13 වැනි සංශෝධනය දැන්වත් ඉවත් කරගත යුතුයි



ගුණදාස අමරසේකර

පසුගිය දා මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා ඉන්දියානු රාජ්‍ය නිලධාරීන් සමග එක්‌වී කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකා රජය ඉන්දියාව ඉල්ලා සිටි ක්‍රියාමාර්ග කීපයක්‌ ඉටු කරන බවට සනාථ වී ඇත. මේ සඵතවීම ජනාධිපතිතුමාගේ අනුදැනුම අනුව කරන ලද්දක්‌ද නැද්ද යන්න අපි නොදනිමු. පසුගිය දා පැවැති දෙවැනි විජයග්‍රහණ සමරන අවස්‌ථාවේ ජනාධිපතිතුමා කළ ප්‍රකාශයට අනුව නම් මේ සඵතවීම එතුමාගේ අනුදැනීම අනුව කරන ලද්දක්‌ යෑයි නිගමනය කළ හැකි නොවේ. ඒ කෙසේ වුවද ශ්‍රී ලංකා රජය එකඟ වී ඇති ක්‍රියාමාර්ගවලින් ප්‍රධාන කීපයක්‌ නම් හදිසි නීතිය හැකි ඉක්‌මනින් ඉවත් කරගැනීම, ජනවාර්ගික සංහිඳියාව සඳහා නිබොරු ක්‍රියාමාර්ගයක්‌ ගැනීම, 13 සංශෝධනය මුළුමනින් ක්‍රියාවට නැගීම, දැනට දෙමළ දේශපාලන පක්‍ෂ හා ගෙනයන සාකච්ඡා නියත ඵලදායී වන ලෙස වහ වහා ඉදිරියට ගෙන යැම, සීපා ගිවිසුම සමාප්තියට පත්කර ගැනීම ආදිය වෙයි.

මේ ඒකාබද්ධ ප්‍රකාශය, මේ රට බේරාගැනීම සඳහා සිය ජීවිත කැපකළ රණවිරුවන් පාවාදීමක්‌ ලෙස සැලකූ අපි ඊට බලවත් ලෙස විරුද්ධ වීමු. ඒ පිළිබඳව ජනාධිපතිතුමා දරන ස්‌ථාවරය හෙළි කරන ලෙස ඉල්ලා සිටියෙමු.

පසුගිය දිනක ජී. එල්. පීරිස්‌ මහතා විසින් පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවකදී සිය ඒකාබද්ධ නිවේදනයේ ඇති නිරවද්‍යභාවය සනාථ කිරීමට එතුමා තැත් කර ඇති සැටි අපි දුටුවෙමු. 13 සංශෝධනය අලුත් යමක්‌ නොවන බවත්, එය දැන් ව්‍යවස්‌ථාවේ කොටසක්‌ බවත්, පසුගිය සෑම රජයක්‌ විසින්ම එය පිළිගෙන ඇති බවත්, වත්මන් රජයද එය ක්‍රියාත්මක කරන බවට අවස්‌ථා කීපයකදීම ප්‍රකාශ කර ඇති බවත් එතුමා ඉතා සාඩම්බර ලීලාවෙන් පවසා සිටිනු අපි දුටුවෙමු.

