මැයි දිනයේ අරමුණ

මිනිස්‌ සංහතියේ, සංවර්ධනයේ දැති රෝද කරකවන්නේ වැඩ කරන ජනතාවයි. එහෙත් සංවර්ධනයේ ප්‍රතිලාභ අහිමි කොටස වන්නේද ඔවුන්ම වීම කෙතරම් අභාග්‍යයක්‌ද? එපමණක්‌ නොව අයිතිවාසිකම් අහිමි කර තිබෙන්නේද ඔවුන්ටමය. තවත් දින කිහිපයකින් ඉක්‌බිතිව මැයි පළමුවැනිදා එළඹෙන ජාත්‍යන්තර කම්කරු දිනය වැදගත් වන්නේ එය වැඩ කරන ජනතාව වෙනුවෙන් වෙන් වූ දිනය නිසා පමණක්‌ නොවේ. ජාතිකවත් ජාත්‍යන්තරවත් පෙළ ගැසී තිබෙන දේශපාලන මැයි දිනය සුවිශේෂී එකක්‌ බවට පත්ව තිබේ.

2011 මැයි දිනය එළඹෙන අවස්‌ථාව වන විට ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව ඉතිහාසයේ පෙර නොවූ විරූ තරමේ ගැටලූ රැසකට මුහුණ දෙමින් සිටිති. ඔවුහු ජීවත්වීම පිළිබඳ අර්බුදයකට මුහුණ දෙමින් සිටිති.

විශේෂයෙන්ම රාජ්‍ය, පෞද්ගලික හෝ වෙනත් වර්ගීකරණයන්ගෙන් තොරව සමස්‌ත වැඩකරන ජනතාවම මුහුණ දෙන බරපතළම ගැටලූව වන්නේ වැටුප් පිළිබඳ ප්‍රශ්නයයි. ආණ්‌ඩුවේම සංඛ්‍යා ලේඛනවලට අනුව එක්‌ පවුලකට අවම ජීවන තත්වයන් යටතේ ජීවත්වීම සඳහා මාසයකට රුපියල් 42,000ක්‌ අවශ්‍ය වේ. එහෙත් රජයේ සේවකයකුගේ අවම වැටුප රුපියල් 11,730ක්‌ වන අතර පෞද්ගලික අංශයේ සේවය කරන්නන්ගෙන් 80%කට වඩා වැඩි පිරිසකගේ වැටුප රුපියල් 8000කට අඩුය. වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 285කි. රුපියල් 42,000ක මුදලකින් ඉටු කර ගත යුතු අවශ්‍යතා ඉටු කර ගැනීමට ඔවුන්ට සිදුව ඇත්තේ එතරම් සොච්චම් මුදලකි.

වැඩ කරන ජනතාවට ජීවත්වීමට සරිලන වැටුපක්‌ දෙනවා තබා ජනාධිපතිවරයා මහා සංඝරත්නය ඉදිරියේ පොරොන්දු වූ රුපියල් 2500 වැටුප් වැඩවිSම හෝ තවමත් ලබා දී නැත. එය ලබා දෙනවා වෙනුවට ආණ්‌ඩුවේ ඇමතිවරු රැවටිලිකාරී සුරංගනා කතා තවදුරටත් තෙපළමින් සිටිති.

රාජ්‍ය අංශයේ වැඩ කරන ජනතාවගේ වෘත්තිය අයිතිවාසිකම් කපා අහිමි කර තිබේ. එමෙන්ම ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇති දේශපාලන පලි ගැනීම්වලද කෙළවරක්‌ නැත. ලක්‌ෂ 65ක්‌ පමණ වන පෞද්ගලික අංශයේ සේවකයින්ට ජීවන අංක දීමනාව පවා ලැබෙන්නේ නැත. ඔවුන්ගේ රැකියා නිතරම පවතින්නේ අවදානම් සහගත තත්වයකය. වතු කම්කරුවන්ගේ තත්වය අතිශයින්ම දුක්‌ඛදායක බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔවුන්ට මිනිසකු ලෙස ජීවත්වීම සඳහා අවශ්‍ය අවම පහසුකම් හෝ ලැබෙන්නේ නැත.

එපමණක්‌ නොවේ, පවුල් ලක්‌ෂ 25ක්‌ පමණ වන ගොවි ජනතාව අද වන විට බහු ජාතික සමාගම්වල වහලූන් බවට පත් කර ඇත. ඔවුන්ගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක්‌ නොලැබෙන අතර ඒ නිසාම අස්‌වනු නෙළන කාලයේදී දිවි නසාගත් ගොවීන් පිළිබඳ සිද්ධීන් ප්‍රවෘත්ති නොවන තරමටම සාමාන්‍ය දේ වී තිබේ. එමෙන්ම අලුත් පරම්පරාව සඳහා ඉඩම් නොමැතිකමේ අර්බුදයද උත්සන්න වී තිබේ. ගොවි පවුල්වල දරුවන්ට පැල්පතක්‌ අටවා ගැනීමටවත් බිම් අඟලක්‌ නැතිව දුක්‌ විඳින අතර ආණ්‌ඩුව රටේ වටිනා ඉඩම් අක්‌කර දහස්‌ ගණනින් බහුජාතික සමාගම්වලට විකුණා දමමින් සිටියි.

