ජනපති මහින්දගෙන් සුරූපී නිළි මනීෂාට බත් හැන්දක්‌!

බානගල උපතිස්‌ස හිමියන්ගෙන්
ගෝඨාභයට චරිත සහතිකයක්‌

එදා බෝම්බෙන් මෙතුමාට කරදරයක්‌ වුණානම් මෙදා ජනතාවට වෙසක්‌ බලන්න එන්න වෙන්නේ ප්‍රභාකරන්ගෙන් අවසර අරන්.

ගෙවී ගියේ වෙසක්‌ සතියයි. වෙසක්‌ උත්සවයත්a 2600 වැනි සම්බුද්ධත්ව ජයන්ති උළෙලත්a නිසා මුළු රටම අන් සියලුම කටයුතු අතරමග නවතා ඒ උත්සවය සමග ඒකාත්මිකව සිටි දවස්‌ කිහිපයක්‌ වේගයෙන් ගෙවී ගොස්‌ තිබිණි.

මේ සතිය තුළ දේශපාලනමය වශයෙන් කතා කරන්නට වෙනත් කිසිදු දේශපාලන කටයුත්තක්‌ ද නොතිබිණ. පාර්ලිමේන්තු= රැස්‌වීම් නොතිබිණි. කැබිනට්‌ රැස්‌වීම් නොතිබිණි. ආණ්‌ඩු පක්‍ෂයේ විපක්‍ෂයේ කණ්‌ඩායම් රැස්‌වීම් නොතිබිණි. කැපී පෙනෙන දේශපාලන සංසිද්ධීන් කිසිවක්‌ නොවූ පසුගිය සතියේ අප දේශපාලන නායක කාරකාදීහු ද සිටියේ ආගමික කටයුතුවල නිරත වී යෑයි කිවහොත් එය නිවැරැදි ය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුගිය 14 වැනි සෙනසුරාදා උදේ වැඩ ආරම්භ කළේ ද ආගමික කටයුත්තකට සහභාගි වෙමිනි. කොළඹ බෞද්ධාලෝක මාවතේ ජීවමාන විමුක්‌ති දායකයාණන්ගේ ක්‍රිස්‌තු දෙව් මැදුරට ගිය ජනාධිපතිවරයා එහි විශේෂ දේව මෙහෙයකට සහභාගි විය........

ඉන්පසුව ඔහු කෙළින්ම අනුරාධපුරය බලා පිටත්ව ගියේය. මෙවර සම්බුද්ධත්ව ජයන්තිය නම් කිරීමේ විශේෂ උත්සවය පැවැත්වුණේa අනුරාධපුරයේදීය. ඒ අතර ශ්‍රී මහා බෝධිය ඇතුළු අනුරපුර සිද්ධස්‌ථාන වැඳ පුදා ගන්නට ද ජනාධිපතිවරයා අමතක නොකළේය. උතුරු මැද මහ ඇමැති බර්ටි ප්‍රේමලාල්, ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන, නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක ඇතුළු ප්‍රදේශයේ මැති ඇමැතිවරු රැසක්‌ද මේ සඳහා එක්‌ව සිටියහ.

මේ අතරතුර එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන කටයුතු ටිකෙන් ටික පටන් ගෙන තිබිණි. පක්‍ෂ අභ්‍යන්තරයේ හා සජිත් පිලේ මොන මොන ප්‍රතිරෝධ තිබුණත් ඔහු ඒ කිසිවක්‌ තම දේශපාලන ගමනට බාධකයක්‌ කර ගත්තේම නැත. ඔහු කිසිවකුගේ ප්‍රතිවිරෝධතා කනකට ගත්තේ ද නැත.

13 වැනි සිකුරාදා ඔහු සිරිකොතට ගියේද තම ගමනේ තවත් තීරණාත්මක බලවේගයක්‌ වූ ලක්‌වනිතා සංවිධානයේ නව කාර්යාලය විවෘත කරන්නටය. ශාන්තිනි කෝන්ගහගේ මෙම කාර්යාලයේ වැඩකටයුතු අලුතෙන් සංවිධානය කර තිබූ අතර පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායකද එම කටයුත්තට සහභාගි වී සිටියේය.

රනිල් ඉතා නිශ්ශබ්දව ඔහුගේ ඉලක්‌කය අනුව පක්‍ෂයේ වැඩ කරගෙන ගියේය.

