ශ්‍රී ලංකාවේ බෝධි වන්දනාව හා බෝධිඝර

පසුගිය සතියෙන්...

බෝධිඝර ඇතිවීම

පූජනීය වෘක්‍ෂයක්‌ ලෙස ඇසතු ගසක්‌ වටා වේදියක්‌ ඉදිකිරීම පිළිබඳ පැරැණිතම සාධකය ක්‍රි. පූ. 3000 දී පමණ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් අනාවරණය වුවත් ඒ වෘක්‍ෂ දේවතාවන් පිළිබඳ විශ්වාසයකින් යුක්‌ත ඇදහිල්ලක්‌ අනුව කරන ලද්දකි. බුදුන් වහන්සේ සංකේතවත් කරමින් උන්වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමට පිට දුන් බෝධියට වන්දනා කිරීම බුදුන් වහන්සේ ජීවමාන කාලයේ සිටම සිදු වූ බව ඡේතවනාරාම ආනන්ද බෝධි කථා පුවතින් හෙළි වේ. බුද්ධ පරිනිර්වාණයෙන් සියවස්‌ දෙක තුනක්‌ ගතවෙත්ම බෝධි වන්දනාව භාරතයේ ජනප්‍රිය වී තිබූ ආකාරය සාංචි භාර්හුත් ආදියේ ඇති බෝධිඝර කැටයම් තුළින් පැහැදිලි වේ. අමරාවතී මථුරා ආදියත් සමඟ මෙම කැටයම්වල බෝධිඝර 11 ක රූප දක්‌නට ඇත. සාංචියෙන් හතරක්‌ද, භාරුත්වලින් තුනක්‌ ද, මථුරාවෙන් දෙකක්‌ හා අමරාවතියෙන් දෙකක්‌ වශයෙනි. එයින් භාරුත් කැටයම් කල්කටා කටුගෙයි ද, අමරාවතී කැටයම් මදුරාසි කටුගෙයි ද ප්‍රදර්ශනයට තබා ඇති අතර සාංචි හා භාරුත් කැටයම් තවමත් එකී ස්‌ථානවලම ඇත.

මෙම කැටයම්වල මැනවින් සංවර්ධනය වූ බෝධිඝරවල රූප දක්‌නට ඇතත් ඒවා බුද්ධ කාලයට අයත් බෝධිඝර ද නොඑසේ නම් කැටයම්කරණය සිදු වූ කාලයේ දක්‌නට ලැබුණ බෝධිඝරදැයි නිශ්චිත ව දැක්‌වීම අපහසුය. කලාකරුවන්ගේ නිර්මාණවලට සමකාලීන සමාජයේ දක්‌නට ලැබෙන ලක්‍ෂණ ඇතුළත් වන බවට ඇති ප්‍රබල සාක්ෂියක්‌ වශයෙන් 18 - 19 සියවස්‌වල මෙරට විහාර බිතු සිතුවම් පෙන්විය හැකිය. දෙගල්දොරුව වියන් සිතුවමේ බුදුන් වහන්සේගේ මාර පරාජය දැක්‌වීමේදී මාර භටයන් තුවක්‌කු රැගෙන සිටීමත්, කරගම්පිටිය විහාරය ඇතුළු පහතරට විහාරවල සුද්ධෝදන රජුගේ මාලිගය දැක්‌වීමේ දී රජ පවුලේ අයගේ ඇඳුම් යුරෝපීය ලක්‍ෂණ ගෙන තිබීමත් දැක්‌විය හැකිය. මේ අනුව ඉහත කී බෝධිඝර කැටයම්වල දක්‌නට ඇත්තේ ඒවා නිර්මාණය වූ කාලවලදී එම ශිල්පීන් දැක තිබූ බෝධිඝර වීමට ද ඉඩ ඇත. එසේම වඩාත් විචිත්‍ර කොට නිරූපණය කර ඇති සාංචි ආදී සමහර බෝධිඝර කැටයම් සත්‍ය වශයෙන් ම තිබූ ඒවා ද නො එසේ නම් කලාකරුවා විසින් කරන ලද කලාත්මක නිර්මාණ ද යනු ප්‍රශ්නයකි. මෙම විචිත්‍ර ලක්‍ෂණ අතහැර දැමුවද මේ ශිල්පීන්ට බෝධිඝර පිළිබඳ අවබෝධයක්‌ තිබූ බව පැහැදිලි වේ.