මීට අමතරව කිසිදු ආවරණය කිරීමකට හසු නොවන ස්‌වයං රැකියා ආදියෙන් ජීවිතය ගැට ගසා ගන්නා ලක්‌ෂ ගණනක්‌ සිටිති. ඔවුන් පිළිබඳ වගකීම රජය මුළුමනින්ම අත්හැර තිබේ.

වැඩ කරන ජනතාව මුහුණ දෙන ජීවන අර්බුදය තව තවත් උත්සන්න වෙමින් තිබෙන්නේ ආණ්‌ඩුවේ අදූරදර්ශී ආර්ථීක ප්‍රතිපත්ති මෙන්ම අධික ලෙස බදු පැනවීම හේතුවෙන්ය. නිෂ්පාදනය වැඩි කොට එහි ප්‍රතිලාභ ජනතාව අතරේ සාධාරණ ලෙස බෙදී යන ක්‍රමයක්‌ ඇති කිරීමට වත්මන් රාජපක්‌ෂ පාලනයට නොහැකිය. මේ නිසාම, වැඩ කරන ජනතාව පිඩාවට පත්ව සිටින අතරම වාර්ෂිකව ලක්‌ෂ ගණනක්‌ රැකියා විරහිතයින්ගේ පෝලිමේ පසුපසට එක්‌වෙමින් සිටිති. අලුතින් විරැකියා පෝලිමට එක්‌ වන්නන්ට අමතරව දිනපතා දහස්‌ ගණනකට රැකියා අහිමි වෙමින් ඇත.

වරද ඇත්තේ රාජපක්‌ෂ පාලනයේ පමණක්‌ නොවේ. වත්මන් ආණ්‌ඩුවද අනුගමනය කරන ධනවාදී ආර්ථීකයට මීට වඩා වෙනස්‌ ජීවිතයක්‌ ලබා දිය නොහැකිය. ගෙවී ගිය වසර 63 ක කාලය පුරාම ඔප්පු වී ඇත්තේ එයයි. එම කාලය තුළ රට පාලනය කළ ධනපති කල්ලි විසින් විවිධ ආර්ථීක උපක්‍රම, උපාය මාර්ග ක්‍රියාවට නගනු ලැබීය. ඒ සියල්ලේ අරමුණ වූයේ අතලොස්‌සකට වැඩි වැඩියෙන් ලාභ ඉපැයීම හා ජනතාව වැඩි වැඩියෙන් සූරාකෑමය. එසේ නැතිව ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම නොවේ. 1978 ආරම්භ කරන ලද විවෘත ආර්ථීක ප්‍රතිපත්තියත් සමග මේ තත්වය වඩාත් උත්සන්න වී තිබේ.

කොතෙක්‌ දේශප්‍රේමී සළු පිළි දවටා ගත්තද මෙතෙක්‌ රට පාලනය කළ සියලු ආණ්‌ඩුවලට මෙන්ම වත්මන් රාජපක්‌ෂ පාලනයටද තමන්ගේ අධිරාජ්‍ය ගැති නිරුවත සඟවා ගැනීමට නොහැකි වී ඇත.

ශ්‍රී ලංකාවේ අය වැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවන්ට අනුව නිර්මාණය වන විට, ඔවුන්ගේ කීමට අනුව ජනතා සහන කැපෙන විට හොරෙන් බැන්ද වෙස්‌ අනාවරණය වේ. පෞද්ගලික අංශයේ සේවකයින් තුළ තිබෙන විශ්‍රාම වැටුපක්‌ පිළිබඳ සිහිනය දඩමීමා කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත, ඔවුන්ගේ මුදල් කොල්ල කන විට එහි ඇත්තේ අන්කිසිවක්‌ නොව අධිරාජ්‍ය ගැති බවයි. මෙම විශ්‍රාම වැටුපට රජයේ කිසිදු දායකත්වයක්‌ නැත.

කෘෂි කර්මාන්තයේ බීජ, පොහොර, කෘමි නාශක ඇතුළු සියල්ල බහුජාතික සමාගම්වල ඒකාධිකාරයට නතු කිරීම පිටුපස ඇත්තේ අධිරාජ්‍යවාදී වුවමනාව හැර අන් කුමක්‌ද? බීජ ඇතුළු එම අවශ්‍යතා දේශීය වශයෙන් සැපිරීමට පියවර නොගන්නේ අහිංසක අතපසුවීම් නිසා නොවන බව තේරුම් ගත යුතුය.

