1947 සිට අද දක්‌වා පවතින ඡන්ද කොට්‌ඨාස - මාවනැල්ල
ශ්‍රී ල.නි.ප.ය තරගකර දිනූ මුල්ම ආසනය

කෑගල්ල දිස්‌ත්‍රික්‌කයට අයත් මාවනැල්ල ආසනය 1947 සෝල්බරි ව්‍යවස්‌ථාව සමඟ ඇතිවිණි. ඓතිහාසිකව වැදගත් වන හේතුවක්‌ වන්නේ දුප්පතාගේ හිතවතකු ලෙස සලකන ලද සූර සරදියෙල් සිටි උතුවන්කන්ද නම් ගම්මානය මාවනැල්ලට නුදුරුව පිහිටා තිබීමය.

1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී මාවනැල්ල ආසනයට එ. ජා. පක්‍ෂයෙන් ඉදිරිපත් වූයේ හිටපු ඇමැතිවරයකු හා නියෝජ්‍ය රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිවරයකු වූ අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පියාණන් වන එච්. ඇල්. රත්වත්තේ මහතා ය. ඒ මහතා රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ කෑගල්ල මන්ත්‍රී ධුරය ද දැරීය. ඒ සමගම මාවනැල්ල ආසනයේ ගම්සභාපතිවරයකුව සිටි සී. ආර්. බෙලිගම්මන මහතා ස්‌වාධීනව ඉදිරිපත් විය. ඊට අමතර බී අබේරත්න හා ඇස්‌. ඇම්. ඒ. මවුලානා යන දෙදෙනා ද ස්‌වාධීනව තරග කළහ.

ඡන්ද ප්‍රතිඵලය අනුව රත්වත්තේ මහතා ඡන්ද 9442 ක්‌ද බෙලිගම්මන මහතා ඡන්ද 7055 ක්‌ ද, අබේරත්න මහතා ඡන්ද 729 ක්‌ ද, මවුලානා මහතා ඡන්ද 715 ක්‌ ද ලබා ගත්හ. මේ අනුව එච්. ඇල්. රත්වත්තේ මහතා වැඩි ඡන්ද 2387 කින් මාවනැල්ල මන්ත්‍රී ලෙස ජය ගත්තේය. 1959.09.02 දින ඇති වූ ශ්‍රීලනි පක්‍ෂයට රත්වත්තේ මහතාද එක්‌වන බවට රාවයක්‌ තිබිණි. ඊට හේතුව රත්වත්තේ මහතා දිවංගත අගමැති ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ සමීපතම ඥතියකු වීමය. නමුත් එය එසේ සිදු නොවීය.

1952 මැතිවරණයේදී ද එච්. ඇල්. රත්වත්තේ මහතා නැවතත් එ. ජා. පක්‍ෂයෙන් ආසනයට ඉදිරිපත් විය. ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කළේ 1947 මැතිවරණයේදී ස්‌වාධීනව තරග කර

පැරැදුනත් සෑහෙන ඡන්ද සංඛ්‍යාවක්‌ ලබාගත් සී. ආර්. බෙලිගම්මන මහතාය. ඒ සමගම එ. ජා. ප. රජයේ ඇමැතිවරයකුව සිටි ඇස්‌. එච්. කීර්තිරත්න මහතාගේ සොහොයුරිය වන ඇන්. එච්. සීලවතී මහත්මිය ස්‌වාධීනව ඉදිරිපත් වූවාය. ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රීලනි පක්‍ෂය ඡන්ද 14225 ක්‌ ද එ. ජා. පක්‍ෂය ඡන්ද 10847 ක්‌ද ස්‌වාධීන අපේක්‍ෂිකාව ඡන්ද 739 ක්‌ද ලබා ගෙන තිබිණි. මේ අනුව ශ්‍රීලනි පක්‍ෂයේ සී. ආර්. බෙලිගම්මන මහතා වැඩි ඡන්ද 3378 කින් මාවනැල්ල ආසනයේ මන්ත්‍රී ලෙස ජයග්‍රහණය ලැබීය.

මාවනැල්ල ඡන්ද ප්‍රතිඵලය ශ්‍රීලනි පක්‍ෂයට කාරණා දෙකක්‌ නිසා වැදගත්ය. පළමු වැනි කරුණ වන්නේ ශ්‍රීලනිප අපේක්‍ෂකයන් අතරින් ආසනයක්‌ තරග කර ජය ගත් ප්‍රථමයා වන්නේ බෙලිගම්මන මහතා වීමය. 1952 මැතිවරණයේදී ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ ආකාරයට ශ්‍රීලනිප යට හිමි වූ මුල්ම ආසනය වන්නේ මාවනැල්ලය. දෙවැනි කරුණ වන්නේ 1952 මැතිවරණයේදී ශ්‍රීලනිපය දිනූ ආසන නවයෙන් එකක්‌ මාවනැල්ල වීමය. මැතිවරණයෙන් පසුව එච්. ඇල්. රත්වත්තේ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ලැබීය.

