ඉන්දුලතා සහ සඳවතී රතු ඉද්ද නවකතාවේ ප්‍රධාන චරිත දෙක. ඉන්දුලතා ඉගෙනුමෙහි දක්‍ෂ යුවතිකයක්‌. ගමේ පාසලෙන් පහේ ශිෂ්‍යත්වය සමත් වී ඉහළට ඉගෙනුම ලැබ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. සඳවතී ඉගෙන ගත්තෙත් නෑ. කසාදයක්‌ කෙරුණෙත් නෑ. අම්මාට ඇප උපස්‌ථාන කරමින් ඈ ගෙදරටම වයසට යන්න පටන් ගත්තා.

ඉන්දුලතා එන්.ජී.ඕ. එකකට ඈඳෙනවා. එන්.ජී.ඕ. එක ඇයට පවරන පැවරුම පැළෑටි ශාක බද්ධ කිරීමෙන් අලුත් ගෙඩි සහ මල් නිර්මාණ කිරීම. ඒ අතර සිංහල සහ දෙමළ පවුල් විවාහ කොට සිංහල දෙමළ සංස්‌කෘතික පාලමක්‌ නිර්මාණය කිරීම.

සඳවතී ගහ කොළට බොහොම ආදරෙයි. තාත්තා හිටවපු ඉද්ද ගහ එක්‌ක ඇය උදේ හවස කතා කරනවා. වත්තෙ ගහක්‌ කපන්න ආවොත් ඇය ඔළුව පැලෙන්න පොල්ලකින් ගහනවා.

ඉන්දුලතා සුදු ඉද්ද ගහකින් රතු ඉද්ද මල් සොයා ගැනීමේ පර්යේෂණයක යෙදෙනවා. සඳවතී මේ පර්යේෂණයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. කතාව ගලා යන්නේ මේ සහෝදරියන් පරස්‌පරතාව අතරිනුයි.

සම්මාන ලැබෙන නවකතාවලට එන්.ජී.ඕ. රිංගවා තිබීම එක ලක්‍ෂණයක්‌ නමුත් මේ පොතේ කර්තෘ කරුණාදාස සූරියආරච්චි කියන්නේ තමා තුළ එවැනි අදහසක්‌ නොතිබුණු බවයි. මම බලාපොරොත්තු වුණේ, එන්.ජී.ඕ. එකක්‌ කතාවට බලෙන් ඔබ්බ ගන්න නෙමෙයි. සමාජයේ මේ වගේ දේවල් වෙනව. සමහර එන්.ජී.ඕ. තියෙනව ඒ ගොල්ලො හදනව සිංහල දෙමළ පවුල් කසාද බන්දවලා සිංහල දෙමළ සංස්‌කෘතික පාලම් හදන්න. ඒක බොරු වැඩක්‌. සංස්‌කෘතික සබඳතා බලෙන් හදන්න බෑ. ජාතික සමගිය බලෙන් හදන්න බෑ.

රතු ඉද්ද මල් තියෙද්දී සුදු ඉද්ද ගහකින් රතු ඉද්ද මල් ගන්න බද්ධ කිරීම් වලට යන්නේ මොකටද.

ඒ ඔහුගේ ප්‍රශ්නයයි.

රතු ඉද්ද නවකතාව පුරා ගලා යන්නේ මේ ගැටලුවයි. ඉන්දුලතා සුදු ඉද්ද ගහකට රතු ඉද්ද අත්තක්‌ බද්ධ කරලා රතු ඉද්ද මල් බලාපොරොත්තු වෙනවා,

සඳවතීට පිස්‌සු කියල තමයි හැමෝම කියන්නෙ. නමුත් සඳවතී මේ බද්ධ කරන වැඩේට සපුරා විරුද්ධයි.

නව භෝග රටාවකදී බද්ධ කිරීම උසස්‌ ප්‍රතිඵල ලබා දෙන්නක්‌. තක්‌කාලිත් අර්තාපලුත් බද්ධ කරන්න පුළුවන්. ඉන්දුලතා එවැනි පර්යේෂණයකට අත ගහනවා. නමුත් සඳවතී ඒක විනාශ කරනවා.

මෙවනි විද්‍යාත්මක පසුබිමක්‌ කතාව තුළ තිබෙනවා, ඔබ කතාව ලියන්න කලින් කෘෂිකාර්මික හැදෑරීමක්‌ කළාදැයි අපි කර්තෘගෙන් අසා සිටියා.

මම ජීවිතේ පටන් ගත්තේ කෘෂි විද්‍යා ගුරුවරයෙක්‌ විදියට. ඒ නිසා මේ විෂය මට හුරු පුරුදුයි. ඒ ඔහුගේ උත්තරය.