ජී. එල්. පීරිස්‌ මහතා විසින් මෙවැනි පොරොන්දුවක්‌ දීම අපගේ දැඩි විරෝධයට හේතු වුවද ඒ පිළිබඳව එතුමාට දොස්‌ කීම, අවලාද නැගීම, ජාතිෙද්‍රdaහියා යනුවෙන් බැණ වැදීම කිසිලෙසකින් අනුමත කළ හැකි නොවේ. ජී. එල්. පීරිස්‌ මහතා කලක්‌ වේලේ සිට බලය බෙදීමේ ස්‌ථාවරයේ සිටි පුද්ගලයකු බව අප විසින් අමතක නොකළ යුතුයි. චන්ද්‍රිකාගේ පැකේජයේ නිර්මාතෘවරයා එතුමා වෙයි. ඔස්‌ලෝ සමුළුවේදී ප්‍රභාකරන් පෙඩරල් විසඳුමට එකඟ වීයෑයි එතුමා ඔල්වරසන් දුන් සැටි අපි දුටිමු. රනිල් - ප්‍රභා ගිවිසුමේ දී එය පිටුපසින් සිටි ප්‍රබල පුද්ගලයා එතුමා වෙයි. එතුමා මේ අවස්‌ථාවේදී ද ක්‍රියාකර ඇත්තේ කලක්‌ වේලේ සිට දරා සිටි ඒ ස්‌ථාවරයේ පිහිටායි සිය හෘද සාක්‍ෂියට අනුවයි. එය කිසිලෙසකින් එතුමා ගැරහීමට හේතුවක්‌ නොවේ. එතුමාගේ ස්‌ථාවරයට සමාන ස්‌ථාවරයක ඉන්නා බොහෝ දෙනකු - තිස්‌ස විතාරණ, ඩිව් ගුණසේකර, මිලින්ද මොරගොඩ, රාජිව් විඡේසිංහ, දයාන් ජයතිලක ආදීන් මේ රජය තුළ ඉන්නා බව අප විසින් අමතක නොකළ යුතුයි.

මෙහිලා දොaෂාරෝපණයට ලක්‌ විය යුත්තේ ජී. එල්. පීරිස්‌ මහතා ඇතුළු මේ පිරිස හෝ පාලකයන් හෝ නොව මේ රටේ බහුතර ජනතාව දන්නා අඳුනන එකම දේශපාලන දර්ශනය වන ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටින ජාතික බලවේග, සංවිධාන හා පුද්ගලයනුයි. කොටින් කියතොත් ඒ බහුතරය වෙනුවෙන් පෙනී සිටින ජාති හිතෛෂීන් වන අපයි. අපගේ අසාර්ථකභාවය වසන් කරලීමේ උපාය මාර්ගය වී ඇත්තේ මෙසේ අනුන්ට බැණ වැදීමයි ගැරහීමයි.

ඒ ගැන කතා කිරීමට පළමු මේ 13 සංශෝධනය යනු කුමක්‌ද, එය කෙසේ ව්‍යවස්‌ථාගත වීද, එහි අරමුණ කුමක්‌ වීද, එය කෙතරම් නීත්‍යනුකූලද ආදී වූ කරුණු පිළිබඳව ලුහුඬින් හෝ අවබෝධයක්‌ ලබාගැනීම ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි. 13 සංශෝධනය බිහිවූයේ 1987 දී රාජිව් ගාන්ධි සහ ඡේ. ආර්. ජයවර්ධන විසින් ඇති කර ගන්නා ලද ඉන්දු - ලංකා සම්මුතියේ ප්‍රතිඵලයක්‌ වශයෙනුයි. ඒ ඉන්දු - ලංකා ගිවිසුම මේරට ඉන්දියානු ආධිපත්‍යයට යටකර ගැනීම සඳහා රාජිව් ගාන්ධි විසින් නිර්මාණය කරන ලද්දක්‌ විය. එය අත්සන් කිරීම සඳහා මෙරටට එන අතර රාජිව් ගාන්ධි මදුරාසියේ දී කළ ප්‍රකාශයෙන් - "මා යන්නේ භූතානය මෙන් ලංකාවද අපගේ අණසක යටතට ගැනීම සඳහායයි" යන ප්‍රකාශයෙන් එය මොනවට පැහැදිලි වෙයි. 13 සංශෝධනය විසින් උතුර සහ නැගෙනහිර පළාත් දෙක දෙමළ මිනිසුන්ගේ පාරම්පරික වාසභූමිය වශයෙන් සලකන ලදී. ඒ දෙක පළාත් දෙකක්‌ ලෙස නොව එක පළාතක්‌, උතුර - නැගෙනහිර පළාත වශයෙන් ජනමත විචාරණයකින් පසුව පිළිගත යුතු බවත් ඒ උතුර - නැගෙනහිර පළාත් සභාවට ඉන්දියානු ප්‍රාන්ත රාජ්‍යයක බලතල හිමිවිය යුතු බවත් මේ සංශෝධනය විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

