පොලිසියයි උද්ඝෝෂකයොයි දෙගොල්ලම
අන්තිමේ ඉටුකළේ ජවිපෙ වුවමනාව
ජනපති කැබිනට්‌ රැස්‌වීමේදී පවසයි


ඉතා කලබලකාරී සතියක්‌ ගෙවී ගියේය. මේ රටේ සාමාන්‍ය ජන ජීවිතය තුළ ඉතා දිගු කලක්‌ තිබූ නිහඬ නිසල සාමකාමී බව බිඳලමින් ජන ජීවිතය සසල කළ සිදුවීම් කිහිපයක්‌ සහිත උණුසුම් සතියකි ඒ ගෙවී ගිය පසුගිය සතිය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු කැබිනට්‌ මණ්‌ඩලයටත් රජයටත් රජයේ සියලුම වගකිවයුතු නිලධාරීන්ටත් විවේකයක්‌ නොතිබූ ඒ සතිය තුළ රටේ බොහෝ තැන්වල කතාබහට ලක්‌ වූ තවත් තුන්වැනි පාර්ශ්වයක්‌ ද තිබිණි. ඒ වූ කලී ජනතා විමුක්‌ති පෙරමුණයි.

පසුගිය කාල වකවානුව තුළ ඡන්ද ගණනාවකින් පසුබෑමකට ලක්‌ව ජනතා අවධානයෙන් කෙමෙන් කෙමෙන් ඈත් වී තිබූ ජනතා විමුක්‌ති පෙරමුණ ගැන පසුගිය සතියේ සිදු වූ සිදුවීම් කිහිපයත් සමඟම යළි යළිත් ජනතාව කතා බහ කරන්නට පටන් ගත්හ.

සමහරු නම් කීවේ ජනතාව කෙරෙන් ඈත්වෙමින් පසුබාමින් සිටි ජනතා විමුක්‌ති පෙරමුණට යළි ජනතාව අතරට පැමිණ අවධානය දිනා ගැනීමට රජය විසින් හොඳ තුරුම්පු කිහිපයක්‌ ලබාදී ඇති බවයි.

මේ සියලු සිදුවීම් පටන් ගත්තේ කරුණු කිහිපයක්‌ මුල් කරගෙනයි. ඉන් ප්‍රධානතම කාරණාව වන්නේ රජය විසින් පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට ලබාදෙන්නට යන විශ්‍රාම වැටුප පිළිබඳ යෝජනාවලියයි.

මෙම යෝජනාවලිය පිළිබඳ කසුකුසුව රටේ පැතිර යන්නට පටන් ගැනීමත් සමඟම එක්‌ අතකින් රටේ ප්‍රධාන විපක්‍ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂය වැඩ පටන් ගත්තේය. අනිත් අතින් ජනතා විමුක්‌ති පෙරමුණ අළු බළු ගසා දමා වැඩ ආරම්භ කළේය. පුද්ගලික අංශයේ වැඩ කරන ජනතාව වෙනුවෙන් කඳුළු සලමින් මේ ගෙනෙන්නට දඟලන විශ්‍රාම වැටුප් යෝජනාව සොඳ සුදු සිනිඳු සේල සළු හැඳ පැළඳ මනරම් සුරඟනක්‌ නොව, එවන් සළු සේල ගත පැළඳ ඊට මුවා වී පැමිණි යක්‍ෂණියක්‌ බව ඔවුහු වැඩ කරන ජනතාව වෙත කියන්නට පටන් ගත්හ.

මේ ආකාරයට සමාජය පුරා විවිධ මත පැතිර ගියේය. කටකතා පැතිර ගියේය. ජනතාව විපිළිසරව බලා සිටියේ රජය කුමක්‌ද කියන්නේ කියාය. එහෙත් රජය පැත්තෙන් ද මේ විශ්‍රාම වැටුප යනු කුමක්‌ද කියා ජනතාවට තේරුම් ගත හැකි ආකාරයේ පැහැදිලි කිරීමක්‌ කරන්නට රජයේ කිසිවකු සමත්වූයේ ද නැත. මේ නිසා සමස්‌ත පුද්ගලික අංශයේ සේවක සේවිකාවෝ සිටියේ කිසිවක්‌ තේරුම් බේරුම් කරගත නොහැකි විචිකිච්චාවකය.

මේ හේතු කාරණා නිසා විශ්‍රාම වැටුප පිළිබඳ රටේ තත්ත්වය හොඳින් තේරුම් ගෙන ඒ මත ගොඩනැඟී ජනතාව අතරට යන්නට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවලට මෙය කදිම අවස්‌ථාවක්‌ වූයේය.

රනිල්ගෙන් උපදෙස්‌

පසුගිය 27 වැනිදා සිකුරාදා එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සිය මහලේකම් තිස්‌ස අත්තනායක තම කාර්යාලයට ගෙන්වා ගත්තේය. දෙදෙනා සාකච්ඡා කළේ ඊළඟට පක්‍ෂය දියත් කළයුතු දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ ක්‍රමවේද ගැනය.

මෙහිදී කතා කළ රනිල් පළාත් පාලන මැතිවරණයේදී ඉතිරි වූ පළාත් පාලන ආයතනවල ඡන්දය ගැන කතාබහ කරන්නට පටන් ගත්තේය.

ඒ අතරතුර තිස්‌සට විශ්‍රාම වැටුප් යෝජනාව ගැන ද අපූරු ආරංචියක්‌ කීවේය.

