විෂ නසන දේත් විෂ වෙයිද?

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව බෙහෙත් විෂ වීම් හේතුවෙන් රෝහල්ගතවන්නන්ගේ සංඛ්‍යාව හා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව වාර්තාවී තිබේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන මෙම බෙහෙත් විෂවීම් අතින් ශ්‍රී ලංකාව ලොව නවවැනි ස්‌ථානයට පත්ව තිබේ.

කොළඹ ජාතික රෝහලේ පිහිටුවා ඇති ජාතික විෂ තොරතුරු මධ්‍යස්‌ථානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2008 වසරේදී බෙහෙත් විෂවීම් හේතුවෙන් රෝහල්ගත කර ඇති සංඛ්‍යාව 23, 328 ක්‌ වන අතර ඔවුන්ගෙන් 119 දෙනකු මියගොස්‌ තිබේ. අප සාමාන්‍යයෙන් වස විෂ ශරීර ගතවීම්වලදී වැඩි වශයෙන් අසා ඇත්තේ පළිබෝධ නාශක, රසායනික ද්‍රව්‍ය, සර්ප විෂ වැනි ද්‍රව්‍යයන්ගෙන් ඇති වන වස විෂවීම් ගැනයි.

එහෙත් එම විෂවීම් අභිබවමින් බෙහෙත් විෂවීම් සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. වෛද්‍යවරුන්ට අනුව බෙහෙත් විෂවීම් දෙයාකාරයකට සිදුවිය හැකිය. එනම් සිතා මතා සියදිවි නසා ගැනීමේ අරමුණින් සිදුවන විෂවීම් හා හදිසි විෂවීම්ය. මෙහිදී හදිසි විෂවීම් යනුවෙන් අදහස්‌ කෙරෙනුයේ නොසැලකිලිමත්කම හා නොදැනුවත්කමින් සිදුවන විෂවීම්ය. නියමිත මාත්‍රාව හා වාර ගණන ඉක්‌මවා කිසියම් බෙහෙත් වර්ගයක්‌ භාවිත කළ විටදී ඇති වන විෂවීම් මේ ගණයට වැටේ. එහෙත් බෙහෙත් විෂවීම්වලින් සියයට 90 ක්‌ම හිතා මතා සියදිවි නසාගැනීමේ අරමුණින් සිදුවන විෂවීම් බව අනාවරණය වී තිබේ.

බෙහෙත් විෂවීම්වලට හේතුවන බෙහෙත් වර්ග අතුරින් පැරසිටමෝල් බෙහෙත් වර්ගය වැඩි වශයෙන් විෂවීමට ලක්‌ වන බව හෙළිවී තිබේ. බෙහෙත් වර්ග කිහිපයක්‌ එකවර ගැනීම හේතුවෙන්ද විෂවීම් සිදුවේ. සැල්බියුටමෝල් ඩයසිපෑම් හා ක්‌ලෝෙµතරමින් වැනි බෙහෙත් වර්ගද විෂවීම්වලට භාජන වන බෙහෙත් වර්ගයන්ය.

මෙය භයානක තත්ත්වයකි. සෑම බටහිර බෙහෙත් වර්ගයකින්ම පාහේ කිසියම් අතුරු ආබාධයක්‌ හෝ ආබාධ කිහිපයක්‌ හටගැනීමේ හැකියාව පවතින බව පිළිගත් සත්‍යයකි. ඒ බව බෙහෙත් වර්ග අසුරුම් තුළ පවතින තොරතුරු පත්‍රිකාවල සඳහන් කර තිබේ. එවැනි තත්ත්වයක්‌ තුළදී එම බෙහෙත් වර්ග නියමිත මාත්‍රාවට වඩා වැඩි මාත්‍රා ප්‍රමාණයක්‌ නැතිනම් වැඩි වාර ගණනක්‌ ගත හොත් එයින් විෂ වීමක්‌ සිදුවිය හැකි බව නොකිවමනාය.

