාවට ළඟා වීමකි. මින් පෙර එවැනි ආහාර අර්බුදයකට ලෝකය ගොදුරු වූයේ 2008 දීය. එවර ලෝක වෙළෙඳපොළේ අලෙවි කෙරෙන කෘෂිකාර්මික භාණ්‌ඩ 60 ක මිල ගණන් 2006 දී සියයට 14 කින් ද 2007 දී සියයට 37 කින් ද ඉහළ ගියේය. 2006 ශීත සෘතුවේදී නැඟීමට පටන් ගත් ඉරිඟු මිල මාස කිහිපයක්‌ ඇතුළත සියයට 70 කින් වැඩි විය. 2007 මාර්තු සිට 2008 මාර්තු දක්‌වා මාස 12 ඇතුළත තිරිඟු සියයට 136 කින්, සහල් සියයට 100 කින්, සෝයා සියයට 86 කින්, සියලු මස්‌ වර්ග සියයට 52 කින් මිල වැඩි වූ බව ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සඳහන් කරයි.

මූලික ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යැම නිසා අඩුවෙන්ම සංවර්ධිත රටවල (Least Developed Countries LDCS) ආහාර ආනයන වියදම 2006 දී සියයට 30 කින් ද 2007 දී සියයට 37 කින් ද වැඩි විය. නැතහොත් 2007 දී ඩොලර්Êමිලියන 17.9 ක්‌ වූ වියදම 2008 දී ඩොලර් මිලියන 23.6 ක්‌ දක්‌වා නැඟිණ. ආනයන පරිමාව වැඩි වීම නිසා නොව මිල නැඟීම නිසා ආහාර ආනයන වියදම වර්ධනය වූයෙන් සාගින්නෙන් පෙළෙන ජන සංඛ්‍යාවට මිලියන 75 ක්‌ දෙනා අලුතින් එකතු වූ බවත් මිලියන 125 ක පිරිසක්‌ අන්ත දරිද්‍රතාවට ඇදවැටුණු බවත් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙයි. මේ ඉමහත් අර්බුදය හමුවේ චීනය, ඉන්දියාව, කාම්බෝජය, ඉන්දුනීසියාව, වියට්‌නාමය සහ ඊජිප්තුව සහල් අපනයනය තහනම් කළේය. 2008 ආහාර අර්බුදය අඩු ආදායම් රටවල ජනතාවට කොතරම් වේදනාකාරී වූයේද යත් බංගලිදේශය, බර්කිනා µdසෝ, කැමරූන්, ඊජිප්තුව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මොරිතානියාව, මොරොක්‌කෝ, මෙක්‌සිකෝ, සෙනෙගාල් සහ යේමනය ඇතුළු රටවල් 45 ක ආහාර කැරලි හට ගත්තේය.

"ආහාර අර්බුදයේ අනිටු ප්‍රතිවිපාක ආර්ථික විද්‍යාවේ සීමාවෙන් බොහෝ ඈතට විහිද යයි. මැද පෙරදිග දූෂිත හා මර්දනකාරී ආණ්‌ඩුවලට එරෙහි ජනතා නැඟිටීම පිළිබඳ ප්‍රධාන ප්‍රශ්නය ඒවා සිදුවන්නේ මන්ද යන්න නොව ඒවා මෙකල සිදුවන්නේ මන්ද යන්නයි. අහස උසට ගිය ආහාර මිල ගණන් මේ ජනතා නැඟිටීමට ප්‍රධාන සාධකයක්‌ වූ බව රහසක්‌ නොවේ" යනුවෙන් පෝල් කෘග්මාන් සිය ලිපියෙන් පෙන්වාදෙයි. ජනතා විප්ලවය හමුවේ තිස්‌ වසරක්‌ රස බැලූ රාජ්‍ය බලය අත්හළ හොස්‌නි මුබාරක්‌ ආණ්‌ඩු කළ ඊජිප්තුවේ ආහාර මිල උද්ධමනය 2010 දෙසැම්බර් මාසයේදී සියයට 18 ක්‌ ද 2011 ජනවාරි මාසයේදී සියයට 19.6 ක්‌ ද වූයේය.