ජනාධිපති මහින්ද අපට ආරාධනා කරල තියෙනවා පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප ගැන කරුණු පැහැදිලි කරගන්න සාකච්ඡාවකට එන්න කියලා. මේකට ඔයයි දොස්‌තර ජයලතුයි ජෝෂප් මයිකලුයි යන්න...

ඕකට යන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක්‌ තියෙනවා මේ වෙනකොට අපිට මේ වැටුපට විරුද්ධව ඉන්න වෘත්තීය සමිතිවලින් කතා කරල තියනවා. මේක ගැන ලොකු සාකච්ඡාවක්‌ කරන්න අපි එයාලත් එක්‌ක එකඟවෙලා තියෙනවා. අපි ඒ සාකච්ඡාවට යන්න කලින් ජනාධිපතිගේ සාකච්ඡාවට යන එක සුදුසු නැහැ කියල තමයි මට හිතෙන්නේ. මොකද බැරිවෙලාවත් ජනාධිපති මහින්දගේ මීඩියා එක එදා රාත්‍රියේ අපි ඔවුන්ව හමුවන විෂුවල් එකක්‌ ටී.වී.වල දාල විශ්‍රාම වැටුපට එජාපයත් එකඟයි කියල නිවුස්‌ එකක්‌ ගැහුවොත් ඔක්‌කොම ඉවරයි. එහෙම කලින් දවසේ බොරුවක්‌ ගහල ඊට පහුවදා නිවැරැදි කළාට වැඩක්‌ නැහැ. අවශ්‍ය හානිය කරල ඉවරයි. අන්තිමේ වෘත්තීය සමිති හිතාවි අපි සටන් පාවාදුන්නා කියලා.

තිස්‌සගේ අදහස රනිල් පිළිගත්තේය. මේ අනුව පළමුව වෘත්තීය සමිති ගන්නා ක්‍රියාමාර්ගය දෙස බලා ජනාධිපති හමුවීම ඒ අනුව කරන්නට එජාපය කල්පනා කළේය.

මේ අතරතුර එක්‌සත් ජාතික පක්‍ෂයේ ජාතික සේවක සංගමය ද මේ වෘත්තීය සමිති සටන්වල ඉදිරියෙන්ම වැඩ කරමින් සිටියේය. ජනතා විමුක්‌ති පෙරමුණට අනුබද්ධ අන්තර් සමාගම් සේවක සංගමය ද විශ්‍රාම වැටුප් විරෝධී සටනේ ඉදිරියෙන්ම ක්‍රියා කළේය. මේ දෙපිරිස රටේ විවිධ මට්‌ටමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වෙමින් සිටියහ.

වෘත්තීය සමිති ක්‍රියාදාමයට කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවෝ සහභාගි වන්නේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ඔවුන්ට ම ආවේණික වූ ප්‍රශ්න කිහිපයක්‌ ද මුල්කරගෙනයි. එකක්‌ මේ කිසිදු සේවකයෙක්‌ හෝ සේවිකාවක්‌ එක්‌ ආයතනයක වසර 10 ක සේවා කාලයක්‌ සේවය කරන අය නොවීමය. විශ්‍රාම වැටුපට හිමිකම් ලබන්නේ අවම වසර 10 ක සේවා කාලයක්‌ සපිරීම තුළිනි. මේ ප්‍රශ්නය මත සේවක සේවිකාවෝ සටනකට පෙළගැස්‌සවීමේ හැකියාව වෘත්තීය සමිති වෙත ලැබී තිබිණි. එය වඩාත් ලෙහෙසි කරුණක්‌ව තිබුණේ නිදහස්‌ වෙළෙඳ කලාපයේ බලවත්ම වෘත්තීය සමිතිය වූයේ ද අන්තර් සමාගම් සේවක සංගමය වී තිබීම හේතුවෙනි.

විරෝධය

මේ අතර පසුගිය සෙනසුරාදා කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාපයේ බී ඕ අයි ශ්‍රවණාගාරය තුළ මේ විශ්‍රාම වැටුප ගැන කතා කරන්නට සම්මන්ත්‍රණයක්‌ ද තිබිණි. මෙය සූදානම් කර තිබුණේ නිදහස්‌ වෙළෙඳ කලාපයේ තරුණ තරුණියන් විශ්‍රාම වැටුප් යෝජනාව ගැන දැනුවත් කරන්නටය. කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පළාත් සභා මන්ත්‍රී නිමල් ලන්සා ඇතුළු පිරිසක්‌ ඊට සහභාගි වී සිටියහ.

කොතරම් දැනුවත් කළත් සේවක සේවිකාවෝ ඇමැතිවරයාට උස්‌ හඬින් එක හඬින් එක දෙයක්‌ කියා සිටියහ. ඒ වූ කලී ඔය විශ්‍රාම වැටුපට අපි කිසි කෙනෙක්‌ කැමැති නැහැ කියාය.

මේ විශ්‍රාම වැටුප් පනත ගෙනල්ලා තියෙන්නේ ඔයාලා වෙනුවෙනි. මේ පනත තුළ තියන කිසි දෙයක්‌ ඔයාල තවම හරියට දැකල නැහැනේ. අපි මේ පනත මුද්‍රණය කරලා ඔය හැම කෙනකුටම පිටපත බැගින් දෙනවා. ඒක බලල ඉවරවෙලා විරෝධතා තියෙනවා නම් දක්‌වන්න. එතකන් මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන එක අපි පමා කර ගන්නම්. ඇමැතිවරයා කීවේය.

