සරසවි ඇදුරු අරගලය හා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ

සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය අද සමාජයේ අවධානය දිනාගත් අරගලයක්‌ බවට පත්ව තිබේ. එය වැදගත් වන්නේ වෘත්තිය අරගලයක්‌ යන අර්ථයෙන් පමණක්‌ නොවේ. ඊට වඩා සමාජ අවධානයට පාත්‍ර විය යුතු දේශපාලන ගැඹුරක්‌ එහි තිබේ. වත්මන් රාජපක්‌ෂ පාලනය කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳවත් වත්මන් පාලනය විසින් ක්‍රියාත්මක කරනු ලබමින් සිටින ධනපති ක්‍රමයේ නොහැකියාව පිළිබඳවත් තේරුම්ගත හැකි කරුණු එහි අන්තර්ගතය.

සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය අද ඊයේ හදිසියේ ඇති වූවක්‌ නොවේ. ආණ්‌ඩුව කියනා තාලයට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්‌ද නොවේ. ඔවුන්ට අවසන් වරට වැටුප් වැඩිවීමක්‌ ලබා දී තිබෙන්නේ 1996 වර්ෂයේදීය. 2006 දී ආණ්‌ඩුව කළේ එතෙක්‌ 30% ක්‌ව තිබූ අධ්‍යයන දීමනාව 25% දක්‌වා අඩු කොට මූලික වැටුපට එකතු කිරීමයි. ඒ හැරෙන්නට ගෙවී ගිය වසර 15 ක කාලය තුළ සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි වී නැත. එහෙත් 2001 වසරට සාපේක්‌ෂව මේ වසර වන විට ජීවන වියදම දෙගුණයකටත් වඩා ඉහළ ගොස්‌ තිබේ. ඒ නිසා ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙර සරසවි ආචාර්යවරුන්ගේ පමණක්‌ නොව සියලුම සේවකයින්ගේ වැටුප් වැඩි කළ යුතුව තිබේ.

සරසවි ආචාර්යවරුන් මුලින්ම වැටුප් වැඩිවීමක්‌ ඉල්ලා සිටියේ 2007 වසරේදීය. එහෙත් ආණ්‌ඩුව එය සැලකිල්ලට ගත්තේ නැත. එම ඉල්ලීම නොසලකා සිටි ආණ්‌ඩුව ඉන් පසුව කටයුතු කළේ කෙසේද?

1. 2008 ජනවාරි 31 වැනිදා ජනාධිපතිවරයා හා සරසවි ආචාර්යවරුන් අතර සාකච්ඡාවක්‌ පැවැත් වුණු අතර මාස තුනක්‌ තුළ ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පොරොන්දු විය. එම පොරොන්දුවේ අරමුණ ආණ්‌ඩුවේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන්වලට සරසවි ආචාර්යවරුන්ගේ සහාය ලබා ගැනීම බව දැන් පැහැදිලිය.

2. 2009 මාර්තු 24 වැනිදා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවෙන් සරසවි ආචාර්යවරුන් වෙත ලිපියක්‌ ලැබිණි. ඒ වන විට ජනාධිපතිවරයා ලබා දුන් මාස තුනෙන් වැටුප් වැඩි කරන පොරොන්දුවට මාස 14 ක්‌ ගත වී තිබිණි. එම ලිපිය මගින් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව යළිත් පොරොන්දු වූයේ මාසයක්‌ තුළ ගැටලුව විසඳන බවයි. සරසවි ආචාර්යවරුන් සඳහා ගැලපෙන වැටුප් ව්‍යුහයක්‌ සකස්‌ කරන බවත් ඊට ප්‍රමුඛතාව දෙන බවත් එම පොරොන්දුවට අන්තර්ගත විය.

3. එම, මාසයේ පොරොන්දුවට මාස අටක්‌ ගත වූ පසුව එනම් 2009 දෙසැම්බර් 09 වැනිදා බැසිල් රාජපක්‌ෂ මහතා සරසවි ආචාර්යවරුන් හමු විය. කඩිනමින් වැටුප් වැඩිවීමක්‌ ලබා දෙන බවත් එපමණක්‌ නොව, අධ්‍යයන දීමනාව දෙගුණයක්‌ කරන බවත් එහිදී ඔහු යළිත් පොරොන්දුවක්‌ ලබා දුන්නේය.

4. 2010 ජූලි 20 වැනිදා ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභික අනුර දිසානායක සහෝදරයා සරසවි ආචාර්ය වැටුප් ප්‍රශ්නය පාර්ලිමේන්තුව හමුවට ගෙන ගියේය. ඒ අවස්‌ථාවේදී උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක මහතා පැවසුවේ රුපියල් 20,750ක්‌ වූ ආධුනික කථිකාචාර්යවරයකුගේ අවම වැටුප රුපියල් 72,000 ක්‌ දක්‌වාත් රුපියල් 57,755 ක්‌ වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ අවම වැටුප ලක්‌ෂ දෙකක්‌ දක්‌වාත් වැඩි කරන බවයි.