1956 මැතිවරණයේදී ද සී. ආර්¾ බෙලිගම්මන මහතා ශ්‍රීලනිප - ම. එ. පෙන් මාවනැල්ල ආසනයට ඉදිරිපත් විය. මෙවර එ. ජා. පක්‍ෂයෙන් ඉදිරිපත් කළේ කෑගල්ල මන්ත්‍රී ධුරය දැරූ තැපැල් අමාත්‍යව සිටි ඇන්. එච්. කීර්තිරත්න මහතා ය. ඒ සමඟම මුස්‌ලිම් ජාතිකයකු වූ ඇස්‌. මොහිදීන් මහතා ස්‌වාධීනව තරග කළ නමුත් ඔහු ප්‍රබලයකු නොවීය. ඡන්ද ප්‍රතිඵලය අනුව ඡන්ද 20125 ක්‌ ගත් සී. ආර්. බෙලිගම්මන මහතා ඇන්. එච්. කීර්තිරත්න මහතා පරදවා වැඩි ඡන්ද 7561 කින් මාවනැල්ල ආසනය ජයග්‍රහණය කළේය. ඉන්පසුව ඇතිවුණු බණ්‌ඩාරනායක රජයේ පළාත් පාලන හා සංස්‌කෘතික උප අමාත්‍ය ලෙස පත් වූයේ බෙලිගම්මන මහතාය.

පසු කාලයකදී ඒ මහතා උප ඇමැති ධුරයෙන්ද, ශ්‍රීලනි පක්‍ෂයෙන් ද ඉවත් විය. පසුව ඔහු භික්‍ෂු පෙරමුණේ නායකයකු වූ බද්දේගම ශීලවංශ හිමි සමඟ සම්බන්ධ වී සිංහල ජාතික සංගමය නම් නව දේශපාලන පක්‍ෂය පිහිටුවීය. එම පක්‍ෂයේ ගිහි නායකයා වූයේ බෙලිගම්මන මහතා ය. පක්‍ෂයේ නිල සලකුණ වූයේ ලාම්පුවයි. දිවංගත අගමැති ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ රාජ්‍ය කාලය තළ ඇති වූ බණ්‌ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම අහෝසි කිරීමට මුල් තැනක්‌ ගෙන ක්‍රියා කළේ සිංහල ජාතික සංගමයයි.

1960 මාර්තු මැතිවරණයේදී සී. ආර¾¨ බෙලිගම්මන මහතා සිංහල ජාතික සංගමයෙන් මාවනැල්ල අසුනට ඉදිරිපත් විය. එම පක්‍ෂයෙන් දිවයිනේ ආසන 24 කට අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට ද යෙදුණි. ඒ අතර ඊට පෙර මැතිවරණයේදී එ. ජා. පක්‍ෂයෙන් තරග කළ ඇන්. එච්. කීර්තිරත්න මහතා මාවනැල්ලට තරග කිරීමට ඉදිරිපත් නොවීය. ඔහු ඊට පෙර මන්ත්‍රී ධුරය දරා තිබූ කෑගල්ල ආසනයට එ. ජා. පක්‍ෂයෙන් තරග කළ ද පැරැදුනි. මැවනැල්ලට එ. ජා. පක්‍ෂයෙන් ඉදිරිපත් කළේ ඉඩම් හිමි වැවිලිකරුවකු වූ පී. බී. බණ්‌ඩාරනායක මහතාය.මේ අතර ශ්‍රීලනි පක්‍ෂයෙන් තුම්පලාතපත්තු ගම් සභාපතිව සිටි පී. ආර්. රත්නායක මහතා ඉදිරිපත් කිරීමට යෙදුණි. ඒ හැර අබ්දුල් අසීස්‌ පවුකල් අලි (ල.ස.ස.ප.) ඒ. කේ. විද්‍යාසේකර (කො. ප.) ඇම්. ආර්. බී. දාස්‌වත්ත (ස්‌වාධීන සම්මේනය), කේ. ඇම්. ඩී. සෙනෙවිරත්න (ම.එ.පෙ.) ජී. ටී. අබේකෝන් (ල. ප්‍ර. ප.) ඇස්‌. එච්. අහමඩ් උඩයාර් (ස්‌වාධීන) යන අය ද තරග කළහ.