මේ ස්‌ථාවරයට ළමුන්ගේ එකඟතාවක්‌ ලැබිණි. ඇමැතිවරයා පනත වහාම ළමුන්ට ලබාදෙන්නට එකඟ විය.

මේ එකඟතාව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කතා කොට ජනාධිපතිවරයාට දැන්වූවාය.

ඔය ළමයින්ගේ ලොකු විරෝධයක්‌ තියෙනවා නම් එයාලට කියන්න ඒ විරෝධය තනි තනියෙන් ලිතව දෙන්න කියලා. එතකොට අපි එයාලව විශ්‍රාම වැටුපෙන් ඉවත් කරල තියමු ඉවර නේ ජනාධිපති කීවේය.

ඉරිදා දිනය සාමාන්‍ය දිනයකි. එදා කොළඹ ඉසිපතනාරාමාධිපති කිහිඹියේ විජිත හිමියන්ට අක්‌ත පත්‍ර ප්‍රදානය කිරීමේ උළෙලක්‌ ද පැවැත්විණි. මේ සඳහා පක්‍ෂ විපක්‍ෂ මැති ඇමැති මන්ත්‍රීවරු ගණනාවක්‌ම සහභාගි වී සිටියහ. රනිල් වික්‍රමසිංහ, පී. දයාරත්න, දිනේෂ් ගුණවර්ධන, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, විඡේදාස රාජපක්‍ෂ ආදී දේශපාලනඥයෝ ගණනාවක්‌ම සිටියහ.

අපි මොන මොන වාද විවාද දේශපාලන පොර පිටියේදී කරනු ලැබුවත් මේ වගේ ආගමික කටයුතුවලදී එකට එකතුවෙලා එකා වගේ වැඩ කරනවා. රනිල් මෙහිදී එසේ කීවේය.

මේ අතර තිස්‌ස අත්තනායක දළදා මාළිගාවට ගොස්‌ සිටියේය. ඔහු තම 50 වැනි උපන් දිනය නිමිත්තෙන් දළදා මාළිගාවට සමාධි බුදු පිළිමයක්‌ ද පූජා කළේය. ඉන්පසුව මල්වතු මහා විහාරයට ගිය තිස්‌ස මල්වතු මහ නාහිමියන් බැහැදැක්‌කේය. ඉන්පසුව බලගොල්ල බෞද්ධ මධ්‍යස්‌ථානයට ගිය තිස්‌ස එහිදී සංඝ්‍යා වහන්සේලා 50 නමක්‌ විෂයයෙහි දහවල් දානමය පුණ්‍යකර්මයක්‌ද පැවැත්වීය.

රනිල් දිල්ලියට

ඉරිදා රාත්‍රියේ එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ දිල්ලිය බලා පිටත්ව ගියේය. ඔහු එසේ ගියේ ඉන්දියාවේ තෙදිනක නිල සංචාරයක්‌ ආරම්භ කරමිනි.

රනිල් ඉරිදා රාත්‍රියේ ලංකාවෙන් බැහැරව යැම නිසා සඳුදා එක්‌සත් ජාතික පක්‍ෂයේ විශේෂ දේශපාලන කටයුතු කිසිවක්‌ සිදු නොකෙරිණි. එහෙත් එදා පක්‍ෂ මූලස්‌ථානයේ රැස්‌ වූ ත්‍රිපුද්ගල කමිටුවක්‌ ඉදිරියේ තිස්‌ස අත්තනායක සාක්‍ෂි දෙන්නට සිට ගත්තේය. මේ කමිටුව පක්‍ෂයේ එජාප මන්ත්‍රී රංගේ බණ්‌ඩාර පක්‍ෂයේ මහ ලේකම්වරයාව දැඩි දෝෂදර්ශනයට ලක්‌කරමින් පුවත්පත් කිහිපයකට ලබා දී තිබූ ප්‍රකාශන කිහිපයක්‌ මුල්කරගෙනයි. තිස්‌ස මෙහිදී තමා සතු සාක්‍ෂි සියල්ල කමිටුව හමුවේ ඉදිරිපත් කරනු ලැබීය.

කටුනායක

සඳුදා උදේ කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාපය තුළ යම් සිදුවීම් දාමයක්‌ සිදුවන්නට සැලසුමක්‌ තිබෙන බවට කල්තියා ආරංචියක්‌ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියට ලැබී තිබිණි. ඇය ඒ පිළිබඳව ප්‍රදේශයේ සහෝදර මන්ත්‍රීවරු ඇමැතිවරු හා සංවිධායකයන් දැනුවත් කළාය.

ඉන්පසුව ජනාධිපතිවරයාගෙන් ලැබුණු උපදෙස්‌ මත සුදර්ශනී ඇතුළු ප්‍රදේශයේ මන්ත්‍රීවරු කිහිපදෙනකුම කටුනායක බලා පිටත්ව ගියහ. ඔවුන් එහි යන විට කටුනායක නිදහස්‌ වෙළඳ කලාපයේ සේවක පිරිස්‌ පෙරමුණු දෙකක්‌ ලෙස පාරට බැස උද්ඝෝෂණය කරමින් සිටියහ.