බෝධිඝර නිර්මාණයේ අවශ්‍යතාව

රීස්‌ ඩේවිඩ්ස්‌ පඬිවරයා සඳහන් කළාක්‌ මෙන් බෝධි වන්දනාව තුළින් නිරූපණය වන්නේ වෘක්‍ෂ වන්දනාව නොව ශාස්‌තෘන් වහන්සේට වන්දනා කිරීමකි. ශාස්‌තෘන් වහන්සේගේ රූපය ප්‍රතිමාවක්‌ වශයෙන් නිර්මාණය නොකළ මුල්ම අවධියේ උන්වහන්සේ දැක්‌වීම සඳහා යොදා ගත්තේ විශේෂයෙන් ම උන්වහන්සේ වැඩ සිටි වජ්‍රාසනය හෝ සිරිපතුල් ගල් යුගය බව සාංචි භාර්හුත් කැටයම්වලින් අනාවරණය වේ. ඒවායේ ඇති කැටයම්වල බෝ රුක යට ඇති ආසනයෙන් වජ්‍රාසනය නිරූපණය කෙරෙන අතර ඒ මත රූපයෙන් දක්‌වා නැතත් බුදුන් වහන්සේ වැඩ සිටින බව දැක්‌වීමට මිනිසුන් මල් පුදා නමස්‌කාර කරන අයුරු දැක්‌වීමෙන් පෙන්නුම් කරයි. එසේ බුදුන් වහන්සේ සංකේතවත් කළ පල්ලංකයට (බුදුන් වහන්සේට) ගෞරව කිරීමටත්, අව් වැසි ආදියෙන් ආරක්‍ෂා කිරීම පිණිසත් ගෘහයක්‌ ඉදිකිරීමෙන් බෝධිඝරවල ආරම්භය සිදු වී ඇත.


ශ්‍රී ලංකාවේ බෝධි වන්දනාවේ සංවර්ධනය

ශ්‍රී මහා බෝධි ශාඛාව මහමෙව්නාවේ රෝපණය කළ අවස්‌ථාවේදී ම ඒ සඳහා සුවිශේෂ ගෞරවයක්‌ මෙන් ම ආරක්‍ෂාවක්‌ ලබා දී ඇති අයුරු මහා වංශයේ මෙන්ම බෝධි වංශයේ ද සඳහන් වේ. බෝධියේ වසන කපුටන් එළවීමට දුනුවායින් ද, නවමල්හැරදි සේවය සඳහා කිළිඟු කුලයේ අය ද, පස්‌මල් ආහරාදී සේවය සඳහා කපු කුලයේ අය ද මහ බෝගෙයි දොරවල් රැකවල් සඳහා බලත්ථ කුල දෙටුවන් ද බෝධියට වඩන දිය පෙරහන් සැපයීමට පේසකාරයන් ද බත් පිදීමට බඳුන් සැපයීමට කුඹළුන් ද, මාලාකාරයන්ද, ගන්ධකරුවන්ද, අරක්‌කැමියන්ද කෙහෙබාන කතුරු කියත් සැපයීමට කඹුරන් ද රන් රිදී කැටපත් සැපයීමට ලෝකුරුවන් ද මඬුළු හා වියන් සෑදීමට වඩුවන් ද සේසත් සෑදීමට සිත්තරුන් ද ආදී වශයෙන් තවත් බොහෝ දෙනා සේවයේ යෙදූ බව සඳහන් ය. මේ අනුව එකල පැවති මහබෝ සම්බන්ධ උත්සව පූජා පිළිබඳව ද අදහසක්‌ ලබා ගත හැකි වෙයි. බෝධිය සඳහා මණ්‌ඩප ඉදිකොට තිබූ බවට සාක්‍ෂය මහාවංසයෙන් හමු වේ. නිදසුන් වශයෙන් දෙවන සේන රජතුමා මහබෝ ගෙයි බැම්ම කරවූ බවට ඇති සඳහනයි. (ආලවාලං දුමින්දස්‌ස - කත්වා හේමමයංඝරං) එසේ ම ගෝඨාභය රජතුමා ශ්‍රී මහා බෝධියේ ගල්වැට ද උතුරු දොරටුවේ තොරණ ද සතර කොණේ තිබූ ඡත්‍ර සහිත ස්‌ථම්භ ද කරවූ බව වංසත්ථප්පකාසිනියේ සඳහන් ය. ගෝඨාභය විසින් කරවනු ලැබුයේ ඇතල් ගල්වැට යනුවෙන් එහි සඳහන් හෙයින් ඒ අනුව පිටින් ගල් වැටක්‌ද තිබෙන්නට ඇත. ශ්‍රී මහා බෝධියේ ඉපැරැණි බෝධිඝරය පිළිබඳ දැනට කිසිදු සාධකයක්‌ සොයාගත නොහැකි වුවද, 2004 හා 2005 වර්ෂවල දී මහාවිහාර ව්‍යාපෘතිය යටතේ එහි පුරා විද්‍යා අධ්‍යක්‍ෂ මහාචාර්ය ටී. ජී. කුලතුංග විසින් කරවනු ලැබූ මහ බෝ මළුවේ කැණීම්වලදී ඇතුළු බෝ මළුවේ ශිලාමය පනා බැම්මට ආසන්නව

