නුවර යුගයේ රාජ්‍ය පාලනය -10
දුක්‌ගන්නාරාළ නොහොත් අප්පුහාමිවරු

මහනුවර යුගයේ රාජ්‍ය පාලනයේදී මහාධිකාරම, අදිකාරම්වරු, දිසාව ආදී වශයෙන් පරිපාලනයේ කේන්ද්‍රයේ සිට ප්‍රාදේශීය මට්‌ටමේ ආරච්චි දක්‌වා විහිදී සිටි නිලධාරී පෙළැන්තියක්‌ දක්‌නට විය. මේ සියලු නිලධාරීන් අභිබවමින් ගිය රජවාසල "මාළිගයේ සේවාව" නමින් හඳුන්වන ලද රජුට දැඩි සේ "හිතේෂීවන්ත" වූ "දුක්‌ගන්නාරාළ" වරුන්ගෙන් යුතු පිරිසක්‌ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ කාලය වන විට පැහැදිලිවම දක්‌නට ලැබුණි. ප්‍රධාන ඇමැතිවරුන්ට හා අධිකාරීවරුන්ට අපරාධ අධිකරණ කටයුතු පිළිබඳ වැදගත් වූ බලතල ලැබී තිබුණු නමුදු ඔවුනට නීතිය ක්‍රියාවේ යෙදවීම පවා අවහිර වූ බලතල සහිත පිsරිසක්‌ බවට මෙම රජ වාසල සේවකයන් පත්ව සිටියහ. අවසාන පාලන සමය වන විට මෙකී වාසල නිලධාරීන් සේවා ඉඩම් නොහොත් "බඩවැදලි" බුක්‌ති වින්ද නිදහස්‌ පිරිසක්‌ බවට පත් බව පෙනේ. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාවේ යෙදවීමට පවා අසීරු විය.

රජතුමාගේ පරිවාර ජනයා පිළිබඳ ජෝන් ඩොයිලි, ඡේම්ස්‌ගේ සහ හර්බට්‌ රයිට්‌ යන ඉංගී්‍රසි ජාතිකයන් විසින් තොරතුරු වාර්තාකර ඇති අතර ඉන් පෙනී යන්නේ මෙම සේවක පිරිස්‌ එක්‌ එක්‌ රජුගේ කාලයේදී විවිධ ප්‍රමාණවලින් යුක්‌ත වූ බවයි. ඔවුන් නිල ප්‍රධානීන් ලෙස ගත් කල තනතුරු 31 ක්‌ ලෙස ඩේව්, ඩොයිලි, ලෝරි යන අයගේ වාර්තාවලද සඳහන් වන අතර මෙම ප්‍රධානීන් යටතේ පවුල් වශයෙන් විශාල පිරිසක්‌ රජවාසල විවිධ අංශවලට සම්බන්ධව කටයුතු කළෝය. මේ අය අතරින් "මහ සැතපෙනගෙයි මුහන්දිරම් නිලමේ", "අතපත්තු මඩුවේ මුහන්දිරම් නිලමේ", "රන් ආවුද මඩුවේ ලේකම් මහත්මයා" යන අය යටතේ මුරපළවල් තුනකට ඇතුළත්ව සේවය කළ "දුක්‌ගන්නා රාළවරු" රැසක්‌ වූහ. මොවුන් මහ වාසලට සමීපව සිටිමින් රජුගේ සියලු ආවතේව කටයුතු බලා ගත්තෝය. විශේෂයෙන් උසස්‌ පෙළපත්වලින් පැවත එන පවුල්වල කාය ශක්‌තියෙන් හෙබි තරුණයෝ මෙම සේවයෙහි වැඩිපුර නියෑළුන අතර ඔවුන් "දුක්‌ගන්නාරාළ" නමැති නිල නාමයට අමතරව "අප්පුහාමි" නමැති ගරු නාමයෙන්ද හඳුන්වනු ලැබීය. රජුගේ ප්‍රසාදය දිනා ගැන්මේ පහසුම සේවයක්‌ වූ මෙය රටේ මහත්මයා දිසාවේ ආදී උසස්‌ තනතුරුවලට නැග ගැනීම සඳහා යොදාගත හැකි හිණිමගක්‌ද වූ බව පෙනේ. දුක්‌ගන්නාරාළ නොහොත් අප්පුහාමිවරුන්ට රාජධානිය තුළ මෙතරම් බලයක්‌ හිමිව පැවතුණේ රජුගේ පැවැත්ම ඔවුන්ගේ රාජකාරිය මත ර¹ පැවැති බැවින් විය. ඔවුන් අරබයා සෙසු නිලධාරීන්ගේ විශේෂ සැලකිල්ලක්‌ පැවැතියේ රජු හා සම්බන්ධව ඔවුන් අතර පැවැති විශ්වාසය පදනම්කොට ගෙන බැවින් ඔවුන් හා ඔවුන්ගේ පවුල් අරබයා රාජකාරි කිරීමට රාජ්‍යය තුළ පරිපාලනයේ නියෑලී නිලධාරීන්ට නොහැකි විය. එහෙත් මෙම "රජුගේ සේවකයෝ" රජු අරබයා ඉටුකළ මෙහෙවරට පරිබාහිර පරිපාලනයට සම්බන්ධ වූ පිරිසක්‌ නොවීය. එහෙත් ඔවුන් රාජධානිය තුළ සුවිශේෂී වූද, ඉතාමත් බලසම්පන්න වූද රජුගේ හිතෛෂී රාජ්‍ය සේවක පිරිසක්‌ වූහ. රජුගේ සියලු ආවතේව ඔවුන් සතු වූ බැවින් රන් ආවුද මඩුව, අතපත්තු මඩුව, මහ සැතපෙන ගේ යන ස්‌ථාන තුනේම ප්‍රධානීන් යටතේ සේවා කළ සියල්ලෝම දුක්‌ ගන්නා රාළවරු නොහොත් "අප්පුහාමිල්ලා" ලෙස හඳුන්වන ලදී. "දුක්‌ගන්නා රාළ" යන්නෙන් අදහස්‌ කළේ රජු වෙනුවෙන් සෑම මොහොතකම ඇප කැපව සිටීමයි. නොහොත් රජුගේ දුක දරා සිටීමයි. ඔවුන් රජුගේ ශ්‍රී යහන් ගබඩාවේම රැය පහන් කළ බව සමහර සිද්ධීන්ගෙන් පෙනේ. 1664 කැරැල්ලේදී රාජසිංහයන් යයි සිතා කැරලිකරුවන් විසින් ශ්‍රී යහන් ගබඩාවේදී මෙවැනි දුක්‌ගන්නාරාළ කෙනකු මරා දමා තිබිණි. අඹන්වල රාළ විසින් යොදවන ලද චර පුරුෂයකුට රජතුමා මරා දැමීමට නොහැකි වූයේ මෙම දුක්‌ගන්නා රාළවරුන් නිසා බව සඳහන් වේ. මොවුන් රජුගේ ආහාර පාන සියල්ල රජු වැළඳීමට පෙර ඉඳුල්කර ඊට වස මිශ්‍රකර ඇත්දැයි නිරතුරුව විමසුමේ යෙදී සිටින්නෝය. ඔවුන්ට පුද්ගලික ජීවිතයක්‌ නැති තරම් විය. ඔවුන් "දිසාවේ" හෝ "රටේ" රාජකාරි නොකළ අතර පොදුවේ සියලු රටවැසියන් විසින් කරන ලද "කත්හාල් රාජකාරිය"ට පමණක්‌ යටත් විය. අවසන් කාලය වන විට ඉන්ද නිදහස්‌ වූ අවස්‌ථා ගැන වාර්තාවෙයි.