ඇමැති µSලික්‌ස්‌, සරත්, සුදර්ශනී, පළාත් සභා ඇමැති නිමල් ලන්සා ඇතුළු පිරිස උද්ඝෝෂණවල නියෑළී සිටි පිරිස අතරට ගොස්‌ කරුණු කාරණා පැහැදිලි කර දෙමින් මෙම පනතට විරුද්ධ නම් ඒ බැව් ලිතව ලියා දෙන ලෙස ඉල්ලා සිටියහ.

මෙහිදී ඒ ඉල්ලීමට කන්දුන් සමහර සේවක සේවිකාවෝ තම විරෝධතා ලිතවම ලියා බාරදුන්හ. විරෝධතා බාරදුන් සමහරු විසිර ගියහ. එහෙත් අන්තර් සමාගම් සේවක සංගමය විසින් මෙහෙයවන ලද සේවක සේවිකාවෝa දිගටම පාර අවහිර කරමින් පොලිසියට උසුළු විසුළු කරමින් උද්ඝෝෂණවල නිරත වී සිටියහ.

තමා ලිතව ලබාගත් විරෝධතා ලිපි සියල්ල ගොනු කරගත් සුදර්ශනී ජනාධිපතිවරයා හමුවීමට අරලියගහ මන්දිරයට පිටත්ව ගියාය.

පොලිසිය හා උද්ඝෝෂකයන් අතර කෝලාහලය පටන්ගෙන ඇත්තේ මේ මොහොතේය. සංවිධානාත්මකව කල්යල් බලමින් සිට ක්‍රියාත්මක කළ එක්‌තරා පිරිසකගේ ගල් ප්‍රහාරයකින් ඇරැඹි මේ කලහය අවසානයේ සැලසුම් කළ අයුරින්ම පොලිසිය හා උද්ඝෝෂකයන් අතර ගැටුමක්‌ ලෙස දිග්ගැස්‌සී ගියේය.

පොලිසිය උද්ඝෝෂකයන්ට එල්ල කළ කඳුළු ගෑස්‌ ප්‍රහාරවල ගෑස්‌ ප්‍රවාහය සුළං පහර හේතුවෙන් යළි පැමිණ ඇත්තේ ද පොලිසිය සිටි පැත්තටය. ඒ අතර උද්ඝෝෂකයන් පොලිසිය තුළ තිබූ ගසක කාලයක්‌ තිස්‌සේ ලැගුම් ගෙන සිටි බඹරයකට ද ගල් ප්‍රහාර එල්ල කර තිබිණි. එමගින් බඹරය ද ඇවිස්‌සී බඹර ප්‍රහාර එල්ල වී ඇත්තේ ද පොලිසියටය. මේ සියලු අවාසිදායක පරිසරය තුළ පොලිසිය ද ප්‍රතිප්‍රහාර දක්‌වා තිබිණි.

මධ්‍යම කාරක සභාව

සඳුදා සවස අරලියගහ මන්දිරය තුළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්‌වීමක්‌ ද පැවැත්විණි. මෙහිදී ප්‍රධානතම මාතෘකාව වූයේ කටුනායක සිදු වූ අවාසනාවන්ත සිද්ධියයි.

මෙහිදී මෛත්‍රි, බැසිල්, සුසිල්, බර්ටි ආදී පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ අදහස්‌ දක්‌වමින් කීවේ මෙම පෙන්ෂන් යෝජනා ක්‍රමය ඔවුන්ට එපා නම් වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්වා දමමු කියාය.

මේ අනුව විශ්‍රාම වැටුප් පනත අහෝසි කර දමන්නට මධ්‍යම කාරක සභාවේ ඒකමතික අනුමැතිය ලැබිණි.

ඉන්පසුව අරලිsයගහ මන්දිරයේ වෙනත් කාමරයක බස්‌නාහිර පළාතේ පාර්ලිමේන්තු, පළාත් සභා හා කටුනායක සිද්ධියට අදාළ පළාත් පාලන ආයතනවල නායකයෝ සහභාගි වූ වෙනම රැස්‌වීමක්‌ ද පැවැත්විණි.

මේ වනවිට කටුනායකදී වෙඩි වැදී තුවාල ලැබූ රොෂෙන් නමැති තරුණයාගේ තත්ත්වය ඉතා බරපතල බව ජනාධිපතිවරයා දැන සිටියේය. ඒ වනවිටත් ඔහු සිටියේ අමාත්‍යංශයේ හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන්ට හා ප්‍රකට වෛද්‍යවරුන්ට කතා කරමින් රොෂෙන්ට අවශ්‍ය ප්‍රතිකාර ගැන කතාකරමිනි.

එදා දහවල් එම සිද්ධිය වන වේලේ ජනාධිපතිවරයා කිහිප වතාවක්‌ම අමාත්‍ය ගාමිණී ලොකුගේට කතා කොට තිබුණත් ඔහු කොළඹ සිටියේ නැත. ඔහු සිටියේ අමාත්‍ය බැසිල් සමග නැගෙනහිර ප්‍රදේශයේ සංචාරක හෝටල් කිහිපයක්‌ විවෘත කරන්නට ගොසිනි.