ඉපැරැණි ශිලා ප්‍රාකාරයක්‌ හා ඒ මත වූ ශිලා වේදියක කොටස්‌ සොයාගෙන තිබේ. ඉපැරැණි හුණු ගලින් නිම වූ මෙම වේදිය සාංචි ස්‌ථූපයේ වේදියේ රටාවට අනුව නිම කර ඇත. අනුරාධපුර ඡේතවනාරාමයේ ඉපැරැණි බෝධිඝරයේ වේදිය සඳහා යොදාගෙන ඇත්තේ ද මෙම මෝස්‌තරයම ය. එය මහා බෝධි වේදිය අනුකරණය කිරීමක්‌ සේ සැලකිය හැකිය.

ශ්‍රී මහා බෝධිය වටා වූ බෝධිඝරයක්‌ පිළිබඳව පැරැණි මූලාශ්‍රයන්හි සඳහන් වන අතර බෝධිය වටා වූ වජ්‍රාසන මෙන්ම බුදු පිළිම නෙළා බෝධිය යට තැන්පත් කළ බවට ද සාCෂ්‍ය හමුවේ. වසභ රජතුමාත්, (ක්‍රි. ව. 65 - 107) වෝහාරිකතිස්‌ස රජතුමාත් එසේ මහ බෝ සෙවණේ බුදුපිළිම කළ බව වංස කථාවල සඳහන් ය. කාරෙසි සිලාපල්ලංකං මහාබෝධි සරුත්තමෙ යනුවෙන් දීපවංසයේ ගෝඨාභය රජතුමා (253 - 266) ශ්‍රී මහා බෝධියේ සිලා පල්ලංකයක්‌ හෙවත් වජ්‍රාසනයක්‌ කළ බව සඳහන් ය. මේ ප්‍රවෘත්තිය මහාවංසයේ දැක්‌වීමේදී තිස්‌සො සිලාපටිමාච - තිසු ස්‌වාරෙස්‌ කාරෙ - ඨපාපෙසි ච පල්ලංකං දක්‌නම්හි සිලාමයං යනුවෙන් එතු=මා බෝධියේ දොරටු තුනක ශිලා බුද්ධ ප්‍රතිමා ද දකුණු දොරටුවේ වජ්‍රාසනය ද කළ බව දක්‌වයි. මෙම බුදුපිළිම තැන්පත් කිරීම බෝධිඝරය ඇතුළත මනාව පෙන්නුම් කරන්නකි.

