චෙම්මිනි මුරපොළේ සිට පෝරකය දක්‌වා...!

                  

එදා ප්‍රබල ත්‍රස්‌තවාදී සාමාජිකාවක සිටි ක්‍රිෂාන්තිව හමුදා අත්අඩංගුවට ගැනුණේ ඒ අයුරිනි. එහෙත් ඒ අත්අඩංගුවට ගැනීම සිදුවී ගෙවී යන්නට වූයේ පැයකටත් අඩු කාලයකි.

යාපනය කයිතඩි ප්‍රදේශයේ සිට එක්‌තරා කාන්තාවක සමග අවුරුදු පහළොවක පමණ දරුවකු සහ තවත් මිනිසකු චෙම්මිනි මුරපොළ දෙසට ඇදී එනු එහි සිටි හමුදා සෙබළුන් දුටුවේ ඒ අතරතුරය.

ඒ ගැහැණිය හා සෙසු දෙදෙනා අතර වූයේ එකිනෙකා පරයා ඇවිද යැමේ තරගයකි. ඒ තරගය හමුවේ ඔවුන් මුරපොළ ආසන්නයට එනවිට හති හරින තැනටම වෙහෙසී සිටියේය.

කෙමෙන් කෙමෙන් මුරපොළ වෙත පැමිණි ගැහැණිය එහි සිටි හමුදා සෙබළුන්ගෙන් ද්‍රවිඩ බසින් යමක්‌ විමසන්නට වූවාය.

"සර් මගේ දුව විභාගෙට ගිහින් තවම ආවේ නැහැ... දුවව හමුදාවෙන් තියාගත්ත කියලා ගමේ ළමයෙක්‌ කිව්වා... කොහෙද සර් මගේ දරුවා... දරුවව තියාගත්තේ සර්ලද?

ගැහැණියගේ මෙම ප්‍රශ්නයත් සමග හමුදා සෙබළුන් ඉදිරියට පැමිණියේ සුවිශාල ගැටලුවකි.

"ඔව් අයියේ එදා එහෙම ආවේ ක්‍රිෂාන්තිගේ අම්මා... ඒත් එයා දුව ගැන ඇහුවට ඉහළින් නියෝගයක්‌ නැතුව අපිට මුකුත් කියන්න පුළුවන් කමක්‌ තිබුණේ නැහැ... ඒක හමුදාවේ නීතිය. ක්‍රිෂාන්ති ඒ වෙනකොට අපි ළඟ හිටියට අපිට ඒක කියන්න විදිහක්‌ තිබුණේ නැහැ...

"මේ ඔය කියන විදිහේ දෙයක්‌ අපි දන්නේ නැහැ... කරුණාකරලා ගිහින් යාපනේ කෑම්ප් එකෙන් අහන්න... එතකොට දුව ගැන විස්‌තරයක්‌ දැන ගන්න පුළුවන් වෙයි...

අන්තිමට අපි ක්‍රිෂාන්තිගේ අම්මට එහෙම කියලා කෑම්ප් එකට යන්න කිව්වා... අපේ කීමට එයාලා යන්න ගියා... ඒත්...

හමුදා සෙබළුන් කළ දැනුම් දීමට අනුව ඒ ගැහැණිය හා අනෙක්‌ දෙදෙනා එක්‌ව චෙම්මිනි මුරපොළ පසුකර යාපනය දෙසට ඇදෙන්නට වූහ. ඒ සිය දියණිය පිළිබඳ යමක්‌ දැනගන්නා අටියෙනි.

එහෙත් ඔවුන්ගේ පා එසේ එසැවෙන්නට වූයේ චෙම්මිනි මුරපොළ පසුකර තවත් යාර කිහිපයක්‌ ඉදිරියට පමණි.

ඊළඟ මොහොතේ ඒ මාවතේ ඉද්ද ගැසුවාක්‌ මෙන් එක්‌වරම නතර වූ ඔවුන් යළි හැරී මුරපොළ දෙසට එන්නට වූයේ ආවේගශීලී දැඩි හැඟීමකින්ද යුතුවය...

