කවුරු කියෙව්වත් නැතත් මං කවි ලියනවා!


ප්‍රවීණ කිවිවර ආචාර්ය කුමාර හෙට්‌ටිආරච්චි

කවි බසත්, ආකෘතියත් අපූර්ව වූ වෙනසකට ලක්‌ කරමින් සුවිශේෂී අනන්‍යතාවකින් යුතු කවි නිර්මාණ රැසක්‌ ඔස්‌සේ අසූව දශකයේ කවි පරපුර තුළ කැපී පෙනෙන වෙනසක්‌ සටහන් කළ ප්‍රතිභා සම්පන්න කවියකු වූ ඔහු කාලයක්‌ තිස්‌සේ නොකඩවා කවි ලියුවේ. අපූරු වස්‌තු බීජ වචන, යෙදුම්, උපමා රූපක සහ පද පෙරළි අන්තර්ගත වු ඔහුගේ කවි කෙතට විශාල රසික සහෘද පිරිසක්‌ ආකර්ෂණය විය. වර්ෂ 1985 දී "සක්‌මන්මළුව" නමින් සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළ කළ ඔහු ඉන් අනතුරුව "භෂ්මාවශේෂ" රුවන් සක්‌මන" "මහාද්වීපය" සහ "සදාකාලික මධ්‍යාහ්න" නමින් කාව්‍ය සංග්‍රහයන් ගණනාවක්‌ ලියා පළ කළේය. ඒ අතරින් අවසන් කෘතීන් දෙක විශිෂ්ට ගණයේ කාව්‍ය කෘති ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර විය.

මටසිලිටු කවි පද වෙනුවට කවියට එතෙක්‌ ආගන්තුකව පැවැති රළු, ගොරහැඩි යෙදුම් මෙන්ම විද්‍යාත්මක වදන් පවා යොදාගනිමින් දිගින් දිගටම කවි ලියන අතරම ඔහු විද්‍යා ප්‍රබන්ධ, නාට්‍ය සහ චිත්‍ර ශිල්පය ඇතුළු තවත් කලා ක්‌ෂේත්‍ර ගණනාවකද දස්‌කම් පෑවේය. ඔහුගේ කවිය සහ සෙසු කලා නිර්මාණ මෙරට ජන සමාජය තුළ ප්‍රසාදාත්මක පිළිගැනීමට ලක්‌වෙමින් පැවැති 90 දශකය ආරම්භයේ සිට ඔහු නිර්මාණකරුවකු ලෙස එක්‌තරා නිහඬතාවයකට පිවිසි බවක්‌ පෙනෙන්නට තිබිණි. ඒ දිගු කාල පරාසය තුළදී සිය උසස්‌ අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්‌ගතව සිටිමින් විසල් ඥන සම්භාරයක්‌ සහ ආචාර්ය උපාධියක්‌ ද සමඟ තව තවත් අත්දැකීම් ද එක්‌රැස්‌ කරගත් ඔහුගේ නවතම කාව්‍ය නිර්මාණ සංග්‍රහය "පාරජම්බුල" නමින් සහෘදයන් වෙත පිරිනමමින් ඔහු යළි අප අතරට පැමිණ සිටියි. ගෙවී ගිය කාලය තුළ ලියෑවුණු අපූරු නිර්මාණ රැසක්‌ ඇතුළත් "පාරජම්බුල" කාව්‍ය සංග්‍රහය සහ සිය කවි දිවිය පිළිබඳව සුහද කතාබහක යෙදෙන්නට ආචාර්ය කුමාර හෙට්‌ටිආරච්චි නම් වන ඒ අපූරු කවියා අප හා එක්‌වූයේ මෙසේය.