හවස ඔහු මේ ගැන කතා බහ කරන්නට තම හිතෛෂිවන්තයින් මාකස්‌ ප්‍රනාන්දු මාවතේ නව විපක්‍ෂ නායක කාර්යාලයට ගෙන්වා ගත්තේය. ඒ අනුව තිස්‌ස අත්තනායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල, ගාමිණී ජයවික්‍රම පෙරේරා හා ජෝන් අමරතුංග රනිල් හමුවන්නට පැමිණ සිටියහ.

රනිල් මෙහිදී කතාබහ කළේ වෙසක්‌ උත්සවයෙන් පසු පක්‍ෂයේ අනාගත දේශපාලන කටයුතු පෙළගස්‌වා ගන්නා ආකාරය පිළිබඳවය. ඒ අතර පක්‍ෂය අභ්‍යන්තරයේ ඇති දේශපාලන අවුල විස¹ගෙන ඉදිරියට යන අන්දම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මේ අතරතුර පක්‍ෂයේ සන්නිවේදන හා ප්‍රචාරක කටයුතු වේගවත් කර නව පනක්‌ දීමේ අවශ්‍යතාව ගැන කතා කෙරුණු අතර සන්නිවේදන කමිටුවේ වැඩ වේගවත් කිරීමට අවශ්‍ය තීන්දු කිහිපයක්‌ ද ගැනිණි. ඒ සඳහා මංගල සමරවීර හා ලක්‍ෂ්මන් කිරිඇල්ල සන්නිවේදන කමිටුවේ නව සාමාජිකයන් ලෙස පත් කෙරිණි.

යොවුන් හමුව

සිකුරාදා හවස පිළියන්දල දම්පේ විලේඡ් හෝටලයේ විශේෂ හමුවක්‌ පැවැත්විණි. මෙය සූදානම් කර තිබුණේ එක්‌සත් ජාතික පක්‍ෂ යොවුන් පෙරමුණේ නව සභාපති රුවන් විඡේවර්ධනය. පැමිණ සිටියේ ජාතික යොවුන් පෙරමණේ පැරැණි ක්‍රියාකාරිකයන්ය. ඒ අතර රනිල්, තිස්‌ස, රවී කරුණානායක, අල, හරීන් ප්‍රනාන්දු, අජිත් පෙරේරා, මයන්ත දිසානායක ඇතුළු පිරිසක්‌ ද සිටියහ. මෙම හමුව අවසානයේ මධ්‍යම රාත්‍රිය ඉක්‌ම යනතුරු පැවැති සාදයක්‌ ද තිබිණි. ඉස්‌තරම් දෙස්‌ විදෙස්‌ පානවර්ග රස මසවුළු සංගීතය හා නැටුම් ගැයුම්ද අඩු නැතුව තිබූ මේ සාදයේදී එජාප නායකයා ඇතුළු සියලුම දෙනා කා බී විනෝද වූහ.

කරූ සිල්

ඉකුත් 14 වැනි සෙනසුරාදා එක්‌සත් ජාතික පක්‍ෂයේ සීල ව්‍යාපාරය පැවැත්වුණේ සිරිකොත මන්දිරයේදීය. නියෝජ්‍ය නායක කරු හා පක්‍ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම ඇතුළු විශාල පිරිසක්‌ සිල් අරගත්හ. රනිල්, තිස්‌ස ඇතුළු මුල් පෙළේ සියලුම දෙනා මේ ශීල ව්‍යපාරයට සහභාගි වී සිටියහ.

මෙම අවස්‌ථාවට හිටපු අගවිනිසුරුවරයකු වූ සරත් එන්. සිල්වාද සහභාගි විය. ඔහු මෙහිදී "සිත" පිළිබඳව කළ අපූරු ධර්ම දේශනය කාගේත් සිත් ගත්තේය. ඉන් අනතුරුව බොහෝ දහම් කරුණු පිළිබඳව විද්වත් සංවාදයක්‌ ද පැවැත්විණි. රනිල්, ජයලත් ජයවර්ධන, මහාචාර්ය ඔලිවර් අබේනායක, ඇතුළු විද්වත් පිරිසක්‌ද මීට සහභාගි වී සිටියහ. 14 වැනිදා දවසම එක්‌සත් ජාතික පක්‍ෂ නායකයෝ ගත කරනු ලැබුවේ මෙබඳු පුන්‍ය කටයුතුවලටය.

