ජාත්‍යන්තර වශයෙන් අවුල ලිහාගැනීමද වැදගත් !

ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ බින් ලාඩන් හා ප්‍රභාකරන් යන දෙදෙනාම ලෝකයේ බිහිසුණුම ත්‍රස්‌තවාදීන් ලෙස හඳුන්වා තිබුණත් ඒ ත්‍රස්‌තවාදීන් විනාශ කිරීමට දියත් කළ මෙහෙයුම් පිළිබඳව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර දක්‌වන ප්‍රතිචාර එකිනෙකට පටහැනිය. වෙනත් ආකාරයකින් කියන්නේ නම් බින් ලාඩන් සොයා ගිය මෙහෙයුමේදී ඝාතනයට ලක්‌වූ අහිංසක සිවිල් ජනතාව ලක්‍ෂ ගණන් වුවත් ඒ පිළිබඳ කිසිම ප්‍රශ්නයක්‌ පැන නැගී නැත. ඇමෙරිකාවත් ඔවුන්ට සහාය දෙන බටහිර රටවල් හා නේටෝ සංවිධානයත් මේ වන විට ඇති කර තිබෙන යුද පීඩනය අතිවිශාලය. එහෙත් ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමය පිළිබඳ තොරතුරු රැස්‌කිරීමට එ. ජා. ප මහලේකම් දක්‌වන උනන්දුව බින් ලාඩන් ඝාතනය කිරීමට දියත් කළ මෙහෙයුම සම්බන්ධයෙන් දක්‌නට නැත. තවමත් ඔහු ඒවා පිළිබඳව තමන්ට උපදෙස්‌ ලබා ගැනීමට කමිටුවක්‌ පත් කිරීමට හෝ උනන්දු නොවීමද අප විමසා බැලිය යුත්තකි.

ඇමෙරිකාව ප්‍රසිද්ධියේ ත්‍රස්‌තවාදයට සිය විරෝධය දක්‌වයි. එහෙත් ත්‍රස්‌තවාදය වැළැක්‌වීම සඳහා ඔවුන්ගෙන් ලැබෙන අනුග්‍රහය කුමක්‌ද? ඇමෙරිකාවේ අංක එකේ සතුරා බවට පත්ව ඔවුන්ගේ විශේෂ හමුදා මෙහෙයුමකින් මරා දැමූ බින්ලාඩන්ගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ කෙසේදැයි ලෝකයම දනී. බින් ලාඩන් සොයා ඇෆ්ඝනිස්‌ථානයට කළ විනාශය කොතරම්ද යන්නත් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරම දනී. එසේම අද ලිබියාවේ ඇවිළෙන යුද ගින්නට තෙල් දමන්නේ කවුද යන්නත් රහසක්‌ නොවේ.

මේ කිසිම තැනකදී මානව හිමිකම් කඩවීම් හෝ අන්තර් ජාතිකව පිළිගත් යුද්ධ නීති නොතකා හැරීම් පිළිබඳව හෝ ප්‍රශ්නයක්‌ මතු වී නැත. ඇත්ත වශයෙන්ම වැඩිපුරම අහිංසක සිවිල් ජනතාවක්‌ විනාශ කර ඇත්තේ ඇමෙරිකාව බව ඉතා පැහැදිලිය. බින් ලාඩන්ගේ අවසන් මොහොත පිළිබඳව ලෝකය පුරාම තිබෙන පිළිගැනීම වන්නේ නිරායුධව සිටි බින් ලාඩන් අල්ලා වෙඩි තබා මරා දමා පසුව සිරුරද මුහුදට වීසි කළ බවය. එහෙත් ඒ සිදුවීම් බටහිර මාධ්‍ය වාර්තා කළේ එකම රටාවකටය. ඇතැම් වාර්තාවකින් ප්‍රකාශ වූයේ බින් ලාඩන්ගේ සිරුර මුස්‌ලිම් ජනතාව ප්‍රකෝප කරවන නිමිත්තක්‌ විය හැකිව තිබුණු නිසාම එය මුහුදේ මිහිදන් කළ බවය. ඒ තරම් හාස්‍යජනක හා පිළිකුල්සහගත බොරුවක්‌ මුස්‌ලිම් ලෝකය පිළිගනු ඇතැයි සිතිය හැකිද?