"පාරජම්බුල නමැති මගේ මේ අලුත් කවි පොත පළ වන්නේ අවුරුදු දහනවයක දීර්ඝ නිහැඬියාවකට පසුවයි. ගෙවී ගිය කාලය තුළදී මගේ උසස්‌ අධ්‍යාපන කටයුතු සඳහා වසර දහතුනක කාලයක්‌ ගත කරමින් මා ජපානයේ සගා රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය නම් විෂය ක්‌ෂේත්‍රය ඔස්‌සේ ශාස්‌ත්‍රපති උපාධියත්, කොබේ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සංස්‌කෘතික මානව විද්‍යාව විෂය ධාරාවෙන් ආචාර්ය උපාධියත් ලබාගත්තා. එහිදී මගේ පර්යේෂණ ක්‌ෂේත්‍ර වුණේ ද්‍රව්‍යමය සංස්‌කෘතිය (Material Culture) සහ දෘශ්‍යමය සංස්‌කෘතිය (Visual Culture) යන ඒවායි.

"මෙම ආචාර්ය උපාධි අධ්‍යයනයේ පර්යේෂණ කටයුතුවල දී සංස්‌කෘතික ප්‍රකාශනය තුළ අජීවී ද්‍රව්‍යමය වස්‌තූන්ගේ ඇති සංකේතාත්මක ප්‍රකාශන බලය ප්‍රබල ලෙස සංවාදයට බඳුන් වුණා. එහිදී මට පෙනී ගියා සාහිත්‍ය සහ කලා නිර්මාණකරණයේදී සංස්‌කෘතිකමය ප්‍රකාශන ද්‍රව්‍ය ඔස්‌සේ ද ප්‍රබල සන්නිවේදනයක්‌ සිදුවන බව. මෙම අධ්‍යයන පසුබිමක්‌ සහිතව තමයි මගේ අලුත් කාව්‍ය කෘතිය වන "පාරජම්බුල" පළවන්නේ.

"මම සිනමාව මගේ මාතෘ කලාව හැටියට අදහන්නෙක්‌. කුඩා කාලයේ පටන්ම මගේ ලොකුම සිහිනය වුණේ සිනමාකරුවෙක්‌ වීමයි. එය මට තවමත් සැබෑ කරගත නොහැකි වූ සුන්දර සිහිනයක්‌. ඒ වගේම, කුඩා කාලයේ සිටම මම චිත්‍ර ශිල්පියෙක්‌. සිනමාව සඳහා මගේ සිතේ මැවෙන රූප රාමු සේම චිත්‍ර කලාවේ දී මා දකින තාත්වික හෝ අතාත්වික දෘශ්‍ය රූප තදබල ලෙස මගේ කවියට බලපානවා කියා මා විශ්වාස කරනවා. සිනමාවෙන් හෝ චිත්‍රයෙන් කියාගත නොහැකිව ඉතිරි වන චිත්ත රූප කාව්‍ය වේශයෙන් බිහි වෙනවා කියා මා සිතනවා. මේ ප්‍රකාශනයේ එක්‌ අදියරක්‌ තමයි "පාරජම්බුල" කාව්‍ය ග්‍රන්ථය.

"සාහිත්‍යය තුළ සියලුම දේ වෙනස්‌ වෙනවා. ඒ නිසා මා තුළ එදා සිටි කවියාට සර්වසම කවියකු ද ඉතිරි වී ඇතැයි මා සිතන්නේ නැහැ. වසර දහනවයක පමණ ඉතා දීර්ඝ කාලයක්‌ තුළ මා ලද ජීවන අත්දැකීම් සහ අධ්‍යාපනික පරිචය ඔස්‌සේ අනිත්‍යතාව තුළ වෙනස්‌ වූ පුද්ගලයකුගේ වර්තමාන භාවිතය "පාරජම්බුල" ලෙස ප්‍රකාශ වී ඇතැයි මා සිතනවා."

ඔහු විසින්ම නිර්මාණය කරන ලද චිත්‍ර ද සහිතව වෙනස්‌ ආකෘතියකින් යුතුව පළ කර ඇති මෙම කාව්‍ය සංග්‍රහය, කවියට ඇලුම් කරන සහෘද පිරිස්‌ සඳහා දරාගත නොහැකි තරම් aවන අධික මිලකින් යුතු වීම පිළිබඳව ඔහු දක්‌වන්නේ මෙවැනි අදහසකි.