ඉන්දු - ලංකා ගිවිසුම සඳහා ඡේ. ආර්. ජයවර්ධන එකඟ කරවා ගන්නා ලද්දේ අපේ ගුවන් සීමාව ආක්‍රමණය කර පරිප්පු දමා බිය වැද්දීමෙන් පසුවයි. එය මෙරට ජනතාවගෙන් පමණක්‌ නොව අමාත්‍ය මණ්‌ඩලයෙන්ද වසන් කරන ලද ගිවිසුමක්‌ විය. අගමැති ප්‍රේමදාස මහතා ඊට තරයේ විරුද්ධ විය. ගාමිණී ජයසූරිය මහතා ඒ මත සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌විය. ප්‍රධාන විපක්‍ෂය වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේත් ජනතා විමුක්‌ති පෙරමුණේත්, මෙරට වූ සියලු ජාතික සංවිධානත් එවේලෙහි වීදි බැස මහා උද්ඝෝෂණයක නිරත විය. ගිවිසුම අත්සන් කර පිටව යන රාජිව් ගාන්ධිට නාවික භටයකු විසින් තුවක්‌කු බටයෙන් පහර දීමෙන් පෙන්නුම් කරන ලද්දේ මුළු මහත් ජනතාව දැක්‌වූ විරෝධයයි.

බලෙන් ගිල්ලවන ලද 13 සංශෝධනය අපගේ ව්‍යවස්‌ථාවට අනුකූලද, අපේ ස්‌වෛරීභාවයට හානිකරද යන්න සලකා බලනු සඳහා ඡේ. ආර්. ජයවර්ධන විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නවයකින් සැදුණු විනිසුරු මඬුල්ලක්‌ පත්කරන ලදී. මේ මඩුල්ලේ සිටි ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන රාජා වනසුන්දර මහතා විසින් ඒ විනිසුරු මඩුල්ල විසින් ගන්නා ලද තීරණය පිළිබඳ දීර්ඝ නීතිමය විශ්ලේෂණයක්‌ අප විසින් පත්කරන ලද 'ජාතික පුනර්ජීවන කොමිෂන්' වාර්තාවෙහි දක්‌වා තිබේ. එයින් එතුමා විසින් දක්‌වා ඇත්තේ 13 සංශෝධනය මෙන්ම පළාත් සභා පනතද අපගේ ව්‍යවස්‌ථාවට පටහැනි නීති විරෝධී පනත් බවයි. කිසියම් මතු දිනයක පාර්ලිමේන්තුව විසින් මේ පනත් නිශ්ප්‍රභා කළ යුතු බවත් ඊට පූර්ණ විනයානුකූල අයිතියක්‌ පාර්ලිමේන්තුව සතුව ඇති බවත් එතුමා විසින් පෙන්වා දී තිබේ. මේ අවලම් පනත් ගෙන ඒමට අවශ්‍ය උපදෙස්‌ ජනාධිපතිවරයාට සපයන ලද්දේ එවකට ඇටෝනි ජනරාල්ව සිටි සිවා පසුපති නමැති මහ කොටියා විසින් බවද වනසුන්දර මහතා විසින් සඳහන් කර තිබේ.