15 වැනි ඉරිදා දිනයේ ජනාධිපති මහින්ද දවස ආරම්භ කළේ තුම්මුල්ලේ ඉදිකළ සම්බුද්ධ ජයන්ති බෞද්ධ මන්දිරය විවෘත කිරීමෙනි. එදින හවස බම්බලපිටිය හින්දු විදුහලේ 60 වන සංවත්සර උළෙලට සහභාගි වූයේය. ඉන් පසුව කොළඹ සම්බෝධි විහාරයට ගිය ජනාධිපතිවරයා බෞද්ධයා ගුවන් විදුලි නාලිකාව විවෘත කළේය.

ඊට පසුදා එනම් 16 වන සඳුදා උදේ තවත් විශේෂ පුණ්‍ය කර්මයකට සහභාගි වන්නට ජනාධිපති මහින්ද මහරගම පුරවරයට ගියේය. යෞවන කටයුතු අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුමගේ සංකල්පයකට අනුව සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් තරුණ තරුණියන් 2600 ක්‌ සහභාගිවන ශීල ව්‍යාපාරයක්‌ ජාතික තරුණ මධ්‍යස්‌ථානයේ පැවැත්විණි. ජනාධිපති මහින්ද එහි ගියේ තරුණ තරුණියන්ගේ ශීල ව්‍යාපාරයට සහභාගි වීමටය.

ඉන්පසුව කලගෙඩිහේන ශ්‍රී පූර්වාරාම මහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ බෝධි ප්‍රාකාරය විවෘත කිරීමට ගිය ජනාධිපතිවරයා අනතුරුව පැමිණියේ කැලණිය රජමහා විහාරයටය.

රනිල් ජනපති හමුව

කැලණිය රජමහා විහාරයේ බෝධි මළුවට පිවිසෙන දොරටුව අසල පියගැට පෙළ කළුගලෙන් නිමවන ලද්දේ මේ නොබෝදාය. එම පියගැට පෙළ හා දොරටුව විවෘත කිරීමට ආරාධනා කර තිබුණේ ජනාධිපතිවරයාටය. විහාරයේ දායක සභාව වෙනුවෙන් ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවේ දායක සභාවේ සභාපතිවරයා විසිනි. සභාපතිවරයා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහය.

ජනාධිපති මහින්දට මෙය අහඹු හමුවීමකි. අහඹු හමුවීමකින් වුව විපක්‍ෂ නායක රනිල් මෙබඳු සුබ කටයුත්තකදී මුහුණට මුහුණ මුණ ගැහීම ජනාධිපති මහින්දට මහත් සතුටට කරුණක්‌ වූයේය.

අඟහරුවාදා වෙසක්‌ පුන් පොහෝ දිනයයි. ජනාධිපති මහින්ද ඇතුළු පවුලේ ඥතීහු එදා සිල් සමාදන් වූයේ කොටුව ජනාධිපති මන්දිරයේදීය. ඊට පෙර පැවැත්වුණ කැබිනට්‌ රැස්‌වීමේදී ජනාධිපතිවරයා අමාත්‍ය මණ්‌ඩලයේ සාමාජිකයන්ට තමන් හා සිල් සමාදන් වන්නට ආරාධනා කර සිටියත් ඒ සඳහා පැමිණ සිටියේ අමාත්‍යවරු දෙදෙනකු පමණි. ඒ බන්දුල ගුණවර්ධනත් ඇමැතිනී පවිත්‍රා වන්නි ආරච්චිත් පමණි. පළාත් සභා මන්ත්‍රී කන්චන ජයරත්න ද පවිත්‍රා සමග පැමිණ සිටියේය.... ඊට අමතරව සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීහුය. ඒ අතර දොස්‌තර අජිත් රණවකද සුදුවතින් සැරසී සිල්සමාදන් වීමට එකත්පස්‌ව වාඩිවී සිටීම බොහෝ දෙනකුගේ අවධානය හා කුතුහලය යොමුවූ කාරණාවක්‌ වීය.

කොටුගොඩ ධම්මාවාස නායක හිමියන්ගෙන් සිල් සමාදන් වුණ ජනාධිපති මහින්ද ඇතුළු පිරිස ටික වේලාවක්‌ ජනාධිපති මන්දිරයේ සිට අරලියගහ මැදුර බලා පිටත්ව යනු ලැබූහ.