ඡන්ද ප්‍රතිඵලය අනුව එ. ජා. පක්‍ෂය ඡන්ද 7238 ක්‌ද, සි. ජා. සංගමයට ඡන්ද 5925 ක්‌ද, ශ්‍රී ලනි පක්‍ෂය ඡන්ද 5633 ක්‌ ද ල.ස.ස. පක්‍ෂය ඡන්ද 855 ක්‌ද කො. පක්‍ෂය ඡන්ද 794 ක්‌ද, ස්‌වාධීන සම්මේලනය ඡන්ද 527 ක්‌ද ම. එ. පෙරමුණ ඡන්ද 455 ක්‌ ද ල. ප්‍ර. පක්‍ෂය ඡන්ද 126 ක්‌ ද ස්‌වාධීන අපේක්‍ෂකයා ඡන්ද 117 ක්‌ ද ලබා ගෙන තිබිණි. මේ අනුව එ. ජා. පක්‍ෂයේ පී. බී. බණ්‌ඩාරනායක මහතා වැඩි ඡන්ද 1313 කින් මාවනැල්ල මන්ත්‍රී ලෙස ජය ලැබීය. ඒ සමගම මෙම මැතිවරණයේදී සී ආර්. බෙලිගම්මන මහතා නායකත්වය දැරූ සිංහල ජාතික සංගමයෙන් තරග කළ සියලුම අපේක්‍ෂකයෝ පරාජය වූහ.

1960 ජුලි මැතිවරණයේදී පී. බී. බණ්‌ඩාරනායක මහතා එ. ජා. පක්‍ෂයෙන් ආසනයට ඉදිරිපත් වූ විට ශ්‍රීලනි පක්‍ෂයෙන් තරගයට පැමිණියේ පී. ආර්. රත්නායක මහතා ය. මේ වන විට සිංහල ජාතික සංගමය අක්‍රියකාරි වී තිබීම නිසා සී. ආර්. බෙලිගම්මන මහතා ඉදිරිපත් වූයේ ස්‌වාධීනවය. මෙම තුන් කොන් සටනේ ඡන්ද ප්‍රතිඵලය අනුව පී. ආර්. රත්නායක මහතා ඡන්ද 9218 ක්‌ ද පී. බී. බණ්‌aඩාරනායක මහතා ඡන්ද 8724 ක්‌ ද බෙලිගම්මන මහතා ඡන්ද 3955 ක්‌ද ලබා ගත්හ. මේ අනුව පී. ආර්. රත්නායක (ශ්‍රී.ල.නි.ප.) මහතා වැඩි ඡන්ද 494 කින් මාවනැල්ල මන්ත්‍රී ලෙස ජය ලැබීය. එම මැතිවරණය අවසන් වී ටික කලකට පසු හිටපු මන්ත්‍රී පී. බී. බණ්‌ඩාරනායක මහතා මිය ගියේය. 1964 අගභාගය වන විට එකල ඇතිවුණු ශ්‍රීලනිප - ලසසප හවුල් රජයේ ප්‍රවාහන උප අමාත්‍ය ලෙස පී. ආර්. රත්නායක මහතා පත්විය. එම ප්‍රවාහන අමාත්‍ය ධුරය හිමි වූයේ අනිල් මුණසිංහ (ලසසප) මහතාටය. ලංගම ලාභ ලබන ආයතනයක්‌ බවට පත් වූයේ එම කාලය තුළය.

1965 මැතිවරණයේදී ද පී. ආර්. රත්නායක මහතා ශ්‍රීලනි පක්‍ෂයෙන් ආසනයට ඉදිරිපත් විය. මෙවර එ. ජා. පක්‍ෂයෙන් ඉදිරිපත් කළේ මාවනැල්ල හිටපු මන්ත්‍රීවරයකු වූ සී. ආර්. බෙලිගම්මන මහතාය. ම. එ. පෙරමුණෙන් සයිමන් පෙරේරා මහතා ඉදිරිපත් වූ නමුත් ඔහු ප්‍රබලයකු නොවීය. තරගයේදී ඡන්ද 17318 ක්‌ ගත් සී. ආර්. බෙලිගම්මන මහතා පී. ආර්. රත්නායක මහතා පරදවා වැඩි ඡන්ද 5000 කින් මාවනැල්ල මන්ත්‍රී ලෙස ජය ගත්තේය. ඉන් පසුව බලයට පත්වුණු ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික රජයේ කම්කරු රැකී රක්‍ෂා හා නිවාස උප අමාත්‍ය ලෙස පත් වූයේ සී. ආර්. බෙලිගම්මන මහතාය.