ඉන්පසුව ජනාධිපති නිමල් ලන්සාට හා සුදර්ශනීට කතා කොට කටුනායක ප්‍රදේශය පුරා ශබ්ද විකාශන යන්ත්‍රයක්‌ යොදාගෙන මේ විශ්‍රාම වැටුප් යෝජනාව ඉවත් කරගත් බවට රාජ්‍ය නිවේදනයක්‌ නිකුත් කරන්නට කීවේය. ඒ අනුව නිමල් ලන්සා ශබ්ද විකාශන යන්ත්‍ර යෙදූ ත්‍රීවීලරයක්‌ සූදානම් කළේය. උද්ඝෝෂකයෝ ඊට ද පහර දී පෙරළා දැමූහ. මේ අයුරින් උද්ඝෝෂකයන්ගේ නොහික්‌මුණු ක්‍රියාකලාපයන්හි ද සීමාවක්‌ නොතිබිණි.

මේ අතරතුර ජනාධිපතිවරයා බස්‌නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගට කතා කොට රොෂෙන්ගේ ගෙදරට යන ලෙස ඉල්ලා සිටියේය. මිනුවන්ගොඩ පදිංචිකරුවකු වන රොෂෙන් ඒ වනවිට බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටියේය.

ප්‍රසන්න, කරන්න පුළුවන් හැම දෙයක්‌ම කරන්න. ඔක්‌කොම හොයල බලන්න. ජනාධිපති නිතර කීවේය. ඒ සියල්ල ඔහු කළේ දහවල්ය.

මේ අතර ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා වන එලියන්ත වයිට්‌ ඉන්දියාවේය. ජනාධිපති හදිසියේ ඔහුවත් කැඳවා තිබිණි.

නාමල් යයි

ජනාධිපති මහින්ද නාමල් රාජපක්‍ෂට කතා කළේය. ඔහුට කෙළින්ම රාගම රෝහලට ගොස්‌ රොෂෙන් පිළිබඳ සොයා බලා තමන්ට විස්‌තර කියන රාජකාරිය පැවරූ ජනාධිපතිවරයා සෙසු ප්‍රධාන මැති ඇමැතිවරුන්ටද කීවේ එහි ගොස්‌ තත්ත්වය සොයා බලන ලෙසය. මේ අනුව නාමල්, ඩලස්‌ මෛත්‍රි, ලසන්ත, බැසිල්, µSලික්‌ස්‌, සරණ ඇතුළු ආණ්‌ඩුවෙන් භාගයක්‌ ඇමැතිවරු සිටියේ රාගම රෝහලේය.

මේ අතරතුර කරු, ගයන්ත, සජිත්, ජයලත්, ජෝෂප් මයිකල්, ගාමිණී ජයවික්‍රම ඇතුළු එජාප මන්ත්‍රීවරු ගණනාවක්‌ ද එතැනට ඇවිත් සිටියහ.

දොස්‌තර එලියන්ත වයිට්‌ සමග නාමල් දැඩිසත්කාර ඒකකය ඇතුළටම ගොස්‌ ලෙඩාගේ සුවදුක්‌ විමසා බැලීය. එලියන්ත ඔහුගේ වත්පිළිවෙත් වලට අනුව ඇතුලේදී රෝගියාට ජීව ශක්‌තිය දීමේ වෑයමක නිරත වූයේය.

ඒ අතරතුර නාමල් රොෂෙන් තරුණයාගේ වැඩිමහල් සහෝදරයා මුණගැසුනේය. ඔහු හා කතාබහ කර දුරකතනයෙන් ඔහු ජනාධිපතිවරයා හා සම්බන්ධ කළේය. ඉන්පසුව ඒ දුරකතනය රොෂෙන්ගේ තාත්තට දුන්නේය.

ජනාධිපතිතුමනි, මම තමයි අඹගහවත්තේ කිරි මහත්තයාගේ මස්‌සිනා. ඔහු ගත් කටටම ජනාධිපතිවරයාට එසේ කීවේය.

අඹගහවත්ත කිව්වේ මේ විතාරන්දෙනියේ අඹගහවත්තෙද?

ඔව් සර්... ඔහු උත්තර දුන්නේය.

ඔව් ඒක තමයි. මම මේ නාමල්වත් ඉක්‌මනට ඔතනට එව්වේ. ලංකාවේ ඉන්න හොඳම දොස්‌තරලා එව්වා. පිට රටක ගෙනිහින් හොඳ කරන්න පුළුවන්නම් මම ඇවිත් ඒකත් කරල දෙනවා. ජනාධිපතිතුමා කීවේය.

මහාචාර්ය නන්දික විඡේරත්න හා දොස්‌තර රාජමන්ත්‍රි කීවේ මේ තියන තත්ත්වය මත රෝගියා කොළඹටවත් ගෙනයා නොහැකි බවය. වකුගඩුවලට ඒ තරමටම හානි සිදුවී තිබිණි.

එදා දවසේ ජනාධිපතිවරයා මධ්‍යම කාරක සභා රැස්‌වීම කරමින් සිටි අතරවාරයේ මරණයත් ජීවිතයත් අතර ප්‍රබල සටනක යෙදී සිටි රොෂෙන් මේ කරදරකාරී ලෝකයට වඩා මළවුන්ගේ ලෝකය යහපත් යෑයි සිතා එය තෝරා ගත්තේය.

අඟහරුවාදා දිනයේ අමාත්‍ය බැසිල් නිදහස්‌ වෙළෙඳ කලාපයේ සියලුම ආයෝජකයන් කොළඹට ගෙන්නුවේය. පළමුව සිදු වූ දේ ගැන ඔහු රජයේ විශේෂ කනගාටුව ප්‍රකාශ කර සිටියේය.

