13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය
විසඳුමක්‌ ලෙස ගෙන ඒමට යයි


දෙමළ සන්ධානය සමඟ තීරණාත්මක සාකච්ඡාවක්‌ 23 දා

අනුර බාලසූරිය, රනිල් ධර්මසේන

උතුර නැගෙනහිර අර්බුදයට විසඳුමක්‌ සකස්‌ කිරීම සඳහා ලබන 23 වැනිදා දෙමළ ජාතික සන්ධානය සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී ආණ්‌ඩුව විසින් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සිය යෝජනා ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.

දහතුන්වැනි සංශෝධනය මත පදනම්ව දේශපාලන විසඳුම් සාකච්ඡා සිදු කිරීමට රජය බලාපොරොත්තු වන බව රජය වෙනුවෙන් සාකච්ඡා මේසයට සහභාගි වන අමාත්‍යවරයෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවැසීය.

දේශපාලන විසඳුම් යෝජනාවලියක්‌ සකස්‌ කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ පත්කිරීමට සැලසුම් කර ඇති නමුත් එම කාරක සභාව පැවතිය ද දෙමළ ජාතික සන්ධානය සමඟ සිදුකරන සාකච්ඡා ද අඛණ්‌ඩව සිදුකරන බව ද ඇමැතිවරයා කීවේය.

ලබන 23 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවට රජය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. එල්. පීරිස්‌ යන ඇමැතිවරුන් ද සජින් වාස්‌ ගුණවර්ධන, මහාචාර්ය රජීව් විඡේසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සහභාගි වන අතර දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, එම්. සුමන්තිරන් යන මහත්වරු සහභාගි වෙති.

එදින පැවැත්වෙන සාකච්ඡාව තීරණාත්මක වනු ඇතැයි ද දේශපාලන විසඳුමක්‌ රජයෙන් යෝජනා කළ යුතු යෑයි ද එසේ නොවුණහොත් තවදුරටත් සාකච්ඡා කිරීම ගැන තීරණයක්‌ ගැනීමට සිදුවන බව ද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ පැවැසීය. දේශපාලන විසඳුම්වලට පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පිහිටුවීම පිළිබඳව සිය විරෝධය රජයට පළ කරන බව ද හෙතෙම කියා සිටියේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.