මෙහිදී මෙවැනි විෂවීම් හුදෙක්‌ අනවබෝධය නිසාම සිදුවේ යෑයි පැවැසිය නොහැක. බොහෝදෙනකු සිත් තැවුල් හේතුවෙන් ද ක්‍ෂණික ආවේගයන් හා හුදෙක්‌ සියදිවි නසාගැනීමේ අරමුණින් ද බෙහෙත් වර්ගයකින් වැඩි මාත්‍රා ගණනක්‌ ලබාගැනීම සිදුකෙරේ. මෙහිදී එවැනි බෙහෙත් වර්ග ළමා, තරුණ හා වැඩිහිටි යන අපේක්‍ෂාභංගත්වයට පත් කවරකු හෝ පවුල තුළ සිටී නම් ඔවුන්ගෙන් ඈත්කර තැබීම නුවණට හුරුය.

බෙහෙත් වර්ග කුඩා ළමුන්ට ගැනීමට පහසු අයුරින් කාමරවල, කුඩා මේස මත තැබීමෙන් සිදුවනුයේ ඒවා නොදැනුවත්කමින් ළමයා විසින් කටේ දමා ගැනීමත් එයින් විෂවීමට භාජන වීමත් පමණි. ඇතැම් බෙහෙත් වර්ග විෂ වීමෙන් මරණයට පවා පත්විය හැකි නිසා එසේ බෙහෙත් භාවිත කරන අයකු නිවසෙහි සිටී නම් ඔහු, ඇය ලබාගන්නා බෙහෙත් සෙසු අයගෙන් විශේෂයෙන්ම කුඩා ළමුන්ගෙන් ඈත් කර ඔවුනට ලබා ගත නොහැකි ස්‌ථානයක රඳවා තැබීම වැදගත්ය.

පැරසිටමෝල් විෂවීම් ගැන කතා කරන විට එය බොහෝ විට සිදු වනුයේ නොසැලකිලිමත්කමින් හා නොදැනුවත්කමින් බව අනාවරණය වී තිබේ. බොහෝ විට ළදරුවන් හා කුඩා ළමුන් මෙම තත්ත්වයට මුහුණ පානුයේ ඔවුනගේ දෙමවුපියන් විසින් උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්වයක්‌ කඩිනමින් සුවකර ගැනීම සඳහා නියමිත මාත්‍රාව හෝ වාර ගණන ඉක්‌මවා පැරසිටමෝල් ලබාදීම නිසාය. පැරසිටමෝල් පෙති හෝ සිරප් ළදරුවන්ට හා ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ට ද ලබාදිය යුතු ආකාරය එම බෙහෙත් වර්ගයේ ඇසුරුම්වල පැහැදිලිව දක්‌වා තිබියදීත් මෙවැනි දෑ සිදුවීම ෙ€දජනකය.

අනෙක්‌ අතර පැරසිටමෝල් පමණක්‌ නොව ඕනෑම බෙහෙත් වර්ගයක්‌ පිළිබඳව ඒවා රෝගීන්ට නිර්දේශ කරනු ලබන වෛද්‍යවරයාගෙන් නැතහොත් ඔසුසල්වල ඖෂධවේදීන්ගෙන් විමසා බලා කරුණු දැනගැනීම රෝගියා සතු අයිතියකි. එසේම බෙහෙත් භාවිත කරන අයුරු නිසි පරිදි රෝගියාට පැහැදිලි කරදීම වෛද්‍යවරයා මෙන් ම ඖෂධවේදියා ද සතු කාර්යභාරයකි.

එහෙත් අවාසනාවකට මෙන් වර්තමානයේ බෙහෙත් වර්ගයක්‌ පිළිබඳව වෛද්‍යවරයකුගෙන් හෝ ඖෂධවේදියකුගෙන් විමසනවා තබා ඔවුන් සමඟ කතා බස්‌ කිරීමට පවා බොහෝ රෝගීහු මැළිකමක්‌ හා බියක්‌ දක්‌වති. එයට හේතුවී ඇත්තේ බොහෝවිට ඔවුන් සැර පරුෂ අයුරින් කතා බස්‌ කරනු ඇතැයි රෝගීන් සතුව පවතින බියයි. මෙම තත්ත්වය රජයේ රෝහල් සායන හා බෙහෙත් කවුළුවල වැඩිවශයෙන් දක්‌නට ලැබේ.