විසිපස්‌ වසරකට පෙර ව්‍යවස්‌ථාවට ඇතුළු කරන ලද 13 සංශෝධනයටත් පළාත් සභා පනතටත් විරුද්ධව අප විසින් පසුගිය කාලය තුළ කුමක්‌ කරන ලද්දේද යන්න අප විසින් දැන්වත් සලකා බැලිය යුතුවෙයි. ජාති හිතෛෂීන් වශයෙන් මෙහිලා අප විසින් අපගේ වගකීම ඉටුකර තිබේද? එසේ සලකා බලන විට අප හට දැකගත හැක්‌කේ කුමක්‌ද? එතෙක්‌ මෙතෙක්‌ මේ රට පාලනය කළ නායකයන් විසින් කර ඇත්තේ එය ඉවත දැමීමට කටයුතු කිරීම නොව එය ස්‌ථාපිත කිරීමට කටයුතු කිරීමයි. චන්ද්‍රිකා කුමාරතුංග විසින් ගෙන එනලද පැකේජය, රනිල් වික්‍රමසිංහ විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම ආදී වූ සියල්ල විසින් කරන ලද්දේ මේ අවජාත සංශෝධනයට සුජාතභාවයක්‌ දීම විනා අන්කිසිවක්‌ නොවේ.

මුලදී පළාත් සභා පනතට දැඩි ලෙස විරෝධය දැක්‌වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ටික කලකින්ම සිය ස්‌ථාවරය වෙනස්‌කර පළාත් සභා මැතිවරණවලට සහභාගී විය. 'පළාත් බබා අපිට එපා' කියූ පෙළපාළි ගිය, ඡන්දය දීමට ගිය අසරණයන්ට මරණ තර්ජන එල්ල කළ ජ.වි.පෙ. යද ඒ මගෙහිම ගිය සැටි අපි දුටිමු.

13 සංශෝධනය කටුගා දමන බවට, ඉන්දු - ලංකා ගිවිසුම අවලංගු කර දමන බවට පළමු වරට තර්ජනය කරන ලද්දේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසිනුයි. ඉන්දියානු හමුදාව පිටුවහල් කිරීම සිය එකම අභිලාෂය බවට පත් කරගත් ප්‍රේමදාස මහතා ඉන්දියාව එය ඉටු නොකළහොත් 13 සංශෝධනය කටුගා දමා තානාපති සබඳකම්ද නවත්වා දමන බවට 1989 දී තර්ජනය කෙළේය. ඒ අභීත ක්‍රියා මාර්ගය විසින් ප්‍රේමදාස මහතා ඉන්දියානු හමුදාව පිටුවහල් කිරීමෙහි සමත් වුවද ඉන් ඉක්‌බිතිව සිදුවිය යුතු 13 සංශෝධනය අවලංගු කිරීම එතුමාට අභිමත වූ බවක්‌ නොපෙනේ.

ඉන්පසු 13 සංශෝධනයට ප්‍රබල ප්‍රහාරය එල්ලවූයේ විමල් වීරවංශ මහතා ප්‍රධාන ජ.වි.පෙ. විසින් උතුර - නැගෙනහිර වෙන් කරනු සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුව මගින් යෑයි මම සිතමි. එය ජාතික බලවේගලත් විශාල ජයග්‍රහණයක්‌ විය. ජනමත විචාරණයකින් තොරව උතුර නැගෙනහිර වෙන් කළ නොහැකිය යනුවෙන් ව්‍යවස්‌ථා ගත කරනලද නීතියට එරෙහිව ලබනා ලද ඒ ජයග්‍රහණය අප තවදුරටත් ඒ මගෙහි ඉදිරියට ගෙන යැමේ සමත් විය යුතුව තිබිණි. එහි ඊළඟ පියවර විය යුතුව තිබුණේ 13 සංශෝධනය අවලංගු කර දැමීම සඳහා ජනතාව යොමු කිරීමය. එය එසේ නොවීම සැලකිය යුත්තේ අභාග්‍යයක්‌ ලෙසයි. පසුගිය විසිපස්‌ වසර තුළ 13 සංශෝධනයට එරෙහිව අපට ගැනීමට හැකිවූයේ මෙවැනි දුබල ප්‍රයත්න දෙක තුනක්‌ පමණි. මේ තත්ත්වයට හේතුව කුමක්‌ද? 13 සංශෝධනයට එරෙහිව ප්‍රබල ජාතික ව්‍යාපාරයක්‌ මෙහෙයවීමට අප අසමත් වූයේ කුමන හේතු නිසාද?

