ගල්කඩවල මුරපළේ රාජකාරි කරද්දී
වල්අලි ප්‍රහාරයෙන් සිවිල් ආරක්‍ෂක මරුට


අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

විල්පත්තුව ජාතික වනෝද්‍යානය සීමාවේ හොරුවිල, ගල්කඩවල පිහිටි ආරක්‍ෂක මුරපළක ආරක්‍ෂක රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්‍ෂක භටයකු පෙරේදා (24 දා) රාත්‍රි වල්අලි ප්‍රහාරයකින් මරුමුවට පත්වී ඇත.

නොච්චියාගම, හොරුවිල, ගල්කඩවල පදිංචි තිස්‌හය හැවිරිදි තිදරු පියකු වන රනිල් කුමාර හේරත් නමැති අය මෙලෙස මියගොස්‌ ඇත. තවත් සිවිල් ආරක්‍ෂක භටයන් දෙදෙනකු සමග එම මුරපළේ ආරක්‍ෂක රාජකාරියෙහි නිරතව සිටියදී එදින රාත්‍රි 11.30 ට පමණ ඔහු මෙම වල් අලි ප්‍රහාරයට ලක්‌ව ඇති බව මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන නොච්චියාගම පොලිසිය පවසයි. වල් අලි ප්‍රහාරයට ලක්‌ව බරපතල තුවාල ලැබූ සිවිල් ආරක්‍ෂක භටයා ප්‍රතිකාර සඳහා නොච්චියාගම රෝහලට රැගෙන යන අතරතුරදී මියගොස්‌ ඇති බවද පොලිසිය පවසයි.

මේ පිළිබඳ නොච්චියාගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ආර්. එම්. කුමාරසිංහ මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.