ආයෝජකයෝ තම කර්මාන්තශාලාවලට සිදුව ඇති අලාභය ගැන කීහ. ඒ සියල්ල පිළිසකර කරදීමේ වගකීම බැසිල් භාරගත්තේය.

බැසිල් මේ සිද්ධිය සිදු වූ ආකාරය ගැන ඔවුන්ගෙන් විස්‌තර විමසා සිටියේය. සිද්ධිය පිළිබඳ ගත හැකි නිවැරැදි චිත්‍රයක්‌ ඔවුන් වෙතින් අමාත්‍ය බැසිල්ට ලැබිණි.

මේ අතරතුර ලසන්ත අලගියවන්න, ඩුලිප් විඡේසේකර, සරණ ගුණවර්ධන ඇතුළු පිරිසක්‌ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ නිවසට පැමිණියහ. සිද්ධිය සිදු වූ ආකාරය හා සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ පිටුපස සිට සියල්ල මෙහෙයවූ ආකාරය ඒ වන විට ඔවුන්ට හොඳින් ආරංචි වී තිබිණි.

දැන් ඉතින් සමහරු මෙතන දේශපාලන උත්සවයක්‌ කරගන්න පටන් ගනීවි. මළ ගෙදර දේශපාලන වේදිකාවක්‌ කරගෙන රජයට ප්‍රහාර එල්ල කරන්න පටන් ගනීවි. සමහරු කීහ.

එහෙම කොහොමද මිනුවන්ගොඩ ගමේ ඒ මිනිස්‌සු අපේ පාක්‍ෂිකයෝ. මේක කොහොමද වුණේ කාගෙන්ද වුණේ කියල එයාල දන්නවා. තවත් සමහරු කීහ.

කෙසේ වෙතත් මේ කලබල අතරතුර ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සියලුම මන්ත්‍රීවරු හා සංවිධායකයෝ ජනාධිපති මහින්දගේ ඉල්ලීම පරිදි ඊළඟට මළ ගෙදරට ගියහ. සුදර්ශනී, සරණ, මර්වින්, µSලික්‌ස්‌, ලසන්ත, මහ ඇමැති ප්‍රසන්න ඇතුළු ගණනාවක්‌ම එහි පිරී සිටියහ.

මළ ගෙදරට එක්‌සත් ජාතික පක්‍ෂයේ කිහිපදෙනකු ද පැමිණ සිටියහ. දොස්‌තර ජයලත් ජයවර්ධන මේ අතර කැපී පෙනිණි.

මේ අතර දොස්‌තර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක්‌ ගැනීමට තම වාහනයට ගොඩනැග්ගාය. මහ ඇමැති ප්‍රසන්න ඒ වාහනයේ පිටුපස අසුනට ගොඩ වූයේය. නිමල් ලන්සා ද ගොඩවූයේය. මර්වින් පැමිණ ඉදිරිපස රියෑදුරු අසුනේ වාඩිවුණේය.

සුදර්ශනී දුරකථන ඇමතුම ගනිද්දී මර්වින් රථය පණගන්වා සෙනඟ නැති ප්‍රදේශයක්‌ බලා ඉදිරියට ගියේ සුදර්ශනීට නිදහසේ කතා කිරීමට ඉඩ සලසන්නටය.

එහෙත් ආරක්‍ෂක වාහන සියල්ල කලබල වී මේ වාහනය පසුපස එන්නට පටන් ගත්තේය.

මේක මහ පුදුම වැඩක්‌ නේ. අපිට ටිකක්‌ හෙළවෙන්නවත් බැහැ. මේ මිනිස්‌සු පස්‌සෙන් කියමින් ඔවුහු සිනාසුණහ.

කැබිනට්‌

සුපුරුදු පරිදි කැබිනට්‌

රැස්‌වීම බදාදා සවස 7.30 ට ජනාධිපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙවර එය තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ ය.

මෙවර ඇමැති මණ්‌ඩලයේ අවධානය පිණිස කැබිනට්‌ පත්‍රිකා 57 ක්‌ ඉදිරිපත්ව තිබූ අතර එතරම් උණුසුම් කැබිනට්‌ පත්‍රිකා කිසිවක්‌ නොවීය.

ඒ අතර අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කළ ද්විතීයික පාසල් 1000 පිළිබඳ අදහස්‌ ඉදිරිපත් කිරීමක්‌ ද තිබිණි.

මේ සම්බන්ධයෙන් ලංකාවේ අධ්‍යාපන (පාසල්) ක්‍රියාදාමයේ හරස්‌කඩක්‌ පෙනෙන සේ සකස්‌ කළ ඩිජිටල් තාක්‍ෂණය යොදා ගත් වාර්තාවක්‌ ද ඉදිරිපත් කෙරිණි. එය ජනාධිපතිවරයාට හා ඇමැතිවරුන්ට පෙන්වන්නට පෙර බන්දුල ගුණවර්ධන ඒ පිළිබඳ පැහැදිලි කිරීමක්‌ ද පටන් ගත්තේය.

"ඕක පෙන්නලාම කතා කළා නම් නේද හොඳ?........" ඇමැතිවරු එසේ කීවේ සාමාන්‍යයෙන් බන්දුලගේ එබඳු පැහැදිලි කිරීමක්‌ කොතරම් දීර්ඝ දැයි හොඳ හැටි දන්නා නිසාය.