1970 මැතිවරණයේදී ද හත්වැනි වතාවටත් සී. ආර්. බෙලිගම්මන මහතා මාවනැල්ල අසුනට ඉදිරිපත් විණි. එනම් එ. ජා. පක්‍ෂයෙන් ය. මෙවරද පී. ආර්. රත්නායක මහතා ශ්‍රීලනි පක්‍ෂයෙන් ඉදිරිපත් විය. ඒ සමගම සි. ම. පක්‍ෂයෙන් ඇම්. අයි. ඇම්. මවුජුඩ් මහතා තරග කළේය. මැතිවරණ ප්‍රතිඵලය අනුව ශ්‍රීලනි පක්‍ෂය ඡන්ද 19242 ක්‌ද, එ. ජා. පක්‍ෂය ඡන්ද 14504 ක්‌ද සි. ම. පක්‍ෂය ඡන්ද 475 ක්‌ද ලබා ගෙන තිබිණි. මේ අනුව පී. ආර්. රත්නායක (ශ්‍රීලනිප) මහතා වැඩි ඡන්ද 4738 කින් මැවනැල්ල මන්ත්‍රී ලෙස ජය ගත්තේය. ඉන්පසුව ඇතිවුණු සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් සමගි පෙරමුණු රජයේ විදේශීය හා දේශීය වෙළෙඳ උප අමාත්‍ය ධුරයට පත් වූයේ පී. ආර්. රත්නායක මහතා ය.

1977 මැතිවරණයේදී පී. ආර්. රත්නායක මහතා නැවතත් ශ්‍රීලනි පක්‍ෂයෙන් මාවනැල්ල ආසනයට ඉදිරිපත් විය. අටවැනි වතාවටත් සී. ආර්. බෙලිගම්මන මහතා ද මාවනැල්ල අසුනට ඉදිරිපත් විණි. මෙවරද තරග කළේ එ. ජා. පක්‍ෂයෙනි. ල.ස.ස.පක්‍ෂයෙන් පී. පී. වික්‌ටර් මහතා තරග කළේය. මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එ. ජා. පක්‍ෂය ඡන්ද 21211 ක්‌ද, ශ්‍රී.ල.නි. පක්‍ෂය ඡන්ද 14632 ක්‌ ද, ල. ස. ස. පක්‍ෂය ඡන්ද 981 ක්‌ ද ලබා ගෙන තිබිණි. මේ අනුව එ. ජා. පයේ සී. ආර්. බෙලිගම්මන මහතා වැඩි ඡන්ද 6579 කින් මාවනැල්ල මන්ත්‍රී ලෙස ජයග්‍රහණය කළේය. ඉන්පසු බලයට පත්වුණු ඡේ. ආර්. ජයවර්ධන රජයේ පාර්ලිමේන්තුවේ කාරක සභා උප සභාපති ධුරයට පත් වූයේ ඒ මහතාය. නමුත් නොබෝ කලකින්ම ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්‌විය.

මේ අතර සී. ආර්. බෙලිගම්මන මහතා 1980 සැප්තැම්බර් මස මියගියේය. හිස්‌ වූ මන්ත්‍රී ධුරයට බෙලිගම්මන මහතාගේ බිරිඳ වන රුක්‌මණී බෙලිගම්මන මහත්මිය පත්වේ යෑයි බොහෝ අය සිතූ නමුත් එය එසේ සිදු නොවීය. එ. ජා. පක්‍ෂයේ නම් කිරීම අනුව මාවනැල්ල මන්ත්‍රී ධුරයට පත් වූයේ මාවනැල්ල නීතිඥවරයකු වූ චJද්‍රd රණතුංග මහතාය. ඒ අතර මන්ත්‍රී ධුරය නොලැබුණු රුක්‌මණී බෙලිගම්මන මහත්මියට පිඟන් සංස්‌ථාවේ සභාපති ධුරය හිමිවිණි.

1989.02.15 වැනි දින පැවැති මැතිවරණය සමානුපාතික නියෝජන ක්‍රමය අනුව සිදුවිණි. චන්ද්‍ර රණතුංග මහතාද එ. ජා. ප. ලැයිස්‌තුවෙන් කෑගල්ල දිස්‌ත්‍රික්‌කයට තරග කළේය. ඔහු ජය ගෙන කෑගල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීවරයකු බවට පත්විය. නමුත් පෙර පරිදි මාවනැල්ල මන්ත්‍රී නොවීය.

විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ
නන්දලාල් වාකිස්‌ට

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.