සංචාරකයන් දැකගත යුතු මාතලේ වතගොත

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක



ක්‍රි.පූ. 2 සියවස තෙක්‌ ඈත අතීතයට විහිදී යන ඉතිහාසයක්‌ ඇති එදා මහාතල, මාතුල, මාතුලරට, මාතලේ මහතලය යන නම්වලින් හැඳින්වූ මාතලේ ඉතිහාසයෙන් අමතක කළ නොහැකි ප්‍රදේශයකි.

ඒ ලක්‌දිව විවිධ අවස්‌ථාවන්හිදී පරදේශක්‌කාරයන්ගෙන් රැක ගැනීම සඳහා අමතක කළ නොහැකි ලෙස ඉතිහාසයේ රන් අකුරින් ලියෑවි ඇති කැරලි ඇති වූ ජාති මාමකයන් බිහිවූ ඔවුන් පය තැබූ අඩවියක්‌ බැවිනි.

ක්‍රි.පූ. 103-102 සමයේදී වළගම්බා රජු දවස බ්‍රාහ්මණයන්ගේ කැරලි, දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩයන්ගේ ආක්‍රමණය දුර්භික්‌ෂය නිසා ජනී ජනයා ප්‍රදේශය අතහැර පලා ගියහ. දුර්භික්‍ෂයට මුහුණ දෙමින් සිටි භික්‌ෂූන් වහන්සේ මුඛ පරම්පරාවෙන් පැවත ගෙන ආ නිර්මල බුදු දහම ආරක්‌ෂා කිරීම අපහසු බව තේරුම් ගෙන එය ග්‍රන්ථාරූඪ කිරීමට තීරණය කළහ. ඒ අනුව ඓතිහාසික ආලෝක ලෙන් පුද බිමේදී (අළුවිහාර පුද බිමේදී)මහ රහතුන් වහන්සේ පන්සියයක්‌ එක්‌ව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළහ.

සීගිරිය, රංගිරි දඹුලු ලෙන් විහාරය ඇතුළු අති පූජනීය පුදබිම් මෙන්ම හින්දු, කතෝලික පුදබිම්වලින්ද නොයෙක්‌ කරුණු මාතලේ ඉතිහාසයට එක්‌ව ඇත.

"දිවයින" මේ සටහන මුලින්ම තැබුවේ අද ශ්‍රී ලංකාව සංචාරක ක්‍ෂේත්‍රයෙන් ලෝකයට අවතීර්ණ වී ඇති බැවින් මාතලේ ඓතිහාසික ස්‌ථාන සංචාරක ක්‍ෂේත්‍රයට විවර කිරීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු කිරීම පිණිසය.

ඉංග්‍රීසි හමුදාවෝ කන්ද උඩරට අල්ලා ගැනීමෙන් අනතුරුව බලකොටුව මාතලේ හිග්ගොල්ල ප්‍රදේශයේ අටවා ගත්තේය. අද එය මැක්‌ඩොවෙල් බල කොටුව ලෙස හැඳින්වේ. එදා සිංහල හමුදාවක්‌ අතින් මැරුම් කෑ ඉංග්‍රිසි හමුදාවේ උසස්‌ නිලයන්ගේ සහ ඉංග්‍රීසින්ගේ ආණ්‌ඩුවේ මාතලේ පාලනය කළ ඉංග්‍රීසින් මිය යැමෙන් පසුව ඔවුන් මිහිදන් කළේද මැක්‌ඩොවෙල් බලකොටුව යාබද බිම් කඩකය. ඉංග්‍රීසින් විසින් අත්අඩංගුවට ගෙන මාතලේ දී ටී.වී. නානායක්‌කාර උද්‍යානය ඉදිරිපිට තිබූ ඇසල ගසක එල්ලා මරා දැමූ විරුවන් අට දෙනකුගේ සිරුරද මෙහි මිහිදන් කර ඇත. මැක්‌ඩොවෙල් බලකොටුවේ ආරක්‌ෂාව සඳහා සතර අතින් ගල් වැටක්‌ද ඉදිකර තිබිණි. ඉංග්‍රීසින්ට එරෙහි වූ සිංහල හමුදාවෝ 1848 දී මාතලේ එක්‌රොක්‌ වූහ. ඔවුන් ආයුධ ගබඩාව ලෙස භාවිත කළ වාරියපොල ගල්ගෙය සහ උමග මෙහි සුවිශේෂි ස්‌ථානයකි. අද මෙය කැලෑ වදිමින් ගරා වැටෙමින් පවතී. ඉංග්‍රීසි හමුදාවෝ කැරැල්ල අවසන් කළ බවට සඳහන් ගල් පුවරුවක්‌ එවකට වාරියපොල වත්තේ පාලකයාව සිටි බව කියන විලියම් බෝන් විසින් මාතලේ මහනුවර මාර්ගයේ ස්‌මාරකයක්‌ ලෙස සිටුවා ඇත. කැප්ටන් ලිලිගේ හමුදාවෝ මෙම කැරැල්ල මැඬපැවැත්වූ බවත් ඒ සඳහා තාන්න මාන්න අපේaක්‍ෂා කළවුන් සිටි බවත් කියෑවේ.