තවද බුදුන් වහන්සේ සංකේතවත් කිරීම සඳහා බෝධි මූලයේ සිරිපතුල් ගල් තැන්පත් කිරීම ද බෝධි වන්දනාවේ මූලික අවධියේදී සිදු වී ඇත. අභයගිරි ඉපැරැණි බෝධිඝරයේ එසේ වන්දනාවට පාත්‍රා වූ සිරිපතුල් ගල් රැසක්‌ දක්‌නට ලැබෙන අතර, අෂ්ඨඵල බෝධිය සිටුවූ ථූපාරාම බෝධිඝරයේ ද සිරිපතුල් ගල් දක්‌නට ඇත. ඒවා ඉපැරැණි යුගයට අයත් ස්‌ඵටික හුණු ගලින් නිමවන ලද්දේය. බුදු පිළිම නිර්මාණයත් සමඟ ක්‍රමයෙන් සිරිපතුල් ගල් බෝධිඝරයෙන් ඉවත් වූ බව සැලකිය හැකිය. මේ අයුරින් ප්‍රථමයෙන් ම බෝධි මූලයේ බුදුන් වහන්සේ වැඩ සිටින බව දැක්‌වීමට බුදුපිළිම තැන්පත් කිරීමේ සිරිතක්‌ ඇරඹී ඇත. මේ අනුව මේ අවස්‌ථාවේදී බෝධිඝරයක්‌ ආසනඝරයක කාර්යය මෙන්ම ප්‍රතිමාඝරයක කාර්යය ද ඉටු කළ බව ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර ආසනඝර පිළිබඳ කර ඇති පර්යේෂණයකදී දක්‌වා තිබේ. අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත මනෝරථපූරණියේ මෙන්ම ප්‍රපCඳ්චසූදසනියේ ද බෝධිඝර ගැන සඳහන් වේ. යාපන බෝධි සාඛා බොධිඝරං බාදෙහි තං ගෙහරක්‌ඛනත්ථං චින්දතුං න ලබ්භති බොධි අත්ථම්හි ගෙහං නනගෙහත්ථාය බොධි. ආසනඝරෙපි එසෙව නයො. යස්‌මිං පන ආසනඝරෙ ධාතු නිත්ථාහොති තස්‌ස රක්‌ඛනත්ථාය බෝධිසාඛං චිංජිතුං වට්‌ටති (බෝධි ශාඛාවක්‌ බෝධිඝරයට බාධාවක්‌ වන්නේ නම් බෝධි ශාඛාව කැපීමට අවසරයක්‌ නැත. ගෘහය ඇත්තේ බෝධිය වෙනුවෙන් නිසා මිස ගෘහය වෙනුවෙන් බෝධිය නොපිහිටන බැවිනි. එහෙත් ආසනඝරයෙහි ධාතු නිධන් කර ඇත්නම් ආසනඝරය රැකීමට බෝධි ශාඛාව කැපීම කැපය. මෙහිදී පැහැදිලිවම පස්‌වන සියවන වන විට ලංකාවේ බෝධිඝරයන් ගැන සඳහන් වේ. ඉහත කී ග්‍රන්ථ ලියෑවී ඇත්තේ පස්‌වන සියවසේදී ය. මෙහි දැක්‌වෙන ආසනඝරය යනු බෝධිඝරයට පරිබාහිරව වෙනත් ඉදිකිරීමක්‌ බව ආචාර්ය ගොඩකුඹුර දක්‌වා ඇතත් ආචාර්ය රෝලන්ඩ් සිල්වා දක්‌වා ඇත්තේ ඉන් අදහස්‌ කර ඇත්තේ බෝධිය යට වූ වජ්‍රාසනය සඳහා ඉදිකළ ගෘහය බවය. ගෝඨාභය රජු සම්බන්ධ ව මහාවංසයේ සඳහන් ඉහත කී පා විස්‌තර අනුවද බෝධියට වජ්‍රාසනයකට ගෘහයක්‌ ඉදිකර ඇති අයුරු සාංචි භාර්හුත් කැටයම්වල ද දැක්‌වේ.

සාංචි භාර්හුත් කැටයම්වල දැක්‌වෙන බෝධිඝර පිළිබඳ නිරීක්‍ෂණයේදී පෙනී යන්නේ ලංකාවේ පැරැණි බෝධිඝරය ද එකී බෝධිඝරවල මූලික ලක්‍ෂණ අනුගමනය කරමින් ඉදිකර ඇති බව ය. මධ්‍යයේ බෝධිය හා බෝ කොටුව ඉතිරි කරමින් ඒ වටා පූජනීය වූ ආසන සිරිපතුල් හා බුදු පිළිමාදියට සෙවණ දුන් එසේම පසු කාලය වන විට සැදැහැවතුන්ට අව්වෙන් වැස්‌සෙන් පීඩා නොවිඳ වැඳ පුදා ගැනීමටත්, ප්‍රදක්‍ෂිණා කිරීමටත් හැකි වන පරිද්දෙන් ප්‍රදක්‍ෂිණා පථයක්‌ ද සහිතව බෝධිඝර ඉදිවීම සිදු වී ඇත. මේ පිළිබඳ ඉතා හොඳ සාCෂ්‍ය වන්නේ අනුරාධපුර ඡේතවනාරාම පැරැණි බෝධිඝරයයි. මහාචාර්ය සේනක බණ්‌ඩාරනායක පෙන්වා දී ඇති පරිදි එහි දිග පළල අඩි 188 හා 112 ක්‌ වේ. 1960 දශකය වන තුරු ම ශ්‍රී ලංකාවේ