මුළු දවසම දහම් කරුණුවලට සවන් දෙමින් ආගමික වත් පිළිවෙත්වල යෙදෙමින් ඉතා විවේකීව අරලියගහ මන්දිරයේ දිවා කාලය ගතකළ ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිල් පවාරණය කළේ ගංගාරාමවාසී කිරින්දේ අස්‌සජි හිමියන්ගේ මෙහෙයවීමෙන් තිබූ ධර්ම දේශනට සවන් දීමෙන් පසුවය. ඉන් පසුව මද වේලාවක්‌ විවේකව සිටි ජනාධිපතිවරයා බෞද්ධාලෝක මාවතේ වෙසක්‌ කලාපය විවෘත කිරීමට ගියේය.

ගෝඨා නවම් මාවතේ

මේ අතරතුර ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා සිටියේ රටේ ප්‍රකට පුද්ගලික ගුවන්විදුලි නාලිකාවක්‌ සංවිධානය කළ වෙසක්‌ කලාපයක්‌ විවෘත කිරීමේ ආරාධනාවක්‌ ලැබ ගංගාරාම විහාරය ඉදිරිපිට බේරේ වැව ඉස්‌මත්තේ වූ නවම් මාවතේය.

එම මාධ්‍ය නාලිකාව අයත් මාධ්‍ය ජාලය විසින් සංවිධානය කළ වෙසක්‌ කලාපය විවෘත කිරීමට ආරාධනා කර තිබුණේ ගෝඨාභය රාජපක්‍ෂයන්ටත් එම මැතිනියටත්, ධනසිරි අමරතුංගටත් ය. හරියටම හවස 6.30 ට ආරාධනා කර තිබූ වේලාවටම ගෝඨාභය ඇතුළු ආරාධිතයන් නිශ්චිත ස්‌ථානයට පැමිණ සිටියහ. ඔහු පැමිණියේ කිසිදු ආරක්‍ෂාවකින් තොරව සාමාන්‍ය පුද්ගලයකු ලෙසය. ඔහු වාහනයෙන් බැස්‌සේද සාමාන්‍ය ජනතාව අතරටය.

රට රැකගත් වීරයාට ජයවේවා කියමින් සාමාන්‍ය ජනතාව ගෝඨාභය දුටු සැනින් ඔල්වරසන් නගන්නට වූහ. සමහරු එළිපිටම දණගසා ගෝඨාභයට වැන්දාහ.

ගෝඨාභය මුලින්ම කළේ එතන තිබූ සමාධි බුදු පිළිමයට මල්වට්‌ටියක්‌ තබා වැඳ ඉන් පසුව විවෘත කිරීම තිබූ ස්‌ථානයට ළඟා වීමය. එහි තිබුණේ සැරියුත් මුගලන් අගසව් වහන්සේලාගේ ධාතු ප්‍රදර්ශනයකි. ධාතු ප්‍රදර්ශනය භාරව කටයුතු කළේ මහාබෝධි සමාගමේ බානගල උපතිස්‌ස හිමියන් හා තිනියාවල පාලිත හිමියන්ය.

මෙහිදී ධාතු ප්‍රදර්ශනය විවෘත කිරීමට පෙර බානගල උපතිස්‌ස හිමියෝ අනුශාසනාවක්‌ කළහ. එහිදී අපූරු කතා කීපයක්‌ කියනු ලැබූහ.

අපි අද 2600 වැනි සම්බුද්ධත්ව ජයන්ති උළෙල මේ විදියට උත්සවාකාරයෙන් කිසිදු බියක්‌ සැකක්‌ නැතිව නිදහසේ සමරන්නේ අපේ ජනාධිපතිතුමන්ලා මේ ගෝඨාභය සෙනවි තුමන්ලා මේ රට ත්‍රස්‌තවාදයෙන් මුදවා ගත්ත නිසා. මේ ජනතාව දහස්‌ ගණනක්‌ මේ ධාතුන් වහන්සේලා වැඳ පුදාගෙන අත්පත්කර ගන්නා කුසලයක්‌ වෙතොත් ඉන් වැඩි කොටසක්‌ අනුමෝදන් වෙන්න ඕන ජනාධිපතිතුමාටත් මේ ගෝඨාභය සෙනෙවි තුමන්ටත් කියල මම විශ්වාස කරනවා. මේ පින්වතුන් දන්නවා.... එදා මේ ගංගාරාමයට පෙනෙන තෙක්‌ මානයේ තැනක පුපුරාගිය බෝම්බයෙන් මේ අපේ ගෝඨාභය සෙනෙවිතුමන්ට යම් විපතක්‌ සිදු වුණා නම් අද අපට කොළඹ වෙසක්‌ බලන්න වෙන්නේ ප්‍රභාකරන් මහත්තයාගෙන් විශේෂ අවසරයක්‌ අරගෙන.... කවුරු කවුරුත් ඒක අමතක කරන්න නරකයි....

