චැනල් 4 ආසනික්‌!

ශ්‍රී ලංකාවේ ආසනික්‌ මිශ්‍ර කෘමිනාශක භාවිතය පිළිබඳ තිබෙන විවාදය මැඬගෙන බ්‍රිතාන්‍යයේ චැනල් 4 ආසනික්‌ විස යළිත් මතුවී තිබේ. සැබැවින්ම අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතලම අභියෝගය වී ඇත්තේද මෙලෙස ජාත්‍යන්තරව ව්‍යාප්ත වන ආසනික්‌ මගින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය මෙන්ම මහින්ද රාජපක්‍ෂ රජයද විනාශ වී යාමේ අනතුරය.

පසුගිය 14 වනදා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ඔස්‌සේ විකාශය කරන ලද ඒ වාර්තාමය වැඩසටහන රජය ප්‍රතික්‌ෂේප කර ඇත. එහෙත් ඒ පිළිබඳ පිරික්‌සුමක්‌ කළ යුතු බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියා තිබේ. ජ. වි. පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයාද එම වීඩියෝ පටය පිළිබඳ තාක්‌ෂණික පරීක්‍ෂණයක්‌ කළ යුතු බව කියා තිබේ.

මෙම වාර්තා වැඩසටහන පසුපස තිබෙන ශ්‍රී ලංකා විරෝධී හා එල්. ටී. ටී. ඊ. යට පක්‍ෂ බලවේග හෝ එයට සම්බන්ධ වූවෝ කවරහුද යන ප්‍රශ්නය මෙන්ම මෙහි සත්‍යාසත්‍යතාවද වැදගත් වන්නේ ශ්‍රී ලංකාවටය. එහෙත් මෙය නරඹන මැදහත් ප්‍රේක්‌ෂයකු තුළ පවා ඇතිවන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ බරපතල කලකිරීමක්‌ හා නරකම චිත්‍රයකි.

බ්‍රිතාන්‍යයෙන් ඇරඹී බටහිර කලාපයේත් ඉන්පසු ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවලත් ප්‍රේක්‌ෂකයන්ගේ ඇස්‌ ඉදිරිපිට දැක්‌වුණු ඒ ම්ලේච්ඡත්වය හා සාහසිකත්වය අතිශය කෲර හා අමානුෂික අත්දැකීම් සේ ඔවුන්ට දැනෙනු ඇත.

මෙහි ඇත්ත නැත්ත කුමක්‌ වුවත් එයින් බටහිර රටවල ජීවත්වන සිංහල ජන කොටස්‌ දැඩි අපහසුවකට පත්විය හැකි බවද අමුතුවෙන් කිව යුතු නැත. මානව හිමිකම්, මිනිස්‌ ඝාතන පිළිබඳව බටහිර රටවලට කෙබඳු චෝදනා තිබුණත් ඒවා ඒ රටවලට කරන බලපෑමක්‌ නැත. එහෙත් ශ්‍රී ලංකාව පිළිබඳ තත්ත්වය එසේ නොවේ.

ශ්‍රී ලංකාවට විවිධ සතුරෝ සිටිති. දේශීයවද ජාත්‍යන්තරව ද ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් ද සිදුවේ. එසේ වීමට හේතුද තිබේ. ඒ සමගම රජයක්‌ ලෙස සැලසුම් සහගතව ඒවාට මුහුණ දීමට අපට නොහැකිවීමද ඒ ප්‍රශ්නවලට හේතු වී තිබෙන බව කිව යුතුය.

බටහිර රටවල් බින්ලාඩන් මරා දැමූ ආකාරය පිළිබඳ කිසිවෙක්‌ ප්‍රශ්න නොකරති. එහෙත් ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදය පරාජය කළ ආකාරය ගැන බටහිර තෘප්තිමත් නොවේ. එය කුහකකමක්‌, අධිරාජ්‍යවාදී මහන්තත්වයත් තුළින් එන ආසනික්‌ විසකි. එහෙත් ඒ විස සඟවා ඔව්හු අප සමඟ සිනා සෙති. ඇසුරු කරති.

එක්‌සත් ජාතීන්ගේ කොළඹ ශාඛාව බරපතල ලෙසම කොටින්ට උඩ ගෙඩි දුන් ආයතනයකි. එහි සිටි කොටි හිතවාදීන් පිළිsබඳවද තියුණු විවේචන නැගුණි. පසුගියදා විකාශය වූ චැනල් 4 වැඩසටහනකද එහි සේවය කළ ගෝර්ඩ්න් වෙයිස්‌ එක්‌ව සිටියේය.