එපමණක්‌ නොවේ, සංචාරක කර්මාන්තය හා ඊනියා සංවර්ධනය මුවාවෙන් රටේ වටිනා ඉඩම් විදේශ බහුජාතික සමාගම්වලට විකුණා දමමින් සිටීම රාජපක්‌ෂ ආණ්‌ඩුවේ දේශප්‍රේමයට ගැලපෙන සේ විග්‍රහ කරන්නේ කෙසේද? මේ පිටුපස ඇත්තේ ගොවීන් ඉඩම්වලින් එලවා දමා බහුජාතික සමාගම්වල කෘෂිකාර්මික කම්කරුවන් බවට පත් කිරීම බව පැහැදිලිය.

ඒ නිසා කවර වර්ණයකින් පින්තාරු කිරීමට උත්සාහ කළද ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ අධිරාජ්‍ය ගැති ආර්ථීක ප්‍රතිපත්ති මිස අනෙකක්‌ නොවේ. නිදහස්‌ අධ්‍යාපනය අහෝසි කොට අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමත් නිදහස්‌ සෞඛ්‍ය සේවය අහෝසි කිරීමත් වේගයෙන් සිදු වෙමින් පවතී. අයවැය හිඟය පියවා ගැනීමේ අරමුණෙන් ජනතා සහන කප්පාදු කිරීම හා වැඩි වැඩියෙන් බදු පැනවීම සිදුවෙමින් තිබේ.

මේ තත්වය හමුවේ පීඩාවට පත් වන වැඩ කරන ජනතාව සංවිධානය වීමත් පීඩනයට එරෙහිව අරගල කිරීමත් අත්‍යවශ්‍ය දෙයක්‌ බවට පත්ව ඇත. එය පොදුවේ වැඩකරන ජනතාව තේරුම් ගන්නා වේගයට වැඩි වේගයෙන් පාලක පංතිය තේරුම් ගනිමින් සිටියි. ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදු කිරීම හා මර්දනය කැඳවීම පිටුපස ඇති සත්‍ය එයයි.

අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට අදාළ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට පෙර ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්නේ ඒ අනුවය. විශ්වවිද්‍යාල සිසුන් සමාජ දේශපාලන ප්‍රශ්න කෙරෙහි සංවේදී නැති, හුදෙක්‌ පොත් බෑග් පිටේ එල්ලා ගෙන ගොස්‌ දේශනා කටපාඩම් කරන, කොඳු නමාගත් ගිරාපෝතකයින්ගේ තත්වයට පත් කිරීමට දරන උත්සාහය පිටුපස ඇත්තේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීම පමණක්‌ නොවේ. අද වැඩ කරන ජනතාවට නායකත්වය දෙමින් ඔවුන් සමග උරෙන් උර ගැටී අරගල කරන්නේ උගත් බුද්ධිමත් තරුණයින්ය. පාලක පන්තියේ අරමුණ ඒ තත්වය නැති කිරීමයි. තවත් විදියකට කියන්නේ නම් වැඩ කරන ජනතාව පහසුවෙන් ගොදුරු කර ගැනීමට හැකි අනාගතයක්‌ සඳහා පසුබිම සකස්‌ කර ගැනීමයි.

වැඩ කරන ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යවශ්‍යය. zඅපි වවා ගත්තොත් අපට කන්න පුළුවන්Z යන මතයේ සිටින ගොවීන් සිය අස්‌වනු විකුණා ගත නොහැකිව මහ මගට බසින විට, ඔවුන්ගේ හිස්‌ මත පොලිස්‌ බැටන් පොලු පහර පතිත වන විට ප්‍රජාතන්ත්‍රවාදය ජීවත්වීම සඳහා කොතරම් අත්‍යවශ්‍ය දෙයක්‌ දැයි හැඟෙන්නට පටන් ගනී. වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පමණක්‌ නොව ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අරගල කිරීමට ගොවි, කම්කරු, කාන්තා, ශිෂ්‍ය, විශ්වවිද්‍යාල ආචාර්ය, වෘත්තිකයින් ඇතූළු සියලු දෙනාට සිදු වන විට ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් අවශ්‍ය දැයි හැඟෙන්නට පටන් ගනී. ඒ නිසා වැඩ කරන ජනතාව තමන්ගේ වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම උදෙසාද අරගල කළ යුතුය.