"බල්ලෝ... තොපිලා තමයි යකෝ මගේ දුවව අල්ල ගත්තේ... තොපිලා දුවව අල්ලගෙන දැන් නැහැ කියනවා යාපනයට ගිහින් බලපියව් කියනවා... යකෝ මගේ දුවත් එක්‌ක ආපු ළමය කිව්ව මෙතනදී උඹලා මගේ දරුවව තියා ගත්ත කියලා... ඇත්ත කියපියව් යකුනේ කෝ අපේ දරුවා...

ඊළඟ නිමේෂයේ වේගයෙන් මුරපොළ අසළට පැමිණි ඒ ගැහැණිය සුද්ධ දෙමළෙන් මුරපොළේ සිටි සෙබළුන්ට සංග්‍රහ කරන්නට වූයේ කිසිවෙකුත් නොසිතූ පරිද්දෙනි.

ඒ වාග් ප්‍රහාරය හමුවේ මුරපොළේ සිටි හමුදා සෙබළුන්ගේ ඉවසීමේ සීමාව ඉක්‌ම ගොස්‌ තිබුණද එය පිටතට නොපෙන්වූ ඔවුහු තමන් කිසිවක්‌ නොදන්නා බැවින් යාපනයට ගොස්‌ කරුණු විමසන ලෙස යළි ගැහැණියට කියන්නට වූහ.

"ඔව් අයියේ... ඒ ගෑණි අමු තිත්ත කතාවෙන් අපිට බැන්න... එතනදී අපිට කේන්තිත් ගියා... එත් හැම දේම අපි ඉවසුවා... යාපනයට යන්න කියනවා ඇරෙන්න එයාට කියන්න වෙන දෙයක්‌ අපිට තිබුණේ නැහැ...

"පලයව් යකුණේ යන්න... ගොපිලා මගේ දරුවා තියාගෙන අපිට යාපනේ යන්න කියනවා... යකෝ මගේ දරුවා දෙනකම් මම මෙතනින් එක අඩියක්‌ හෙල්ලෙන්නේ නැහැ...

හමුදා සෙබළුන් යාපනයට යන ලෙස දෙවන වරටත් කීමත් සමග එසේ පරලවූ තැනැත්තියක සේ සෙබළුන්ට බැණ වැදුණු ගැහැණිය අනෙක්‌ දෙදෙනාද සමගින් මුරපොළ ඉදිරියේ වූ මාර්ගයේ වැතිර නිදා ගත්තේ හමුදා සෙබළුන් කිසිසේත්ම නොසිතූ පරිදිය.

දැන් එය සීමාව ඉක්‌මවා ගොසිනි. කළ යුතු දෙයක්‌ කඩිනමින් කළ යුතුව තිබේ. අවසානයේ මුරපොළේ වූ හමුදා සෙබළුන් අවසන් තීරණයකට එළැඹියේ ගැටලුව දුරදිග යැමට ඉඩක්‌ නොතැබීමේ අදහසිනි.

"ක්‍රිෂාන්තිගේ අම්මයි අනෙක්‌ දෙන්නයි එහෙම මුරපොළ ළඟ නිදා ගත්තහම අපිට කරගන්න දෙයක්‌ නැති වුණා අයියේ... අන්තිමට අපි කළේ සෙට්‌ එක අරගෙන වෙච්ච දේ කෑම්ප් එකට කියලා උපදෙස්‌ ඉල්ලන එක...

මේ තුන්දෙනා මුරපොළ ළඟ නිදාගෙන ඉන්නවා කියලා අපි ඒ විදිහට කෑම්ප් එකට කිව්වා...

"හරි එහෙනම් තවත් බලාගෙන ඉන්නේ නැතුව ඒ තුන්දෙනාවත් අරගෙන ක්‍රිෂාන්ති ඉන්න තැනටම දානවා... එවෙලේ කෑම්ප් එකේ සර් කෙනෙක්‌ අපිට කිව්වේ ඒ ටික.