"පාරජම්බුල පොතට මම තනිවම රුපියල් ලක්‍ෂ තුනක්‌ පමණ වියදම් කළා. මගේ බොහෝ මිතුරන් මෙය දැක්‌කේ පිස්‌සුවක්‌ විදිහටයි. ඒ පිස්‌සුවට මම ආදරෙයි. සල්ලි ටික ගඟේ මුහුදේ දැම්මා වගෙයි. ඒ සල්ලි වතුරේ ගියා කියලා හිතාගනිං කියමින් සමීප මිතුරන් විහිළු කරත්දිත් මම තනිවම වියදම් කරලා. පාරජම්බුල" කළේ කවියට ඇති ආදරය නිසායි. මගේ පොත අලෙවි නොවුණට කිසි ප්‍රශ්නයක්‌ නැහැ. සාංඝික දානයක්‌ දුන්නා වගේ මට සන්තෝෂයි.

"පොතේ මිල අධිකවීම මගේ ආදරණීය පාඨකයන්ට කරන ලද අසාධාරණයක්‌ බව මා පිළිගන්නවා. මගේ පැත්තෙන් බැලුවොත් චිත්‍රපටයක්‌ කරන්න බැරිවෙච්ච එකේ ටිකක්‌ ලස්‌සනට මේ මට්‌ටමින් පොතක්‌ කළොත් මැරෙනකම් සතුටු වෙන්න පුළුවන් කියා මට හිතුණා. "පාරජම්බුල" මට මරණ මංචකයේදීත් මතක්‌ වෙන්න ඉඩ තියෙනවා. මේ පොත. මා හිතුවාට වඩා උණුසුම්ව සහෘදයන්, ලේඛකයන් සහ පාඨකයින් පිළිගත් බවක්‌ පෙනෙන්නට තිබෙනවා. ඒ ගැන මට හරි සතුටුයි."

සිය කාව්‍ය නිර්මාණකරණයේ ආරම්භය විවිධ පසුබිම් සාධක රැසක්‌ ඔස්‌සේ කුඩා කල සිටම වැඩි වර්ධනය වූ අයුරු ඔහු මෙසේ සිහිපත් කරයි.

"මගේ කවියේ ආරම්භය සිදුවන්නේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාලයේ සිටයි. මගේ මතකයේ හැටියට පාසලේ දෙකේ පංතියේ සිටම මා ඉතා කුඩා කවි නිර්මාණ කළා. තුන, හතර, පහ පංතිවලදී හොඳට කවි ලියන කොල්ලෙක්‌ හැටියට මා ජනප්‍රිය වුණා. පහේ පංතිය සඳහා වූ පද්‍ය රචනා තරගයකින් මට ප්‍රථම ස්‌ථානය හිමි වුණා. ඔය ආකාරයට මා දිගින් දිගටම කවිය වෙත බැඳී සිටියා. මහගම සේකරයන්ගේ ප්‍රබුද්ධ කියෑවීමෙන් ලැබූ උත්තේජනයත් ඇතිව මා ජනතාවට "ප්‍රශස්‌ති" නමින් කවි පොතක්‌ ලියුවා.

"සිංහල කවියෙහි මහා පුරුෂයෙක්‌ වන මහගම සේකර මා තුළ කවිය පිළිබඳ විශාල භක්‌තියක්‌ ගොඩනැංවූ කෙනෙක්‌. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ඇතුළු සංදේශ කාව්‍යකරුවන්, එස්‌. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, කුමාරතුංග, මුනිදාස, රැපියෙල් තෙන්නකෝන්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ යනාදී විශාල පිරිසක්‌ ඔස්‌සේ චිරාත් කාලයක්‌ මුළුල්ලේ ගලා ආ මහා කාව්‍ය ප්‍රවාහය තුළ ඔපමට්‌ටම් වූ අගනා මාණික්‍යයක්‌ තමයි මහගම සේකර කියන්නේ. අතිවිශාල වූ කවීන් සංඛ්‍යාවකගෙන් අප්‍රමාණ පෝෂණයක්‌ ලැබූ මහගම සේකරයන්ගේ ආලෝකය මගේ කවියටත් ලැබී තිබෙනවා.