ඇමෙරිකාවේ ත්‍රස්‌තවාදී මර්දන පිළිවෙතට ඉතා පැහැදිලිවම මුහුණු දෙකක්‌ තිබේ. රටක ස්‌වාධීනත්වයට එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාරයක්‌ මර්දනය කිරීම සඳහා බලය යෙදීම සාධාරණත්වය ඉටු කිරීමක්‌ වන්නේ ඇමෙරිකාව සම්බන්ධයෙන් පමණි. අද දැඩි ආන්දෝලනයකට තුඩුදී තිබෙන්නේද ඇමෙරිකාව හිතු මතයට පාකිස්‌ථානයට කඩා වැදී එහි සිටි නිරායුධ මිනිසකු (ත්‍රස්‌තවාදියකු වුවද ඔහු නිරායුධව සිටී නම් අත්අඩංගුවට ගත හැකි නම් ඔහු මරා දැමීම වරදකි.) වෙඩි තබා මරා දැමීමයි. ඊටත් වඩා බරපතල කාරණය වන්නේ ඔහු වෙනුවෙන් ලක්‍ෂ කීයක්‌ මරු තුරුලට ගියේද යන්නයි.

සාධාරණත්වය හා යුක්‌තිය යනු කිසිසේත්ම මිණුම් දඬු කීපයකින් මැන බැලිය යුතු නැත. එසේම එහිදී රාජ්‍යයක විශාලත්වය හෝ ඔවුන් සතු බල පරාක්‍රමය හෝ වැදගත් වන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකාව අද මුහුණදී සිටින ප්‍රශ්නය මේ මුහුණු දෙකත් දෙවිධියක ප්‍රතිචාරත් නිසා ඇති වූවක්‌ නොවේද? ශ්‍රී ලංකාව පමණක්‌ වගකිව යුතු යෑයි හඬ නගන බොහෝ දේ ඊට වඩා විශාල වශයෙන් ඇමෙරිකාව කර තිබේ. එහෙත් එය විමසා බැලිය යුතු හෝ ප්‍රශ්නකාරී හෝ එකක්‌ වී නැත.

එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලය මෙන්ම නේටෝ සංවිධානය පිළිබඳව අප බැලිය යුත්තේ කෙසේද? ඒවා අප වැනි රටවල් දෙස බලන්නේ වත් පොහොසත් කම් ඇති සමහර නෑයින් දුප්පත් නෑයින් දෙස බලන ආකාරයටම නොවේද? එහෙත් ප්‍රශ්නය වන්නේ මේ දෙකටම විරුද්ධව අපට හඬක්‌ නැගිය හැකිද යන්නයි. ඇමෙරිකාවේ සෙවණ ලබන ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඇමෙරිකාව ක්‍රියා කරන ආකාරය අපට පැහැදිලිය. සැබැවින්ම චීනය හා රුසියාව නොවන්නට, ඉන්දියාවද අපට විරුද්ධ නොවන්නට අපගේ ප්‍රශ්නය මීට හාත්පසින්ම වෙනස්‌ වීමට තිබුණි.

ශ්‍රී ලංකාවේ සිටින අප එ. ජා. සංවිධානයට හෝ බෑන් කී මූන්ට කෙබඳු ප්‍රතිචාරයක්‌ දැක්‌වුවත් එයින් සිදුවන බලපෑමක්‌ තිබේද? සත්තකින්ම අපට වුවමනා ලෙස විකල්ප එක්‌සත් ජාතීන්ගේ සංවිධානයක්‌ ගොඩනගා ගත හැකිද? දැනටමත් ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහස වන්නේ මේ ජගත් සංවිධාන සමග අප ගැටුමකට යැම නුසුදුසු බවය. කොමිසමේ අපක්‌ෂපාතී භාවය පිළිබඳව වුවද අප මතු කළ ප්‍රශ්න වැඩක්‌ වී නැත. මේ කොමිටියේ සිටි තිදෙනාම දෙමළ හිතවාදීහු බව සැඟවිය නොහැක.