"නැහැ. මේක ගැන මට කියන්න දෙයක්‌ තියෙනවා. මේක අහලා ඒක බලමු."

ලංකාවේ දැනට තිබෙන පාසල් සංඛ්‍යාවෙන් ළමයි 6 දෙනාට අඩුවෙන් ඉගෙනුම ලබන පාසල් 125 ක්‌ තිබෙන බව පෙන්වා දුන් ඔහු මුළු පාසල් සංඛ්‍යාවෙන් 25% ක්‌ ම ළමයි 100 ට වඩා අඩු පාසල් බව පැහැදිලි කළේය.

කෙසේ හෝ බන්දුලගේ පැහැදිලි කිරීමට විනාඩි 15 ක්‌ ම ගත විය. ඉන් පසුව නිලධාරීහු ඩිජිටල්ව සකස්‌ කළ පවර් පොයින්ට්‌ වාර්තාව පෙන්වන්නට පටන් ගත්තේය.

"ආ...... තව එකක්‌ තියෙනවද? මම හිතුවා බන්දුලගේ කතාවෙන් පස්‌සේ ඔක්‌කොම ඉවරයි කියලා......" ජනාධිපතිතුමා සිනහ වෙමින් කීවේය.

මේ වාර්තාව පෙන්වීමෙන් පසු ඇමැතිවරු අදහස්‌ දක්‌වන්නට පටන් ගත්හ. මෙම සාකච්ඡාවට මහ ඇමැතිවරු ද සහභාගි වූහ.

සමහර පළාත්වල දුෂ්කර පාසල්වල ගුරුවරු නැත්තේ එයාලට ඒවයි ගිහින් නවතින්න තැනක්‌ නැති නිසයි. ඉස්‌සර නම් පාසල්වල ගුරු නිවාස තිබුණා. දැන් ඒවාත් නැහැ. ඒවාට මුදල් වෙන් කළොත් හොඳයි." ඇමැතිවරු කීහ.

ඇයි අපිට බැරි ඒවගේ පාසල්වල ගුරුවරු හත්අට දෙනාට නතර විය හැකි හොස්‌ටල් හදන්න. ගුරු නේවාසිකාගාර........" ජනාධිපති ඇසීය.

"අපි දැන් උතුර - නැගෙනහිර නම් පාසල්වලට ගුරු ගම්මාන බිහි කරනවා. ඒවාට ඔය ප්‍රශ්න නැහැ. " බැසිල් කීය.

ඔව්. ඉතින් උතුරට නම් ඕන දෙයක්‌ තියෙනවා. උතුරට දෙන සල්ලි වලින් ටිකක්‌ අපටත් තිබුණා නම් ඉතින් අපටත් හදන්න තිබුණා. මහ ඇමැතිවරයෙක්‌ සරදම් ස්‌වරයෙන් කියා සිටියේය.

මතක තියාගන්න........ උතුර - නැගෙනහිර කියන්නේ වසර 30 ක්‌ මොනවාවත්ම නොලැබිච්ච යුද්ධයක්‌ තිබුණ පළාතක්‌. අපි එහාට දෙන්න ඕන මීටත් වඩා.............. " ජනාධිපති කිවේය.

ඒ අතර අධ්‍යාපන ක්‍රමවේද ප්‍රතිසංස්‌කරණය විය යුතු ආකාරය ගැන ද ඇමැතිවරු කතා කළහ. ඉන්පසු ඇමැතිවරු කතා කළේ පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීම ගැන ය. ඇමැතිවරු දැන් තිබෙන ක්‍රමයට දොස්‌ කියන්නට පටන් ගත්හ.

ආරංචියක්‌ තියෙනවා ඔය අමාත්‍යාංශය ඇතුලේ ඉන්න නිලධාරීන්, ඇමැතිවරුන්ගේ ලියුම් අරගෙන සමහරු අමාත්‍යාංශයට ගියාම ඒ ලියුම් වීසිකරල දානවා කියල බලන්නේවත් නැතුව. මට වෛද්‍යවරු, මහාචාර්යවරු උසස්‌ ප්‍රභූවරු මේ ගැන හරියට පැමිණිලි කරල තියෙනවා. එහෙම උද්ධච්ච විදියට නිලධාරීන්ට වැඩ කරන්න දෙන්න එපා. වැඩේ කෙරුණේ නැතුවට කමක්‌ නැහැ. අඩුම ගානේ ඇමැතිවරයෙක්‌ එවන ලියමනකට ගේන මිනිහ ඉදිරියේ ගරු කරන්නවත් ඔය නිලධාරීන්ට උගන්වන්න ඕන." ජනාධිපති කීය.

"බලන්න සුසිල් ඇමැතිතුමාට කවුරුත් හොඳ කියනවා. ළමයි ටික කොහොම හරි පාසල් වලට දාල දුන්නා කියලා. අද තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. නිලධාරීන් දේශපාලනඥයකුගේ ලියුමකට ගරු නොකරන එක ගැටලුවක්‌.

මේ අතර නැවත වතාවක්‌ පාසල්වල ළමයින් අඩුවීම ගැන කතා බහ පටන් ගැනිනි. ළමයි නැතිකම නිසා පාසල් 2600 ක්‌ පමණ වසා දමන්නට සිදු වේ යෑයි කියමිනි.