එක්‌සත් ජාතීන්ගේ කොළඹ ශාඛාව අපට ඇති තරම් ප්‍රශ්න සාදා දී තිබේ. වන්නි මෙහෙයුම්වලදී එහි ඇතැම් කෙනෙක්‌ විස්‌සෝප වූහ. මේ රටේ සාමාන්‍ය ජනතාවට උදව් කරන ව්‍යාජයෙන් ඔවුන්ගේ උපකාර අනුග්‍රහ කොටින්ට ලැබුණි. අදත් ඔවුන්ගේ හැසිරීම් හෝ ලංකාව පිළිබඳ ආකල්ප හෝ බරපතල වෙනසකට භාජනය වී ඇතැයි කිව නොහැක.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ සටන් කළේ ලෝකයේ බිහිසුණුම ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ සමගය. ඉතා සංවිධානාත්මක යුද අංශයක්‌ සහිතව සටන් කළ ප්‍රභාකරන් උතුරේ තිස්‌වසරක්‌ම නොනිල ආඥදායකයා ද විය. එහි තිබුණේ ඔහුගේ නීතියයි. රජයෙන් වැටුප් ගෙවූ සියලු නිලධාරීන් පිළිගත්තේද කොටි සංවිධානයේ නියෝග පමණි.

මේ දුෂ්කර හා අසීරු යුද්ධයට ඇමෙරිකාව ඇතුළු බටහිර ද වෙනත් රටවල් ද යම් යම් අනුග්‍රහ ලබා දුන්නේය. ඇතැම් රටවල් කොටින්ටද ආයුධ සැපයීම් කර තිබුණි. එබඳු යුද්ධයකදී සියයට සියයක්‌ම යුද නීති අනුව මෙහෙයුම් සිදු නොවන බව සත්‍යයකි. ප්‍රභාකරන්ගේ සැහැසිකම්වලට මුහුණ දුන් අය තුළ ඇතිවන මානසිකත්වයද අපට හැඟෙයි. එහෙත් දරුණු ගැටුම් පැවති කාලවල ඇතැම් කොටි නායකයන්ට කොළඹට පැමිණ වෛද්‍ය ප්‍රතිකාර ද ලබාගත හැකි වාතාවරණයක්‌ විය.

කෙසේ හෝ ඒ සියලු සාධනීය තත්ත්වයන් නිෂේධනය කෙරෙන වැඩසටහනක්‌, චිත්‍රයක්‌ දැන් ජගත් ප්‍රජාවට කවා තිබේ. ඒ පිළිබඳව රජය ඉදිරිපත් කරන තර්ක විතර්ක කුමක්‌ වුවත් ඒවා කිසිසේත් ඵලදායි නොවන බවද කිව යුතුය.

දැන් බටහිරට වුවමනා යුද මෙහෙයුම් පිළිබඳ වෙනත්a, අභූත චිත්‍රයක්‌ දී ශ්‍රී ලංකාව හිරකිරීම බව අප පළමුව තේරුම් ගත යුතුය. යුද ජයග්‍රහණය බෙදා ගැනීමේ රණ්‌ඩුව හෝ එය අලෙවි කිරීමෙන් ලැබෙන දේශපාලන වාසිය හෝ රජයට වාසිදායක ලෙස යොදා ගැනීමට රජය සමත් විය. එහෙත් මේ වර්ගයේ ජාත්‍යන්තර ප්‍රහාරයකට මුහුණදීමට රජයට සැලසුමක්‌ තිබුණි නම් චැනල් 4 වලට මේ සෙල්ලම් කළ නොහැක.

ප්‍රභාකරන් සමඟ බෙදුම්වාදයේ එක්‌ හිසක්‌ හා ජාලයක්‌ විනාශ විය. එහෙත් එහි අනෙක්‌ හිස්‌ තවමත් විනාශ වී නැත. මෙහි සිට ඒවා විනාශ කිරීමද දුෂ්කරය. එහෙත් උපායශීලීව හා රාජ්‍යතාන්ත්‍රිකව ඒවාට එරෙහිව බුද්ධිමත්ව ප්‍රතිචාර දැක්‌වීම අද අත්‍යාවශ්‍යය. අධිරාජ්‍යවාදයේ පදම් කළ මුවහමට තැළීමෙන් පමණක්‌ අපට ඔවුන් පරාජය කළ නොහැක.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.