2008 ආරම්භ වූ ආර්ථීක අර්බුදය දේශපාලන අර්බුදයත් සමග වෙලී ලොව පුරා පැතිරෙමින් තිබේ. දින පතා දහස්‌ ගණනින් වැඩ කරන ජනතාව එහි ගොදුරු බවට පත් වෙමින් ඇත. ජීවන මාර්ග අහිමි වෙමින් ඇත. ජීවත්වීමේ අයිතිය ඉල්ලා ලොව පුරා ලක්‌ෂ ගණනින් වැඩ කරන ජනතාව සංවිධානය වෙමින් හා අරගල වෙත ප්‍රවේශ වෙමින් සිටිති. ඊජිප්තුවේ හා ටියුනීසියාවේ ආණ්‌ඩු පෙරළා දැමීමට තරම් ඒ ජනතා නැගිටීම බලවත් විය. සාමාන්‍යයෙන් දේශපාලනයට වැඩි සංවේදීකමක්‌ නැති එම රටවල තරුණයින් ජනතා නැගිටීම්වල පෙරමුණ ගෙන සිටීම, අනාගතය පිළිබඳ සුබවාදී අත්දැකීමකි.

එහෙත් ප්‍රශ්නය වන්නේ නැගී සිටින ජනතාවට නිසි නායකත්වයක්‌ නොමැති වූ විට එම ජනතා නැගිටීමද අධිරාජ්‍යවාදීන් තමන්ගේ අරමුණු වෙනුවෙන් යොදා ගැනීමයි. ඊට ඇති එකම විකල්පය වන්නේ නිවැරදි දේශපාලන දැක්‌මක්‌ වටා වැඩ කරන ජනතාව වඩ වඩාත් සංවිධානය වීමය.

අප ජීවත් වන්නේ දිනකට 25000 ක්‌ කුස ගින්නේ මිය යන ලෝකයකය. අධිරාජ්‍යවාදීන්ගේ සම්පත් කොල්ලකෑමේ කෑදරකම නිසාම නිර්මාණය වූ යුද්ධවලින් දිනපතා දහස්‌ ගණනින් මිය යන ලෝකයකය. ලෝකයේ මුළුමහත් ජනතාවටම අවශ්‍ය මූලික පෝෂණය ලබා දීමට වැය කළ යුත්තේ ඩොලර් බිලියන 13 ක්‌ පමණි. සියලු දරුවන්ට මූලික අධ්‍යාපනය සහතික කිරීමට අවශ්‍යවන්නේ ඩොලර් බිලියන 6ක්‌ පමණි. එහෙත් 2010 වසරේ ඇµaගනිස්‌ථාන් යුද්ධයට පමණක්‌ වෙන් කළ මුදල ඩොලර් බිලියන 106.6 කි. අප ජීවත් වන්නේ ඩොලර් බිලියන 13 ක්‌ වැය කොට සියලු මිනිසුන් ජීවත් කළ හැකිව තිබියදී දිනකට 25000 ක්‌ කුසගින්නේ මිය යන අතර මිනිසුන් මරා දැමීමට ඩොලර් බිලියන දහස්‌ ගණනින් වැය කරන ලොවකය. මේ ක්‍රමය වෙනස්‌ කළ යුතු නොවේද?

මේ තත්වය ලෝකයේ පමණක්‌ නොව ශ්‍රී ලංකාව තුළද වෙනසක්‌ නැත. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 60% කටම හිමි වන්නේ ජාතික ආදායමෙන් 18.6% ක්‌ පමණි. එහෙත් අප රටේ පොහොසත්ම 20% ජාතික ආදායමෙන් 52% ක්‌ අත්කර ගෙන සිටියි. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 41% කට වැඩි පිරිසක්‌ දිනකට ලබන්නේ රුපියල් 200 කට ආසන්න ආදායමකි.

වැඩ කරන ජනතාව දිනෙන් දින පීඩාවට පත් වන්නේ ඔවුන් නිෂ්පාදනය කරන ප්‍රමාණයේ හිඟකම නිසා නොව එහි ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදී නොයන නිසා බව මේ අනුව පැහැදිලිය. නිෂ්පාදනය වුවමනා ප්‍රමාණයටත් වඩා ඇත. දැන් අවශ්‍ය වන්නේ එය නිසි ලෙස, සාධාරණ ලෙස ජනතාව අතරේ බෙදී යන ක්‍රමයකි. එවැනි ක්‍රමයක්‌ ඇති කළ හැක්‌කේ සමාජවාදයට පමණි. ලාභය නොව ජනතාව ඉලක්‌ක කර ගත් සංවර්ධනයක්‌ කරා අපේ රට ගෙන යා යුතුය. ජාත්‍යන්තර කම්කරු දිනය සැමරුවා වන්නේ වැඩකරන ජනතාවගේ සැබෑ බලයක්‌ ගොඩනැගීමට අරගල කරන්නේ නම් පමණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.