තව ප්‍රශ්නයක්‌ තියෙනවා සර්. අද එදා වගේ ළමයි බෝවෙන්නේ නැහැ. ඉස්‌සර එක පවුලක ළමයි පස්‌දෙනයි හය දෙනයි. අද එක පවුලක ළමයි එක්‌කෙනයි. නැත්නම් දෙන්නයි. අපට දැන් මිනිස්‌සුන්ට ළමයි බෝ කරන එක ගැනත් උගන්නන්න වෙලා" ඇමැති තිස්‌ස කරලියද්ද කීවේය.

එහෙමද මම හිතුවේ තමුන්නාන්සේට ඇමැතිකම දුන්නට පස්‌සේවත් ඔය වැඩේ හරියට කෙරේවි කියලා. ජනාධිපති මහින්ද තිස්‌සට එසේ කීවේ ඔහු වත්මන් වනිතා කටයුතු ඇමැති නිසාය. සෙසු ඇමැතිවරු සිනහ වෙන්නට පටන් ගත්හ.

කොහේද ඉතින්............. ඒකත් ලැබුණේ කල වයස ගියාට පස්‌සෙනේ. තිස්‌ස ද විහිළුවට විහිළුවෙන්ම පිළිතුරු දී සිනහසුනේය.

එතැනින් නිල කැබිනට්‌ රැස්‌වීම අහවර විය. ඉන් පසුව ජනාධිපතිවරයා පැහැදිලි කරන්නට පටන් ගත්තේ කටුනායක අවාසනාවන්ත සිදුවීම ගැනය.

මගේවත් පොලිස්‌පතිගේවත් ආරක්‍ෂක ලේකම්ගේවත් අනුමැතියකින් තොරව එතන පොලිසිය අවස්‌ථානුකූලව අත්තනෝමතික තීන්දුවක්‌ අරගෙන වැඩ කරල තියෙනවා. මේක නිසා අන්තිමට වුණේ අර අහිංසක දරුවෙක්‌ මියගිය එක. එතනදී මේ කටුනායක සේවක පිරිසයි පොලිසියයි දෙගොල්ලොම එකතු වෙලා කරල තියෙන්නෙ ජනතා විමුක්‌ති පෙරමුණේ වුවමනාවක්‌ ඉටු කරල දීපු එක විතරයි.

මම බුද්ධි අංශ වාර්තා ගෙන්නගෙන බැලුවා. නිදහස්‌ වෙළෙඳ කලාපයේ ආයෝජකයෝත් රජයත් අතර කෙරුණු සාකච්ඡාවේදී ඔවුන් කියපු දේවල් විමසා බැලුවා. ඒ අනුව මේකට ජනතා විමුක්‌ති පෙරමුණ නායකත්වය දුන්නය කියල ඔප්පු වෙලා තියෙනවා. ඉතිහාසය අපි දන්නවා. එයාල එයාලගෙ පටු දේශපාලන කටයුතු ඉටුකරගන්න කටුනායක මොන තරම විනාශයක්‌ කරල තියෙනවද? ෆැක්‌ටරි කීයක්‌ වහල තියෙනවද? ආයෝජකයෝ කී දෙනෙක්‌ ෆැක්‌ටරි වහල ගෙදර ගිහින් තියෙනවද? මතකද අර වෝල්ස්‌ කියන අයිස්‌ක්‍රීම් ෆැක්‌ටරියට කරපු අසාධාරණය. ඒ වගේම බාටා එකට කරපු දේ මතකනේ.

අනිත් එක මේ විශ්‍රාම වැටුප තුළ කටුනායක ළමයින්ට ප්‍රශ්නයක්‌ තියෙන බව මම දැක්‌කා. එයාල වෙනුවෙන් තමයි අර අවුරුදු 10 ක්‌ කල් පිරෙන සීමාව ඉවත් කරන්න මම යෝජනා කළේ. මොකද ඔතන ඉන්න හැම සේවකයම අවුරුදු 5 කට 6 කට වඩා වැඩ කරල නැහැ.

ඒත් එක්‌කම මේ වෙඩි වැදිච්ච කටුනායක දරුවා මිනුවන්ගොඩ ගෙදරක ඒ පවුලම අපේ පාක්‍ෂිකයෝ. වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න දරුවෙක්‌ ඉන්නවා. ඒ දරුවට උදව් කරන්න. මට දැන් ආරංචි වුණා වෙඩි වැදුන දරුවා මීට පැයකට කලින් මියගියා කියලා. මම ඒ දරුවා ගොඩගන්න කරන්න පුළුවන් හැම දේම කළා. කොළඹින් වෛද්‍යවරු යෑව්වා. මගේ වෛද්‍යවරයා පවා මම ඉන්දියාවේ ඉඳල ගෙන්නා ගෙන එතනට යෑව්වා. ඒත් දරුවා බේරගන්න බැරි වුණා.

දැන් ඔයාලා ඒ මළ ගෙදර ගැන බලන්න. කරන්න ඕන හැම දෙයක්‌ම කරන්න. සමහර කණ්‌ඩායම් ඇවිත් මේ මළමිනිය මත හිටගෙන දේශපාලන වාසි ගන්න බලාවි. පරිස්‌සමින් වැඩ කටයුතු කරන්න. මේ සාකච්ඡාවට පසු සියල්ලෝම විසිර ගියහ.

නාගසේන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.