2006 දී මෙන් මෙවර ද සමාන හේතු රැසක්‌ ආහාර අර්බුදයට මුල් වී තිබේ. පාරිසරික විනාශය සමඟ බැඳුණු කාලගුණික සාධක ඒ අතර ප්‍රධාන තැනක්‌ ගනී. පෝල් කෘග්මාන් එය පැහැදිලි කරනුයේ මෙසේය." (ආහාර) මිල ගණන් නැඟීම පිටුපස ඇත්තේ කුමක්‌ද?..... ශීඝ්‍ර ආහාර මිල නැඟීමට සාධක ගණනාවක්‌ මුල් වී ඇති අතර සැබවින්ම ප්‍රධාන වනුයේ හානිකර කාලගුණික තත්ත්වයන් කෘෂිකාර්මික නිෂ්පාදනය අඩාළ කර ඇති ප්‍රමාණයයි. හරිතාගාර වායු සංකේන්ද්‍රණය ඉහළ යැමට සමගාමීව මෙවැනි අහිsතකර කාලගුණික තත්ත්වයන් අප බලාපොරොත්තු විය යුතුය. එහි තේරුම වත්මන් ආහාර මිල නැඟීම හුදෙක්‌ ආරම්භයක්‌ පමණි." ඉහළ යන උෂ්ණත්වය නිසා වාර්තාගත අයුරින් වැඩිවෙමින් තිබෙන ඉල්ලුමට අනුපාතිකව ලෝක ධාන්‍ය නිෂ්පාදනය ප්‍රසාරණය කිරීම තවත් දුෂ්කර වී ඇති බවත් වගා සමයේදී උෂ්ණත්වය ප්‍රශස්‌ත මට්‌ටමට වඩා සෙල්සියස්‌ අංශක 1 කින් ඉහළ යන සෑම වාරයකම ධාන්‍ය අස්‌වනු සියයට 10 කින් පහත වැටීම සිදු වන බවත් ලෙස්‌ටර් ආර්. බ්‍රවුන් නමැති කීර්තිමත් ඇමරිකානු පරිසර විද්‍යාඥයා පෙන්වා දෙයි.
ෙµdසිල ඉන්ධන දහනය ඇතුළු මානවයාගේ කාර්මික ක්‍රියාකාරකම් නිසා මුදාහැරෙන හරිතාගාර වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ දමන අතර එහි ප්‍රතිඵල විසින් කාලගුණ විපර්යාස, ස්‌වාභාවික විපත් ඉහළ යැම, ඇන්ටාක්‌ටිකාවේ සහ අයිස්‌ලන්තයේ හිම තට්‌ටු දිය වී සාගර ජල මට්‌ටම ඉහළ යැම බඳු අතිශය විනාශකාරී ප්‍රතිවිපාක හට ගෙන තිබේ. කෘෂි නිෂ්පාදනය අඩාළ වීම කාලගුණික විපරිතයේ සාමාන්‍ය ප්‍රතිඵලයක්‌ පමණි. කාලගුණික විපරිතය පාලනය කිරීමට නොහැකි වුවහොත් පෘථිවිය මත මානව සංහතියේ පැවැත්ම සැක සහිත බව මේ විෂයය ගැඹුරින් අධ්‍යයනය කර ඇති විද්‍යාඥයෝ බහුතරය විශ්වාස කරති. නිතර හටගන්නා ස්‌වාභාවික විපත් සෑම රටකම කෘෂි නිෂ්පාදනය අඩාළ කොට ආහාර අර්බුදය වඩාත් උත්සන්න කරයි. වර්ග කිලෝමීටර් දස ලක්‍ෂයකට බලපෑ ඕස්‌ටේ්‍රලියාවේ ජල ගැල්ම, කැනඩාවේ නියඟය, රුසියාවේ උෂ්ණ වායුධාරා සහ වනාන්තර ගිනි ගැනීම්, ඇමරිකාවේ හා යුරෝපයේ අසාමාන්‍ය ශීතය, හිමාලය අඩවියේ ජල නිධි සිඳී යැමෙන් ඉන්දියාවේ, චීනයේ, පාකිස්‌තානයේ සහ තවත් කලාපීය රටවල් රැසක අස්‌වනු පාළුවීම, කොලොම්බියාවේ, වෙනිසියුලාවේ සහ බ්‍රසීලයේ අසාමාන්‍ය වර්ෂාපතනය සහ තවත් රටවල දිගුකාලීන නියඟය ආහාර නිෂ්පාදනයේ විශාල හිඟයක්‌ ඇති කිරීමට දායක වී තිබේ.