මහ සැතපෙනගේ මුහන්දිරම් යටතේ මහනුවර අවසාන භාගය වන විට අප්පුහාමිවරු 48 දෙනෙක්‌, අතපත්තු මඩුව හා රන් ආවුද මඩුවේද එසේම 48 දෙනා බැගින් 144 දෙනෙක්‌ සේවය කළ බව සඳහන් වේ. මහ සැතපෙනගේ මුහන්දිරම් යටතේ ලේකම් කෙනෙක්‌ හා කංකානම් කෙනෙකුද ඔවුන් යටතේ අප්පුහාමිවරුද වූ අතර රජුගේ ඇඳුම් පැළඳුම් සැකසීම සහ ආරක්‍ෂාව ඔවුන්ගේ බාරයේ පැවතුණි. රජුගේ කාමරය අසලම තිබූ කාමරයක්‌ අතපත්තු මඩුව නම් විය. පණිවුඩ ගෙන ගියේ මෙම පිරිස වූ අතර විශේෂ අවස්‌ථාවල රජුගේ ස්‌වර්ණමය සන්නාහ උසුලන ලද්දේ ඔවුන් විසිනි. රන් ආවුද කාමරය අනෙක්‌ වැදගත් ස්‌ථානයයි. මොවුන් සේවා ස්‌ථානයේ නාමයෙන් "සැතපෙනගෙයි අප්පුහාමි", "අතපත්තු අප්පුහාමි", රන් ආවුද අප්පුහාමි" ආදී නම් වලින්ද "රාළ, නිලමේ, බණ්‌ඩා" යන පද අගට යොදමින්ද හඳුන්වන ලද බව සඳහන් වේ.

