ඒ ඒ යුගවල හා සෘතුවල ඉපදීමේ පලවිපාක

ප්‍රභව සංවත්සරයද ඇතුළු සංවත්සර 60 ක්‌ පිළිබඳ මීට ඉහතදී විස්‌තර ඉදිරිපත් කළ අතර "මානසාගරී" නමැති පැරැණි ජ්‍යෙතිෂ්‍ය ග්‍රන්ථයට අනුව එම සංවත්සර සියල්ල එකට ගතහොත් එක කොටසකට වර්ෂ පහ බැගින් ගෙන එම වර්ෂ 60 යුග 12 කට බෙදා වෙන් කළ හැකිය.

මානසාගරියෙහි දැක්‌වෙන අන්දමට ඒ ඒ යුගවල උපත ලබන අයගේ පලවිපාක පහත සඳහන්ය.

පළමු වැනි පස්‌ අවුරුදු යුගය

ශිල්ප ශාස්‌ත්‍රය දැන උගත් ප්‍රාඥයකු කවියකු විය හැකිය. මත්පැනට හා මස්‌ මාළුවලටද ලොල් බවක්‌ දැක්‌විය හැකිය. පරදාර සේවනයෙහි යෙදීමේ ඉඩකඩක්‌ද ඇත.

දෙවැනි යුගය - ඇත්ත කතා කිරීමට කමැති දැහැමි කෙනකු වන්නට පුළුවන. දැහැමින් ධනය උපයන, වෙළහෙළදාමට දක්‌ෂ කෙනකු විය හැකිය.

තෙවැනි යුගය - දෙවියන් බමුණන් පුදන, තේජස්‌ සම්පන්න, නුවණැති, ධනවත් කෙනකු වීමේ ඉඩකඩක්‌ ඇත. අනුන්ට දීමේ කැමැත්තක්‌ද තිබිය හැකිය.

සිව්වැනි යුගය - වාසය කරන නිවස්‌නය අවට උයන් සකසා ගැනීමට හා තුරුලතාදියට කැමැති කෙනකු විය හැකි නමුත් ධනය විනාශ කරන කෙනකු වන්නට බැරිකමක්‌ නැත.

පස්‌වැනි යුගය - දෙමාපියන්ට භක්‌තියකින් සලකන, දරුවන් බොහෝ ගණනක්‌ සිටිය හැකි ධනවත් කෙනකු විය හැකිය.

සයවැනි යුගය - තම බිරිඳට හෝ මී දෙනුන්ට හෝ ඇල්මක්‌ ඇති, සියල්ලන්ම වාගේ සතුරු නීච ස්‌වභාවයේ ගති පැවතුම් සහිත, බියගුලු ගතියකින්ද යුතු කෙනකු වන ස්‌වභාවයකි.

සත්වැනි යුගය - වෙළෙඳ කටයුතුවලදී වංක ගතියක්‌ දක්‌වන කාමුක ස්‌වභාවයක්‌ද සහිත හනික ගමන්බිමන් යන කෙනකු වන්නට පුළුවන.

අටවැනි යුගය - සන්තෝෂයකින් වාසය කරන නමුත් ලෙඩ රෝග පැවතිය හැකි, පරහිංසාදියට හා පව් කිරීමටද පෙළඹෙන කෙනකු වන ස්‌වභාවයකි.

නව වැනි යුගය - රජ කෙනකු මට්‌ටමේ සිටිය හැකි, ආගන්තුක සත්කාරයට කැමැත්තක්‌ දක්‌වන කෙනකු විය හැකිය.

දස වැනි යුගය - සිත්ගත් හා රූපශ්‍රීයකින් සමන්විත සනීපවත් දන්දීමටද කැමැත්තක්‌ දක්‌වන රාජමන්ත්‍රී කෙනෙක්‌ වන්නට පුළුවන.

එකළොස්‌වැනි යුගය - ශීලවන්ත, බුද්ධිමත් දේවාල පිහිටුවීමට කැමැත්තක්‌ දක්‌වන සටනටද හපන් කෙනකු වන්නට ඉඩක්‌ ඇත.

දොළොස්‌වැනි යුගය - මිනිසුන් අතර උතුම් ගතිගුණ ද පහන් සිත් සතන්ද සහිත වෙළෙහෙළදාම් කටයුතු ගොවිතැන් කටයුතුවල නියුතු කෙනකු විය හැකිය.

සිසිර, වසන්තය, ගිම්හාන, වර්ෂා, සරත් හා හේමන්ත වශයෙන් සෘතු හයක්‌ද ඇති අතර ඒ ඒ සෘතුවල උපත ලැබීමේ පලවිපාකද මානසාගරියෙහි සඳහන්ය.

සිසිර සෘතුව - යහපත් සිතකින් මෙන්ම හැඩරුවකින්ද යුතු අලස ගතියක්‌ද තිබිය හැකි කාමුක ස්‌වභාවයක්‌ද පැවතිය හැකි කෙනකු විය හැකිය.

වසන්ත සෘතුව - තේජස්‌ ගතියක්‌ උඩගුකමක්‌ සහිත නානා රට රාජ්‍යවල විස්‌තර තොරතුරු දන්නා කියන, උද්යෝගිමත් ස්‌වභාවයක්‌ද සහිත විවිධ කටයුතුවල නියෑළුණු කෙනකු වන්නට පුළුවන.

ගිම්හාන සෘතුව - ඥනවන්ත ගතියකින් යුතු වැඩකටයුතු බොහෝ ගණනක්‌ ඇරැඹීමට ඉඩ ඇත. වෛරී ක්‍රෝධ ස්‌වභාවයක්‌ තිබිය නොහැකි, කාමුක ගතියක්‌ තිsබිය හැකි, සයින් පෙළිය හැකි කෛරාටික ස්‌වභාවයේ කෙනකු වන ස්‌වභාවයකි.

වර්ෂා සෘතුව - ඉන්ද්‍රියන් සමනය කරගත් ගුණවත් හරයක්‌ ඇති කතා බහට සමත් සම්පත් සහිත රජයෙන් පැසසුම් ලබන කෙනකු වන්නට පුළුවන.

සරත් සෘතුව - අනුන්ගේ බුහුමනට පාත්‍ර වන, තේජස්‌ ගතියක්‌ද සහිත, වෙළෙඳ වෘත්තිය හෝ ගොවිතැන හෝ ජීවන වෘත්තිය වශයෙන් කරන ධන ධාන්‍ය යහමින් ඇති කෙනකු විය හැකිය.

හේමන්ත සෘතුව - එතරම් තේජස්‌ ගතියක්‌ නොමැති ලෙඩ රෝගවලට බෙහෙවින් ගොදුරු වූ, ලුහුඬු පිරුණු ගෙල ඇති, ලොබ ගතියක්‌, බිය ගන්නා ගතියක්‌ හා නපුරු ස්‌වභාවයක්‌ද තිබිය හැකි කෙනෙකු වියහැකිය.

මේ අතර යමෙක්‌ අධික වර්ෂයක උපත ලැබුවහොත් ඔහුට හෝ ඇයට හෝ අත්වන පල විපාක ද එම ග්‍රන්ථයේ සඳහන්ය.

ශරීර සනීපයකින් මෙන්ම නැණ නුවණතින්ද යුක්‌ත දරු මුනුපුරන්ද සහිත ධන ධාන්‍ය සම්පතද හිමි රාජ පූජිත පුද්ගලයකු බවට ඔහු හෝ ඇය හෝ පත්විය හැකිය.

විමල් වීරසේකර
 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.