පැරැණි ආරාමික නටබුන් අතර වූ බෝධිඝර පැහැදිලිව හඳුනාගෙන නොතිබිණි. එච්. සී. පී. බෙල් විසින් ප්‍රථමයෙන් සොයා ගත් ඡේතවන බෝධිඝරය ඔහු විසින් හඳුන්වා ඇත්තේ බෝධිඝරයක්‌ වශයෙන් නොවේ. බෞද්ධ ගරාදි වැට භූමිය යනුවෙන් නම් කර ඇති ඒ තුළ මධ්‍යයේ ඔහු විසින් කුඩා ස්‌ථූපයක්‌ ද ඇඳ දක්‌වා ඇත. බෝධිඝර ඉදිකිරීමේ දී බෝධියට වැසි ජලය වැටෙන මධ්‍යයේ විවෘතව තිබූ කොටස සැදැහැවතුන් විසින් බෝ ස්‌නානය කිරීම සඳහා ද යොදාගෙන ඇති අතර මේ ලක්‍ෂණ පැහැදිලි ව හත්ථිකුච් විහාරයේ බෝධිඝරයේ දක්‌නට ලැබේ. එහි එම ජලය පිටතට ගලා යැම සඳහා ඉදිකර ඇති නිර්මාණය දැකගත හැකිය. ලංකාරාමයේ බෝධිඝරයේ මහාචාර්ය ටී. ජී. කුලතුංග විසින් කරවන ලද කැණීමකදී එම ලක්‍ෂණ එසේ හමු වී ඇත. අභයගිරි විහාරයේ කපාරාරාමයේ ඇති බෝධිඝරය ද බෙල් විසින් හඳුන්වා ඇත්තේ පිළිම ගෙයක්‌ යනුවෙනි. ලංකාවේ ඇති ඉතාමත් ම කලාත්මක කැටයමින් යුක්‌ත නිල්ලක්‌ගම බෝධිඝරය ද ඔහු විසින් නිසි පරිදි හඳුනාගෙන නැති අතර එය ජන වහරේ මාලිගාව යනුවෙන් හැඳින්වෙන බව දක්‌වා තිබේ.

එහෙත් බෝධිඝර යන මෙකී සුවිශේෂී නිර්මාණය පළමු වරට නිසි පරිදි හඳුනාගෙන ප්‍රසිද්ධියට පත් කළේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාය. එතුමා 1960 දශකයේදී අනුරාධපුර පාචීනතිසිස පබ්බත විහාරයේ කැණීම් කොට එහි වාර්තාව වයඹ දිග දිසාවේ ඇති ස්‌මාරක බෝධි මාලකයක්‌ නොවේ දැයි ප්‍රශ්න කර ඇත. නිල්ලක්‌ගම බෝධිඝරයේ ඇති ශිලා ලිපියේ මොනරගල් බුද්මි මෙ දස ඇතුන් කරවා මහ බො ගෙයි පිදූ පිණෙන් සම්මා සම්බුදු යනුවෙන් ඇති පාඨයෙන් මෙය බෝධිඝරයක්‌ බව හඳුනා ගැනීමට පරණවිතාන මහතාට හැකි වී ඇත.