දරුස්‌මාන්ගේ නායකත්වයෙන් යුතු වාර්තාව එල්. ටී. ටී. ඊ. යටද චෝදනා නගා ඇති බව කියන අයද සිටිති. එහෙත් එල්. .ටී ටී. ඊ. යේ මානව විරෝධී වූද අතිශය බිහිසුණු වූද ක්‍රියාකාරකම්වලින් මෙම කමිටු වාර්තාවට ඇතුළත් වී ඇත්තේ කොතරම් ස්‌වල්ප ප්‍රමාණයක්‌ද? එසේම ඒ බොහෝ තොරතුරු ලබාගත් මූලාශ්‍ර හෝ පුද්ගලයෝ කවරහුද යන්නත් සඳහන්ව නැත. එල්. ටී. ටී. ඊ. ම්ලේච්ඡ ඉතිහාසය පිළිබඳ සියලු තතු මෙබඳු වාර්තාවකින් ඉදිරිපත් විය යුතුව තිබිණි.

එල්. ටී. ටී. ඊ. ය හා කොළඹ පිහිටි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය අතර තිබුණු සුහදතාව පිළිබඳව බොහෝ තොරතුරු තිබේ. ඇත්තටම මෙම කාර්යාලය එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිතෛෂී මිතුරකු ලෙස ක්‍රියා කළ අතර එහි සිටි ඇතැම් නිලධාරීහු කිළිනොච්චිය සිය නිවෙස්‌ බවටද පත් කරගෙන සිටියහ. ඔවුන්ගේ ආධාර, බෙහෙත් මෙන්ම වාහන, හා වෙනත් උපකරණ එල්. ටී. ටී. ඊ.යට ලබා දී තිබුණි. බෑන් කී මූන් මුලින්ම කළ යුතුව තිබුණේ මෙම කොළඹ කාර්යාලයේ භූමිකාව පිළිබඳ වාර්තාවක්‌ ලබාගැනීමය. එහෙත් ඒ සඳහා බෑන් කී මූන්ට අවංක වුවමනාවක්‌ නොවීය.

එල්. ටී. ටී. ඊ. ය වෙනුවෙන් පෙනී සිටි බටහිර මාධ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද අදත් ක්‍රියාත්මක වන්නේ මේ ප්‍රශ්නය විසඳීමට උදව්වීම නොව එය තවත් අවුල් කිරීමටය. ඇත්ත වශයෙන්ම මේවාට පසුගිය කාලය තුළ බටහිරෙන් ලැබුණු මූල්‍යමය ප්‍රතිපාදන පිළිබඳව රජය සොයා බැලිය යුතුය. මේ බොහෝ ආයතන ශ්‍රී ලංකාවේ නිදහසට මෙන්ම පැවැත්මටද කළ හතුරුකම් බොහෝය. මේ ආයතන එසේ ක්‍රියා කළේ ඇයි? අදත් එල්. ටී. ටී. ඊ. යේ ජාත්‍යන්තර ජාලය ක්‍රියාත්මක කිරීමේ මූලික චරිත ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සිටිති. ඇමෙරිකාවේ සිටින රුද්‍රකුමාරන් එයට හොඳ නිදසුනකි.

ශ්‍රී ලංකාවේ විපක්‍ෂවලටද පෙනී යන්නේ රජය බාරේ සිටින කේ. පී. ගැන පමණි. කේ. පී. එසේ රඳවා තබාගැනීම උපක්‍රමයක්‌ පමණක්‌ නොව ඔහුගේ ක්‍රියාකාරකම්ද නතර කිරීමකි. එසේම කරුණා අම්මාන් හා පිල්ලෙයාන් වැනි ප්‍රභාකරන්ගේ සමීපතම සගයන් රජයට සම්බන්ධ කර ගැනීම පිළිබඳවද විපක්‍ෂයේ විවේචන තිබේ. එහෙත් ඒවා හුදු දේශපාලන දෘෂ්ටි කෝණයෙන් පමණක්‌ බලා කෙරෙන විවේචන මිස ඵලදායි ඒවා නොවේ.