උන්වහන්සේගේ අනුශාසනාවෙන් පසු ධාතු ප්‍රදර්ශනය මහජන ප්‍රදර්ශනය සඳහා ගෝඨාභය අතින් විවෘත කිරිම සිදු කෙරිණි.... බානගල උපතිස්‌ස හිමියනුත් තිනියාවල පාලිත හිමියනුත් ගෝඨාභයට හා එම මැතිනියට සෙත් පිරිත් කියා පිරිත් නූල් බඳිනු ලැබුවේ දීර්ඝායුෂ හා සෞඛ්‍යාරක්‍ෂාව ප්‍රාර්ථනා කරමිනි.

විවෘත කිරීමට පසු සියලු දෙනාගෙන්ම සමුගෙන ආපසු යන්න රිය ළඟට ගිය ගෝඨාභය ආපසු හැරී ධනසිරි දෙස බැලුවේය. ධනසිරි දැන් කොහේද යන්නේ.

මම යනවා සර් දෙහිවලට. මගේ දන්සල් විවෘත කරන්න. මිනිස්‌සු මම එනකල් බලන් ඉන්නවා.

ඊට කලින් එන්නකෝ යන්න තව වැඩක්‌ තියෙනවා. එතනට ගිහින් අරෙහෙ යන්න...

ඒ අනුව ගෝඨාභය, එම මැතිනිය හා ධනසිරි කෙලින්ම ගියේ බෞද්ධාලෝක මාවතටය. එහි ආරක්‍ෂක ලේකම් නිල නිවස ඉදිරිපිට මහා දන්සලක්‌ සංවිධානය කර තිබිණි. ඊට එපිටින් බෞද්ධාලෝක වෙසක්‌ කලාපය සූදානම්ව තිබිණි.

ජනාධිපතිවරයා ද වෙසක්‌ කලාපය විවෘත කිරීමට එතැනට ආවේ ඒ මොහොතේය. වෙසක්‌ කලාපය විවෘත කිරීමෙන් පසු ජනාධිපතිවරයා ගෝඨාභයගේ බත් දන්සලට ගියේය. බත් දන්සල විවෘත කරමින් ජනාධිපතිවරයා හැන්දක්‌ ගෙන පැමිණ සිටි සාමාන්‍ය ජනතාවට ආහාර බෙදනු ලැබුවේ ඉතාමත්ම සන්තෝෂයෙනි.

ජනාධිපති මහින්ද, ආර්යාව ශිරන්ති, ගෝඨාභය එම මැතිනිය හා පවුලේ අය විසින් බොහෝ වේලාවක්‌ යනතුරු පැමිණ සිටි සාමාන්‍ය ජනතාවට කෑම බෙදූහ. අවසානයේ ජනාධිපතිවරයා එතැනින් පිටව ගියේ ගෝඨාභයගේ දන්සලින් බත්වේලක්‌ කෑමෙන් අනතුරුවය.

අනතුරුව යන්නට සැරසී කාරයට එක පයක්‌ තියාගෙන ජනාධිපතිවරයා ධනසිරි ඇමතුවේය.

ධනසිරි.... දැන් මහන්සි වෙන්න ඡන්දෙත් ළඟයිනේ.... ඔයා මට උදව් කළා.... ඒ වගේම ඔයා නගරාධිපති පුටුවේ වාඩිවෙන්නත් ඕන... මහන්සි වෙලා ජනතාව අතරේÊඉඳල නගරාධිපති වෙලා පෙන්නන්න. අපි බලන් ඉන්නවා....

ජනාධිපතිවරයා ඉන් අනතුරුව පිටකොටුව ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ වෙසක්‌ කලාපය නරඹන්නට පිටත්ව ගියේය. ඉන්පසුව දිගටම ආවේ අරලියගහ මන්දිරයටය. උදේ පටන්ම ශීල ව්‍යාපාරයන්ට, විවිධ විවෘත කිරීම්වලට සහභාගි වී සිටි ජනාධිපතිවරයා සිටියේ ඉතා වෙහෙසට පත්වය.