මෙහි අවසන් ප්‍රතිඵලය වනුයේ තමාගේ රෝගී තත්ත්වය සුවපත් කරගැනීම සඳහා ලබාගන්නා බෙහෙත් වර්ගය පිළිබඳව නිසි අවබෝධයක්‌ රෝගියාට ලබාගත නොහැකිවීමෙන් ඇතැම්විට නියමිත මාත්‍රා ගණනක්‌ හෝ වාර ගණන ඉක්‌මවා බෙහෙත් වර්ගය භාවිත කිරීමට රෝගියා පෙළඹීමයි.

මෙයින් ඇතැම්විට රෝගියාගේ ජීවිතය පවා අහිමිවී යැමට ඉඩකඩ තිබේ. රජයේ රෝහල්වල බොහෝ විට බෙහෙත් කවුළුවලින් බෙහෙත් වර්ග නිකුත් කිරීමේදී එම බෙහෙත් දිනකට ලබා ගතයුතු මාත්‍රා ගණන හෝ වාර ගණන නිසි පරිදි සඳහන් නොකරන අවස්‌ථා එමට දැකිය හැකිය. මෙහිදී රෝගියකු ඒ පිළිබඳ විමසා සිටියහොත් ඇතැම් ඖෂධවේදීන් ශීඝ්‍රගාමී දුම්රියකටත් වඩා වේගයෙන් කිසිදු පැහැදිලිකමක්‌ නොමැති අයුරින් කෙටි විස්‌තරයක්‌ ඉදිරිපත් කරනු දැකිය හැකිය. එසේ පවසන දෙය රෝගියාට නොතේරුණද එය නැවත විමසුවහොත් බැණුම් ඇසීමට සිදුවෙතැයි බියෙන් රෝගීන් කීදෙනකු ලැබෙන බෙහෙත් ගත යුතු ආකාරය පිළිබඳ නොදැන රෝහලින් පිටව යනවා ඇත්ද?

අනෙක්‌ අතට රජයේ හෝ පෞද්ගලික ඔසුසලක සේවය කරන ඖෂධවේදීන් බෙහෙත් වර්ගයක්‌ පිළිබඳ විමසූ විටදී ඒ පිළිබඳ තොරතුරු හෙළි කිරීමට සූදානමින් සිටියද ඇතැම් රෝගීන් ඔවුන්ගේ සේවාව ලබා නොගන්නා බව පෙනී යයි.

ඇතැම් පවුලේ වෛද්‍යවරුන් පවා රෝගීන්ට බෙහෙත් වර්ග නියම කිරීමේදී එම බෙහෙත් ලබාගත යුතු මාත්‍රා හා වාර ගණන බෙහෙත් පැකට්‌ටුවල හා බෝතල්වල සඳහන් නොකරන බවට වාර්තාවී තිබේ. මෙවැනි තත්ත්වයක්‌ ඇති වුවහොත් රෝගියාට එම වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි කිරීමේ හැකියාව පවතී. එහෙත් බොහෝදෙනකු එවැනි පැමිණිල්ලක්‌ හෝ කිරීමට දක්‌වනුයේ අලස බවකි.

පැරසිටමෝල් වැනි කැස්‌ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, ඇඟපත වේදනාව, හිසරදය වැනි රෝග තත්ත්වයන් සඳහා සුලබව භාවිත වන බෙහෙත් වර්ගයක්‌ පවා වැඩි වශයෙන් විෂ වනුයේ මෙසේ එම බෙහෙත් වර්ගය පිළිබඳව වෛද්‍යවරයාගේ හෝ ඖෂධවේදියාගේ නිසි පැහැදිලි කිරීමක්‌ නොලැබීම නිසා විය හැකිය. එහෙත් බටහිර රටවල තත්ත්වය නම් මෙයට වඩා ඉඳුරාම වෙනස්‌ වේ. එම රටවල රෝගීන්ට බෙහෙත් වර්ග පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ පහසුකම් සපයා දී තිබීම බෙහෙත් ලබාගැනීමේදී රෝගීන්ට පහසුවක්‌ වී තිබේ.