ඒක නියෝගයක්‌ අයියේ... පස්‌සේ අපි ඒ තුන්දෙනාවත් සර් කිව්ව විදිහටම අරගෙන ගිහින් ක්‍රිෂාන්ති හිටිය කූඩාරමටම දැම්මා...

එකී දිනයේ පෑයූ හිරු අවරට හැරෙමින් ඒ වන විට දහවල් දොළහ පසුවී හෝරා දෙකක පමණ කාලයක්‌ ගෙවී ගොස්‌ තිබිණි. රඳවා ගත්තවුන්ට දිවා අහරද සැපැයූ මුරපොළේ සිටි හමුදා සෙබළුන් යළි සාමාන්‍ය පරිදි රැකවලෙහි යෙදන්නට විය.

එසේ තවත් හෝරා කිහිපයක්‌ ගෙවී යන්නට විය. ක්‍රිෂාන්ති ඇතුළුව හමුදා අත්අඩංගුවට පත්වූවෝ ඒ වන විටත් රැඳවූ කූඩාරමේම සිටින්නට වූහ.

මෙසේ කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යමින් එකී දිනයේ අවසානය සනිටුහන්ව හිරු බටහිර අහසේ සැඟව යන්නට සූදානම්ව තිබිණි.

මේ අතරේ යාපනය හමුදා කඳවුරෙන් පිටත් වූ ජීප් රථයක්‌ එක පිම්මේ චෙම්මිනි මුරපොළ දෙසට ඇදී එන්නට විය. හමුදා නිලධාරියකු සමග තවත් සන්නද්ධ සෙබළුන් කිහිප දෙනකු එම ජීප් රථයේ වූහ.

චෙම්මිනි මුරපොළ දෙසට වේගයෙන් ඇදී ආ ජීප් රිය ඒ ආසන්නයේ නතර වූයේ එහි රැකවලෙහි සිටි සෙබළුන්ද බලා සිටියදීය.

එකෙනෙහිම ජීප් රියේ සිටි නිලධාරියා දුටු මුරපොළේ සිටි සෙබළුන් වහා සීරුවෙන් සිට ඔහුට ආචාර කරනු ලැබුවේ හමුදාවේ සාමාන්‍ය සම්ප්‍රදායට අනුව යමිනි.

"ආ... ළමයි කෝ අර තියාගත්ත හතර දෙනා... එයාලව එක්‌කගෙන එන්න මෙහෙට... ඒ අතරේ ජීප් රථයෙන් බැස මුරපොළේ වූ ප්‍රධාන කුටිය වෙත යන අතරේ එහි සිටි සෙබළුන්ට නියෝගයක්‌ පරිද්දෙන් පැමිණි හමුදා නිලධාරියා දැනුම් දෙන්නට විය.

එකෙනෙහි ක්‍රිෂාන්ති ඇතුළු පිරිස වහා ඔහු ඉදිරියට පැමිණවීමට සෙබළුන් පියවර ගනු ලැබූහ.

ආ... මේ ඉන්නේ ක්‍රිෂාන්ති... තමුන්ට හමුදාව නියෝග කරලා තිබුණා නේද හැම සති අන්තයෙම කෑම්ප් එකට ඇවිත් අත්සන් කරන්න... පිරිස දුටු විගස හමුදා නිලධාරියාගේ මුවින් ක්‍රිෂාන්තිට ඉදිරිපත් වූයේ එවන් වූ පැනයකි.

මේකයි. මෙයා අපි දුන්නු ඒ නියෝගය මග ඇරලා වැඩ කරලා තියෙනවා... ඒ නිසා මෙයාගෙන් අපිට පොඩ්ඩක්‌ ප්‍රශ්න කරන්න ඕනේ... ඊළඟ නිමේෂයේ ක්‍රිෂාන්තිගේ මව දෙසට හැරෙමින් එසේ කී නිලධාරියා හිඳ සිටි පුටුවෙන් නැගිටින්නට වූයේ යළි පිටව යැමට සුදානමිනි.