තිස්‌සට 50 යි

වෙසක්‌ පුන් පොහෝදා, එනම් 17 වැනිදා තිස්‌ස අත්තනායකගේ 50 වැනි උපන් දිනයයි. ඒ නිසා තිස්‌සගේ දුරකථනයට එදා උදේ පටන්ම සුබපැතුම් පණිවුඩවලින් නම් අඩුවක්‌ නොවීය... ඒ අතර අගමැති දි. මු. ජයරත්න ද කතා කළේය.

"තිස්‌ස මල්ලි.... ඔයාගේ ජීවිත කාලය අවුරුදු 50 යි. ඒකෙන් භාගයකට ආසන්න කාලයක්‌ ඔයා ඉඳල තියෙන්නේ පාර්ලිමේන්තුවේ. උඩරට මිනිහෙක්‌ හැටියට මටත් ලොකු ආඩම්බරයක්‌..." කියමින් දි. මු. ද සුබ පැතීය.

මේ අතරතුර එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල්ට ද විවෘත කිරීම්වලින් නම් අඩුවක්‌ නොවීය. පැපිලියානේ දයා ගමගේලට අයත් නිවස ඉදිරිපිට වසරක්‌ පාසා ඔවුන්ගේම වියදමෙන් ඉදිකරනු ලබන තොරණ විවෘත කිරීමෙන් පටන් ගත් විවෘත කිරීම් රැල්ලට රනිල් වික්‍රමසිංහ ද හසු වී තිබිණි.

ඊට පසුදා එනම් 18 වැනිදා උදේ පටන් ජනාධිපති මහින්දට ද වැඩ රාජකාරි ලැයිස්‌තුවක්‌ම තිබිණි.

උදෙන්ම තිබුණේ මීළඟ අගවිනිසුරු ලෙස ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය දිවුරුම් දීමේ උළෙලයි. උදේ 10.05 ට යෙදුණු සුබ මොහොතින් ඕ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ලංකාවේ අගවිනිසුරු ධුරයට තේරී පත් වූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයට එක්‌වෙමිනි.

මෙම අවස්‌ථාවෙන් අනතුරුව ජනාධිපතිවරයා ගාලු මුවදොර හෝටලයට ගියේය. ඒ හිටපු මන්ත්‍රීවරයකු වූ සරත් කීර්තිරත්නගේ දියණියගේ විවාහ මංගල්‍යයට සහභාගි වීමටය. ජනාධිපති මහින්ද මනාලිය වෙනුවෙන් අත්සන් කළ අතර මනාලයාගේ පාර්ශ්වය වෙනුවෙන් අත්සන් කළේ බැසිල් රාජපක්‍ෂය.

ඉන් අනතුරුවත් ජනාධිපතිවරයා සහභාගි වූයේ විවෘත කිරීම්වලටය. පළමුවෙන් ගියේ කෞතුකාගාරයටය. දුටුගැමුණු මහ රජතුමන්ගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය එහිදී ජනාධිපති අතින් විවෘත විය. ඉන් පසුව ද දන්සල්, දන්සල්, දන්සල් කෙළවරක්‌ නොවීය.

මේ අතර කථානායක චමල් රාජපක්‍ෂ කොළඹ තිබූ ප්‍රමුඛතම බත් දන්සලක්‌ විවෘත කරන්නට පාර්ලිමේන්තුව ඉදිරිපිටට ගොස්‌ සිටියේය. මේ බත් දන්සල සුනිල් ටේ්‍රඩර්ස්‌ අධිපති සුනිල් මුතුමාල විසින් වසරක්‌ පාසා පාර්ලිමේන්තුව ඉදිරිපිට දෙනු ලබන්නකි. සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පවත්වන මෙම දන්සල සඳහා 18 වැනිදා යොදාගෙන තිබුණේ සුනිල් මුතුමාල මහතාගේ පියාණන් සිහි කරමිනි. කතානායක චමල්, ඇමැති බන්දුල, ඇමැති මර්වින් ඇතුළු මැති ඇමැතිවරු හා පළාත් සභා මන්ත්‍රීවරු රැසක්‌ සහභාගි වූ එම දන්සල 18 වැනිදා දවල් 10.00 ට විවෘත විණි. පසු දින අලුයම 1.30 ද ඉක්‌මවනතුරු පැමිණි දස දහස්‌ සංඛ්‍යාත මහජනතාව වෙනුවෙන් විවෘතව තිබිණි.