පරණවිතාන මහතා විසින් බෝධිඝර හඳුනා ගැනීමෙන් පසුව නිශ්චිත වශයෙන් බෝධිඝර යෑයි සැලකිය හැකි ස්‌ථාන ද අනුමාන ස්‌ථාන ද හඳුනාගෙන ඇත. ආචාර්ය රෝලන්ඩ් සිල්වාගේ හඳුනා ගැනීම අනුව පන්කුලිය,

ඡේතවනාරාමය, අභයගිරි සමාධි පිළිම බෝ ගෙය, තොළුවිල, වෙස්‌සගිරිය, විජයාරාමය, බෙලිගල, දිඹුලාගල, කාලිංග නුවර, කොක්‌ඇඹේ, මැණික්‌දෙන, නිල්ලක්‌ගම, පඩිකෙම්ගල, පඬුවස්‌නුවර, පොලොන්නරු චතුරස්‍රය, පුළුකුනාවි, හත්ථිකුච්, සේරුවිල, සීගිරිය තිසිමහාරාම වට්‌ටාරම ඇල් වේ. ඉන් අනතුරුව ලංකාරාමයේ ද රසබා විහාරයේ ද බෝධිඝර හමු වී ඇත. ලංකාරාමයේ බෝධිඝරය පුළුකුනාවි හා තොළුවිල මෙන් වෘතාකාර හැඩයක්‌ ගෙන ඇති අතර එහි මධ්‍යයේ වූ ආවාටය ඇතුළත තිබී බෝ පැළය සිටුවන්නට ඇති මැටි භාජනයක්‌ ද හමු වී තිබේ. කපාරාරාමය, මුල්ලේගල, බක්‌කිඇල්ල, බිංගිරිය. දෙමටමල් විහාරය, එරුපතාන, ගණඅරඹ, ගණේවැව, හෙන්නන්නේගල, කන්දේගම, කටගමුව, මැදිරිගිරිය. පිදුරාගල, රජගල, මැදවච්චිය, උට්‌ටිමඩුව, වෙහෙරගල ආදී තවත් ස්‌ථානවල නටබුන් අනුමාන වශයෙන් බෝධිඝර සේ රෝලන්ඩ් සිල්වා හඳුනාගෙන ඇත. මෙම බෝධිඝර ඉදිවීම ක්‍රි. ව. 13 සිය වස තරම දක්‌වා සිදුවන්නට ඇතැයි සැලකේ. ඊට සාධක වී ඇත්තේ එකල්හි රචිත සද්ධර්ම රත්නාවලියේ පෙර බුදුවරයෙකු ගැන සඳහන් කරමින් උන්වහන්සේ අභිනිශ්ක්‍රමණය කරන විට වැඩ සිටි මාලිගාව අහසින් ගොස්‌ බෝධිය වටකොට පිහිටි බවට ඇති සඳහනයි. බෝධිඝර පිළිබඳ අදහස මෙම කථාව තුළ ගැබ් වී ඇත. මෙරට ප්‍රථම චෛත්‍යය වූ ථූපාරාමය ඉදිකිරීමේ දී උතුරු ඉන්දියානු බලපෑම ලැබුණා සේ බෝධිඝර ඉදිකිරීමේදී ද උතුරු ඉන්දියානු ආභාශය ලැබෙන්නට ඇත.

ඉන්දියාවේ බෝධිඝර විවිධ බිම් සැලසුම් හා මැඩ අනුව නිර්මාණය කළා සේ ම මෙරට බෝධිඝර ද එක්‌ බිම් සැලැස්‌මකට හෝ හැඩයකට සීමා නොවී නිර්මාණය කර ඇත. උදාහරණ වශයෙන් කපාරාරාම, මිහින්තලේ, ඡේතවනාරාම, නිල්ලක්‌ගම, තොළුවිල ආදී බෝධිඝර එකිනෙකට වෙනස්‌ විදියේ හැඩයන් ගෙන ඇත. එහෙත් ඉන්දියාවේ මෙන්ම ලංකාවේද බෝධිඝරයට පොදු ලක්‍ෂණයක්‌ ඇත. එනම් බෝධිය මධ්‍ය ලCෂ්‍ය කොට ගෙන බෝධිය ඉදිකිරීම, මධ්‍යය අහසට විවෘත වූ වටා ප්‍රදේශය පියස්‌සකින් ආවරණය වීම බෝධි වෘක්‍ෂය වටා ප්‍රදක්‍ෂිණා පථයක්‌ තිබීම, බෝධියේ සතර දෙසින් දෙපසින් හෝ ඉදිරියෙන් වජ්‍රාසන තැන්පත් කිරීමයි. ඒවා ඉන්දියානු රූකම්වල දක්‌නට ලැබෙන බෝධිඝරවලට සමාන වේ.


අනුෂි තිසාරා කාරියවසම්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.