මේ ගෙවී යන්නේ 2011 වර්ෂයේ මැයි මාසයයි. මේ වන විට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ මාස තුනේ පොරොන්දුවට මාස 39 කුත් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ මාසයේ පොරොන්දුවට මාස 25 කුත් බැසිල් රාජපක්‌ෂ මහතාගේ පොරොන්දුවට මාස 16 කුත් ගත වී තිබේ. එස්‌. බී. දිසානායක මහතා පාර්ලිමේන්තුව හමුවේ දුන් පොරොන්දුවට මේ වන විට මාස 08 ක්‌ ගත වී තිබේ. ගරු ඇමතිවරුනි, ආණ්‌ඩුවේ කැළැන්ඩරයේ මාසයකට දින කීයක්‌ තිබේද?

සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය තවත් එක්‌ වෘත්තිය අරගලයකට සීමා වූවක්‌ නොවේ. රටේ බුද්ධිමතුන් සේවය කළ යුතු ප්‍රධාන ස්‌ථාන කිහිපය අතරින් එකකි, ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය. උදාහරණයක්‌ ලෙස හසල අත්දැකීම් හා දැනුම ඇති ඉංජිනේරුවකු ජාතික නිෂ්පාදනයට විශාල දායකත්වයක්‌ දක්‌වයි. එහෙත් එවැනි අයකු සරසවි ආචාර්යවරයකු ලෙස සේවය කරන්නේ නම් ඔහු එවැනි ඉංජිනේරුවන් විශාල පිරිසක්‌ බිහි කරයි. සරසවි ආචාර්යවරයකු රටේ සංවර්ධනයට අවශ්‍ය මානව සම්පත් බිහි කරයි. එබැවින් වඩාත් වැඩි දැනුම් සහිත, අත්දැකීම් සහිත පුද්ගලයින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය වෙත ආකර්ශනය කර ගැනීම අනාගතය ගැන දැක්‌මක්‌ ඇති ආණ්‌ඩුවක වගකීම වේ. ශ්‍රී ලංකා රුපියල්වලින් ගතහොත්, ඉන්දියාව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුට රුපියල් 1,17,682 ක වැටුපක්‌ ගෙවන්නේත් පාකිස්‌තානය රුපියල් 2,37,272 ක වැටුපක්‌ ගෙවන්නේත් ඒ නිසාය. එහෙත් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ වැටුප රුපියල් 57,755 කි.

සැබවින්ම සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද? රාජපක්‌ෂ ආණ්‌ඩුව කවර දේශප්‍රේමි සීතාම්බර සළු පටලවා ගෙන සිටියද, එසේ සිටීමට කොතරම් උත්සාහ කළද අධිරාජ්‍ය ගැති ආණ්‌ඩුවකි. රාජපක්‌ෂ මහතාද ක්‍රියාත්මක කරමින් සිටින්නේ ලෝකය තුළ වේගයෙන් ගරා වැටෙමින් තිබෙන ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්ති මිස අනෙකක්‌ නොවේ. අද ශ්‍රී ලංකාවේ යම් තාක්‌ දුරකට හෝ ආරක්‌ෂා වී තිබෙන නිදහස්‌ අධ්‍යාපනය හා නිදහස්‌ සෞඛ්‍ය සේවය විනාශ කොට ඒ වෙනුවට zඅධ්‍යාපන කඩZ හා zරෝහල් කඩZ ඇති කිරීම ආණ්‌ඩුවේ අපේක්‌ෂාව වී තිබේ. එය ආණ්‌ඩුවේ අපේක්‌ෂාවක්‌ පමණක්‌ නොව ශ්‍රී ලංකාවට ණය දෙන අධිරාජ්‍යවාදී ආයතනවල කොන්දේසියක්‌ද වේ. ආණ්‌ඩුව දැවැන්ත ශිෂ්‍ය මර්දනයක්‌ දියත් කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරමින් සිටින්නේ ඒ නිසාය. එම කොන්දේසි ඉටු කිරීම සඳහාය.

ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ස්‌වාභාවික මරණයක්‌ අත්කර දී, දුප්පත් දෙමාපියන්ගේ දූ දරුවන්ට උසස්‌ අධ්‍යාපනය ලැබීමට ඇති අවස්‌ථා අහිමි කිරීමට ආණ්‌ඩුව උත්සාහ කරමින් සිටී. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය වෙනුවට විදේශීය සමාගම් විසින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට දිරි දෙමින් සිටී. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය බිඳ වැට්‌ටවීම සඳහා කළ හැකි හොඳම දේ එහි ආචාර්ය හිඟයක්‌ ඇති කිරීමත් සම්පත් හිඟයක්‌ ඇති කිරීමත් අධ්‍යාපනය ලැබීමට නුසුදුසු තත්වයක්‌ ඇති කිරීමත්ය. විවිධ බොරු පොරොන්දු ලබා දෙමින්, ආචාර්යවරුන්ට තවදුරටත් විශ්වවිද්‍යාලවල ඉගැන්වීම එපා කරවන කලකිරවන තත්ත්වයක්‌ ඇති කරමින් සිටින්නේ ඒ නිසාය. එමෙන්ම, ආචාර්ය වෘත්තියට දෙන වැටුප අඩු මට්‌ටමක පවත්වාගෙන යාමෙන් සිදු වන්නේ උගතුන් වෙනත් ක්‌ෂේත්‍රවල රැකියා සඳහා යොමු වීමයි. එමගින්ද ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය බිඳ වැටීමට ලක්‌ වේ.