මනීෂා දන්සලේ

මේ අතර ජනාධිපති මහින්ද හවස ගංගාරාම වෙසක්‌ කලාපය විවෘත කරන්නට ගියේය. එය විවාත කර ඊළඟට ඔහු ගියේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන කොළඹ ලොකුම බත් දන්සල විවෘත කිරීමටය.

ජනාධිපති මහින්ද දන්සලට පැමිණ සිටි මහජනතාවට බත් බෙදමින් දන්සල විවෘත කළේය. ඒ මහ සෙනඟ අතර දැක පුරුදු අමුත්තියක්‌ ද සිටියාය. ඒ භාරතීය සිනමාවේ සුරූපී නිළි මනීෂා කොයිරාලය.

මනීෂා කොයිරාල ජනාධිපතිතුමන්ගේ දන්සලෙන් බත් කෑම මෙවර කැපී පෙනෙන විශේෂ කාරණාවක්‌ ද වූයේය.....

අමාත්‍ය විමල් වීරවංශ පසුගිය සතියේ සිටියේ ඇමරිකාවේය. ඒ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පැවැත්වූ සමුළුවට ආරාධිතයකු ලෙස සහභාගිවීය. නිව්යෝර්ක්‌ නගරයේ එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථාන ගොඩනැගිල්ලේදී පසුගිය 16 වැනිදා මෙම සමුළුව පැවැත්විණි.

බෞද්ධ රටවල් 18 ක රාජ්‍ය නියෝජිතයන්ට මේ සඳහා ආරාධනය කර තිබිණි. විමල් සමග පාලිත කොහොන, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඇමරිකාවේ තානාපති ජාලිය වික්‍රමසූරිය මෙම සමුළුවට සහභාගිව සිටියහ.

මෙම සමුළුවේදී විමල් හා එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කි මූන් අතර යම් සංවාදයක්‌ ඇතිවේදෝ කියා බොහෝ දෙනෙක්‌ බලා සිටියහ. එහෙත් එබඳු කිසිවක්‌ ඇති වූයේ නැත.

කෙසේ නමුත් විමල් මෙම සමුළුව අමතා විශේෂ කතාවක්‌ද කළේය. එම කතාවේදී විමල් ලංකාව වැනි පුංචි රටවල් කෙරෙහි එක්‌සත් ජාතීන්ගේ සංවිධානය දක්‌වන නොසැලකිල්ල ගැන අවධානය යොමු කළේය.

මේ අතර ඇමරිකාවේ ඉනර් සිටි ප්‍රෙස්‌ වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු විමල් හමුවන්නට පැමිණ ප්‍රශ්නයක්‌ ඇසීය.

එක්‌සත් ජාතීන්කේ සංවිධානයට එහි කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක්‌ පවා කළ ඔබ අද මෙසේ එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයට පැමිණියේ ඇයි....

මම උපවාස කළේ එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් ලංකාවට එරෙහිව එල්ල කළ අභූත චෝදනාවලට එරෙහිව. මේ දැන් ආවේ බෞද්ධ රටක නියෝජිතයකු ලෙස බෞද්ධ සමුළුවක ආරාධනයකට අනුව....

කොටි හිතවාදී පිළිවෙතක්‌ අනුගමනය කරන එම මාධ්‍යවේදියාට විමල්ගේ එම උත්තරයෙන් සෑහීමකට පත්වන්නට සිදුව තිබීම විශේෂත්වයකි.

මේ අතරතුර අමාත්‍ය චම්පික රණවක සිටියේ දසසිල් සමාදන්ව භාවනානුයෝගීවය. ඔහු එම දසසිල් ගැනීම පවාරණය කළේ ඉකුත් වෙසක්‌ පොහොය දිනයේය.....

චම්පික සිල් පවාරණය කර සාමාන්‍ය ලෝකයේ කටයුතු කෙරෙහි අවධානය යොමු කරන විට ඔහුගේ අමාත්‍යාංශයට සම්බන්ධ විදුලිබල මණ්‌ඩලය තුළ හරි හරි දේවල් සිදුවී තිබිණ....