රජුගේ නාන කාමරය, ආයිත්තම් කාමරය, භෝජනාගාරය, ආදියෙහි කටයුතු කරන සේවකයින් ලෙසින්ම මෙම දුක්‌ගන්නා රාළවරුද රජුගේ ශ්‍රී දේහය අපවිත්‍ර වීමෙන් වැළැක්‌වීම සඳහා මුඛ වාඩම් බැඳ සිටි බව කීමෙන් පෙනෙන්නේ ඔවුන් නිරතුරුව රජුගේ ආසන්නතම සේවකයින් වූ බවයි. එසේම ඔවුන්ගේ සේවා මුර නොහොත් සේවා "යාම" (ජාම) නියම කොට තිබිණි. උදැසන සිට පැය අටක්‌ පළමු ජාමය වූ අතර එතැන් සිට පහළොස්‌වන පැයේ අවසානය දෙවන ජාමය විය. එතැන් සිට තුන්වන පැයේ හමාර තුන්වන ජාමය විය. හත්වන පැයේ සිට පහළොස්‌ පැය දක්‌වා හතරවන ජාමය ආදී වශයෙන් සේවා මුර මාරුවීමක්‌ සිදුවිය. මෙම දුක්‌ගන්නා රාළවරුන්ට රජුගේ විශේෂ වරප්‍රසාද හිමිවූ අතර ඔවුනගේ ඉඩම්වල වැඩ කිරීම සඳහා රාජ නියෝගය මත ගම්වල අය "රාජකාරියෙන්" නිදහස්‌ කොට තිබුණි. ඔවුන් විසින් "දුක්‌ගන්නාරාළ අප්පුහාමිල්ලාගේ" වළව්, වතුපිටි, කුඹුරු, හරකබාන බලා ගත යුතු විය. මෙසේ විශේෂ වරප්‍රසාද ලද ඔවුන් සියලු විට රජුගේ දුක සැප බලා ගන්නා ලද්දේ සිය පණ දෙවැනි කොට ගෙන වේ. අවසාන සිංහල රජු පළාගොස්‌ උඩුපිටියේ ආරච්චිගේ නිවසේ සැඟවී සිටියදී එම ගෙය මුරකරන ලද්දේ ද මෙම අප්පාහුමි කෙනෙකු බව සඳහන් වේ.

"අප්පුහාමි" යන පදය දෙවන රාජසිංහයන්ගේ කාලයේදී "දිසාපති" වරුන් සඳහාද යොදන ලද්දකි. සත්කෝරළ දිසාව ලෙස සිටි "තෙන්නකෝන් අප්පුහාමි" නමැත්තකු පිළිබඳව සඳහන් වේ. ඉහත සඳහන් වාසල සේවා කාර්යාංශ තුනේ සිටි දුක්‌ගන්නා රාළවරු ඒ ඒ ස්‌ථානවල නමින් "අප්පුහාමි" යනුවෙන් හඳුන්වන ලදී. වැලන්ටයින්ගේ වාර්තාවලට අනුව රදළ පවුල්වල ප්‍රධානීන්ගේ පුත්‍රයින්ද අප්පුහාමිලා ලෙස රජවාසල නිදහස්‌ රාජකාරියෙහි යෙදුනෝ විය.

මෙම අප්පුහාමි තනතුර පහතරටදී ඕලන්ද ජාතිකයින්ද භාවිත කරන ලද බව පෙනේ. ඕලන්ද ආණ්‌ඩුකාරයින්ගේ ද, දිසාපතිවරුන්ගේ ද වාසල් මුරකන ලද්දේ මෙම හිතවත් නිලධාරීන් වූ අප්පුහාමිලාය. ගොවි වංශය හඳුන්වන නාමයක්‌ සේද පෙළපත් නාමයක්‌ සේද, සංඥ නාමයක ගෞරව පදයක්‌ සේද, පොදු ව්‍යවහාර නාමයක්‌ සේද මුහුදුබඩ පළාත්වලදී මෙම "අප්පුහාමි" යන යෙදුම ව්‍යවහාරයට ගන්නා ලද බව පෙනේ. ප්‍රධානීන් හා මුලාදැනීන්ගෙන් පැවත එන පිරිස්‌ අප්පුහාමිවරුන් ලෙස සිටි බව සමහර වාර්තාවල සඳහන් වේ. ගොවි වංශයේ ප්‍රධාන ස්‌ථානයක්‌ මෙම තනතුරු නාමයට හිමිවූ බව පෙනේ. රිබයිරෝගේ වාර්තාවකට අනුව පළමුවැනි විමලධර්මසූරිය නමින් රජවූ දොන් ජෝන් කුමාරයා "ජෝන් අප්පුහාමි" නමින් සඳහන් වන බව පෙන්වාදී ඇත. අදත් සමහර ගම්බද පළාත්වල ගෞරව නාමයක්‌ සේ භාවිත වන අප්පුහාමි යන යෙදුම අවසාන සිංහල රාජ සමයේ විශේෂ බලයක්‌ හිමිව සිටි උඩරට ප්‍රධානීන් හඳුන්වන ලද "රාජ නිල නාමයක්‌" සේ සැලකෙන ලද්දකි.

ගුණපාල ජයතිස්‌ස

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.