එක්‌ හේතුවක්‌ නම් මේ අවධිය තුළ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය විනාශ කිරීම සඳහා අපගේ අවධානය සම්පූර්ණයෙන් යොමු වීමයි. ත්‍රස්‌තවාදයේ පැවැත්මට හේතුවන 13 සංශෝධනය එමනිසා අපගේ දැසට යොමු නොවිණ. ප්‍රභාකරන් විනාශ කළහොත් සියලු උවදුරු අවසන් වනු ඇතැයි යන මුළාවෙන් අපිද පෙළුණෙමු.

දෙවැනි ප්‍රබල හේතුව නම් පළාත් සභා නමැති මේ පිල්ලියට මුල් අල්ලා වැඩීමට අවශ්‍ය සරු බිමක්‌ ඒ වනවිට මේ රට තුළ - විශේෂයෙන් ගම් ආශ්‍රිතව තිබීමයි. 13 සංශෝධනය අහෝසි කිරීමට ඒ පිළිලයෙන් ඉඩක්‌ නොලැබිණ.

පළාත් සභා ගෙන එන ලද්දේ උතුර - නැගෙනහිර තුළ සාමය ඇති කරනු සඳහායිá ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක්‌ ඇති කරනු සඳහායි. එහෙත් මේ සඳහා අවශ්‍ය වටපිටාව ත්‍රස්‌තවාදයට ගොදුරු වූ උතුර - නැගෙනහිර නොතිබිණ. පළාත් සභා සෙසු පළාත් හත තුළ පිහිටුවන ලද්දේ ඒ සඳහා කිසිදු අවශ්‍යතාවක්‌ හෝ කිසිදු ඉල්ලීමක්‌ උඩ නොවේ. එය බලෙන් ආදේශ කරන ලද්දකි. එහෙත් බලෙන් ආදේශ කරන ලද්දක්‌ වුවද ඒ විනාශකාරී පිළිලයට වැඩීමට අවශ්‍ය පරිසරයක්‌ ඒ පළාත් හත තුළ තිබිණ.

ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් පළාත් සභා සෙසු පළාත් හතටම ආදේශ කළේ බුද්ධිමත් කපටි දේශපාලකයකු වූ එතුමාට මේ කරුණ පෙනෙන්නට ඇති නිසායෑයි මම සිතමි. ඒ මගින් තමන්ට සිය ආධිපත්‍යය රැකදෙන දේශපාලන 'මාµsයාවක්‌' ඒ පළාත් තුළින් - ගම් තුළින් සාදාගත හැකි බව එතුමාට පෙනෙන්නට ඇත.

මේ අවධිය වනවිට ගම්වල ඉතිරි වී සිටියේ උගත් පරපුරක්‌ නොවේ. උගත් තරුණ පිරිස ගම හැර ගොස්‌ නගරයට පැමිණ නාගරිකයන් බවට පත්ව තිබිණ. ගමේ ඉතිරි වී සිටියේ කිසිදු දැන උගත්කමක්‌ නැති අධ්‍යාපනයක්‌ නොලද 'හැබිචෝල්' තරුණ පිරිසකුයි. මොව්හු දේශපාලන මාෆියාවක්‌ තනාගැනීම සඳහා ප්‍රධාන පක්‍ෂ දෙකට යොදාගත හැකි පිරිසක්‌ වූහ. ඒ සඳහා අවශ්‍යව තිබුණේ ඔවුන්ට ගම් තුළ බලය ලබාදෙන, මැති ඇමැතිකම් සලසා දෙන, යාන වාහන, පඩි-නඩි ලබාදෙන, නොසිතූ යස ඉසුරු සලසා දෙන, දූෂණ හොර මැරකම්වලට ඉඩ ඇති දේශපාලන ව්‍යqහයක්‌ ලබාදීමයි. පළාත් සභාව එවැන්නක්‌ විය. ඒ මාෆියාවෙන් අපේක්‍ෂා කරන ලද්දේ බලයේ ඉන්නා ජනාධිපතිගේ බලය පරිධිය වෙත - ගම් නියම් ගම් වෙත ගෙන යැමයි. මේ පළාත් සභාවලින් සිදුවී ඇත්තේ බලය විමධ්‍යගත කිරීම නොව කේන්ද්‍රීය බලය ප්‍රසාරණය කිරීමයි.