පසුගිය දිනක රැස්‌වූ විදුලිබල මණ්‌ඩලයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය එහි සාමාන්‍යාධිකාරිනියට එරෙහිව ලොකු තීන්දුවක්‌ ගත්තේය. තීන්දුව වූ කලී රුපියල් කෝටි 60 ක මූල්‍ය වංචාවකට ලක්‌වී වැඩ තහනම් කළ ශ්‍රී ලංකා විදුලි පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරිවරයාට විදුලිබල මණ්‌ඩලයේ රැකියාවක්‌ ලබාදීම සම්බන්ධයෙන් වැඩ තහනම් කිරීමය.....

එහෙත් ඒ බැව් අදාළ පාර්ශ්වයන්ට දැනුම් දුන්නා පමණි අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා විදුලිබල මණ්‌ඩලයට නැවත උත්තරයක්‌ පැමිණ තිබිණි. එහි කියා තිබුණේ ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගෙන ඊට පසුදා සිටම ඇයව විශ්‍රාම ගන්වන ලෙස නියෝගයකි. ඉහළම තැනකින් ආ අණක්‌ මත මෙම තීන්දුව ගත් බව එහි කියා තිබිණි....

ඒ අනුව ක්‍රියාකරන්නට විදුලිබල මණ්‌ඩලයට සිදුවිණි. ඒ ප්‍රශ්නය එසේ විසඳුනත් ලෙකෝ සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රශ්නය විසඳී තිබුණේ නැත. ඔහුව ඉවත් කිරීමට විරෝධය පාමින් විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නට පටන්ගෙන තිබිණි.

චම්පික සිල් පවාරණය කර රාජකාරි දිහා නෙත් යොමු කරන විට ඔහුට දැක ගන්නට ලැබුණේ මේ ප්‍රශ්න හා බලහත්කාරකම් මෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ග වලින් පිරි අමාත්‍යාංශයකි.

මේ අතරතුර වෙළෙඳ හා පාරිභෝගික කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දුටද ඔය ආකාරයේම තවත් ගැටලුවකට පසුගියදා මුහුණ දෙන්න සිදුව තිබිණි. ගැටලුව ගුරුගෙදර අධ්‍යාපන සමුපකාරය සම්බන්ධවය.

සමුපකාරයේ සාමාජිකත්වය හා පරිපාලනය අතර ඇති වූ නඩුහබයක්‌ නිසා එහි පරිපාලන කටයුතු අඩාල වී තිබිණි. මේ කටයුතු කඩා වැටීමට නොදී කරගෙන යැම සඳහා සමුපකාර කොමසාරිස්‌ විසින් අතුරු පාලක කමිටුවක්‌ පසුගියදා පත් කළේය.

පසුගිය සතියේ සමුපකාර කොමසාරිස්‌වරයා එම අතුරු කමිටුවද සමග ඇමැතිවරයා හමුවන්නට පැමිණියේය.

පරිපාලනය දූෂිතයි. දුර්වලයි. එක එක්‌කෙනාගේ අතකොලුවෙලා. ඒකයි මේ ප්‍රශ්න. පරිපාලනය දූෂිත වුනාම මේ වගේ සමිතියක වැඩ කෙරෙන්නේ නැහැ. ඇමැති කීය.

ඔව්.... ඒක අපි බලාගන්නම්.... අපි ඒවා නිවැරැදි කරන්න උත්සාහ කරනවා.... අලුත පත්වූ කමිටුවේ ලේකම් කීය.

බලාගන්නවා උත්සාහ කරනවා නොවෙයි... කරන්නම ඕන. ගුරු වෘත්තිය කියන්නේ උතුම්

රැකියාවක්‌. ඔය සමූපකාරය තියෙන්නේ ගුරුවරුන්ට සේවාවක්‌ සලසන්න. නමුත් ඒ සේවය සලසන්න ගිහින් එක එක දේශපාලන පක්‍ෂවල අතකොලුවෙලා වැඩ කරන්න ගියාම අරමුණු ඉටුවෙන්නේ නැහැ. දේශපාලනයයි රැකියාවයි, සේවයයි පටලවා ගන්න ගියාම ඔහොම තමයි..... ඕවා මීට පස්‌සේ වෙන්න බෑ. වෙන්න ඉඩ තියන්නත් බෑ....

ජොන්ස්‌ටන් ඉතා තද හා දැඩි ස්‌වරයකින් කියා සිටියේය.

නාගසේන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.