1970 න් පසු ලෝක ජනගහනය දෙගුණයකින් පමණ වැඩි විය. සෑම වසරකම මිලියන 80 ක්‌ දෙනා මිනිස්‌ පවුලට එක්‌වෙති. රාත්‍රියක්‌ ගෙවී යන විට ආහාරයෙන් සන්තර්පණය කළ යුතු පිරිස 219,000 කින් වැඩි වෙයි. මේ අනවරත ජනගහන වර්ධනය යම් අවස්‌ථාවකදී ගොවියාගේ නිෂ්පාදන හැකියාව සහ ඉඩම් හා ජල සම්පත් මත දැඩි සීමා පනවයි. වේගවත් ආර්ථික වර්ධනයක්‌ සහිත චීනය, ඉන්දියාව, බ්‍රසීලය ආදී වූ රටවල දෙතුන් ගුණයකින් ඉහළ යන මස්‌, කිරි හා බිත්තර ඉල්ලුම සපුරාලීම පිණිස එක්‌ අතකින් වගා කළ හැකි ඉඩම් සත්ව ගොවිපොළ සඳහා යොදා ගැනෙන අතර අනෙක්‌ අතින් සත්වාහාර ලෙස ධාන්‍ය නිෂ්පාදන විශාල පරිමාණයෙන් භාවිත කෙරේ. බටහිර රටවල් එතනෝල් ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා දැන් සෑම වසරකම ධාන්‍ය ටොන් කෝටි ගණනින් උපයෝගී කොට ගනී. 2009 දී ධාන්‍ය ටොන් මිලියන 416 ක අස්‌වැන්නක්‌ නෙළා ගත් එක්‌සත් ජනපදය ඉන් ටොන් මිලියන 119 ක්‌ ජෛව ඉන්ධන නිෂ්පාදනයට වැය කළ බව ලෙස්‌ටර් බ්‍රවුන් සඳහන් කරයි. ඉන්ධන නිෂ්පාදනයට යට කළ ධාන්‍ය ප්‍රමාණය වසරක්‌ පුරා මිනිසුන් මිලියන 350 ක්‌ දෙනාගේ සාගිනි නිවීමට ප්‍රමාණවත් බව ඔහු පෙන්වා දෙයි. ඉදිරි දශකය තුළ එතනෝල් නිෂ්පාදනය මගින් මුළු ඉන්ධන අවශ්‍යතාවෙන් සියයට 10 ක සපයා ගැනීමට යුරෝපා සංගමය සැලසුම් කර ඇත.