"බැහැ... උඹලට මගේ දරුවා ගෙනියන්න දෙන්න බැහැ... අපිත් එනවා යන්න... ඒ සමගම යළිත් වරක්‌ ආවේෂ වූ ක්‍රිෂාන්තිගේ මව මොරදෙන්නට වූයේ හමුදා නිලධාරියාද පුදුමයට පත් කරවමිනි.

"ඔව් අයියේ ඒ ගෑණි කොච්චර කිව්වත් එයා හැසිරුනේ යකෙක්‌ වගේ... අන්තිමේ ආපු ජීප් එකේ ඒ හතර දෙනාවම අරගෙන ගියා කෑම්ප් එකට... ඉහළ නියෝග නිසා ක්‍රිෂාන්තිව අත්අඩංගුවට ගත්ත. අපි මේ ගැන දන්නේ ඔය ටික විතරයි අයියේ...

එදා මේ සිද්ධිය සිදුව කාලය දින, සති, මාස වෙමින් ගෙවී යන්නට විය. යුද හමුදාව යාපනයේ දියත් කළ "සත්ජය" මෙහෙයුම ආරම්භය සටහන් වන්නට වූයේ ඔය අතරතුරය.

"ක්‍රිෂාන්තිව හමුදා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය වෙලා අයියේ... මාස කිහිපයකට පස්‌සේ ඒ විදිහට "සත්ජය" මෙහෙයුම පටන් ගත්ත... ඒකට අපිවත් ආයෙත් ඉදිරි පෙරමුණට කැඳෙව්වා...

අපි ගියා අයියේ... ඒ අතරේ තමයි අයියේ මහ පුදුම කතාවක්‌ රටේ කියවෙන්න පටන් ගත්තේ... ක්‍රිෂාන්තිවයි අම්මවයි අනිත් දෙන්නවයි හමුදාවෙන් මරලා කියලයි ඒ කතාවෙන් කියවුණේ...

ඒක අපිට ආරංචි වෙනකොට ඒ කතාව රටේ ඉහළම තැනකට ඥති සම්බන්ධතා තිබ්බ එක්‌කෙනෙක්‌ ජාත්‍යන්තර සංවිධාන අතරටත් ගෙනහින් කියලයි ආරංචි වුණේ...

පස්‌සේ ඒකට එදා තිබුණ ආණ්‌ඩුව පරීක්‍ෂණයක්‌ පටන් ගත්තා... ඒ දවස්‌වල මාව කැඳෙව්ව හමුදාවේ ලොකු ලොකු නිලධාරින් මගෙන් ඇහුව්ව ක්‍රිෂාන්තිගේ සිද්ධිය ගැන මොනවද දන්නේ කියලා...

අපි මොනාද අයියේ දන්නේ... එදා චෙම්මිනි මුරපොළේ හිටිය අපි දැනගෙන හිටියේ ක්‍රිෂාන්තිව අත්අඩංගුවට ගත්ත කියලා විතරයි... එතනින් එහාට එයා මැරුණද නැත්නම් අදටත් ක්‍රිෂාන්ති ජීවතුන් අතරද කියලා කියන්න අපි දන්නේ නැහැ...

"මම ඉතින් මාව ගෙන්නලා ඒ ගැන අහන හමුදාවේ හැමෝටම ඒ උත්තරේ දුන්න... ඇත්තෙන්ම අපි ඔක්‌කොටම කියන්න තිබුණේ එච්චරයි අයියේ...

මේ අතරේ තමයි හමුදාව ක්‍රිෂාන්තලව මරල වැළලුව තැන කියලා එදා ආණ්‌ඩුවෙන් චෙම්මිනි මුරපොළ ළඟ තිබුණ කනත්ත හාරන්න පටන් ගත්තේ... ඒකට මුල් වෙලා තිබුණේ අර ආණ්‌ඩුවේ ඉහළම තැනක ඥතියා වෙලා හිටිය කෙනා කියලයි ඒ දවස්‌වල ආරංචි වුණේ...