අනෙක්‌ අතට දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති මහින්ද දරන අවංක උත්සාහයද ඉතා වැදගත් පියවරකි. අවාසනාවකට මෙන් දෙමළ සන්ධානයත් දැන් බෑන් කී මූන් වාර්තාවේ එල්ලී සිටියි. මෙය බටහිර දෙමළ ඩයස්‌ පෝරාවේ අභිමතය ජයග්‍රහණය කිරීමකි. ඇත්තටම මේ දෙමළ ඩයස්‌ පෝරාව මේ ප්‍රශ්නයට කරන බලපෑම නිසා වඩාත් දුක්‌ විඳින්නේ අහිංසක දෙමළ සාමාන්‍ය ජනතාවයි. තවත් වැදගත් කරුණක්‌ වන්නේ ජාත්‍යන්තර දෙමළ ක්‍රියාකාරීන්ගේ පැවැත්ම ර¹ පවතින්නේද මේ ප්‍රශ්නය නොවිසඳී තිබෙන තාක්‌ පමණි.

බටහිර රටවල පුරවැසිභාවය ලබා සිටින මේ දෙමළ සම්භවයක්‌ සහිත අයගෙන් වැඩිදෙනකුට පසුගිය දශක තුනකටත් වැඩි කාලයක්‌ තුළ ශ්‍රී ලංකාව සමඟ කිසිදු සබඳතාවක්‌ද නැත. එහෙත් ඔවුහු තම වර්ගයාට ශ්‍රී ලංකාව තුළ සිංහලයන් සමඟියෙන් හා සාමයෙන් ජීවත්වීමට ඉඩ නොදෙන්නෝය. ඇත්තටම මේ රටේ සාමාන්‍ය දෙමළ ජනතාව අතරට නොගොස්‌ ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු ගැන සම්පූර්ණ අවබෝධයක්‌ ලබාගත හැකිද? මේ රටේ සිටින සිංහල, දෙමළ මුස්‌ලිම් යන වර්ගවලට අයත් ජනතාවට තමන්ගේ ජාතික හා සංස්‌කෘතික අනන්‍යතාව සුරැකෙන ජීවිතයක්‌ නිර්මාණය වූ පසු මේ අර්බුදය ඉදිරියට ගෙන යා නොහැකි බවද ඔවුහු දනිති.

දේශපාලන බලය බෙදීම යන්න පුළුල් මාතෘකාවකි. එහෙත් එමගින් කෙරෙන අර්ථ නිරූපණය කුමක්‌ද? කොළඹ ජීවත්වන දෙමළ ජාතිකයකුට උතුරට හෝ නැගෙනහිරට ලැබෙන පොලිස්‌ බලයකින් ප්‍රයෝජනයක්‌ තිබේද? බොහෝ දෙනෙක්‌ නගන තර්කයක්‌ නම් දෙමළ ජනතාව සිය ආරක්‍ෂක භූමිය ලෙස පිළිගන්නේ යාපනය බවය. මෙය ඇත්තම නොව ඇත්ත ඇසුරෙන් උපන් බොරුවකි. 1983 කළු ජූලිය අප මුහුණදුන් ඉතා අමිහිරිම අත්දැකීමකි. ඒ වෛරය ප්‍රභාකරන්ගේ ගමන ශක්‌තිමත් කිරීමට වුවමනා බලය සපයා දුන් බවද ඇත්තය. එහෙත් දැන් අප ඒවා විමසා බැලිය යුතුය.

අද බටහිර රටවල සිටින හා ඒවායේ ජීවත්වන දෙමළ ජනතාවට ඒ රටවල තිබෙන හිමිකම කුමක්‌ද? ඔවුන්ට ඔවුන්ගේ භාෂාව, සංස්‌කෘතිය හෝ අනන්‍යතාවක්‌ තිබේද? දෙමළ භාෂාව ලිවීමට තබා කතාකිරීමට හෝ නොදන්නා පරපුරක්‌ අද ඒ රටවල සිට ලංකාවට විරුද්ධව පෙළපාළි යති. ශ්‍රී ලංකාවේ ජීවත්වන දෙමළ හෝ මුස්‌ලිම් ජනතාවට අහිමි කළ හෝ අහිමිවී ගිය වරප්‍රසාද අද ලැබෙමින් පවතින බවද නොරහසකි. දෙමළ භාෂාව ක්‍රියාත්මක වීමේ අඩුපාඩු තිබේ. එහෙත් ඒවා නිවැරැදි කරගත හැකි දේවල්ය. එහෙත් යාපනය ඊළාම් නගරයක්‌ බවට පත් කර ගැනීමේ ආශාව තවමත් සමහර දෙමළ නායකයින්ගේ සිත්වල ඉතිරිව තිබේ. උතුරේ ජනතාව සමඟ සිංහල ජනයා මිශ්‍රවීම නොඉවසන අයද සිටිති. එබඳු සංවිධාන ජාතික සමගිය වෙනුවට ජාති වර්ග ලෙස බෙදීමේ කටයුතු සාර්ථකව කර ගෙන යන බවද නොරහසකි. යාපනයේ සාම්ප්‍රදායික දෙමළ ජනජීවිතය ශුද්ධ වස්‌තුවක්‌ ලෙස සුරැකිය යුතු බව කියන අයද සිටිති. සත්තකින්ම හේතු වුවමනා ඔවුන්ටය.