ආහාර අර්බුදය මිනිසාගේ ජීවත් වීමේ අයිතිය පැහැර ගැනීමෙන් නොනැවතී සමාජ අසහනයට හා දේශපාලන අස්‌ථාවරත්වය හා බැඳුණු ප්‍රචණ්‌ඩත්වයට මග පාදයි. අර්බුදයේ දරුණුතම පීඩනයට හසුවනු ඇත්තේ තුන්වැනි ලෝකයේ රටවල දිළිඳු ජනයා බව විශේෂයෙන් කිව යුතු නොවේ. ආහාර මිල ගණන් ඉහළ යන විට ගොවීන්ගේ ආදායම සරු වී වැඩිපුර නිෂ්පාදනයට ඔවුන් යොමුවනු ඇතැයි තර්ක කිරීමට පිළිවන. මෙය එක්‌තරා දුරකට සත්‍යයකි. මහා පරිමාණ නිෂ්පාදනයේ භෞතික හා මූල්‍යමය වාසිවලින් ප්‍රයෝජන ගැනීමේ හැකියාව ඇති ගොවීන් සම්බන්ධයෙන් එය විශේෂයෙන් සැබෑ වෙයි. එහෙත් ඊට සමගාමීව කෘෂිකාර්මික යෙදවුම් පිරිවැය ඉහළ යන බැවින් අපේක්‍ෂා කරන ලාභ උපයා ගැනීමට නොහැකි වෙයි. අනෙක්‌ අතට ඉඩම්, ජලය වැනි අත්‍යවශ්‍ය සම්පත් වැඩිවන අතර ආහාර ඉල්ලුම සමඟ වැඩි නොවන අතර පාරිසරික විනාශය විසින් ජනිත කර ඇති කිසිදු ගැටලුවක්‌ ජයගැනීමට එය පිටු වහලක්‌ නොවේ.

කෙටිකාලීන මෙන්ම දිගුකාලීන ආහාර අර්බුදය ජය ගැනීම පිණිස සෑම රටක්‌ම - විශේෂයෙන් තුන්වැනි ලෝකයේ දිළිඳු ජාතීන් කෘෂි හා සත්ත්ව නිෂ්පාදන පරිමාව හා ඵලදායිතාව ඉල්ලුමට අනුපාතිකව වැඩි කිරීමට සමත් සහ නිෂ්පාදනය සාධාරණ ලෙස බෙදී යැම සහතික කරන්නා වූ උපාය මාර්ගයක්‌ වෙත කඩිනමින් යොමුවිය යුතුය. ඒ සඳහා ආහාර මූලික මානව අයිතියක්‌ ලෙස නීතියෙන් තහවුරු කොට එය යථාර්ථයක්‌ බවට පත් කරනු පිණිස ලාභය මුඛ්‍ය පරමාර්ථය කොට ගත් නිෂ්පාදන හා පාරිභෝජන රටාවෙන් බැහැර වී මනුෂ්‍යයාගේ අවශ්‍යතා සපුරාලීම මුල් කොට ගත් ක්‍රමයක්‌ වෙත මාරු වීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. ආහාර නිෂ්පාදනයෙන් ස්‌වයංපෝෂිත භාවය අත්කර ගැනීමට ඉහළම ප්‍රමුඛත්වය දිය යුතුය. අර්බුදයක්‌ පැමිණිවිට ප්‍රධාන පෙළේ නිෂ්පාදක රටවල් සිය ජනතාවට ප්‍රමාණවත් ආහාර සහතික කරනු වස්‌ අපනයන සීමා කරන හෝ තහනම් කරන හෝ බැවින් යම් රටකට ධනය තිබුණ ද ආනයන සඳහා වෙළෙඳපොළක්‌ නැති හෙයිනි. සෑම රටකම පාහේ ප්‍රමාණවත් තරම් ආහාර නිෂ්පාදනයට අවශ්‍ය භූමිය, පස, ජලය හා දේශගුණික සම්පත් තිබේ. රටවල් වැඩි ගණනක බෝග වගා ඥනය සහ ශිල්ප ක්‍රම ඇත. ආණ්‌ඩු විසින් කළ යුත්තේ ආහාර නිෂ්පාදනය හා බෙදාහැරීම වෙළෙඳපොළ ග්‍රහණයෙන් මුදාගෙන ගොවීනට නිසි පහසුකම් සැලසීමය.

මොහාන් සමරනායක
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.