එහෙම නම් භෝග රටාවේ නව පර්යේෂණ ගැන ඔබ සතුටු විය යුතුයි. නමුත් මේ පොතේ විදියට මල්, පැල, ගස්‌ බද්ධ කිරීම ගැන ඔබේ විරුද්ධත්වක්‌ පේනවා.

සොබා දහමේ රීතිය වෙනස්‌ කරනවට මම විරුද්ධයි. කැලේ සුදු ඉද්ද වගේම රතු ඉද්ද මලුත් තියෙනව නම් ඇයි සුදු ඉද්ද ගහක්‌ බද්ධ කරලා රතු ඉද්ද මල් හොයන්නේ. සොබා දහම ගලා යන්නෙ එක විදියක රිද්මයකට. විද්‍යාඥයො ඒ රිද්මය වෙනස්‌ කරල විශ්මයජනක දේවල් මවන්න හදනව. රතු රෝස වෙනුවට විද්‍යාගාරයක්‌ තුළ කළු රෝස මලක්‌ උපද්දවගන්න පුළුවන්, නමුත් සොබාදහමේ න්‍යාය ඊට වඩා සිත් කළුයි.

ඔබේ සඳවතී අන්තිමට සොබා දහම පිළිගන්න තැනට වැටෙනවා. ඔබට වුවමනා වුණෙත් කතාව ඒ විදියට අවසන් කරන්න වෙන්නැති.

නැහැ මට ඕනෑ වුණේ ඊට වැඩි තැනකට යන්න. දැනුම සහ ප්‍රඥව දෙක දෙකක්‌ කියන අදහස සනාථ කරන්නයි මට ඕන වුණේ. ඉන්දුලතා ඉගෙනීමෙහි දක්‍ෂයි. එන්.ජී.ඕ. එක ඉන්දුලතාව පාවිච්චි කරන්නේ ඇගේ දැනුම හොඳ නිසා. නමුත් ඇයට ප්‍රඥව තිබුණෙ නෑ. ඒ නිසයි ඇය සුන්දරම්ට අහුවෙන්නෙ. එන්.ජී.ඕ. උපක්‍රමව ඉත්තෙකු වෙන්නෙ. නමුත් සඳවතී ප්‍රඥවන්තයි. ඇයට පොත පතේ දැනුම තිබුණෙ නෑ. සමාජය ඇය දකින්නේ පිස්‌සියක්‌ විදියට. සොබා දහම ඉක්‌මවා යැම වරදක්‌ විදියටයි ඇයි දුටුවේ. සුන්දරම් හොරෙක්‌ බව ඉන්දුලතාට කලින් සඳවතීට තේරෙනවා. නමුත් පාඨකයාට මතුවන ප්‍රශ්නය මෙයයි. මහ රෑ කැලෑවේ ඇවිදින ගස්‌ කොලන් සමග මුමුණන සඳවතී පිස්‌සු චරිතයක්‌ නොවේද යන්නයි.

කතුවර කරුණාදාස සූරියආරච්චි ඊට පිළිතුරු දෙනුයේ එය පාඨකයාගේ දැක්‌ම අනුව තීරණය වන්නක්‌ බවයි.

කෙසේ වෙතත් 'රතු ඉද්ද' විමසුමට ලක්‌විය යුතු නවකතාවක්‌. එහි විෂය ක්‍ෂේත්‍රය අද පවතින රාජ්‍ය නොවන සංවිධාන සූක්‍ෂම අයුරින් නොපෙනෙන අයුරින්, කුඩා රටවල ආර්ථිකය හා දේශපාලනය ගිල ගන්නා සැටි දක්‍ෂ තරුණ තරුණියන් ඒ සඳහා යොදා ගන්නා සැටි කදිම ලෙස මෙම නවකතාවෙන් අනාවරණය වෙනවා.

එපමණක්‌ නොවෙයි. සොබා දහම ගැඹුරු ලෙස අනාවරණය කරන නවකතාවක්‌ ලෙසත් 'රතු ඉද්ද' හඳුන්වන්න පුළුවන්.

මෙහි බස හැසිරවීම ගැනත් යමක්‌ කිව යුතුයි. අමාරුවෙන් ආයාසයෙන් ඔහු වචන සොයා ගත්තේ නැහැ. කට වහරත්, ලිත වහරත්, දෙකම ඔහු භාවිත කරනවා. එක්‌ එක්‌ අවස්‌ථා සිද්ධීන් වෙනුවෙන් බස්‌ වහර වෙනස්‌ කරමින් ලිවීමත් කතුවරයා දක්‌වන විශේෂ දස්‌කමක්‌.


චන්දො

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.