වීර පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්‌ඩා ඇතුළු වීරයන් අනුස්‌මරණය සඳහා මාතලේ නගරාධිපතිව සිටි ටී. තම්බිරාජා මහතා විසින් 1953 දෙසැම්බර් 31 දා ස්‌මාරකයක්‌ ඉදිකර තිබේ. මෙය ඉදිරිපිට එවකට තිබී ඇත්තේ ඇසල ගසකි. එහි බැඳ කැරැල්ලේ නායකයන්ව සිටි මාඋස්‌සාවේ රණතුංග, ආරච්චි,මේල්පිටියේ අප්පුහාමි, කිතුලේ පුංචිරාල, අළුත්ගම බණ්‌ඩා, අලවතුගොඩ සියාතු කිරිබණ්‌ඩා, උකුවෙල බණ්‌ඩා, ඔබේ ආරච්චි යන අට දෙනා වෙඩි තබා මරා දැමූ බව සඳහන් වේ. ඒ විරුවන්ගේ සිරුරු මිහිදන් කළේ මැන්ඩොවෙල් බලකොටුවේය. එම ස්‌ථාන අදත් දැකිය හැකිය. කන්ද උඩරට රාජධානිය අත්කර ගැනීමෙන් පසුව මාතලේ ප්‍රදේශයද වැවිලි ආර්ථිකයට ඉංග්‍රීසිහු යොදා ගත්හ. ඒ අනුව වැවිලි නිෂ්පාදන එක්‌ රැස්‌ කර ගැනීමට හුවමාරු කර ගැනීම හා ඒවා කොළඹට ප්‍රවාහනය කිරීමට යන කාරණා සඳහා මධ්‍යස්‌ථානයක්‌ ලෙස මාතලේ නගරය යොදා ගැනිණි. මාතලේ නගරය රාජ්‍ය නගරය ද විය.

මාතලේ නගරයට ජලය සැපයුණේ ඓතිහාසික විල්ෂොයාර් කඳුවැටියෙන් ආරම්භව ගලාගිය උල්පත්වලින් බවද සඳහන් වේ. මෙම දිය උල්පත් කලක සිට සිදුවෙමින් පවතින පාරිසරික හානිය නිසා සිඳී ගොස්‌ ඇත.

මැක්‌ඩොවෙල් බලකොටුව ඇතුළු මාතලේ නගරය කේන්ද්‍ර කර ගනිමින් ඇති ඓතිහාසික ස්‌ථාන සංරක්‌ෂණය කර දේශීය විදේශීය සංචාරක ක්‍ෂේත්‍රය සඳහා යොමු කරන්නේ නම් විනිමය ඉපැයීමේ ප්‍රධාන මාර්ගයක්‌ද වනු ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.