"මගේ කවිකමත්, සෙසු කලා නිර්මාණ හැකියාවන් සියල්ලත් මට ලැබී තිබෙන්නේ පරම්පරාගත උරුමය, අපේකම, ජන සම්ප්‍රදායයන් කියන මේ සියලු ආකාර ඔස්‌සේය කියා මා විශ්වාස කරනවා. චිත්‍ර ශිල්පය මට ලැබුණේ චිත්‍ර ගුරුවරුයකු මෙන්ම දක්‌ෂ චිත්‍ර ශිල්පියකු වූ මගේ තාත්තාගෙන්. තාත්තා ලස්‌සනට චිත්‍ර ඇන්දා වගේම කිsරිමැටිවලින් රූප ඇඹුවා. කදුරු ලීයෙන් වෙස්‌ මුහුණු කැපුවා. අපේ සීයා කෙනෙක්‌ කවි කොල වික්‌කා, පන්සලේ සිරිසඟබෝ නාට්‍යය රඟපෑවා. ඒ වගේම කුඩා අවධියේ දී අපේ ගමේත්, අහල පහළ ගම්වලත් ඕසෙට තොවිල්පවිල් තිබුණා. හුළු අත්තකුත් බැඳගෙන තාත්තයි. මමයි, මල්ලියි බෙර සද්දය ඔස්‌සේ තොවිල් බලන්න ගියා. තොවිලයක්‌ කියන්නේ නැටුම, ගැයුම, වාදනය, චිත්‍ර කැටයම් සියල්ල සම්මිශ්‍රණය වූ මහා සංස්‌කෘතික සංදර්ශනයක්‌. මේ සියල්ලෙන් මා ලද ආභාසය හා ආවේශය මගේ කවිය තුළ නිධන්ගතව ඇතැයි මා විශ්වාස කරනවා."

එදා සහ අද පරපුරත් සාහිත්‍ය කලාවත් පිළිබඳව ඔහු දරන්නේ මෙවැනි අදහසකි.

"දශක දෙකකට පමණ පෙර මා දුටු ශ්‍රී ලංකාව හුඟක්‌ වෙනස්‌ වෙලා. අපි ඉස්‌කෝලෙ යන කාලෙ පිස්‌සුවෙන් වගේ පොත් කියෙව්වා. මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක, කරුණාසේන ජයලත්, කේ. ජයතිලක, ගුණදාස අමරසේකර ඇතුළු බොහෝ ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ පොත් හොය හොයා කියෙව්වා. ධර්මසේන පතිරාජයන්ගේ චිත්‍රපට, ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය, මහගම සේකරයන්ගේ කවි, නවගත්තේගමගේ සහ අජිත් තිලකසේනගේ ගද්‍ය අපි ආසාවෙන් රසවින්දා, අප ඉන් ලද පෝෂණය සිහිපත් කරන කොට අලුත් ගැටවුන්ගේ සහ ගැටිස්‌සියන්ගේ එස්‌. එම්. එස්‌. ඔල්මාදය සහ මොබයිල් සංස්‌කෘතිය මටනම් මහා විකාරයක්‌, ඉස්‌සර අපට ලියෝ ටෝල්ස්‌ටෝයි, මැක්‌සිම් ගෝර්කි, ඇන්ටන්, චෙකොෆ්, ෆයදෝර් දොස්‌තයවුස්‌කි, ඇල්බෙයා කැමූ, හර්මන් හෙස, අර්නස්‌ට්‌ හෙමිංවේ, ගීද මෝපසාං, රවීන්ද්‍රනාත් තාගෝර් වැනි විශ්ව කීර්තිධර ලේඛකයන්ගේ වෙනස්‌ කෘතීන් පරිශීලනයට පුදුම පිස්‌සුවක්‌ තිබුණා. අද පරපුරට ඒ වෙනුවට තියෙන්නේ වෙනත් පිස්‌සුවක්‌. මට පෙනෙන හැටියට නම් අද පරපුරේ බහුතරය නිසරු දේ හඹා යන පුස්‌සන් පිරිසක්‌. හැබැයි මේ අතර සාහිත්‍යයට, කලාවට ඇල්මක්‌ දක්‌වන ප්‍රතිභාසම්පන්න තරුණ පිරිස්‌ ද සිටිනු දකින්නට ලැබීම සතුටට කරුණක්‌."