එතකොට ක්‍රිෂාන්ති හමුදා අත්අඩංගුවට පත් වෙලා මාස දහයක්‌ විතර ගිහින්... ආණ්‌ඩුවේ පරීක්‍ෂණ කණ්‌ඩායම් ඒ විදිහට කනත්ත හෑරුවා... ඒකේ තිබිලා මිනිස්‌ ඇටකටු ගොඩාක්‌ එයාලට හම්බ වුණා... අන්තිමට කනත්ත හාරලා ඒගොල්ලෝ කිව්වා එක හමුදාව මිනිස්‌සු මරලා වළලපු සමූහ මිනී වළක්‌ කියලා...

අවුරුදු ගාණක්‌ තිස්‌සේ තියෙන මිනී කනත්තක මිනිස්‌සුන්ගේ ඇට කටු ඇරෙන්න වෙන මොනවා තියෙන්නද අයියේ...

මේ අතරේ තමයි මෙහෙයුමේ හිටි මට වෙඩි වැදිලා මාව කොළඹ යුද හමුදා රෝහලට අරගෙන ආවේ... මට ගොඩක්‌ තුවාල වෙලා තිබුණා... ගේනකොට සිහිය තිබුණෙත් නැහැ...

දවස්‌ පහළවක්‌ විතර මම හමුදා රෝහලේ ප්‍රතිකාර ගත්තා.

කොහේවත් යන ඥතීත්වයක්‌ හමුවේ එකල රජයේ ඉහළම බලධාරින් එක්‌ව හමුදාවම පාවා දෙමින් රට වෙනුවෙන් පෙරට ගිය රණවිරුවන්ට මිනී මරුවන් යන ලේබලය අලවා ක්‍රිෂාන්ති ඝාතනය කළ බව කියමින් පරීක්‍ෂණ අරඹා තිබුණේ එලෙසිනි.

ඒ පරීක්‍ෂණ අතරේ සත්ජය මෙහෙයුමෙන් තුවාල ලබා හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හේ සුවය ලබා පිටව යන දිනයද කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් තිබිණි.

අවසානයේ ඒ දිනය උදා විය... හමුදා රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනකු අපේ රණවිරුවා වෙත පැමිණියේ මේ අතරතුරය. "හම්.. පුතා ඔයාට දැන් යන්න පුළුවන්... අපි ඔයාට දවස්‌ පහළොවකට නිවාඩු අනුමත කළා... ඒ දවස්‌ පහළව ගෙදරට ගිහින් රෙස්‌ට්‌ කරන්න...

ඊට පස්‌සේ පුළුවන් ආයි යුද්ධ කරන්න යන්න... ඉතා සුහදශීලීව ඔහු ඇමැතූ හමුදා රෝහලේ වෛද්‍යවරුන් එදා එසේ කියන්නට වූයේ මේ විරුවාණන්ට ඇති ලෙන්ගතු බව මොනවට විදහා පාමිනි.

මට එදා එහෙම නිවාඩු දීලා අපේ ඩොක්‌ටර්ස්‌ලා කිව්වා ගෙදර ගිහින් රෙස්‌ට්‌ කරන්න කියලා... මම රෝහලෙන් පිටවෙලා ගෙදර එන්න ලැහැස්‌ති වුණා...

"ඒත් එදා රෝහලට ආපු හමුදා පොලිසිය මාව අත්අඩංගුවට අරගෙන පාලාලිවට ගෙනාවා අයියේ... ඒ එනකම්ම මම දැනගෙන හිටියේ නැහැ මාව අරන් යන්නේ ඇයි කියලා... අන්තිමට පලාලි ඉඳලා මාව කෑම්ප් එකට අරගෙන ගියා... ඒ ගියහමයි මම දැනගත්තේ ක්‍රිෂාන්තිලව මරපු එකට මාව ඇල්ලුවා කියලා...