සෑම රජයේ රෝහලකම බෙහෙත් පිළිබඳව තොරතුරු ලබාගත හැකි මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීමට අදාළ යෝජනාවක්‌ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද්දේ වසර කිහිපයකට පෙරාතුවය. එහෙත් තවමත් එය යථාර්ථයක්‌ බවට පත් කිරීමට බලධාරීන් කටයුතු කර නොතිබීම කනගාටුවට කරුණකි. අනෙක්‌ අතට නොසැලකිලිමත්කමින් හා නොදැනුවත්කමින් බෙහෙත් වර්ග විෂවීම් සිදුවීමට අමතරව සිය දිවි නසාගැනීමේ අරමුණින් රෝගවලට ලබාදෙන බෙහෙත් වර්ග භාවිත කිරීම නම් සැබැවින්ම අවාසනාවන්ත තත්ත්වයකි.

නිවසෙහි එවැනි අපේක්‍ෂා භංගත්වයට පත් අයකු සිටී නම් සුළු බටහිර බෙහෙත් වර්ගයක්‌ හෝ එම තැනැත්තාට හසුවන ස්‌ථානයක නොතැබීම පවුලේ සාමාජිකයන් සතු වගකීමකි. සෑම බටහිර බෙහෙත් වර්ගයක්‌ම විෂවීමට හැකිවීම මෙයට හේතුවයි. මෙහි දැකිය හැකි අවාසනාවන්තම තත්ත්වය වනුයේ වෛද්‍ය නිර්දේශයකින් තොරව ඇතැම් පෞද්ගලික ඔසුසල් හරහා බෙහෙත් වර්ග ලබාගෙන ඒවා සියදිවි නසාගැනීමට යොදාගැනීමට ඇතැමුන් පෙළඹීමයි.

මෙයට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ ප්‍රධාන පෙළේ රෝගාබාධ සඳහා ලබාදෙන බෙහෙත් වර්ග වෛද්‍ය නිර්දේශයකින් තොරව ඉල්ලූ විගසින් ඕනෑම අයකුට නිකුත් කිරීමට ඇතැම් පෞද්ගලික ඔසුසල් කටයුතු කිරීමයි. රජයේ ඔසුසල් හා ප්‍රධාන පෙළේ පෞද්ගලික ඔසුසල් මෙවැන්නක්‌ සිදු නොකළද ඇතැම් පෞද්ගලික ඔසුසල් තවමත් එසේ වෛද්‍ය නිර්දේශයකින් තොරව බෙහෙත් වර්ග පුද්ගලයන් අතට පත්කිරීම දැකිය හැකිය. මෙවැනි ඔසුසල්වලට එරෙහිව කටයුතු නොකිරීමෙන් සිදුවනුයේ නැවත නැවතත් එම වරදම සිදුවීමයි.

අයකුගේ ජීවිතයට මෙසේ වෛද්‍ය නිර්දේශයක්‌ නොමැතිව ලබාගන්නා බෙහෙත් වර්ග හානිකර විය හැකි නිසා එවැනි තත්ත්වයන් අහුරාලීමට සෞඛ්‍ය බලධාරීහු පියවර ගත යුතුය.

එසේම රජයේ රෝහල්වල බෙහෙත් වර්ග පිළිබඳ තොරතුරු ඒකක පිහිටුවා රෝගීන්ට බෙහෙත් වර්ග පිළිබඳ ඕනෑම අවස්‌ථාවකදී තොරතුරු ලබාගැනීමට අවස්‌ථාව සැලසීමත් වෛද්‍යවරුන් හා ඖෂධවේදීන් හරහා නිකුත් කරන බෙහෙත් වර්ග පිළිබඳ නිවැරැදි තොරතුරු රෝගීන්ට ලබාදීමටත් කටයුතු කිරීමෙන් බෙහෙත් වර්ග නිසා සිදුවන විෂවීම් බොහෝදුරට අවම කරගත හැකිවනු ඇත.

බෙහෙත් වර්ග නිසා සිදුවන විෂවීම් අවම කිරීමට කඩිනම් පියවර නොගන්නේ නම් පෙරදී පිළිබෝධනාශක නිසා සිදුවූ විෂවීම් තත්ත්වයේ වැඩිවීම ඉදිරියේදී බෙහෙත් වර්ග නිසා සිදුවීම නොවැළැක්‌විය හැකි වනු ඇත.

ඒමන්ති මාරඹේ
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.