විවිධ ආකෘතීන් ඔස්‌සේ ලියෑවුණු සිය නිර්මාණ අතර ඉතාම සංක්‌ෂිප්ත කෙටි කවි මෙන්ම බොහෝ දිගු කවි ද ඇති බවත්, එය ඒ ඒ කවි විසින් ඉල්ලා සිටිනු ලබන ඉඩ පරාසය විසින් තීරණය වන්නක්‌ බවත් පවසන ඔහු කවි ලියන්නේ කෙසේද සහ කුමකටද යන්න පැහැදිලි කරන්නේ මෙසේය.

කවියක දිග පළල පිළිබඳව නිශ්චිත පූර්ව නිගමනයකට ඒමට අපහසුයි. හරියට රසායනික ප්‍රතික්‍රියාවක දී ප්‍රතික්‍රියා දෙකක්‌ හෝ කීපයක්‌ එකතු වී සිතාගත නොහැකි ආකාරයේ ප්‍රතිඵලයක්‌ බිහිවන ආකාරයටම ආකෘතියේත්, අන්තර්ගතයේත් සුසංගිත සමායෝජනය වූ ඵලයක්‌ හැටියටයි මා කවිය දකින්නේ. මගේ කවි වගේම ඒවායේ ආකෘතීන් ඔහේ බකස්‌ ගාලා ආ ඒවා. අන්තර්ගතයට අනුව ආකෘතියත්, ආකෘතියට අනුව අන්තර්ගතයත්, ඒ දෙකටම අනුව කවියත් යන ආකාරයට තමයි මගේ කවියක දිග පළල තීරණය වන්නේ.

"සත්තකින්ම කිව්වොත් කවි ලියන්නෙ කොහොමද කියලා තාමත් මට හිතාගන්න බැහැ. හොඳ කවියක්‌ ලියෑවුණු වෙලාවට මම පෑන පැත්තකින් තියලා මගේ අත අතගාලා බලනවා. පෑනත්, කඩදාසියත් අතගාලා බලනවා. මම මටම වැඳගන්නවා. සමහර වෙලාවට කැඩපත ඉදිරියට ගිහින් මගේම මුහුණ බලාගෙන හිතනවා "හත්ඉලව්වේ මේ කවි කොහොම ආවාද? කියලා. ඇත්තටම ඒ කවි කොයි ලෝකෙන් එනවද කියලා හිතාගන්න බැහැ.

"කවියේ වර්ධනයට විචාරය අත්‍යවශ්‍යයි. හැම කලා අංගයක්‌ වගේම කවියත් විචාරයට ලක්‌වීම වැදගත්. අනිත්‍යතාවය තුළ කවිය නිරතුරුව වෙනස්‌ වෙනවා වගේම වෙනස්‌ වන කවිය ග්‍රහණය කරගත හැකි ප්‍රබල විචාර කලාවක්‌ද අවශ්‍ය වෙනවා. එහිදී පූර්ව නිශ්චිත නිගමනවලින් කවියා කොටු නොකොට කවියාගේ නිර්මාණ ජනතාවට ද කවියාට ද ඵලදායක වන ලෙස විචාරය කිරීම හොඳ විචාරකයක අරමුණ ලෙස මා දකිනවා. මෙහිදී කවියා මෙන්ම විචාරකයා බහුශ්‍රැතයකු විය යුතු යෑයි මා තරයේ විශ්වාස කරනවා. දැනට කවිය පිළිබඳව කෙරෙන විචාරය කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවයි මගේ අදහස. මෙයට වඩා ප්‍රබල, සංවාදශීලී සහ නිර්මාණකරුවන්ට මෙන්ම පාඨක ජනතාවට ද බුද්ධි ගෝචර ඉසව්වක්‌ විවර කොට දෙන විචාර කලාවක්‌ බිහි විය යුතුයි.