ඒ වෙනකොට කෑම්ප් එකේ ලොකු අය එකතුවෙලා මටයි එදා චෙම්මිනි මුරපොළේ හිටිය අනිත් අයටයි විරුද්ධව සාක්‌කිත් හදලා අයියේ අපි ක්‍රිෂාන්තිවයි, අම්මවයි, අනියත් දෙන්නවයි මරලා වැළලුවා කියලා...

පස්‌සේ තුවාල වෙලා රෙස්‌ට්‌ කරන්න ගෙදර යන්න ගිය මාව හමුදාවෙන් පොලිසියට බාර දුන්නා... පොලිසියට මාව අරගෙන යනකොට අපේ අනිත් අයත් පොලිසියෙ හිටියා... පස්‌සේ අපිට විරුද්ධව නඩු දැම්මා... ඒක විශේෂ නඩුවක්‌ අයියේ... ඒකෙදී මාස නවයකට පස්‌සේ ඇට කටු ටිකක්‌ ගොඩ අරගෙන හිටිය පරීක්‍ෂකයන් අපි ක්‍රිෂාන්තිව දූෂණය කළා කියලත් චෝදනාවක්‌ කරලා තිබුණා...

අන්තිමට නඩුව ඇහුවා... අපි කියන්න ඕන ටික කිව්වා... ඒ අතරේ කරුණු තේරුම් ගත්ත උසාවිය පරීක්‍ෂණ කරපු අය ඇටකටුවලින් බලලා අපි ක්‍රිෂාන්තිව දූෂණය කළා කියලා දාල තිබුණු චෝදනාව අයින් කළා...

ඒත් අන්තිමට අපි ක්‍රිෂාන්තියි, අම්මවයි, අනිත් දෙන්නවයි මැරුවා කියලා තීරණය වුණා අයියේ. ඒ වරදට උසාවිය අපිට මරණ දඬුවම නියම කළා.

දැන් අපි හිරගෙදරට ඇවිත් අවුරුදු එකොළහක්‌ විතර ගෙවිලා ගිහින්... අපේ පවුල්වල දහසක්‌ ප්‍රශ්න අයියේ... සමහරු ලෙඩ වෙලා... අපේ අම්මල අපි ගැනම හිතලා මානසික ලෙඩ්ඩු වෙලා... මොකක්‌ද අයියේ අපිට මේ වුණේ...

මෙතෙක්‌ වේලා අයාසයන් දරමින් මා සමග දොඩමලුව සිටි ඔහුගේ දැස දිලිසෙමින් තිබේ. ඒ අවසන් වදන් කිහිපය ඔහුගේ මුවින් ගිලිහී ගියේ සිහින් ඉකිබිඳුමක්‌ද මුසුව බව මට රහසක්‌ද නොවේ.

සෙසු මුහුණු තුළද ඇත්තේ අද විඳවන විඳවිල්ල හමුවේ ජීවිතය කඩා වැටීමෙන් සිත් රිදුම් දෙන දුකම පමණක්‌ බව කිවයුතුව තිබේ.

ඔව්. එදා විරුවන් ලෙස රට වෙනුවෙන් ජීවිත කැපකර පෙරට ආ ඔවුහු අද මේ බිත්ති අතරේ ජීවිතය විඳවමින් සිටිති. මෙය සිදුවිය යුක්‌තක්‌දැයි මම නොදනිමි.

මම මොහොතක්‌ ඔවුන් දෙස බලා සිටියෙමි. "මොකක්‌ද අයියේ අපිට මේ වුණේ... ඒ වදන් පෙළ යළි යළිත් මට ඇසෙන්නාක්‌ මෙනි... වගකිවයුත්තනි අප ඊට දිය යුතු පිළිතුර කුමක්‌ද?

අපේ රණවිරුවන් හය දෙනකුගේ ජීවිත හමුවේ ඔබට පිළිතුරු සෙවීමට ඒ පැනය ඉතිරි කරමින් මම මේ දුක්‌බර කතාවට තිත තබමි.

මෙහි මුල් කොටස ඉකුත් සතියේ පළවිය

සමන් ගමගේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.