විද්වත් හමුව


13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අපේ රටේ දේශපාලන ක්‍ෂේත්‍රය තුළ වරින් වර මතු වී යළි සැඟවී යන ක්‍රියාදාමයකි. මෙවර එය වඩාත් තීව්‍ර කතාබහට ලක්‌ව ඇත්තේ පසුගියදා ඉහළ පෙළේ ඉන්දීය නිලධාරීන් පිරිසක්‌ මෙරටට පැමිණීමත් සමඟය. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම තුළින් අනාගත ශ්‍රී ලංකාව කෙබඳු ඉරණමකට පත්වේද? ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි කරන විග්‍රහයකි මේ.

13 වැනි ව්‍යවස්‌ථාවෙන් ඉඩම් හා පොලිස්‌ බලතල
ඉවත් නොකළොත් රටේ අනාගතය අඳුරු වේවි
ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි


13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නැවතත් අපේ දේශපාලන ක්‍ෂේත්‍රයේ කරළියට පැමිණ තිබෙනවා. උතුර නැගෙනහිර සඳහා ලබාදෙන දේශපාලන විසඳුමක්‌ වෙනුවෙන් 13 වැනි ව්‍යවස්‌ථාවෙන් ඔබ්බට වුවත් යැමට රජය සලකා බලන බවත් ප්‍රකාශ වී තිබෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

ඉන්දියාවේ විශේෂයෙන් තමිල්නාඩු ප්‍රාන්තයෙන් කෙරෙන බලකිරීමක්‌ මත 13 වැනි ව්‍යවස්‌ථාවේ තවම ක්‍රියාත්මක නොවන පොලිස්‌ හා ඉඩම් බලතල ලබා ගැනීමට කරන වෑයමක්‌ ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. මේ 13 වැනි ව්‍යවස්‌ථාව ඡේ. ආර්. ජයවර්ධන සමයේ ඉන්දියාවේ සම්පාදනය කළ දෙයක්‌. අපේ රටේ ඉතාම අවාසනාවන්ත අවස්‌ථාවක සිදුවූ එම සිදුවීමෙන් අපේ රටේ විශාල ජීවිත ප්‍රමාණයක්‌ හානි වුණා. එම පනතේ කර්තෘන් ලෙස සැලකෙන ගාමිණී දිසානායක සහ රජීව් ගාන්ධිත් කොටි ඝාතනය කළා. 13 වැනි සංශෝධන ව්‍යවස්‌ථා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලලිත් ඇතුලත්මුදලි මහතාත් ඝාතනය වුණා. මෙම පනත නිසා දකුණෙ ජවිපෙ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක්‌ මරණයට පත් වුණා.

දැන් නැවත වරක්‌ මේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තැත් කළොත් රට තුළ විශාල ලේ වැගිරීමක්‌ සිදුවීමට ඉඩ තිබෙනවා. 13 වැනි ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට යැම රට තුළ අනවශ්‍ය කලබලයක්‌ සහ විශාල විනාශයක්‌ ඇතිවිය හැකි දෙයක්‌.

13 වැනි ව්‍යවස්‌ථාවෙන් එහාට ගිය බලය බෙදාහැරීමක්‌ සිදුවුවහොත් අත්විය හැකි ප්‍රතිඵල පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

නිසැක වශයෙන්ම අපේ රටේ පෙඩරල් රාජ්‍යයක්‌ බිහිවෙනවා. එය සිදුවුවහොත් මා එය දකින්නෙ කොටින්ගේ ඉලක්‌කය වූ ඊළාම් දේශය බිහිකරලීමට තබන පියවරක්‌ හැටියටයි.

නමුත් ජනාධිපතිතුමා පසුගියදා අප රටට පැමිණි ඉන්දීය දූත පිරිස හමුවේ පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා ඉඩම් හා පොලිස්‌ බලතල ලබා නොදෙන බව?

එය ජනාධිපතිතුමා ඉතාම නිවැරැදිව කළ ප්‍රකාශයක්‌. මේ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක්‌ බවත් එයට කවර ආකාරයකින් හෝ බලපෑමක්‌ කිරීමට ඉන්දියාව ක්‍රියා නොකරන බවත් එම අවස්‌ථාවේ පැමිණ සිටි දූත පිරිස ප්‍රකාශ කිරීමත් සතුටට කරුණක්‌. නමුත් කවර මුහුණුවරකින් හෝ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් අපේ රටේ පෙඩරල් රාජ්‍යයක්‌ බිහිවීම වළක්‌වන්න බැහැ.

නමුත් 13 වැනි ව්‍යවස්‌ථාව වත් තවම ක්‍රියාත්මක කර නැති ආණ්‌ඩුව ඉන් එහාට ගොස්‌ මේ ප්‍රශ්නය විසඳන බව කීම විහිළුවක්‌ යෑයි විපක්‍ෂය ප්‍රකාශ කර තිබෙනවා නේද?