තමන් අතට පත්වූ මේ 'හතර මහ නිධානය' අහෝසි කිරීමට ඒ 'මාෆියාව' ඉඩ දෙනු ලැබේද? ඊට අරක්‌ගත් යක්‌ බූ විසසුන්ගෙන් ඉඩක්‌ ලැබේද? තව තවත් බලසම්පන්න වීම සඳහා පොලිස්‌ බලතල, ඉඩම් බලතල පසුගිය කාලයේ පළමුවරට ඉල්ලා සිටියේ මේ පළාත් සභා මාෆියාව විසිනුයි· දහතුන්වෙනි සංශෝධනය අහෝසි කරන ලෙස ඉල්ලා සිටින ජාතික ව්‍යාපාරයකට මොවුන්ගෙන් ඉඩක්‌ ලැබේද? 13 සංශෝධනය අහෝසි කරන ලෙස ඉල්ලා සිටින ජාතික ව්‍යාපාරයකට හිස එසවීමට නොහැකිවූ ප්‍රධාන කරුණ නම් මේ පළාත් සභාවයි. එහෙත් මේ රටේ ජනතාව විසින් අසීමිත බලයක්‌ ජනාධිපතිතුමා වෙත දෙවරක්‌ම ලබාදෙන ලද්දේ මේ පළාත් සභා මාෆියාවේ අපේක්‍ෂා ඉටුකිරීමටවත් ඉන්දියානු - බටහිර කුමන්ත්‍රණකාරයින්ගේ අපේක්‍ෂා කිරීමටවත් නොවන බව එතුමා විසින් වටහාගත යුතුයි.

අද එතුමාගේ පැවැත්මට විශාල තර්ජනය වී ඇත්තේ ඉන්දියානුවන් විසින් බලෙන් ඇතුළු කරන ලද මේ 13 සංශෝධනය නොවේද? ඒ සංශෝධනය අහෝසි නොකර පළාත් සභා පිළිලය උගුල්ලා වීසිනොකර තිබීම නිසා නොවේද ඉන්දියානුවන්ට මෙහි පැමිණ ව්‍යවස්‌ථාව ක්‍රියාවට නගන ලෙස තරවටු කළ හැක්‌කේ? ඒ අවස්‌ථාව පෑදී ඇත්තේ? තව ටික දිනකින් මෙහි එන බලගතු ඉන්දියානු කුමන්ත්‍රණකාරයන් මෙවර මෙහි එනු ඇත්තේ උතුර - නැගෙනහිර තුළ 13 සංශෝධනය ක්‍රියාත්මක කරනු ලබන දිනය දැනගනු සඳහා විය යුතුය. ජී. එල්. පීරිස්‌ දුන් පොරොන්දුව අනුව එවැන්නක්‌ දැන ගැනීමට ඔවුන්ට අයිතියක්‌ තිබේ.

එමනිසා "13 සංශෝධනය අහෝසි කරනු" යන උද්ඝෝෂණය ජාතික බලවේග විසින් වහ වහා ආරම්භ කළ යුතුවෙයි. ඒ සඳහා ඇති අන්තිම අවස්‌ථාවද මෙය බව අප විසින් වටහාගත යුතුයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.