ඇමැති ධුර නොලැබූ ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහන මිලදී ගැනීමට රුපියල් කෝටි 148 ක්‌ නාස්‌ති කළ හැකි, ජනාධිපති ලේකම් කාර්යාලයට වාහනයක්‌ මිලදී ගැනීමට රුපියල් මිලියන 200 කට වඩා වියදම් කළ හැකි ආණ්‌ඩුවට සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට මුදල් නැතැයි කීම පිළිගත හැක්‌කක්‌ නොවේ. ඒ නිසා සරසවි ආචාර්යවරුන්ගේ වැටුප වැඩි නොකරන්නේත්, ඔවුන් ජනතාවගේ අප්‍රසාදයට පත් කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් විවිධ අවලාද ගොඩනගන්නේත් සැලැස්‌මකට අනුව බව පැහැදිලිය. ඒ නිසා සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය ඔවුන්ගේ ප්‍රශ්නයක්‌ පමණක්‌ නොව නිදහස්‌ අධ්‍යාපනය ලැබූ හා ලබන සියලු දෙනාගේත් තමන්ගේ දරුවන්ට නිදහස්‌ අධ්‍යාපනය ප්‍රතිලාභ උරුම කර දීමට අපේක්‌ෂාවෙන් සිටින සියලු දෙමාපියන්ගේත් අරගලයක්‌ විය යුතුය.

ආණ්‌ඩුව මේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ අධිරාජ්‍යවාදයේ වුවමනාවයි. එය පරාජය කළ යුතුය.

විපක්‌ෂයට දේශපාලනය කිරීමට ඇති ඉඩ අහුරමින්, ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරමින්, යුද්ධය නිසා අවතැන් වූ උතුරේ වැසියන් නිසි පරිදි යළි පදිංචි නොකරමින් හා ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදයත් දේශපාලන නිදහසත් ලබා නොදෙමින්, අත්අඩංගුවේ සිටින දෙමළ තරුණ තරුණියන් පිළිබඳ තොරතුරු හෙළි නොකරමින්, තවදුරටත් හදිසි නීතිය ඇතුළු මර්දනකාරී නීති පවත්වාගෙන යමින්, මාධ්‍ය මර්දනය කරමින්, මානව හිමිකම් උල්ලංඝනය කරමින් බෑන් කී මූන් හරහා එන අධිරාජ්‍යවාදයට ඉඩ විවෘත කරන ආණ්‌ඩුව නිදහස්‌ අධ්‍යාපනය අහෝසි කොට අධ්‍යාපනය මුදලට විකුණන හා මිලදී ගන්නා දෙයක්‌ බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු ආයතන හරහා එන අධිරාජ්‍යවාදී මැදිහත්වීම දෝතින් පිළිගනිමින් සිටී. පුහු වීරත්වය හා ජනප්‍රියත්වය තකා බෑන් කී මූන් හරහා එන අධිරාජ්‍යවාදී මැදිහත්වීමට සිංහලෙන් විරුද්ධ වී ඉංග්‍රීසියෙන් දණ ගසන ආණ්‌ඩුව මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි අධිරාජ්‍යවාදී ආයතන හරහා එන නියෝග හොර රහසේ කුමන්ත්‍රණකාරීව ක්‍රියාත්මක කරමින් සිටී. ආණ්‌ඩුවේ පරස්‌පරය එයයි.

සමාජවාදය යටතේ උගතුන්ට සලකන්නේ කෙසේදැයි උදාහරණයක්‌ දක්‌වමින් මෙම ලිපිය අවසන් කිරීම සුදුසු යෑයි සිතමි. පළමු වැනි ලෝක යුද්ධයෙන් සෝවියට්‌ දේශයට විශාල හානියක්‌ සිදු විය. ඒ සමගම ක්‍රියාත්මක වූ සිවිල් යුද්ධයද රුසියාවේ ආර්ථිකය විශාල වශයෙන් බිඳ වැට්‌ටවීමට සමත් විය. ඒ නිසා ලෙනින්ගේ නායකත්වයෙන් යුතු සෝවියට්‌ සමාජවාදී පාලනයට සිදු වූයේ ජනතාවට ආහාර සලාකයක්‌ බෙදා දීමටයි. එම ආහාර සලාකය බෙදා දීමේදී විද්‍යාඥයින් හා උගතුන් සම්බන්ධයෙන් විශේෂත්වයක්‌ සිදු කරන ලදී. එනම් ඔවුන්ට ආහාර සලාක දෙක බැගින් ලබා දීමයි. හරි පාර එයයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.