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කළහොත් මෙරට පෙඩරල් රාජ්‍යයක්‌ බිහිවී ඊළාම් රාජ්‍යයකට එයින් මග පෑදෙන බව විපක්‍ෂය නොදන්නවා නොවේ. 13 වැනි සංශෝධනය වත් තවම ක්‍රියාත්මක කර නැතැයි විපක්‍ෂය කියන්නේ ආණ්‌ඩුව ලවා එය කරවා ආණ්‌ඩුව අමාරුවේ දැමීමට බව මගේ අදහසයි. ඉන්පසු මෙරට දේශප්‍රේමී ජනතාවගේ ඡන්ද ලබාගැනීම විපක්‍ෂයේ යටි අරමුණ වෙන්නට පුළුවන්. මේ ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉඩම් හා පොලිස්‌ බලතල පළාත් සභාවලට හිමිකර දී ඇතත් ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එම බලතල පළාත් සභාවලට පැවරීමට කටයුතු කළේ නෑ. කවර ආකාරයකින් හෝ මේ ආණ්‌ඩුව එය සිදු කළ හොත් විපක්‍ෂයට එයින් විශාල දේශපාලන වාසියක්‌ ලබා ගන්නට පුළුවන්.

මෙම පනතේ සම ලැයිස්‌තුවේ ඇති සියලුම කරුණු ඉන් ඉවත්කර පළාත් සභාවලට පැවරීම පිළිබඳ මේ ආණ්‌ඩුව තුළ දැන් මතයක්‌ ගොඩනැඟෙමින් තිබෙනවා. එය සිදුවුවහොත් වන්නේද පෙඩරල් රාජ්‍යයකට යන ගමනට තවත් පියවරක්‌ තැබීමකි. ඉඩම් හා පොලිස්‌ බලතල පළාත් සභාවලට ලබා නොදීම සතුටුවිය හැකි කාරණයක්‌ නෙමෙයි. එයට හේතුව මේ පනතින් ඉඩම් හා පොලිස්‌ බලතල පළාත් සභාවලට හිමිකර දී ඇති නිසා අද එය ක්‍රියාත්මක නොවුවත් පළාත් සභාවලට එය ලබාගැනීමට නීති මාර්ගයෙන් හැකියාවක්‌ තිබීමයි. එම නිසා මේ අවස්‌ථාවේ රජය වහාම කළ යුත්තේ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ මගින් පළාත් සභාවලට පවරා දී ඇති ඉඩම් හා පොලිස්‌ බලතල ඉවත් කිරීමයි.

උතුර නැගෙනහිර සඳහා ලබාදිය යුත්තේ කෙබඳු විසඳුමක්‌ද යන්න නිශ්චය කර ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ පත්කිරීමට ආණ්‌ඩුව තීරණය කරන තිබෙනවා නේද?

එයින් ප්‍රයෝජනයක්‌ අත්වේ යෑයි සිතන්නට බැහැ. සර්ව පාක්‍ෂික සම්මේලනයේදී සිදු වූවාක්‌ මෙන් කිසියම් අවස්‌ථාවකදී ඇතැම් පක්‍ෂ මෙයිනුත් ඉවත්ව යැමක්‌ සිදුවන්නට පුළුවන්. එබැවින් මේ අවස්‌ථාවේ රජය කළ යුත්තේ බුද්ධි මණ්‌ඩලයක්‌ කැඳවා මේ ව්‍යවස්‌ථා සංශෝධනයේ ඇති පොලිස්‌ හා ඉඩම් බලතල පැවරීම වැනි අහිතකර කරුණු හඳුනාගෙන ව්‍යවස්‌ථා සංශෝධනයකින් ඒවා ඉවත් කර දැමීමයි. අනාගතයේදී රට පෙඩරල් වාදය හරහා ඊළාම් වාදය වෙත යැම වැළැක්‌විය හැක්‌කේ එබඳු පියවරකින් පමණයි.

කෙසේ නමුත් මෙම ප්‍රශ්නය විසදා ගැනීමේදී ශ්‍රී ලංකාවට ස්‌වාධීනව කටයුතු කළ හැකි බව ඉන්දියාව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් මේ ප්‍රශ්නය පිළිබඳ ඉන්දියාව ඉතාමත් විමසිලිමත්ව සිටින බව මෑත කාලයේ වූ සිදුවීම් දෙස බලන විට පැහැදිලියි. බටහිර රටවල් විවිධ ආකාරයෙන් අපේ රටට බලපෑම් කරන්නට උත්සාහ දරන මේ අවස්‌ථාව ඉන්දියාවේ සහයෝගය අපට අවශ්‍යම මොහොතක්‌...... ?

යුද්ධයේ අවසන් මොහොතේ අපේ රට මෙයටත් වඩා බැරෑරුම් අවස්‌ථාවකට මුහුණ දුන්නා. අපේ රට ඒ අවස්‌ථාවත් ජයග්‍රහණය කළේ අපේ රට අනුගමනය කළ ශක්‌තිමත් විදේශ ප්‍රතිපත්තිය නිසයි. එය ආසියාවේ සෑම රටකම පාහේ හොඳ හිත දිනාගන්නට හැකිවූ දූරදර්ශී විදේශ ප්‍රතිපත්තියක්‌. ඉන්දියාවේ පමණක්‌ නොව සෑම රටකම හොඳ හිත දිනා ගත හැකි විදේශ ප්‍රතිපත්තියක්‌ අපි අනුගමනය කළ යුතුයි. අපේ ප්‍රශ්න අපට වඩාත් පහසුවෙන් විසඳා ගන්නට හැකිවන්නේ එවිටයි.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.