තිස්‌ වසරක්‌ ඉක්‌මවූ යුද්ධයත් එහි දුෂ්කරම ප්‍රතිවිපාකත් සමඟ ජීවත් වූ ජනතාව වෙතට නිදහස ගලා යා යුතුය. ඔවුන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්වීමට සුදුසු වාතාවරණයක්‌ද නිර්මාණය විය යුතුය. දරුස්‌මාන් වාර්තාවේ සඳහන් වන්නේද එල්. ටී. ටී. ඊ. ය සිය ඊළාම් රාජ්‍යය බිහි කිරීම සඳහා දෙමළ සිවිල් ජනතාව කෲර ලෙස යොදාගත් බවය. අවසන් මොහොතේදීත් එල්. ටී. ටී. ඊ. ය සිවිල් ජනතාව එහි රඳවා ගැනීමට දැරු තැත ඉතා ප්‍රකටය. මේ පිළිබඳව දරුස්‌මාන් වාර්තාවේද සඳහන් වී තිබේ.

කෙසේ හෝ මෙම වාර්තාව නිල ලේඛනයක්‌ ලෙස පිළි නොගත්තත් රජය එයට බුද්ධිමය ලෙස ප්‍රතිචාර දැක්‌වීමේ අවශ්‍යතාව අද වටහාගෙන තිබීම හොඳය. වාර්තාව ඒකපාක්‌ෂිකව ලියූ බව ඇත්තය. එහෙත් ඒවායේ සඳහන් කරුණු දැන් ශ්‍රී ලංකාවට විරුද්ධව ක්‍රියාත්මක වන බලවේගවලට හා කණ්‌ඩායම්වලට හොඳ උත්තේජනයකි. බෑන්කී මූන්ගේ මැදිහත්වීම නිසා එයට කිසියම් පිළිගැනීමක්‌ද ලැබීම නොවැළැක්‌විය හැකිය.

මහාචාර්ය ජී. එල්. පීරිස්‌. විදේශ ඇමැතිවරයා මේ ප්‍රශ්නය සැහැල්ලුවට නොගත් බව පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැති ජනපති හා කතු හමුවේදී පැවැසුවේය. අසුබවාදී ලෙස හා පරාජිත දෘෂ්ටි කෝණයකින් ඒ දෙස බැලීම වෙනුවට ජාත්‍යන්තර තලයේ එයට බුද්ධිමය පිළිතුරු ලබා දීමේ අවශ්‍යතාව ඔහු කියා සිටියේය. මේ ප්‍රශ්නයේදී අපට සහාය දැක්‌වීමට ප්‍රමාණවත් පිරිසක්‌ සිටින බවද ඔහු කියා සිටියේය.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරයන්ට පිළිතුරු දීමට අප කලබල විය යුතු නැතැයි කියන අයද සිටිති. එහෙත් මේ ලියෑවිල්ලෙන් මතු කෙරෙන චෝදනා මෙන්ම යුද්ධයේ අවසන් කාලය පිළිබඳවද සම්පූර්ණ වාර්තාවක්‌ අප සතු විය යුතුය. එය අපට චෝදනා නගන අයට පිළිතුරක්‌ පමණක්‌ නොව අපගේ ක්‍රියාදාමය පිළිබඳ නිවැරැදිම තක්‌සේරුවක්‌ද වනු ඇත. ඒ කාර්යය සාර්ථකව කළ හැකි වන්නේ රජය විසින් පත් කරන ලද සංහිඳියා කමිටුවටය. මේ කමිටුව මගින් ඉදිරිපත් කරනු ලබන වාර්තාව නිසැකයෙන්ම ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය ලේඛන ගත කිරීමක්‌ බවට පොදු හැඟීමක්‌ ඇති වුවහොත් එය රජය මෙන්ම රටක්‌ වශයෙන් අප ලබන ජයග්‍රහණයක්‌ද වේ.

ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ දුෂ්ට අරමුණ දෙමළ ඩයස්‌ පෝරාවට, රාජ්‍ය නොවන සංවිධානවලට මෙන්ම වෙනත් අයටද තිබේ. මේ හැම කෙනකුටම වුවමනා වූයේද යුද්ධයයි. යුද්ධය කෝටි ගණනින් ධනය උපයා ගැනීමේ මාර්ගයක්‌ බවටද පත්ව තිබුණේ ඉහත කී පිරිස්‌වලටය.

ශ්‍රී ලංකාවේ යුද වියදම් හා මෙහෙයුම් පාරිශුද්ධ එකක්‌ බව කීමටද මම ඉක්‌මන් නොවෙමි. එහෙත් එය ඕනෑම යුද්ධයකදී සිදුවිය හැකි හානිය පමණක්‌ නොව නාස්‌තියද සමඟ අවසන් වූ බව අප පිළිගත යුතුය. එල්. ටී. ටී. ඊ. භීෂණයට එරෙහිව වචනයක්‌ හෝ ප්‍රකාශ නොකළ අය රජයේ හමුදා ජීවිත පරිත්‍යාගයෙන් කළ සැබෑ සටන දෙස බැලූ ආකාරයද අපට මතකය.

මේ විනාශයේ ප්‍රතිඵල හුදෙක්‌ උතුරට හෝ දෙමළ ජනතාවට පමණක්‌ සීමා වූයේද නැත. යුද්ධය වෙනුවෙන් වැය වූ ජීවිත අතර ආරක්‍ෂක අංශවල කොපමණ පිරිසක්‌ සිටිත්ද? තරුණ කාලයේම වැන්දඹුවන් බවට පත්වූ අය කොපමණ සිටිත්ද? යුද ජයග්‍රහණය ඒ හදවත් තුළ සතුට මෙන්ම සදාකාලික වේදනාවක්‌ද ඉදිරිපත් කර තිබේ. අංගවිකලත්වයට මෙන්ම වෙනත් විවිධ පීඩාවලට ලක්‌වූ තරුණ ජීවිත මේ යුද්ධය අපට උරුමකර තිබේ. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වරක්‌ අප සමඟ කීවේ ආබාධිත රණවිරුවන් විසින් අපට සිහිපත් කර දෙන වේදනාබර අතීතය අද බොහෝදෙනකුට අමතක වීම කනගාටුවට කරුණක්‌ බවය. යුද අනාථයන්ට රැකවරණය දිය යුතු අතරම මේ ජීවිත පිළිබඳවද අප වගකීමෙන් ක්‍රියා කළ යුතුය. මේ සොල්දාදුවන් තම ජීවිත කැප කළේ උපන් බිම වෙනුවෙන්ය. එල්. ටී. ටී. ඊ. බෝම්බ, වෙඩි වරුසාවලින් යාන්තම් ජීවිත ගලවා ගත් මේ අයට ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන අපේ ආරක්‍ෂක හමුදා කුලී සේවකයින් ලෙසද හැඳින්වීය. එහෙත් ඒ අවමානය කරන අයට වුවද අද නිදහසේ යුද අපරාධ ගැන ලිවීමට හෝ හැකි වූයේ ඔවුන්ගේ කැපවීම නිසාය. දරුස්‌මාන් වාර්තාවේ එල්. ටී. ටී. ඊ. යේ විනයක්‌ ගැනද සඳහන් වේ. එබඳු නිගමනයකට දරුස්‌මාන් කමිටුව එන්නේ කවර හේතු යුක්‌තියක්‌ අනුවද?


මේඝ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.