"ඒ වගේම කවියේ යහපත් හෙට දවස වෙනුවෙන් සාහිත්‍ය සම්මානත් ඉතා වැදගත් කියා මා සිතනවා. හොඳ සාහිත්‍ය කලා නිර්මාණයක්‌ සම්මානයෙන් පුද ලැබීමෙන් නිර්මාණකරුවා ධෛර්යයෙන් ප්‍රබෝධමත් වනවා සේම සමාජයටද වැදගත් පණිවුඩයක්‌ ලබාදෙනවා. එය තවත් හොඳ නිර්මාණ බිහිවීමටත්, පරිශීලනයටත් උත්ප්‍රේරණයක්‌ වෙනවා. කලා කෘතියක්‌ සම්මාන සඳහා විනිශ්චය කළ යුත්තේ නිර්මාණකරුවා සහමුලින්ම අමතක කොට, නිර්මාණය පමණක්‌ සැලකිල්ලට ගනිමින් වීම ඉතා වැදගත්. සම්මාන ලැබිය යුත්තේ කෘතිය මිස නිර්මාණකරුවා නොවෙයි. සම්මාන වගේම රාජ්‍ය අනුග්‍රහයත් සාහිත්‍ය කලා ක්‌ෂේත්‍රයේ වර්ධනයට ඉතා වැදගත්. එහෙත් අදවන විට සාහිත්‍ය කලා ක්‌ෂේත්‍ර වෙත ලැබෙන රාජ්‍ය අනුග්‍රහය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ.

"මාධ්‍යවලින් සාහිත්‍ය කලාවට ලැබෙන අනුග්‍රහයට මා නමස්‌කාර කරනවා. මාධ්‍ය නැත්නම් බොහෝ සාහිත්‍ය කලා නිර්මාණකරණයන් තව තවත් අසරණ වෙනවා. පෞද්ගලිකව මා ගැන කතා කරනවා නම් මාධ්‍යවලින් මට ලැබුණු අනුග්‍රහය නොවන්නට නිර්මාණකරුවකු ලෙස අද මා සිටින තත්ත්වයට එන්නට මට නොහැකි වන්නට තිබුණා. මා කවියෙක්‌ ලෙස ජනතාව හමුවට ගෙන ගියේ "ඉරිදා දිවයින" පත්තරේ කවිමුතු කවි පිටුවයි. වෙනත් කිසිදු අනුග්‍රහයක්‌ නොලැබෙන වටාපිටාවක්‌ තුළ මේ මාධ්‍ය අනුග්‍රහය සාහිත්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් අතිශය බලවත් භුමිකාවක්‌ ඉටු කරනවා.

"මට දැනෙන හැටියට දැන් ප්‍රවීණ සහ ආධුනික කවීන් විසිරිලා පැතිරිලා ඉන්නවා මිසක්‌ එක රැහේ ඈයො හැටියට සමීපව එකතු වෙලා නැහැ. සමහරු දේශපාලන මතවාද නිසා වෙන්වෙලා. සමහරු විවිධ ආකල්ප නිසා කල්ලි ගැසී සිටින බවක්‌ පෙනෙනවා. හැකිතාක්‌ දුරට මේ සීමා අමතක කොට සහෝදරත්වයෙන්, එකමුතුවෙන් පෙළගැසුණොත් ලංකාවේ කවීන්ට මීට වඩා දෙයක්‌ කළ හැකියි කියා මා විශ්වාස කරනවා.

"එදා අප මුහුණ දුන්නාට වඩා අතිශයින්ම සංකීර්ණ සමාජ සංදර්භයන්ට මුහුණදෙන ජනතාවක්‌ උදෙසා කවි ලිවීමට අලුතෙන් කවි ලියන තරුණ පරපුරට හැකි වී තිබෙනවා. එබැවින් අපේ අලුත් කවි පරපුර දැනුමෙන්, අත්දැකීමෙන් සහ ප්‍රඥවෙන් පොහොසත් බහුශ්‍රැත පිරිසක්‌ බවට පත්විය යුතුයි. වත්මන් සහ අනාගත සමාජ සංදර්භයන් මනාව ග්‍රහණය කරගනිමින් ප්‍රබල කාව්‍ය නිර්මාණ බිහි කළ හැකි වන්නේ එවිටයි. අලුත් නව කවි පරපුර දෙස මා බලන්නේ සුබවාදීවයි. ඒ නිසාම අපේ කවියේ හෙට දවස එච්චර කළුවර නෑ කියලයි මම හිතන්නේ."

අජිත් නිශාන්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.